රිදීවන් දිය දහරින් ගලා යන ගංගාවක දසුන සිතට ගෙන එන මිහිර මොන තරම් සුවදායී ද? මහා වැසි ඇදහැලී වතුර ගලා සැඩ වූ කල ඒ ගං දියම මොන තරම් බියකරුද? සිත රිදවනවාද? ජීවිතයත් හරියට ගඟක් වගේ. කඳු බෑවුම් අතරින්, පෙණ පිඬු සදමින් ලතාවකට ගලන ගඟ වගේ ජීවිතයත් විටෙක ලස්සනට ගෙවෙනවා. දුකක් නෑ. සිත් රිදුමක් නෑ.
මුහුද සොයා යන ගමනේ අතරමග දී නිහඬ ව නිසලව ගැලූ ගං දිය සිර වී , පැතිරී යනවා. වන දුර්ග, ගිරි දුර්ග පසු කරනවා. විටෙක මහා ජල කඳක් සේ ගස්වැල් උදුරාගෙන කුණු කසල දරාගෙන තල්ලු වී යනවා. තවත් විටෙක ගං දිය අපිරිසුදු කරන අය ඉන්නවා. ගඟෙන් දිය බී මුහුදට ආවඩන අයත් ඉන්නවා.
මේ හැල හැප්පිලි, රිදුම්, අමාරුකම් ,අපහසුකම්, සොඳුරු තැන් ඈ අපමණ අභියෝග දරා ගඟ අවසන් අරමුණටම යනවා. මහ මුහුදට ගලනවා. ජීවිතයත් මේ වගේ. දුක් කරදර බොහොමයි. ඒත් ටික කාලයකටයි. දුක වෙනස් වෙනවා. සතුට ලැබෙනවා. ඒත් ටික කාලයකටයි. ආයෙත් දුක් උපදිනවා. කරත්ත රෝදයක් වගේ කරකැවෙනවා. නතර වෙනවා. මුලින් සිටි තැනටම එනවා. ආයෙත් වෙනස් වෙනවා. ඒ ලෝක ස්වභාවයයි. මෙලොව උපන් ඕනෑම මනුෂ්‍යයෙකුට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්නට සිදුවන ධර්මතා අටක් බුදු දහමේ ‘අටලෝ දහම’ ලෙස හඳුන්වා දෙනවා. ඒ ලාබ , අලාබ, යස, අයස, නින්දා, ප්‍රශංසා, දුක සැප යන ධර්මතාවන්ය. නිත්‍ය නොවීම, ස්ථිර නොවීම, විපරිනාම වීම ඒ ධර්මයන්ගේ ස්වභාවයයි. මංගල සූත්‍රයේදී
“ඵුට්ටස්ස ලෝක ධම්මේහි
චිත්තං යස්සන කම්පති”
චිත්තං යස්සන කම්පති”
මේ ධර්මතාවන්ගෙන් සිත කම්පා නොකර ගත යුතු බව, ශෝක රහිත විය යුතු බව උතුම් මංගල කරුණක් වන බව පැහැදිලි කරනවා. ඒ සඳහා අවබෝධය ඕනෑ. ජීවිතයේ යථාර්ථය ඉගෙන ගන්නට ඕනෑ. එවිට ඕනෑම අවස්ථාවක අසහනයට පත් නොවී, පීඩාවට , ශෝකයට, අපහසුවට පත් නොවී ජීවිතය සම සිතින් දරා ගන්නට පුළුවන්. ඒ ජීවිතය තමන්ට බරක් නෑ. අනුන්ටද බරක් නෑ. අභියෝගවලට මුහුණ දෙන්නට බැරි තැන සිත කැළඹෙනවා. කැළඹුණු සිත ජීවිතයම කළඹනවා. කළ යුතු දේ නොකළ යුතු දේ හිතා ගන්නට නොහැකියි. සමහර අය ලාභයේදී හිස උදුම්මා ගන්නවා. කලින් ඇසුරු කළ අය,දුකේදී ළඟ සිටිය අය අමතක කරනවා. කතාවෙන්, ක්‍රියාවෙන්, පහර ගසනවා. අවඥාවෙන් බලනවා. දුකට කන් දීමක් නෑ. එහෙත් අලාබයේ දී සිත නිතර කඩා වැටෙනවා. ජීවිතයේදී සමීපතමයන් හැර යන්නට පුළුවන්. ගින්නෙන්, ජලයෙන්, උන්හිටි තැන් විනාශ වෙන්නට පුළුවන්. තනතුරු වලින් පහවෙන්නට පුළුවන්. එවැනි තැනක දී සිත කඩා වැටුණොත්, ධෛර්ය ගිලිහුණොත් ජීවිතය ගොඩ ගැනීම අපහසුයි. ස්වභාවධර්මයට මුහුණ දෙන්නට ආත්ම ශක්තිය, ධෛර්ය ඇති කරගන්නට ඕනෑ එනිසයි. අපි සැලසුම් සහගත වන්නට ඕනෑ. අපට වැරදුණු තැන, හැසිරීම් රටාවේ වරද තේරුම් ගෙන නිවැරැදි වන්නට ඕනෑ. සමහර විට අලාබ සිදු වුණේ නරක ඇසුර නිසා විය හැකියි. අනවශ්‍ය වියදම් , අරපිරිමැස්ම නැතිකම නිසා විය හැකියි. ඒ වැරැදි හදා ගන්නට ඕනෑ. සමහර අයට දූ දරුවන්ගේ , සහෝදර සහෝදරියන්ගේ සැලකීමක් නෑ. මවුපියන්ගේ ඇල්ම බැල්ම නෑ. හදිසියට උදවු උපකාරයක් නෑ. මේ අයසයි. එයටද නිර්භයව මුහුණ දෙන්නට ඕනෑ. තනිවම නැඟී සිටින්නට ඕනෑ.
සැප සම්පත් ඇති තැන නෑයෝ, හිත මිතුරෝ බොහොමයි. ලෙඩට දුකට පිහිට වෙනවා. උදවුවට ඉන්නවා. මේ යසසයි. එහෙත් මේ සියලු හිතවත්කම් ධන ධාන්‍ය කීර්තිය, තිබෙන තුරු පමණයි. ජීවිතය වෙනස්වෙනවා. අද ධනයෙන් ආඪ්‍ය කෙනා හෙට දිළින්දෙක් වෙන්නට පුළුවන්. එවිට ළඟ සිටි නෑදෑයෝ හිත මිතුරෝ මඟ හරිනවා. නින්දා ගෙන දෙනවා. දෝෂාරෝපණය කරනවා. ඇතැම් විට චරිත ඝාතනය කරනවා. කටකතා පතුරුවනවා. ඒත් මේ සියල්ල ටික කාලයයි. වෙනස් වෙනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මේ ලෝකයේ නින්දා පමණක් ලබන කෙනෙක් නැති බවයි. උන්වහන්සේටත් මාගන්ධියා බැමිණිය වැනි අය නින්දා කළා. අපහාස කළා. රජවරු, මැති ඇමැතිවරු ප්‍රශංසා කළා. උන්වහන්සේ නින්දාවේදීත්, ප්‍රශංසාවේදීත් කම්පා වුණේ නෑ. වෙනස් වුණේ නෑ. සම සිතින් දරා ගත්තා. උන්වහන්සේගේ ධර්ම මාර්ගයේ ගමන් කරන අපි එය තේරුම් ගන්නට ඕනෑ.
සමාජය වංක වුණත් තමන් අවංක පුද්ගලයෙක් විය යුතුයි. නිහතමානී විය යුතුයි. තමන්ට තිබෙන ප්‍රමාණයටත් වඩා හුවා දක්වමින්, නැති තනතුරු, පදවි ගැන කියමින් කැපී පෙනෙන්නට යාම මනුෂ්‍යත්වයට සුදුසු නෑ. ලෝකය රැවටීම සුදුසු නෑ. ඒ වගේම අනුන්ගේ අඩුපාඩු සෙවීම, තමන් සර්ව සම්පූර්ණ බව හඟවන්නට යාම නිවටයින්ගේ ලක්ෂණයක්.
විටෙක අපට කිසි අඩුපාඩුවක් නෑ. සැප ලැබෙනවා. සැප විඳින්නට ඕනෑ දිනෙක එය අහිමි වන බව දැනගෙනයි. එවිට දුකේදී කම්පාවක් දැනෙන්නේ නෑ. සිදුහත් කුමාර අවධිය සැප සම්පතින් ආඪ්‍ය වූ කාලයක්. රම්‍ය, සුරම්‍ය, සුබ මාලිගයන් හි අපමණ සැප තිබුණා. එහෙත් ගිහි සැප හැර අභිනිශ්ක්‍රමණය කළ සිදුහත් කුමරු සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළා. ඒත් සැපේදීත්, දුකේදීත් එකම ලෙස මුහුණ දුන්නා. දුකට හැඬුවේ නෑ. කල්පනා ලෝකයේ ගිලුණේ නෑ. හිතට වේදනා ගත්තේ නෑ. හැම ප්‍රශ්නයකටම මුහුණ දෙන්නට ආත්ම ශක්තිය ඇතිකර ගත්තා.
දුකේදී තැවුලට පත්වීම හීනමානය ඇති කරගැනීම තමන්ටම සිදු කරගන්නා තවත් පාඩුවක්. එසේ සිත දවන පෙළන පීඩනය, අසහනය, කෙනෙක් කයින් මනසින් රෝගියෙක් කරන්නට පුළුවන්. සමාජයේ බොහෝ පිරිසක් දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැනි බෝ නොවන රෝගයන්ට ගොදුරු වී සිටින්නේ මේ ලෝක ධර්මතාවන්ට සම සිතින් මුහුණ දෙන්නට ශක්තිය නොමැති කමින් දැඩි මානසික පීඩාවට පත්වීම නිසයි.
ඒ පීඩාවම කෙනෙක් සිය දිවි හානිකර ගන්නා තැනට ගෙන එන බවද අපි දකිනවා. ඔරොත්තු දීමේ චිත්ත ශක්තිය ඇති කරගන්නා ලෙස බුදු දහම අපට උගන්වන්නේ ඒ නිසයි. ඒ සඳහා කළ යුතු වන්නේ ලෝකයේ ස්වභාවය තේරුම් ගැනීමයි. ‘ලෝකයේ ස්වභාවය විපරිනාමයයි. ඒ අනුව මාගේ සියලු ක්‍රියාකාරකම් ද වෙනස් වෙනවා. අසහනයත්, සහනයත් ලැබෙනවා. ලැබීම් වගේම නොලැබීම් තිබෙනවා. දුක සතුට ඇතිවෙනවා. නැති වෙනවා”. යනුවෙන් සිතමින් ඒ සියල්ල හමුවේ එක විදියට මුහුණ දෙන්නට ආත්ම ශක්තිය ඇති කරගන්නට ඕනෑ. පෞරුෂයෙන් යුතු වෙන්න ඕනෑ. හිතන්න පුළුවන් හිතක්, ඇති කරගන්නට ඕනෑ. ඒ තුළ ක්‍රමානුකූල පුද්ගලයෙක් ගොඩනඟා ගන්නට ඕනෑ.
කරගොඩ උයන්ගොඩ
මෛත්‍රී මූර්ති මහ නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ මැදින් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මාර්තු 12 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment