Labels

Thursday, April 13, 2017

බලවත් සිල් බලය


ජාතක කතාවන් අප ජීවිතයට කර ඇති බලපෑම අති විශාලය. අසරණ ගැමියන්ගේ පටන් මහරජු දක්වාත් නූගතාගේ පටන් උගතා දක්වාත් කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වාත් රටේ සදාචාරයේ හැම අංශයක් කෙරෙහිම ජාතක කතාවෙන් ලැබෙන පිටුවහල අසීමිතය. මුදල් රජකරන සමාජයක මනුෂ්‍යත්වය යටපත්වන අයුරු දවසින් දවස අපි අත්විඳින්නෙමු.
අපේ ළමා පරපුරට අද දක්නට ලැබෙන්නේ මනඞකල්පිත කාටූනයක් හෝ ටෙලිනාට්‍යයකි. දරුවා පමණක් නොව වැඩිහිටියන්ද බොහෝවිට මේවාට ඇබ්බැහිවී සිටිති. ජනමාධ්‍යයන්ගෙන් විකාශනය වන බොහෝ කාටුන්වල කතා වස්තූන්ගෙන් ලැබෙන්නේ මනස දූෂණය කෙරෙන විෂම අදහස්ය. ළමා මනසේ පිළිගන්නේ ඒ කාටුන් කතාවල මනඞකල්පිත වීරයන්ගේ චරිතයන්ය. දරුවන්ගේ පෞරුෂයත් නිර්මාණශීලීත්වයත් මොට කරන මෙබඳු දෙයින් අනාගතයේ බිහිවන්නේ යහපත් ගතිවලින් හීන වූ කෘතිම සමාජයක්ය. වල්මත්වූ අනාගතයක්ය.

සමාජයේ සදාචාර වර්ධනයට ජාතක කතාවෙන් වූ පිටුවහල සනාථ කරන ඉතා වටිනා ජාතක කතාවකි සීල විමංස ජාතකය. සිල්වත් බව ගුණවත් බව පිළිබඳ වටිනාකම යටපත් කරමින් වත්මන් ජනයා භෞතික සම්පත් ගොඩගසා ගන්නා යුගයක අද අපි ජීවත්වෙමු. මෙබඳු කාලයක සීලවිමංස ජාතකය මතුකර දැක්වීම වැදගත්වනු ඇත. සුසීම නම් පඬිවරයා බරණැස රජතුමාගේ පුරෝහිත බමුණාගේ පුත්‍රයාය. ඒ අපේ බෝසතාණන්ය. ඔහු තම පියාගේ ඇවෑමෙන් පියා දැරු පුරෝහිත ධූරයට පත්විය.
සුසිම තම පියාටත් වඩා හොඳින් සාර්ථකව තම පුරෝහිත ධූරයේ වැඩ කරගෙන ගියේ ය. ඔහු සිල්වත්ය. ගුණවත්ය. සැම දෙනාටම කරුණාවන්තය. නිහතමානීය. මේ ගුණයන් නිසා ඔහු රජතුමාටත් වඩා ජනතාවගේ ගෞරවාදරයට පත්වූයේ ය. ඔහුගේ දර්ශනය හැමදෙනාම පි‍්‍රය කළහ. ඔහුට සමාජයේ ප්‍රභූ නෑ හිත පිරිසක් සිටියේ ය. දරුවොද උගත් බුද්ධිමත් අය වශයෙන් රටේ ඉහළ තනතුරු දැරූහ. ඔහුට කොතරම් ජනතාව සැලකුවාදයත් ඔහු මහ මඟ ගමන් කරනවිට නිවසේ අසුන්ගෙන සිටින කෙනෙක් ඔහු දුටුව විට අසුනෙන් නැගිට ගරුකරන කෙනෙකු තරමට ජනතාවගේ ප්‍රසාදයත් ගෞරවයත් ලබා තිබුණි.


සුසීම පුරෝහිත රජුටත් රාජ්‍යයටත් නිතර උපදෙස් දෙමින් කටයුතු කළත් රටේ ජනතාවගේ හැසිරීම ගැන එතුමාගේ පැහැදීමක් නොවීය. සිල්වත්කමට ගුණවත්කමට වඩා ලෞකික ධනය, බලය, සැප සම්පත් ගැන උනන්දුවත්, කෑදරකමත් වැඩිවනු සුසීම පුරෝහිතතුමාට පෙනී ගියේ ය. ඒ ගැන ඔහුගේ කලකිරීම් විශාලය. තමා වැනි කෙනෙක් රාජ්‍යයේ උපදේශකයා බවට පත්ව සිටියදී මෙබඳු සදාචාර පිරිහීමක් නොවිය යුතු දෙයක් බව එතුමා කල්පනා කරමින් සිටියේ ය. මෙයට විසඳුමක් ලබා දීමට ඔහු ඒ සඳහා තීරණාත්මක පියවරක් ගත්තේ ය. ඒ තමා මෙතෙක් රැකගෙන සිටි ආත්ම ගෞරවය පරිත්‍යාග කොට ජනතාවගේ යහපත සඳහා ජනතාවගේ සදාචාරාත්මක දියුණුව සඳහා ගතයුතු ක්‍රියාමාර්ගයක් වශයෙනි.
සුසිම පුරෝහිත තුමා දිනක් රාජ්‍ය සේවයට රජවාසලට ගොස් නිවසට එන ගමනේ දී මාලිගාවේ රාජ්‍ය භාණ්ඩාගාරයට ගියේ ය. එහි කෞතුක භාණ්ඩ තැන්පත් කරන ශාලාවට ගිය ඔහු කිසිවකු නොසිතන දෙයක් කළේ ය. මෙහි ප්‍රධාන ආරක්ෂකයාට පෙනෙන නොපෙනෙන ආකාරයෙන් සුසීම පුරෝහිත තුමා ඉතා වටිනා පෞරාණික රන් කාසියක් සොරකම් කොට එය හිස් වැසුමේ රඳවා ගත්තේ ය. මෙය දුටු ප්‍රධාන ආරක්ෂකයාට මෙය අදහාගැනීමට නොහැකි විය. රජුටත් වඩා රටේ ජනතාව ගරුකරන ප්‍රධාන පුරෝහිත ඇමැතිතුමා මෙබඳු දෙයක් කළවග තමන් කෙසේ කීවත් පිළිනොගන්නා බව ආරක්ෂකයා දනී. ඔහු දෑස් පිසදා බැලීය. එහෙත් හොඳාකාරකවම පුරෝහිතතුමා මේ රන්කාසිය, හොරෙන් ගත් බව ආරක්ෂකයා සැකහැර දැනගත්තත් ඔහු කිසිවකුට මෙය නොකීවේ තමාට විශාල ප්‍රශ්නයකට මුහුණපාන්නට වන නිසා ය.
සූසීම පුරෝහිතතුමා යළිත් දවසක සවස්යාමයේ මාලිගාවට ගොස් එන ගමනේ දී රාජ්‍ය භාණ්ඩාගාරයට ගොඩවිය. ඔහු මෙවර කලින්ටත් වඩා පරීක්ෂාකාරීව සිටි ප්‍රධාන ආරක්ෂකවරයාට පුරෝහිතතුමාගේ තවත් හොරකමක් දක්නට ලැබුණි. ඒ රාජ පරම්පරාවෙන් ආරක්ෂාකරගෙන එන පේරැස් මුදුවකි. මිල නොකළ හැකි මේ මාහැඟි මුදුව කලින් දිනයේ වගේම සුසීම පුරෝහිතතුමා ආරක්ෂකයාට පෙනෙන නොපෙනෙන අයුරින් සොරකම් කොට තම ඉනේ ගසාගත්තේය.

තුන්වෙනි දවසේද සුසීම පුරෝහිතතුමා රාජ්‍ය භාණ්ඩාගාරයට ඇතුල්වී කෞතුකාගාරයේ දැඩි රැකවරණයේ තිබූ චූඩාමාණික්‍ය වැනි වටිනා මැණිකක් සියුම්ලෙස සොරකම් කළේ ආරක්ෂකයා තමාදෙස බලාසිටිනබව නොදන්නා ආකාරයෙනි. මැණික ගන්නවාත් සමඟ ක්ෂණික සංඥාවකින් ආරක්ෂයෝ සුසීම පුරෝහිත ඇමැති බඩුත් සමඟම අල්ලාගත් අතර රාජ්‍ය ද්‍රෝහියකු ලෙස විලංගු දමා පුරෝහිතතුමාගේ මන්දිරය කරාගෙන ගියහ. ඔහුගේ නිවසේ තිබූ රන්කාසිය, පේරැස් මුදුවත් අත්අඩංගුවට ගත් ඔවුහු සොරකම් කළ භාණ්ඩ තැලියක දමා ප්‍රදර්ශනය කරමින් රාජ ද්‍රෝහියකුට දෙන කසපහර දෙමින් නගරය මැදින් රජ මාලිගය කරාගෙනඑමින් සිටියහ. ජනයා කුතුහලයෙන් හා පිළිකුලෙන් යුතුව මඟ දෙපස රැස්වූයේ අප මෙතරම් ගරු බුහුමන් කළ පුරෝහිතතුමා ද මේ? යන කුතුහලයෙන් යුතුව ඔහු බැලීමටයි. ජනතාව ඇස් අදහා ගැනීමට නොහැකිවිය. කෙනෙක් සුසීම පුරෝහිතට නින්දා කළහ. තව කෙනෙක් කැට කැබලිතිවලින් දමා ගැසූහ. නගරය මැද නයි නටවන මිනිසෙකුගේ නයිනැටවීම නැරඹීමට රැස් කකා බලා සිටි සෙනඟ පුරෝහිතතුමා බැලීමට මඟ දෙසට දිවූහ. නයි නටවන්නාටද තම කාර්ය අමතක විය. ඒ අතර පැසෙන් එළියට ආ නයි මිනිසුන්ගේ කකුල් අතරින් ඇදී යන විට පිරිස බියෙන් තැතිගන්වන්ට විය. නයි නටවන්නාට නාගයෙක් ගිහින් අල්ලාගෙන පුරෝහිත වෙත කෑගසමින් මෙසේ බැණ වැදුණේ ය. මේ නාගයා පවා අපි හික්මවලා තිබෙන්නේ ,මූ මිනිසකුට පෑගුණොත් දෂ්ට කරන්නේ නැත. ඒත් පුරෝහිත නුඹ වගේ අශිෂ්ට කෙනෙක් නෙවෙයි. මේ නාගයා කියමින් පුරෝහිත ඉදිරියේ කෙළ ගසා ඔහුට අපහාස කළේ ය.

නින්දා වැහි වසිද්දී කස පහර කමින් සුසීම පුරෝහිත තමන් විසින් සොරාගන්නා ලද භාණ්ඩ සමඟ රජු ඉදිරියට රැගෙන එනු සිංහාසනගතව සිටි රජතුමා දුටුවේ ය. රජතුමා පුරුද්දට මෙන් අසුණින් නැගී සිටියේ පුරෝහිතතුමාට ආචාර කිරීමටය. රජතුමනි, මෙබඳු සොරෙකුට ඔබතුමා අසුනින් නැගිට ගරු කළයුතු නොවේ. අප සියලු දෙනා මොහු මෙතෙක් කලක් මුලා කළා. ඔහු රාජ්‍ය දේපල සොරකම් කළ භයානක සොරෙක්. පුරෝහිතතුමා සොරකම්කළ සොරභාණ්ඩ සමඟ රජුවෙත ඉදිරිපත් කරන ලදී.
රජතුමා සංවේගයෙන් යුතුව පුරෝහිත දෙසට හැරී පුරෝහිතතුමනි, ඔබතුමා මෙබඳු දෙයක් කරාවි කියා මට අදහන්න බැහැ. මේ අයටත් එහෙමයි. ඒත් සොරකම් කළ භාණ්ඩ තිබෙනවා. ඇසින් දුටු සාක්ෂි තිබෙනවා. මම නොකීවාට මටත් වඩා ඔබ නීති ශාස්ත්‍රය දන්නවා මෙබඳු රාජ්‍ය අපරාධයකට ලැබෙන දඬුවමත් දන්නවා. හොඳයි ඔබ මේ ගැන නිදහසට කරුණු කියන්න මම අවස්ථාවක් දෙනවා. ඇයි මෙබඳු දෙයක් ඔබ කළේ?
පුරෝහිත සුසීමයන් නොසැලෙන සිතින් කයින් යුතුව පිරිස ඉදිරියේ මෙසේ පැවසීය. රජතුමනි, මේ හොරකමට මගේ හිස ගසා දමන බව මම හොඳින් දනිමි. මම මෙබඳු දෙයක් කළේ හිතා මතාමයි. මා මේ රටේ ජනතාවගේත්, ඔබතුමාගේත් ගෞරවයට පාත්‍ර වූ කෙනෙක්. මේ සොරකම නිසා මගේ දරු පරපුරටත් ඥාතින්ටත් ඉමහත් අපහාසයක් ලැබෙන බව මම හොඳින් දන්නවා. මට අවශ්‍ය වුණේ ඔබටත් රටවැසියාටත් ධනය, බලය, නිලයට වඩා ගුණවත්බවෙ සිල්වත්බවේ වටිනාකම පෙන්වාදීමටයි. රටේ ජනතාව ක්‍රමයෙන් පිරිහෙන බව මට පෙනීගියා. මම ඔවුන්ට අවබෝධ කිරීමට අවශ්‍ය වුණේ කෙනෙකුට වටින්නේ ධනයට, බලයට, නිලයට වඩා පිරිසුදු සිල්වත් චරිතය උසස් බවයි.
මා සිතන්නේ එය ඔබටත් මේ ජනතාවටත් මනාව පැහැදිලිවෙන්න ඇති. මිනිස්සු මෙතෙක් ගරුකළේ මගේ පුරෝහිත නිලයට හෝ මගේ ධනවත්කමට හෝ මගේ පවුලේ සම්භාවනීයත්වයට නොවේ. මගේ සිල්වත්කමටයි. මගේ ගුණවත් කමටයි. මගේ යහපත් චරිතයටයි. ඒ නිසා ඒ කරුණු අවබෝධ කරවන්නට මේ හොරකම් සිදු කළේ මගේ ආත්ම ගෞරවය පරිත්‍යාග කරලයි. ඒ නිසා දැන් ඔබ සැමටම එය ප්‍රත්‍යක්ෂ වෙන්න ඇති. මම දැන් ඔබගේ දඬුවම් ලැබීමට සූදානම්.
රැස්ව සිටි ජනතාව මේ සියල්ල අසාසිටි අතර සියලුදෙනාම සංවේගයට පත් වූහ. මේ තරම් පරිත්‍යාගශීලී කෙනෙකුට මේ තරම් සිල්වත් කෙනෙකුට අපි සියලුදෙනා නින්දා කළෙමු. රජතුමනි එතුමා නිදොස්ව නිදහස් කරන්නයි කෑ ගසා ඝෝෂා කළහ.සුසීම පුරෝහිත තුමා තමන් සොරකමක් පිළිබඳ චෝදනා ලැබූ කෙනෙක් මිස ජනතාව අතර අප කීර්තිය, තීන්දුවට ලක්වූ කෙනෙක් නිසා තමන් පුරෝහිත ධූරයෙන් ඉවත්වී තවුස් පැවිද්දෙන් පැවිදිවන බව ප්‍රකාශ කළේ ය. එතුමා ලෝකයාට සිල්වත්කමේ උසස් බව ප්‍රත්‍යක්ෂකොට පෙන්වා හිමාලයට ගොස් තවුස් ජීවිතයක් ගත කළහ.

මේ අනුව සමාජයේ ඇතැම් අයට සොරකමේ දුරාචාරයෙන් වැජඹී සිටියත් ජනතාව හෘදය සෘක්ෂියට එකඟව ගරු කරන්නේ ඔවුන්ගේ සදාචාරාත්මක හැසිරීමට බව අප විසින් අවබෝධ කටයුතුය. මෙබඳු සියුම් ජාතක කතාවක් වුවද යහගුණපිරි සමාජයක් සඳහා ඉමහත් පිටුවහලක් සපයයි. ජාතක කතා පොත අප සමාජ සදාචාරය නංවාලීමට කරන ලද බලපෑම විශාලයයි කීවේ මේ නිසා ය.





අම්බලම්ගොඩ, කළුවඩුමුල්ල

ශ්‍රී විජයාරාම පුරාණ විහාරයේ
මහාචාර්ය විලේගොඩ අරියදේව හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ‍මැදින් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මාර්තු 12 වන ඉරිදා  දින බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment