Labels

Tuesday, April 11, 2017

සීහ සූත්‍රයේ සිංහ රජාණෝ ( අංගුත්තර නිකාය )

භාග්‍යවතුන් වහන්සේගේ මහා බලසම්පන්න බව කෙතෙක්දැ’යි විවිධ සූත්‍රවල සුවිශේෂී චරිතවලින් දැක්වෙයි. මජ්ක්‍ධිම නිකායේ සල්ල සූත්‍රයෙන් දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් ලෙස ද, සේල සූත්‍රයෙන් රජෙකුට ද, සංයුත්ත නිකායෙන් මාර්ගය හොඳින් දන්නා ශ්‍රේෂ්ඨ මාර්ගෝපදේශකයෙ කුට ද , අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයෙන් උසස් බ්‍රාහ්මණයෙකුට ද, භාග්‍යවතුන් වහන්සේ උපමා කර තිබෙයි.
අද අප සඳහන් කරන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සීහ සූත්‍රයෙන් භාග්‍යවතුන් වහන්සේ , කේසර සිංහයෙකුට උපමා කළ කතා පුවතයි.

මහණෙනි, මේ සිංහ රජු සවස් වරුවේ තමන් වසන මැණික් ගුහාව, රත්‍රං ගුහාව, මනෝ ශීල ගුහාව හෝ පළිඟු ගුහාවෙන් නික්මිලා ඇඟ මැළි කඩනවා. සියලු සතර දිශාවන් බලා තෙවරක් සිංහ නාද පවත්වා ගොදුරු පිණිස තම වාසභවනෙන් පිටත්ව යනවා. මේ වේලාවේ වෙසෙන තිරිසන් සතුන් බොහෝ බියට , සංවේගයට, සන්ත්‍රාසයට පැමිණෙනවා. බිලවලින් පිටතට පැමිණි සතුන් බියට පැමිණ නැවත බිලවලටත් , දියෙන් ගොඩට පැමිණි සතුන් නැවත දියටත්, කැලයෙන් එළියට පැමිණි සතුන් නැවත කැලේටම යනවා. බිමට බැස ඇති පක්ෂීන් අහසම භජනය කරනවා. රජ්ජුරුවන්ගේ ගම් බිම්වල වරපටි වලින් බැඳ ඇති ඇත්තු බියට පත්වී බැමි සිඳගෙන මල, මූත්‍ර පිටකරගෙන දිව යනවා. මේ සියලු සත්තු ඒ ඒ දිශා වෙත පලා යන්නේ මහත් බියෙන්.
මෙලෙස සිංහ රජු තිරිසන් ගත ප්‍රාණීන්ට මහා ඍද්ධිමත් වෙයි. මහා ආනුභාවසම්පන්න වෙයි. මහා ආශ්චර්යවත් වෙයි. මේ සිංහයා කුමන වර්ගයේ සිංහයෙක් දැ’යි අටුවාවේ සිංහ වර්ග හතරක් පිළිබඳව සඳහන් කරයි.
පළමු සිංහයා සීහ සීහයි. මොහුට ඇත්තේ සිංහ පෙනුමක්. අනුභව කරන්නේ තණකොළ. වර්ණය අළුපාටයි. දෙවන සිංහයා කාල සීහයි. ගවයෙකුගේ පෙනුමැති මේ සිංහයා අනුභව කරන්නේ තණ කොළ. තෙවන සිංහයා පණ්ඩු සීහයි. වර්ණය පඬුවන් පාටයි. ගසක ඉදුණු කොළයක වර්ණයට සමානයි. කහපාටට හුරුයි. අනුභව කරන්නේ මස්. සිව්වන සිංහයා කේසර සීහයි. ලාක්ෂා වර්ණයෙන් යුක්තයි. මුව, නාසිකාව මුල, මුඛය, ඇඟිලි තුඩු රක්ත වර්ණයි. මේ සිංහයාගේ ඇඟේ වර්ණය ඉතාම සුදු පැහැතියි. අනුභව කරන්නේ මස්. සියලු ප්‍රාණීන්ට අධිපති බැවින් මිගරාජ නමින් හඳුන්වයි.
කේසර සීහ තම ගුහාවෙන් නික්මෙන්නේ කාරණා හතරක් සඳහායි. පළමුවැන්න ගුහාව තුළ පවතින අඳුර නිසා ආලෝකය දැකීමට, දෙවැන්න ශරීර කෘත්‍ය පිණිස, තෙවැන්න කුසගින්නෙන් පීඩාවට පත්වූ විට ආහාර සොයා ගැනීමට, සිව්වැන්න කාම ලෝකයේ ඉපදුණු කරදරයට තමාට සහායිකාවක් සොයා ගැනීමට. මෙම කරුණු හතරෙන් සිංහයා ගොදුරු පිණිස නික්මීම පිළිබදව ‘සීහ’ සූත්‍රයෙන් මෙසේ සඳහන් වෙයි.
මෙම සිංහයා තමන්ගේ වාසභවනෙන් පිටතට පැමිණ ඇඟ මැළි කඩනවා. පිටුපස පාද දෙක එක තැන සිටින සේ පෙර පාද දෙක ඉදිරියට තබා පිට නමා ගෙල ඔසවා පිටුපස පිටුපසට ඇද නාසිකාවෙන් හඬක් පිට කර සිරුර සොලවනවා. මෙසේ ඇඟ මැළි කඩා පිට සොලවා සිරුරේ තිබෙන දූවිලි ඉවත් කරනවා. ඉන්පසු, මේ සිංහ රජු තරුණ වසු පැටවෙකු වගේ එහාට මෙහාට දුවනවා. මේ දුවන දසුන ගිනි වළල්ලක් වගෙයි. එතරම් වේගයෙන් දිව යනවා. එසේ දිව ගොස් සිව් දිශාවම බලනවා. මෙසේ බලන්නේ මහා කරුණාව නිසයි. නමුත්, මාංශ අනුභව කරන සිංහයාට අනුකම්පාවක් තිබෙනවාදැ’යි කෙනෙකුට සිතෙන්න පුළුවන්. මේ සතා මස් මාංශ අනුභව කළත් මා නිසා දහස් ගණනින් සතුන් නොමැරේවා’යි පතනවා. කුඩා සතුන්, මහලු සතුන් අනුභව නොකරන බව සඳහන් වෙනවා. මේ මඟින් සිංහයා තිරිසන් සතෙකු වුව ද දුබලයන් තලා නොපෙළන උතුම් ගුණාංග අගයන බව අපට පැහැදිලියි. මේ අභීත සිංහ රජතුමා දෙවරක් නඟන නාදය යොදුන් තුනක් දුරට නින්නාද වෙනවා. මේ බියකරු හඬින් කඳු මුදුන්වල වෙසෙන කුළු හරක්, මුවන්, ගෝනුන් ආදී සිව්පා සතුන්, දෙපා සතුන් බියෙන් කලබලයට පත්ව දහස් ගණනින් මිය යන්න පුළුවන්. මේ නිසා සිංහ රජු අනුකම්පාවෙන් සිව් දිශාවම බලන බව සඳහන් වෙනවා.
නඟන සිංහ නාදයෙන් පසු මේ අභීත සිංහ රජු දකුණට හෝ වමට උසභ මාත්‍රයක් පනිනවා. උසභ මාත්‍රයක් යනු අඩි දෙසිය අසූවක්. එතරම් වේගයෙන් ඈතට පිම්මක් පනින්න මේ සිංහයාගේ සවි ශක්තිය බොහොම බලවත්. මොහු උඩ පනිනවා නම් උසභ හතක් හෝ අටක් පනිනවා. උසභ හතක් යනු අඩි එක්දහස් නවසිය හැටක්. උසභ අටක් යනු අඩි දෙදාස් දෙසිය හතළිහක්. සමතලයක සිට කෙලින් හෝ ඉදිරියට උසභ දාසයක් හෝ විස්සක් පනිනවා. කඳු මුදුනක් මතින් හෝ පර්වතයක් මතින් උසභ හැටක් පනිනවා. දුවගෙන යද්දී මාර්ගයේ පිහිටි ගසක් හෝ පර්වතයක් හෝ මඟ හරින්නට පැත්තට උසභ මාත්‍රයක් පනිනවා. මේ සිංහයා තෙවරක් සිංහ නාද කර යොදුන් තුනක් දුරට දිවගොස් තමන්ගේ හඬ තමන් වෙත ඇසෙන තුරා මොහොතක් නතරවී බලා සිටිනවා. එසේනම්, මේ සිංහයා ශබ්දයට වඩා වේගයෙන් දුවනවා. මේ සිංහ රජු අජානීය සිංහයෙක්. ගොදුර වෙත පිවිසුණත් ගොදුරු වෙන සතා කවුරුන්දැ’යි දන්නේ නැහැ. තෙවරක් සිංහ නාද කර ගොදුර වෙතට පැමිණෙනවා. ඇතැම් වේලාවට ගොදුරු වෙන සතාට සිංහයාගේ තෙවන අභීත හඬ ඇසෙන්නේ නැහැ. ගොදුරුවන සතාගේ කනට මේ හඬ ඇසෙන්න පෙරම සිංහයා ගොදුර වෙත දුවනවා. මේ දසුන කෙසේදැ’යි සඳහන් කළොත් අකුණු හඬට අප බියයි. නමුත්, අකුණු හඬට අප බිය විය යුතු නැහැ. අකුණක හඬ ඇසුණානම් තමන් ජීවත් වීමට වාසනාව ලැබුවා. යම් කෙනෙකුට අකුණක් වැදෙනවානම් ඒ පුද්ගලයාට අකුණේ හඬ ඇසෙන්නේ නැහැ. තමන්ට සිදුවුණේ කුමක්දැ’යි සිතා ගන්නත් අපහසුයි. එසේම, මේ සිංහයාගේ තෙවන සිංහ නාදය ඇසුණොත් අද මට ජීවිත දානය ලැබුණා යැ’යි කැලයේ සිටින සතුන් සතුටට පත් වෙනවා. ගොදුරු වෙන සතාට සිංහයාගේ තෙවන හඬ ඇසෙන්නේ නැහැ. ඒ හඬට පෙර සිංහයා ගොදුර වෙත පිවිසෙන්නේ වෙඩිල්ලක් වගෙයි. මේ අභීත හඬට බොහෝ සත්ත්වයන් සංත්‍රාසයට පත්වෙනවා. සිංහයා නින්නාද නඟද්දී කවුරු මිය යනවාදැ’යි සිතන්නවත් බැහැ. දුවලා සැඟවී බේරෙන බව සතෙකුට සිහිනයක් පමණයි. මේ සතුන් බොහොම සංවේගයට පත්වී තමන් කුමන මොහොතක සිංහයාගේ ගොදුරක් වේ දැ’යි බියෙන් පසුවෙනවා. නමුත්, මේ සිංහයාට බිය නොවන ස්වල්ප දෙනෙක් සිටිනවා.
සම සීල, එනම් සිංහයාට සමාන සිංහයෙක් බිය වන්නේ නැහැ. අජානීය අශ්වයෝ, අජානීය වෘෂභයෝ බිය වන්නේ නැහැ. ලොවේ සිටින අජානීය පුරුෂයොත් බිය නැහැ. තවත් සුවිශේෂී උත්තමයෙක් මේ සිංහයාට බිය වන්නේ නැහැ. මහා බලසම්පන්න වූ මහ රහතන් වහන්සේ කිසිසේත්ම බිය වන්නේ නැහැ. උන්වහන්සේට ජාති, කුල , ගෝත්‍ර , ශක්ති වශයෙන් බියවන්නට හේතුවක් නැහැ. තණ්හාව දුරු කළ උන්වහන්සේට ජීවිත තණ්හාව නොමැති බැවින් බිය දැනෙන්නේ නැහැ. එසේනම්, ජාති, කුල, ගෝත්‍ර, ශක්ති වශයෙන් මේ සිංහයාට සමාන වූවන් සක්කාය දිට්ඨිය බලවත් බැවින් කිසිසේත්ම බිය වන්නේ නැහැ. ආත්ම විශ්වාසයෙන් තමන්ට වඩා බලවතෙක් තවත් නැති නිසා මේ අය කොහෙත්ම බිය වන්නේ නැහැ.
නමුත්, අන්‍ය සතෙකුට බිය නොවන මේ සිංහ රජු මහේ ශාක්‍යය වෙයි. කඳු මුදුනක සිට අධික වේගයෙන් උඩින් පැන යන සිංහයාගේ දසුන අහසින් ගමන් කරන්නාක් මෙන් අසිරිමත් වෙයි. මේ දසුනින් විශ්මිතවන්නන්ට සිංහයා මහා ඍද්ධිමත් සේ දැනෙයි. යොදුන් තුනක් දුරට නින්නාද වන හඬ නිසා අජානීය සිංහයා මහා ආනුභාව සම්පන්න වෙයි.
මෙසේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සහ දසක නිපාතයේ සූත්‍රවල ‘සීහ’ නම් වූ සුවිශේෂී නාමයෙන් භාග්‍යවතුන් වහන්සේ කේසර සිංහයෙකුට උපමා කර තිබෙයි.




නිකවැරටිය රත්නායකපුර 
නෙළුම්ගල පුරාණ විහාරයේ 
කෝරළයාගම සරණතිස්ස හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ‍මැදින් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මාර්තු 12 වන ඉරිදා  දින බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment