පවෙහි විපාක දුක් සහිතයි. මෙලොව දී දුක් දෙනවා. පරලොව දීද දුක් දෙනවා. නිවන් දක්නා ජාති දක්වාම, උපනුපන් හැම භවයකම විපාක දෙනවා.
අන්සතු දේ තමන් සතු කරගන්නට උපදින්නේ ලෝභ සිතයි. අන් ජීවිත විනාශයට, චරිත ඝාතනයට , හිත් රිදවන්නට ද්වේශය මුල් වෙනවා. අනේක පව්කම් සැලසුම් කරන්නට මෝහ සිත මුල් වෙනවා. සිත,කය, වදනින් මෙසේ රැස් කරන අකුසල කර්ම භවයෙන් භවයට ගෙන යනවා. දුක් විපාක ලබනවා.
බුදුදහමට අනුව අප කරන කියන සෑම දේටම මුල් වන්නේ සිතයි. සිත අපිරිසුදු කරගෙන, නරක් කරගෙන කියන දේත්, කරන දේත්, හිතනදේත් අනුව අපිරිසුදු විපාක ලැබෙනවා. නරක විපාක ලැබෙනවා. හිත නරක් වන්නේ ලෝභයෙන් ,ද්වේශයෙන් හා මෝහයෙන්, කෙනෙක් එබඳු අකුසල සිතිවිල්ලකින් යම් දෙයක් කළොත් පව් සිදුවෙනවා. යම් වචනයක් ප්‍රකාශ කළොත් පව් සිදුවෙනවා. යම් සිතක් පහළ කර ගත්තේ නම් පව් සිදු වෙනවා.
පවෙහි විපාක දුක් සහිතයි. මෙලොව දී දුක් දෙනවා. පරලොව දීද දුක් දෙනවා. නිවන් දක්නා ජාති දක්වාම, උපනුපන් හැම භවයකම විපාක දෙනවා.
අන්සතු දේ තමන් සතු කරගන්නට උපදින්නේ ලෝභ සිතයි. අන් ජීවිත විනාශයට, චරිත ඝාතනයට , හිත් රිදවන්නට ද්වේශය මුල් වෙනවා. අනේක පව් කම් සැලසුම් කරන්නට මෝහ සිත මුල් වෙනවා. සිත,කය, වදනින් මෙසේ රැස් කරන අකුසල කර්ම භවයෙන් භවයට ගෙන යනවා. දුක් විපාක ලබනවා.
බුදුරජාණන් වහන්සේ දවස “චක්ඛුපාල” නම් තෙරුන් වහන්සේ නමක් වැඩ සිටියා. උන්වහන්සේ හරිම ධෛර්යවන්තයි. අරමුණෙහිම කැප වෙනවා. අරමුණ ජයගන්නට උන්වහන්සේ නොනිදාම බණ භාවනා කළා. නින්ද නොලැබු දෙනෙත් වෙහෙසුණා. වෙහෙසකර නෙත් ලෙඩවුණා. ප්‍රතිකාර නොලද ඇස් දෙකම අඳ වුණා.
මේ සිදුවීම කනින් කන පැතිරුණා. භික්ෂූන් වහන්සේගේද විමසුමට ලක් වුණා.
චක්ඛුපාල තෙරුන් පෙර අත් භවයක දක්ෂ වෙදැදුරෙක්. දිනක් අසරණ කාන්තාවක් වෛද්‍යතුමා හමුවට ආවා. සිත් අමනාපයක් ඇතිවුණා. වෙදැදුරුට කුරිරු සිත් ඇති වුණා, ඇයගේ දෙනෙත් අඳ වන්ට බෙහෙත් දුන්නා. ඒ කුරිරු සිතිවිලි නිසා, ද්වේශ සිතිවිලි නිසා කළ පාපයේ විපාකය භවයෙන් භවයට ගෙන ගියා. ආත්ම ගණනක් දෑස් අන්ධව ඉපදුණා. බොහෝ දුක් වින්දා. මේ අන්තිම අත් භවයේද කළ පාපයෙහි විපාක ලෙස මෙලෙස දෙනෙත් අන්ධ වු බව බුදු හිමියන් පැහැදිලි කළා.
මේ කතාව මිනිසත් ලොවට දෙන පණිවුඩය ඉතාම වැදගත්. ඒ කෙනෙක් සිතින් සිතා කරන ක්‍රියාවන්හි ඵලය අයහපත් වුණොත් නරක් වුණොත් එහි දුක් විපාක තමන්ටම අත් විඳින්නට සිදුවන බවයි. ජන වහරේදී ‘අනුන්ට කළ දේ තමන්ට පළ දේ” ‘කළ කම් පළ දෙනවා’ යන යෙදුම්හි අදහස මේ කතා පුවතින් අර්ථවත් කරනවා.
ඕනෑම කෙනෙක් තමන්ට ආදරෙයි. තමන්ට ආදරේ නම් අනුන්ටද ආදරේ විය යුතුයි. අයහපතක් නොකළ යුතුයි. පරපණ උදුරා ගත්තේ නම්, හිංසා පීඩා කළේ නම් , අනුන්ගේ දේ සොරකම් කළේ නම්, වැරැදි කාම සේවනයෙහි යෙදුණේ නම්, අයහපත් හැසිරීමෙන් වැරැදි කළේ නම් එහි විපාක නිසැකවම අප පසුපස පැමිණෙනවා. අපමණ දුක් ලැබෙනවා. හිරිහැර වේදනා ලැබෙනවා. හරියට ගොනු පසුපස ඇදී යන රිය සක වගේ. ධම්මපදයේ පළමු ගාථා රත්නයෙන් පෙන්වා දී ඇත්තේ එයයි.
‘මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චෙ පදුට්ඨෙන
භාසතිවා කරොතිවා
තතොනං දුක්ඛමන්වෙති
චක්කංව වහතො පදං”
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චෙ පදුට්ඨෙන
භාසතිවා කරොතිවා
තතොනං දුක්ඛමන්වෙති
චක්කංව වහතො පදං”
සියලු සිතිවිලිවලට සිත ප්‍රධානයි. නරක අදහසින් කළ ක්‍රියාවෙහි නරක විපාක ගොනු පස්සේ එන රිය සක මෙන් ඔහු පසු පසම එනවා.
අදින විට ‘ගැල’ ගොනුට බරක්, වෙහෙසක් ගෙන දෙනවා. දුකක් ඇති කරනවා. පව් කරන්නා පසුපස ද එසේ දුක ලුහුබඳිනවා. එවැනි සිතිවිලි දුරු කළ යුතු වන්නේ ඒ නිසයි.
අන් සිත් රිදවන පරුෂ වචන, අසැබි වදන් නින්දා අපහාස තුළින්ද පව් පිරෙනවා. සසර අපමණ දුක් පීඩා ලැබෙනවා. දොස් අසනවා. රැවටීමට හසු වෙනවා. ඒ වගේම මිහිරි වදන්, සත්‍ය වදන් සැප විපාක දෙනවා.
පෙර භවයක දී පසේ බුදුරජාණන් වහන්සේ නමකට කළ දෝෂාරෝපණයක් නිසා අප බුදුරජාණන් වහන්සේටද නින්දා අපහාස විඳින්නට සිදු වූ බව අපදාන පාලියේ පුබ්බකම්ම පිලෝතිකා පදානයේ විස්තර කෙරෙනවා.
කයින්, වචනයෙන් නොව සිතින් සිතුවද අයහපතක් නම් එහි විපාක ලැබෙන බව බුදුදහමේ විස්තර කෙරෙනවා.
ඈත අතීතයේ ධීවර ගමක පුංචි දරුවෙක් සිටියා. වැඩිහිටියන් විසින් දියෙන් ගොඩදැමූ මත්ස්‍යයන් දඟලන අයුරු දැක ඔහු සතුටු වුණා. ඒ අයහපත් සොම්නස මේ දරුවාට බොහෝ ආත්මවල රෝගාබාධයන්ට ලක්වීමට හේතුවුණා. කෙලෙස් නැති කළ නිකෙලෙස් උතුමෙකු වු ආත්මභවයේ දීත් හිසේ කැක්කුම් රෝගාබාධයන්ට මුහුණ දුන් අයුරු බණ පොතේ විස්තර කැරෙනවා. සිතින් සිතුවත් අකුසල විපාක ලැබෙන අයුරු ඉන් පැහැදිලි වෙනවා.
මේ නිසා බුදු හිමියන් අපගේ සිත සංවර කර ගත යුතු බව පිරිසුදු කරගත යුතු බව පෙන්වා දෙනවා. එහිදී සිතේ උපදින, ලෝභ, ද්වේශ, මෝහ සිතිවිලි දුරු කර ගැනීමට ප්‍රතිපත්ති මාලාවක් උගන්වා තිබෙනවා. පැවිදි උතුමන්ට නම් සීල, සමාධී, ප්‍රඥා යනුවෙන් ද ගිහි පින්වතුන්ට දාන, ශීල ,භාවනා යනුවෙන්ද හඳුන්වා දී තිබෙන්නේ ඒ ප්‍රතිපත්ති මාලාවයි. එම ප්‍රතිපදා මාර්ගයෙහි ගමන් කිරීමෙන් පාපි සිතිවිලි බැහැර වෙනවා. අලෝභ, අදෝෂ, අමෝහ යන කුසල් සිතිවිලි වැඩෙනවා. එහි කුසල් විපාක මිනිස් ලොව ඉපදෙන්නට, කායික, මානසික සැප සම්පත් විඳින්නට හේතු වෙනවා. දෙව්ලොව ඉපිද කායික මානසික සැප සම්පත් ලබාගත හැකි වෙනවා.
ඉන් නොනැවතී නැවත ඉපදීමට හේතුවන තණ්හා ඇතුළු කෙලෙස් යටපත් කිරීමේ මාර්ගය දියුණූ වෙනවා. සියලු කෙලෙසුන්ගෙන් මිදී නිවන් අවබෝධයට මඟ එළි වෙනවා.
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ
පාලි අංශයේ මහාචාර්ය
වෑගම පියරතන හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ මැදින් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මාර්තු 27 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment