ඇතැම් දෙමවුපියන්ට තම දරුවන් පිළිබඳ නැති ආදර කැක්කුම සමහර සීයලා ආච්චිඅම්මලා තුළින් දක්නට ලැබෙයි. සමහර අම්මලා දරුවා හැදුවා බිහිකළා යන්න ගියා. ආච්චි අම්මලා දරුවන් හදාවඩා ගනී. වර්තමාන සමාජය තුළ මෙම ගැටළුව බහුල වශයෙන් දක්නට ලැබෙයි. දරුවන් බිහිකළ අම්මාට නැති කැක්කුමක් අපට මොකටද? යනුවෙන් ආච්චි අම්මා සීයා සිතන්නේ නැහැ."
ලෝභය තරමක් සංකීර්ණ ස්වභාවයක් වෙයි. පුද්ගලයෙකුගේ මනසට අහිතකර තත්ත්වයන් ඉවත් කරමින් හිතකර ස්වභාවයන් සමීපකර ගත යුතුයි. ලෝභය පිළිබඳව යම් සිදුවීමක් පෙන්වමින්, ප්‍රශ්නයක් නැඟුව හොත් එය සිතීමකින් තොරව පිළිතුරු දිය නොහැකි වෙයි.ලෝභය තමාගේ මනසට දැනුණත් පිටතට පෙනෙන ප්‍රමාණය අඩුයි. කළමනාකරණය කරගැනීම ලෝභකම ලෙස අර්ථ දැක්විය නොහැකිය. ලෝභ සංකල්පය මානසික තත්ත්වයක් වෙයි.එය තමා දැනගෙන තමා විසින් කරනු ලබන සචේතනික කාරණාවක් වෙයි. යම්කිසි පුද්ගලයෙකු පිළිබඳව හඳුන්වාදෙමින් ඔහු මහා දානපතියෙකු බවත් ඔහු විශාල වශයෙන් දන් පිරිනමන පුද්ගලයෙකු බවත් ප්‍රකාශ කරයි.
ඇතැම් දායකයන් ස්වාමීන් වහන්සේලාට වෙහෙර විහාර තනා දෙයි.එය ඉතාම යහපත් කාර්යයක්. කාලයාගේ ඇවෑමෙන් ස්වාමීන් වහන්සේ, ස්වාමීන් වහන්සේට අවශ්‍ය ආකාරයට එම විහාරයෙහි යම් යම් කටයුතු කිරීමට උත්සාහ කරන අවස්ථාවල විහාරය තනවා දුන් දානපතියාම එයට විරුද්ධ වෙයි. අවසාන වශයෙන් ස්වාමීන් වහන්සේ සමඟ අමනාප වෙයි. පන්සලට සැළකුවා වුවත්, ස්වාමීන් වහන්සේට සැළකුවා වුවත්, ආපසු ස්වාමීන් වහන්සේගෙන් සැළකුම් බලාගෙන සළකනු ලැබුවා නම්,ඔවුන් කර තිබෙන්නේ සැළකිල්ලක් නොවෙයි. ඔවුන් එම දේවල් මනසින් ලබාදී නැති බවත්, එය මානසික වශයෙන් අත්හැර නැති බවත් හැඟෙයි.ඔවුන් කිසිවක් මනසින් අතහැර නැහැ. යමක් ලබාදෙනවා නම් , බොහෝ දේ දිය යුත්තේ මනසින් අතහැරීමෙන් පමණයි.
මානසික අතහැරීම
මනසින් අතනොහැර ලබාදුන් විට එය දකින වාරයක් පාසා මතකයට නැඟෙයි. මිනිසුන්ට උදවු උපකාර කළාට වැඩක් නැති බවට සිතෙයි.කළකිරීමක් ඇති වෙයි. මිනිසුන්ට උපකාර කළාට කිසිම වැඩක් නැති බවට ප්‍රකාශ කරයි. එම විහාරය පුජා කළාට පසු එය සිතින් අතහැරිය යුතු බවට ඔවුන්ට උපදෙස් ලබාදුන් විට ඒ සඳහා ලක්ෂ ගණනින් මුදල් වියදම් වූ බව ප්‍රකාශ කරයි.
පන්සලට දමා දුන් තිර රෙදි සඳහා ලක්ෂ ගණනින් වියදම් වීම පිළිබඳව සිත සිතා සිටී.ඔවුන් භෞතිකව ලබාදුන් දෙය සිතින් ලබාදී නැහැ. හදිස්සියේ මියැදුනා නම්, තිර රෙදිවල කාවෙක් වෙලා හෝ ඉපදීමට බැරි නැහැ. සෑම අල්වා ගැනීමක්ම ලෝභය ලෙස අර්ථ දැක්විය නොහැකි වුවත්,ලෝභය එක්තරා ආකාරයක අල්වා ගැනීමක් වෙයි. ලෝභයෙන් අල්වා ගැනීම ඉතාම බරපතල තත්ත්වයක් වගේම භයංකාර ස්වභාවයක් වෙයි. අතින් අල්වාගත් කිසියම් දෙයක් අතින් අතහැර දැමිය හැකි වුවත්, මනසින් කිසියම් දෙයක් අල්වා ගත හොත් ,අතහැර දැමුවත් එම අතහැරීම මානසික අතහැරීමක් වන්නේ නැහැ.
ලෝභකම
සුනාමියෙන් සියලු දේ විනාශ වී ගිය නිසා එය අතහැර දැමුවත් සත්‍ය වශයෙන්ම එය අතහැරීමක් නොවෙයි. මනසින් අත නොහැරීයා නම් එය දීමක් බවට පත්වන්නේ නැහැ.පන්සලට දානය පිසින අවස්ථාවක අප දුක්මහන්සියෙන් හරි හම්බ කළ දේ, දරුවන්ට,මුණුපුරන්ට කෑමට තිබෙන දෙය මහා සංඝරත්නයට පූජාකරන බවට සිතුව හොත් එය අතහැරීමක් වෙලා නැහැ. එය අතහැරීමක් නොවන නිසා එය ලෝභකම වෙයි.
අග්‍රභාගය බුදුුරජාණන් වහන්සේට පූජාකරමින් , ස්වාමීන් වහන්සේලාටත් පූජාකර අවසන්ව ඉතිරි කොටස ගෙදර පිරිස ආහාරයට ගත්තාට ගැටළුවක් නැහැ. දානය සඳහා ගන්නා ප්‍රමාණය ඒ වන විට වෙන්කර අවසන්. කිසියම් දෙයක් පිළිබඳව සිතමින් අතහැරීමක් නැතිව සිටිනවා නම්, එය ලෝභකම වෙයි. තමන් සාදන ලද දෙයක් භික්ෂුන් වහන්සේලාට පූජාකළාට පසුව හෝ වෙනත් අප සතු දෙයක් තවත් අයෙකුට පරිත්‍යාග කිරීම පිළිබඳව පරිත්‍යාග කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව සිතමින් සිටිනවා නම්,එය අකුසලයක් සම්බන්ධ ලෝභකමක් වෙයි.
තමන් දුක් මහන්සියෙන් හම්බකරමින් තමන් විසින් දානය පිළියෙළ කරමින් තමන් විසින්ම පූජාකරමින් තමන් විසින්ම ඇතැම් විට අකුසලයක් සිදුකර ගනී.අකුසල් සිදු කරගන්නවාට වඩා යමක් නොදී සිටීම ඊට වඩා හොඳයි.දන් නොදිය යුතු බව එයින් ප්‍රකාශ නොවෙයි.
පෙරේතකම
සිල් සමාදන් වන උපාසක උපාසිකාවන් සිල් අරගෙන දානය වළඳයි. දවල් දානය ලෙස ලබාගත් ආහාරය සවස් වනතෙක් කටට දැනෙනවා වගේ අවස්ථා නැතිවා නොවෙයි. එය පෙරේතකම වුවුත්, එම පෙරේතකම ඇතිවන්නේ ලෝභය නිසයි.
ලෝභය අකුසල මුූලක් වෙයි. ගසක මුලෙන් ඇදගනු ලබන්නාවූ පොහොර හේතු කොටගෙන ගස මුදුනෙහි කටු,මල්, ගෙඩි, විෂ ගෙඩි හටගනී. ශරීරයට පෝෂ්‍යදායක පලතුරු හැදෙනවා සේම ශරීරයට අහිතකර විෂ ගෙඩි වර්ගද හටගනු ලබන්නේ මුල නිසයි. ලෝභය නමැති අකුසල මූල විවිධාකාරයෙන් හැදෙයි. පෙරේතකම, කුම්මැහිකම, ලෝභය යන ආකාරයෙන් විිවිධ මල් ගෙඩි හටගනී. මෙහි විෂ ගෙඩි හෝ කටු හටගන්නවා මිස මල් හටගැනීමට නොහැකි වෙයි.
පරිත්‍යාගශීලි බව
ලෝභය නරක මුලක් නිසා නරක මුලකින් හොඳ දේ මතුවිය නොහැකියි. “ලෝභෝ අකුසල මූලං” ලෝභය නරක අකුසල මුලක් වෙයි.”අලෝභෝ කුසල මූලං” අලෝභය කුසල මුලක් නිසා ඒ තුළින් දානය,පරිත්‍යාගශීලි බව ,තමාට තිබෙන බඩගින්න අනෙකාටත් දැනෙනවා යන හැඟීම, අනෙකා පිළිබඳව සුබවාදීව සිතීම ඇතිවිය හැකියි. ලෝභ සහගත පුද්ගලයාට තමන්ට දැනෙන බඩගින්න අනෙක් පුද්ගලයෙකුට දැනෙන බව සිතෙන්නේ නැහැ.
ජූජක බමුණා තමන්ගේ බිරිඳට මෙහෙකාරකම් කිරීමට වෙස්සන්තර රජතුමාගේ දුවසහ පුතා අරගෙන ගිය පුවත පියමහ රජතුමාට ආරංචි වු විගස දරුවන් දෙදෙනා බේරාගනු ලැබුවා.
ආදර කැක්කුම
ඇතැම් දෙමවුපියන්ට තම දරුවන් පිළිබඳ නැති ආදර කැක්කුම සමහර සීයලා ආච්චිඅම්මලා තුළින් දක්නට ලැබෙයි. සමහර අම්මලා දරුවා හැදුවා බිහිකළා යන්න ගියා. ආච්චි අම්මලා දරුවන් හඳාවඩා ගනී. වර්තමාන සමාජය තුළ මෙම ගැටළුව බහුල වශයෙන් දක්නට ලැබෙයි. දරුවන් වැද අම්මාට නැති කැක්කුමක් අපට මොකටද? යනුවෙන් ආච්ච අම්මා සීයා සිතන්නේ නැහැ. නමුත් වෙස්සන්තර රජතුමා තමාගේ බුදුබව ප්‍රර්ථනා කරමින් සංසාරය පුරා තමන් සමඟ පැමිණි මෙම දරුවන් දන් දුන්නේ අනාගතයේදීත් එම දරුවන් තමන්ගේ දරුවන් ලෙස බුද්ධත්වය දක්වා යන ගමනේ එකට පැමිණෙනවා යන චින්තනය නිසයි.
සඳමහ රජතුමා ජූජක බමුණාට තුලා බරට රත්තරන් ලබාදී දරුවන් බේ්රාගනු ලැබුවත්, රජතුමාට එසේ නොකර රජතුමා වශයෙන් තමාගේ රාජ අණ, රාජ බලය පාවිච්චි කරමින් පහරක් දෙකක් එල්ල කර දරුවන් බේරාගැනීමට හැකියාව තිබුණත්, එදා සමාජය එවැනි තත්ත්වයකට පත්ව තිබුණේ නැහැ.
බලහත්කාරය
වර්තමානය තුළ බලයත් සමඟ වැඩ කටයුතු කරනු ලැබුවත්, එදා සමාජය ගුණ ධර්මත් සමඟ කටයුතු කළ බව එවැනි අවස්ථාවන්ගෙන් ප්‍රකට වෙයි.වර්තමානය තුළ බලසම්පන්න පුද්ගලයා අනෙකාගේ ගුණය නොසොයමින් අනෙකාගෙන් බලහත්කාරයෙන් උදුරාගන්න සමාජයක් බවට පරිවර්තනය වෙයි.එදා පැවතුණේ යමක් බලහත්කාරයෙන් ලබාගන්නා සමාජයක් නොවෙයි.
අවසාන වශයෙන් එම පළාතෙහි රසට කෑම පිසීමට දන්නා කෙනෙක් යොදවමින් මාළිගාව තුළ රසට කෑම පිළියෙළ කර ජුජකට විශාල ආහාර ප්‍රමාණයක් ලබාදීමට කටයුතු කළා. මට එක කටක් තිබෙන නිසා මේ ආකාරයෙන් කෑම කන්නේ. එක කටක් නැතිව මට තවත් කටක් තිබුණා නම්, මීට වඩා හොඳ බව ජූජකට සිතුණා.ලෝභකම නිසා ඇතිවන අකුසල්වල ස්වභාවය එයින් පෙන්නුම් කරනු ලබයි. බඩචාරිකම,කෑදරකම හටගනු ලබන්නේත් ලෝබය නිසයි.
බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ
මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ මැදින් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මාර්තු 20 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment