මේ වන විට බෞද්ධයා තුළ භාවනාව පිළිබඳව විශේෂ උනන්දුවක් ඇතත්,තථාගත බුදුරදුන් විසින් අනාවරණය කොට දක්වා ඇති භාවනාව පිළිවෙත පිළිබඳ නිරවුල් හා පැහැදිලි අවබෝධයක් එහි යෙදී සිටින බොහෝ දෙනා තුළ දක්නට ඇති බවක් නොපෙනේ. භාරතීය ආගමික ඇතැම් සම්ප්‍රදායන් තුළ ද භාවනා නමින් හඳුන්වන ලබන චිත්ත සමාධිය සඳහා ඉවහල්වන චිත්තේකාග්‍රතා විධි ක්‍රමයන් පිළිබඳ ඉගැන්වීම් විශේෂයක් ඇති අතර භාරතීය යෝගාභ්‍යාස ශාස්ත්‍රය ඒවා අතර ප්‍රමුඛස්ථානයක් ගනී. එවැනි බොහෝ ඉගැන්වීම් භාරතීය ආගමික චින්තනයෙහි ප්‍රධානතම මූල සාධකයක් වූ ‘ආත්මවාදය’ පසුබිම් කොට සැකසී ඇති බව කිව යුතුය.
එසේම නිර්මාණවාදී, දේව සංකල්පය පදනම් කොටගත් ආත්මවාදී චින්තනය අනුව සැකසී ඇති පිළිවෙත් ක්‍රම ද බුදුදහමෙහි දැක්වෙන භාවනාමය අරමුණු හා කිසිසේත් එකඟ නොවන බව සඳහන් කළ යුතුය.
ඒ අතර බුදුදහම ඇතුළු ඇතැම් භාරතීය ආගමික සම්ප්‍රදායන් විසින් උගන්වනු ලබන චිත්ත භාවනා හා යෝග විධි ක්‍රමානුගතව සැකසී ඇති කායික හා මානසික අභ්‍යාසමය විධික්‍රමයන් ඔස්සේ කරනු ලබන පර්යේෂණයන්ට අනුගත වෙමින් කායික හා මානසික ඇතැම් රෝග නිවාරණයෙහි ලා චිකිත්සක ක්‍රම විධියක් ලෙසද “භාවනාව“ ඉදිරිපත් කරනු දක්නට ලැබෙයි.
ඒ අතර ඇතැම් අධිමානසික ක්‍රියාකාරකම් සඳහාද භාවනාව උපයෝගි කරගත හැකි අයුරු පෙන්වා දෙමින් එවැනි ක්‍රියාකාරකම් සිදුකළ හැකි පිළිවෙතක් ලෙසද භාවනා ව අගයන අයුරු ඇතැම්විට දක්නට ලැබේ.
මේ වන විට බෞද්ධ භාවනාව මේ සියල්ලේ සම්මිශ්‍රණයක් ලෙස සැකසුන මානසික අභ්‍යාසමය විධික්‍රමයක් ලෙස අගයමින් බෞද්ධ භාවනාව පිළිබඳව විවිධවූත් විචිත්‍රවූත් අර්ථ විවරණයන් කරනු දක්නට ලැබේ. එහෙත් මේ කිසිවක් තථාගත බුදුරදුන් අනුදත්, භාවනාව‘ හෝ එමගින් සාක්ෂාත් කරගත යුතු ලෙස උන්වහන්සේ අනුදත් අරමුණු සපුරා ගැනීමෙහි ලා ඉවහල්වන මාර්ගයක් හෝ නොවන බව අවධාරණය කොට දැක්විය යුතුය.
බුදුදහම ලෝකයේ අනෙකුත් දාර්ශනික හා ආගමික චින්තනයන් අතර විශේෂත්වයෙන් කැපී පෙනෙන්නේ නිර්මාණවාදය හා ආත්මවාදය ප්‍රතික්ෂේප කරමින් පටිච්චිසමුප්පාද ධර්ම න්‍යාය පදනම් කොටගත් ‘චිත්ත’ හෙවත් සිත පිළිබඳ යථාර්ථවාදී විවරණයක් ඉදිරිපත් කිරීම නිසාය. ඒ අනුව සත්වයාගේ සංසාරගත පැවැත්ම හා නැවත්ම ප්‍රධාන කොට සත්වයා හා සම්බන්ධ චිත්ත සංකල්පය මූලිකම හේතු සාධකය ලෙස දක්වා ඇත. ලෝකයේ පැවැත්ම සිත පදනම් කොටගෙන සිදුවන අතර එහි නැවැත්ම ද ඒ හා සම්බන්ධව පවතින අයුරු පෙන්වා දෙයි. ඒ අනුව එක් අවස්ථාවකදී සිත පිළිබඳව විවරණය කරන තථාගතයන් වහන්සේ
අදාන්ත වූ, සංවර නොකරන ලද සිත තරම් මහත් අනර්ථය සඳහා හේතුවන යමක් නොමැති බව පෙන්වා දුන්හ. මෙවැනි වූ ගති ස්වභාවයන්ගෙන් හෙබි සිත ඇස, කන, ආදි ඉන්ද්‍රියයන් මගින් ගන්නා ලද ෂඩ්රාම්මණයන් ඔස්සේ වික්ෂිප්ත හෙවත් කැලැඹුණු ස්වභාවයට පත්වේ. බුදුරදුන් විසින් පෙන්වා දෙන පරිදි,
“මහණෙනි, යම්සේ රැළි සහිත කැලඹුණු, මඩවලින් යුතු දියවිලක් වේ නම් එහි ඇස් ඇති පුරුෂයෙක් ඉවුරෙහි සිටියේ හැසිරෙන්නාවූද, සිටින්නා වූද සිප්පිබෙල්ලන් හා සක්බෙල්ලන් හෝ කැට කැබිලිති හා මසුන් සමූහ ආදිය නොදකියි. ඒ කවර හෙයින් ද යත්, මහණෙනි, දිය නොපහන් නිසාය. එසේම මහණෙනි, යම් භික්ෂුවක් ඒකාන්තයෙන්ම කැලඹුණූ සිතින් යුක්ත වේ නම් ඒකාන්තයෙන් ආත්මාර්ථය හෝ දැනගන්නේය. පරාර්ථය හෝ දැනගන්නේය. උභයාර්ථය හෝ දැන ගන්නේය. මනුෂ්‍ය ධර්මයන් ඉක්මවා ගිය ආර්ය භාවයට පැමිණවීමට සමත් ඥානදර්ශය විශේෂයක් සාක්ෂාත් කරන්නේය යන මේ කරුණ සිදු නොවේ. කුමක් හෙයින් ද යත් මහණෙනි , සිත කැළඹුණු ස්වභාවයෙන් යුතු හෙයිනි.
එසේම බුදුරදුන් සිතෙහි යථා ස්වභාවය මෙසේද පෙන්වා දෙති. මහණෙනි, සිත තරම් වහා පෙරළෙන සුළු අනෙක් කිසිදු එකද ධර්මයක් මම නොදනිමි. එසේම වහා පෙරළෙන සුළු සිතට උපමාවකුදු දැක්වීමට පහසු නැත. එතරම් වේගයකින් අරමුණෙන් අරමුණට වෙනස් වන හෙයිනි.
මෙවැනි ලක්ෂණයන්ගෙන් හෙබි සිත දමනය කිරීමට, රැක ගැනීමට ආරක්ෂා කර ගැනීමට සංවර කර ගැනීමට එය තුළින් මහත් අර්ථයක් සපුරා ගැනීමට මෙන්ම නිසල කර ගැනීමට අවිද්‍යාව ප්‍රහාණය කොට විද්‍යාව උපදවා ගැනීමට නිවන සාක්ෂාත් කර ගැනීමට ක්ෂණ භංගුරත්වයෙන් විමුක්තිමාර්ගානුගත එකම අරමුණු වෙත පිහිටුවීම සඳහා තථාගත බුදුරදුන් විසින් අනාවරණය කරනු ලැබූ එකම මාර්ගය නම් භාවනාවයි.
එම මාර්ගයට අවතීර්ණ වීම සඳහා කළ යුතු එකම කාර්ය ලෙස ද බුදුරදුන් දක්වා වදාළේ එම අදාත්තාදී ලක්ෂණ යන්ගෙන් හා ලහු පරිවර්තන ස්වභාව ආදියෙන් යුතු සිත මෘදු හා කර්මන්‍ය බවට පත්කර ගැනීමයි. ඒ බව තථාගත බුදුරදහු.
“මහණෙනි, යම් පරිදි යම්කිසි වෘක්ෂ ජාතියෙක් වේ නම් ඔවුනතුරෙන් කොළොම් ගස යම්සේ මෘදුතාව හා කාර්යයට සුදුසු බවින් අග්‍රයැයි කියනු ලැබේද, මහණෙනි එපරිදි යමෙක් මෙසේ වඩන ලද්දේ, බහුල වශයෙන් පුරුදු පහුණු කරන ලද්දේ මෘදු හා කර්මන්‍යතාවයෙන් යුතු තම සිත බඳු අත් එකදු ධර්මයකුදු මම නොදක්මි. මහණෙනි, සිත වඩන ලද්දේත් මොහොතකට පුරුදු පුහුණූ කරන ලද්දේත් මෘදු ද වෙයි. කර්මන්‍යද වෙයි.
එසේ් හෙයින් සිත වැඩීම පිණිසත් ඒ අනුව ප්‍රඥා ප්‍රතිලාභය සඳහාත් බුදුරදුන් අනාවරණය කරනු ලැබූ පිළිවෙත් මග නම් භාවනාවයි. භාවනා යන්නෙහි අර්ථය වැඩි දියුණු කිරීම යන්නයි. චිත්ත භාවනා හා පඤ්ඤා භාවනා වශයෙන් එය දෙයාකාරයකින් වැඩි දියුණුූ කළ යුතු අයුරු බුදුදහම පෙන්වා දෙයි. අදාන්ත ස්වභාවයට පත් සිත දාන්ත භාවයට හා මෘදුතාවට හා යථාභූතඤාණ දර්ශනය සඳහා සුදුසු කර්මන්‍ය භාවයට පත් කරලීම සඳහා උන්වහන්සේ විසින් පෙන්වා වදාළ සමථ භාවනාව, බුද්ධ කාලීන භාරතීය අසිත කාලදේව හා ආලාර කාලාම ,උද්දකාරාම වැනි තවුසන් විසින් හා බෝධිසත්වයන් වහන්සේ විසින් පවා පෙර බොහෝ ආත්ම භාවයන්හි දී ද උපදවාගෙන තිබූ අභිඥා හා සමාපත්ති ආදිය ජනිත කර ගැනීමට සමත් වේ. එහෙත් නිර්වාධිගමය සඳහා ඒකායන පිළිවෙත විදර්ශනා භාවනාව බව අප අවධාරණය කොට සැලකිය යුතුය.
තථාගත බුදුරදුන් පෙන්වා දෙනවා. මහණෙනි, සමථය වඩන ලද්දේ කිනම් අර්ථයක් සපයාද? චිත්තය වැඩීම සඳහාය. සිතවඩන ලද්දේ කවර අර්ථයක් සිදු කෙරෙයිද? යම් රාගයක් වේ නම් එය ප්‍රහීණවේ. මහණෙනි විදර්ශනාව වඩන ලද්දේ කිනම් අර්ථයක් සිදුකෙරේද? මාර්ග ප්‍රඥාව වැඩේ. ප්‍රඥාව වැඩීමෙන් කිනම් අර්ථයක් සිදු කෙරේද? යම් අවිද්‍යාවක් වේ නම් එය ප්‍රහීණ වෙයි. මහණෙනි, රාගයෙන් කිළිටි වු සිත නොමිදෙයි. අවිද්‍යාවෙන් කිලිටි වු සිත ප්‍රඥාව නො වැඩෙයි. මහණෙනි, මෙසේ වනාහි රාගයාගේ ක්ෂය විරාගයෙන් චිත්ත විමුක්තිය වේ. අවිද්‍යාවන්ගේ ක්ෂය විරාගයෙන් ප්‍රඥා විමුක්තිය වේ. මේ අනුව රාග විරාග සංඛ්‍යාත චේතො විමුක්තිය සඳහා සමථයත්,අවිද්‍යා විරාග සංඛ්‍යාත ප්‍රඥා විමුක්තිය පිණිස විදර්ශනාවත් ඉවහල් වන බව බුදුරදහු පෙන්වා දෙති. මේ අනුව රාග විරාග සංඛ්‍යාත චේතො විමුක්තිය සඳහා සමථයත්, අවිද්‍යා විරාග සංඛ්‍යාත ප්‍රඥා විමුක්තිය පිණිස විදර්ශනාවත් ඉවහල් වන බව බුදුරදහු පෙන්වා දෙති.
කුරුවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක
ශ්‍රී දළදා දෙල්ගමු රජමහා විහාරාධිපති,
ශාස්ත්‍රපති
මාහල්ලේ විපුලතිස්ස නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ මැදින් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මාර්තු 12 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment