සෑම පසළොස්වක පොහෝදවසක්ම බෞද්ධ ජනතාවට පින්කෙතක් බඳුය. මේ හැම දවසක්ම රජයේ නිවාඩු දිනයක් බවට පත්කර ඇත්තේ බෞද්ධ ජනතාවට පින්දහම් කර ගැනීම සඳහා ය. එය බෞද්ධ රාජ්‍යයක වගකීම විශිෂ්ට ලෙස ඉටුකිරීමකි. මේ අනුව සෑම පසළොස්වක පුන් පොහෝ දිනකම බෞද්ධ ජනතාවගේ පරමාධ්‍යාශය විය යුත්තේ ‘ශීල, සමාධි, පඤ්ඤා’ යන ත්‍රිවිධ ශික්ෂාව ප්‍රගුණ කරමින් ක්ෂාත් ක්ෂාත් කරගැනීමය.
“අක්කෝ ධේන ජිනේ කෝධං
අසාධුං සාධුනා ජිනේ
ජිනේ කදරියා දානේන
සච්චේන අලික වාදිනං”
අසාධුං සාධුනා ජිනේ
ජිනේ කදරියා දානේන
සච්චේන අලික වාදිනං”
ක්‍රෝධය කෙරෙහි මෛත්‍රිය පැතිරවීමෙන් ක්‍රෝධය පිටුදැකිය හැකිය. අසද්පුරුෂයන් සද් පුරුෂ ගුණදහම්වලින් ප්‍රතිපෝෂණය කිරීමෙන් සුමගට ගත හැකිය. පරිත්‍යාගය, දන්දීම මුලට ගෙන ලෝභය දුරු කළ හැකිය. මුසාවාදය පස්සට දමා ඇත්තට පණ දිය හැකිය. මේ සම්බුද්ධ භාෂිතය සම්බුදුපියාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කළ උන්වහන්සේගේ චර්යාපදානයෙන් ප්‍රත්‍යක්ෂ කළහ.
තමන්ගේ පුත් සිද්ධාර්ථ ආගිය අතක් නොදැන සත් වසරක් මුළුල්ලේ දඹදිව පුරා අස්සක් මුල්ලක් නෑර සෙවුම් බැලුම් කරගෙන යාමේ දී සිය පුතණුවන් දඹදිව මගධ දේශයේ පැවිදිවෙස්ගෙන වැඩවසන බව දැනගත් සුද්ධෝදන රජතුමා දහසක් පිරිවර සමග එක් අමාත්‍යවරයෙකු සිය පුතණුවන් කැටුව ඒමට මගධ රාජ්‍යයට යවනු ලැබීය. නමුත් ගියෝ මිස ආවෝ නොවූහ.
යළිත් වරක් දහසක් පිරිවර සමඟ තවත් අමාත්‍යවරයෙකු පුතණුවන් කැටුව ඒමට මගධයට යවනු ලැබූ නමුත් ඒ වාරයේ ද යවනු ලැබූ පිරිස ආපසු පැමිණියේ නැත. මේ අන්දමට වරින්වර නවදහසක් පරිවාර පිරිස සමඟ අමාත්‍යවරුන් නව දෙනෙකු යවන ලද නමුත් මේ කිසිවෙකු ආපසු පැමිණියේ නැත.
සුද්ධෝදන රජු විසින් අවසන් වරට ප්‍රධාන අමාත්‍යවරයෙකු වූ ‘කාළුදායී’ විමසනු ලැබීය. ස්වාමීනි, පැවිදිවීමට, මට අවසර ලබාදෙන්නේ නම් මේ රාජකාර්යය ඉටුකළ හැකි බව කාළුදායි අමාත්‍යවරයා සුද්ධෝදන රජතුමාට සැළ කළේ ය. රජතුමාගේ අවසරය ලැබිණ. කාළුදායි අමාත්‍යවරයා ද දහසක් පිරිවර රැගෙන බුදුරදුන් බැහැදැකීමට මගධ රාජ්‍යයට ගියහ. මෙසේ ගිය කාළුදායි ඇමැති ප්‍රමුඛ පිරිසටද සම්බුදු හිමියන් බැහැදැක සසුන් ගතවීමට සිදුවිය.
සුද්ධෝදන මහරජතුමාගේ අභිප්‍රාය සිත තුළ දරාගෙන සිටි ‘කාළුදායි හිමි’ සුදුසු අවස්ථාවක් එළඹිකල්හි කිඹුල්වත් නුවරට වැඩම කිරීමට සම්බුදුපියාණන්ට ආරාධනා කරනු ලැබීය. ආරාධනාව පිළිගත් සම්බුදුපියාණෝ විසි දහසක් වූ සංඝරත්නය සමඟරජගහනුවර වේළුවනාරාමයේ සිට කිඹුල්වත් නුවර බලා පාගමනින් වැඩම කිරීමට පිටත් වූහ. ඒ ගිය ගමනේ දී මඟ දෙපස පිණ්ඩපාතයේ යෙදෙමින් හමුවන අයට බණදහම් දේශනා කරමින් සැට යොදුනක් මඟ ගෙවා දින ගණනාවක් ගතකොට වෙසක් මස පුන් පොහෝදා කිඹුල්වත් නුවරට වැඩමකොට පුරුදු පරිදි මහා සංඝරත්නය සමඟ පිණ්ඩපාතයෙහි යෙදෙන්නට පටන්ගත්හ. මේ පුවත අසුරු සැනින් සුද්ධෝදන රජුට සැලවිය. රජු හුනස්නෙන් නැගිට අප්‍රමාදව සම්බුදුහිමිපාණන් වෙත පැමිණ, ඇයි මගෙ පුතේ අපි ශාක්‍ය වංශයේ අග්‍ර කුලයේ. අභිමානවත් පරපුර සිඟාකෑම බාල වැඩක්. අපේ පරපුරට සුදුසු නෑ. සිඟාකෑම නවත්වා රාජ මාළිගයට වඩින්න. මම දානය දෙන්නම්. රජු ඇවිටිලි කළේය.
‘මහරජ..... ඔබ මහා ශාක්‍ය කුලයේ බව සැබෑව. නමුත් මම බුද්ධ වංශයේ. බුද්ධ වංශයේ අප පිඬුසිඟායාම කළයුතුම දෙයක්. මේ අපේ උරුමය සහ ගති ලක්ෂණයයි. සම්බුදුහිමිපාණෝ සුද්ධෝදන රජතුමාට පැහැදිලි කර දුන්හ.
සම්බුදුපියාණන් වහන්සේ කිඹුල්වත් පුරට වැඩමකළ වෙසක් මස පුන්පොහෝදා කිඹුල්වත්පුරට සුද්ධෝදන රාජ පරම්පරාවට, වැසියන්ට අසිරිමත් දිනයක් වූහ. මෙදින ආගමික වශයෙන් ද ඓතිහාසික වශයෙන්ද උතුම් සංසිද්ධි ගණනාවක්ම සිදුවිය.
ඉහත සඳහන් කළ අයුරු කිඹුල්වත්පුර විසුයේ අධි වංශවත් ශාක්‍යවංශිකයෝය. ඔවුහු කිසිවෙකුට හිස නොනැමූහ. කුලාභිමානයෙන් කටයුතු කළහ. සම්බුදුපියාණන් වහන්සේ වඩින මග දෙස බලාසිටිනු මිස කිසිදු ගරු සරුවක් දැක්වූයේ නැත. පෙරමගට පැමිණ වැඳ නමස්කාර කළේ නැත. වයසින් බාලවූ අයෙකුට කුමට ගරුසරු දක්වමු දැයි උද්ධච්චයෙන් බලා සිටියහ.
සම්බුදුපියාණන්ට මොවුන්ගේ උද්ධච්ච හැසිරීම අබබෝධ විය. මොවුන්ගේ මේ අභිමානය බිඳ දැමීම සඳහා මොවුන් කිසිවෙකුට නොකළ හැකි දෙයක්, එනම් සිය සිරුරෙන් එකවර ගිනිදැල් හා දියවර පිටකෙරෙන යමක මහා ප්‍රාතිහාර්යය අහසට පැන නැගී ඉෂ්ට සිද්ධ කරනු ලැබීය.
මානයේ වෙලී සිටි කුලීන ශාක්‍ය වංශිකයෝ සම්බුදුපියාණන් අහස්තලයට වැඩමකොට දක්වන ලද යමක මහා ප්‍රාතිහාර්යය දැක මහත් විමතියට පත්ව සම්බුදුහිමිපාණන් මහා බල සම්පන්න ආශ්චර්යවත් උතුමෙකු නොවේදැයි ප්‍රත්‍යක්ෂයෙන් දැන එවක් පටන් සම්බුදුපියාණන්ට ගරු බුහුමන් දක්වන්නට වූහ. සම්බුදුපියාණන් වහන්සේ අසිරිමත් යමක මහා ප්‍රාතිහාර්ය දැක්වූහ.
මෙම අවස්ථාවෙන් පසු සුද්දෝධන රජමාලිගයේ පැවැති උත්සවයකටද සම්බුදු හිමිපාණෝ වැඩම කළහ. උත්සවයේ දානමානවලින් පසුව සිය සහෝදර නන්ද කුමරුට කතාකළ සම්බුදුපියාණන් වහන්සේ සිය පාත්‍රය නන්දකුමරු අතට දී තමා සමඟ එන ලෙස දැන්වූහ. නන්දකුමරු, සම්බුදුපියාණන් පසු පසින් යන්නට විය. ඒ අවස්ථාවේ සම්බුදුහිමියන් වැඩම කරමින් සිටි මහ මග අසලට රාහුල කුමරු සමඟ පැමිණි යසෝධරා දේවිය විසින් සිය පියාණන්ගෙන් දායාද ලබාගන්නැයි කියමින් සිය පුතු රාහුල කුමරු සම්බුදුහිමියන් වෙත යවනු ලැබීය. රාහුල පුංචි පුතා සම්බුදුහිමියන්ගේ සිවුරේ එල්ලුණේ ය. කිසිදු පැකිලීමක්, විමසීමක් නැතිව සම්බුදුහිමිපාණෝ ඉදිරියට වැඩම කළහ. රාහුල කුමරු ද සම්බුදු හිමියන් පසුපස ගමන් කළේ ය.
නන්ද කුමරු ද රාහුල කුමරු ද සම්බුදුහිමියන් පසුපස යමින් සිටියදී මේ බව දුටු නන්දකුමරුට පෙම්කළ ‘පංචකල්‍යාණිය’ මහන්තලාවේ උඩුමහලේ සිට ගියාට කමක් නෑ. ඉක්මනින් ආපසු එන්න යැයි සංඥාවක් කළාය.
නමුත් නන්ද කුමරුටවත් රාහුල කුමරුටවත් ආපසු එන්නට ලැබුණේ නැත. සම්බුදුහිමියෝ මේ දෙදෙනාටම පැවිද්ද ලබා දුන්හ. සිය පුතු නන්දකුමරුත් මුණුබුරු රාහුල කුමරුත් පැවිදිකළ බව දැනගත් අසුරු සැණින් සුද්ධෝදන රජු සම්බුදුහිමියන් බැහැදැකීමට පැමිණියේය.
දැන් මට ඔබ වහන්සේත් නෑ. රජ මාලිගයේ සිටි නන්ද පුතාත්, රාහුල මුණුබුරාත් ඔබ වහන්සේ රැගෙනවිත් පැවිදි කරලා. මවුපියන් හැටියට අප මේ දරුදුක උහුලා ගන්නේ කොහොමද? මින් පස්සේවත් මවුපියන්ගේ අනුමැතියක් නැතිව දරුවන් පැවිදි නොකළොත් මැනවි’ සුද්දෝධන රජතුමා විසින් සම්බුදුහිමිපාණන්ගෙන් ආයාචනය කරනු ලැබීය.
මේ කතාවේ යථාර්ථය වහාම අවබෝධකරගත් සම්බුදුපියාණෝ” මවුපිය අනුමැතියක් නැතිව දරුවන් පැවිදි නොකරන ලෙස විනය නීතියක් ඒ මොහොතේදීම පැනවූහ. මැදින් මස පුන් පොහෝදින කිඹුල්වතට ගමන් ඇරඹූ සම්බුද්ධ ශාසනයටත්, බෞද්ධ ජනතාවටත් මහත් පින්බර දවසක් වෙයි.
උතුර, උතුරුමැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක
අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති
ආචාර්ය
නුගේතැන්නේ පඤ්ඤානන්ද නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ මැදින් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මාර්තු 12 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment