බුදුරජාණන් වහන්සේ ජේතවනා රාමයෙහි වැඩ වාසය කරන සමයෙහි ඵලයෙහි දක්ෂ වූ එක්තරා උපාසකයෙක් අරබයා මෙම ඵල ජාතකය දේශනා කරන ලදි. සැවැත් නුවර වැසි එක්තරා කෙළෙඹි පුත්‍රයෙක් බුදුරදුන් ප්‍රධාන භික්ෂූන් වහන්සේලාට ආරාධනා කොට තම උයනෙහි වැඩ සිටීමට සළස්වා කැඳ අවුළුපත් ආදිය පිළිගන්වා අනතුරුව උද්‍යාන පාලකයා අමතා භික්ෂු සංඝයා සමඟ උයනෙහි හැසිර උන්වහන්සේලාට නොයෙක් ඵලාඵලජාති පිළිගන්වන ලෙස අණකළේය. කෙළෙඹි පුත්‍රයාගේ අණ පරිදි උයන්පල්ලා උද්‍යානයේ ඇති පළතුරු ගස් වෙත ගොස් එහි මුල සිට පැසුණු හා නොපැසුණු විවිධ ඵලජාති මැනවින් තෝරාබේරාගෙන භික්ෂු සංඝයාට පිළිගැන්වීය. භික්ෂූන් වහන්සේලා ඔහුගේ දක්ෂතාව ගැන පුදුමයට පත් වූ අතර පසුව ඒ ගැන බුදුරදුන්ට ද දන්වා සිටියහ.
උයන්පල්ලාගේ දක්ෂතාව ගැන ඇසූ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතා ඵල ජාතකය දේශනා කොට වදාළහ. අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රාජ්‍ය කාලයේ බෝසතාණන් වහන්සේ සිටු කුලයක ඉපිද පන්සියයක් ගැල් ගෙන වෙළෙඳාමෙහි යෙදුණේය. වෙළෙඳාමෙහි නිරත එක් දිනක කැලෑවක් අසලට පැමිණියේ සියලු කාර්ය මණ්ඩලය කැඳවා මෙම වනාන්තරයේ විෂ ගස් පවතින බවත් ඒවායේ විෂ සහිත පත්‍ර මල් හා ඵල ඇති හෙයින් තමන් නොවිමසා කිසිවක් අනුභව නොකරන ලෙස දන්වා සිටියේය. ඔවුන් බෝසතුන්ගේ වචනය පිළිගෙන වනයට පිවිසියහ.
වනාත්තරය අභිමුවෙහි ගම්දොර කිංඵල නම් විෂ සහිත වෘක්ෂයක් තිබුණි. එම වෘක්ෂය හා එහි ඵල අඹගසක් හා එහි ඵල හා සමාන හැඩයෙන්ද සුවඳීන් ද යුක්ත විය. මෙය දුටු ඇතැමෙක් අඹයැයි සිතා අනුභව කළ අතර තවත් කෙනෙක් ගැල් සාත්තු නායකයාගෙන් විමසා අනුභව කරමු යැයි සිතා රැගෙන ගියහ. අනතුරුව බෝධිසත්ත්වයන් වෙත ගොස් එම ඵල පෙන්වා අනුභව කිරීමට සුදුසුදැයි විමසා සිටියහ. එම ඵල දුටු බෝධිසත්ත්වයන් වහන්සේ ඒ සියල්ල කිංඵල නම් විෂ සහිත ගෙඩිවර්ගයක් බවත් ඒවා අඹ නොවන බවත් දන්වා අනුභව කිරීමෙන් වැළැක් වූ අතර නොදන්වා අනුභව කළ අයට වමනය කරවා ගිතෙල් හා මී පැණි පොවා සුවපත් කළහ.
මෙම විෂ වෘක්ෂය අවට සිටි ගම්වාසීන් මෙතෙක් කලක් පුරුදුව සිටියේ එම විෂඵල අනුභව කළ මිනිසුන් මියගිය පසුව ඔවුන්ගේ දේපළ කොල්ලා කා ජීවත් වීමටය. ඒ අනුව සුපුරුදු පරිදි පසු දිනයේ එහි පැමිණි ගම් වැසියෝ විෂ ඵල අනුභව නොකොට ජීවත්ව සිටින පිරිස දැක විශ්මයට පත්ව ඒ පිළිබඳ කරුණු විමසූහ. තමන් කිසිවක් නොදන්නා බවත් ඒ පිළිබඳ සාත්තු නායකයාගෙන් විමසන ලෙසත් දැන්වූහ. අනතුරුව සාත්තුනායකයා වන බෝසතුන් වෙත ගිය ගම්වැසියෝ මේ වෘක්ෂය අඹ ගසක් නොවන බව කෙසේ දැනගත්තේදැයි විමසූහ. ගස දෙස බැලීමේදී එය මැනවින් වැඩී ඇති බවත්, ගම්දොර පිහිටි ගසෙහි හටගත් ගෙඩි මධුර රසයෙන් යුක්ත නම් එක් ගෙඩියක් හෝ එහි ඉතිරි නොවන බවත් දැක එය විෂ සහිත ගසක් යනුවෙන් නිගමනය කළ බව දන්වා සිටියේය.
යම් වෘත්තියක නිරත වන්නේ නම් එම වෘත්තිය පිළිබඳ මනා නිපුණතාවක් අවශ්‍ය බව උද්‍යාන පාලකයාගේ චරිතයෙන් නිරූපණය වේ. උද්‍යාන පාලකයෙක් ලෙස ඔහුට වෘක්ෂ ලතා පිළිබඳ මනා දැනුමක් තිබුණි. ගස මුලට ගොස් එදෙස බැලීමෙන් එහි හටගත් ඵල පැසී තිබේද නැත්ද යනුවෙන් පැවසීමේ හැකියාව ඔහු සතු විය. එම වෘත්තිය තුළ ඔහු පරිණත පුද්ගලයෙකි.
වර්තමානයේ ඇතැම් වෘත්තීන්හි නියුක්ත පුද්ගලයන්ට වෘත්තීය නිපුණතාවක් නොමැති වීමෙන් සේවා ලාභීන්ට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවේ. එසේම වෘත්තීය නිපුණතාව ඇතිවන්නේ දීර්ඝ කාලයක් අවංකව වැඩ කිරීමෙන්ය. අවංකව වැඩ නොකරන කෙනෙකුට වෘත්තීය නිපුණතාවක් ඇති නොවේ. තම වෘත්තියට අවංක වන තැනැත්තා ඒ පිළිබඳ දැනුම හා කුශලතා වර්ධනය කර ගැනීමට උත්සුක වෙයි. කවර වෘත්තියකට වුවද දැනුම අවශ්‍ය වේ. ඒ සඳහා පෙරටත් වඩා ලෝකය විවෘත වී තිබේ. එවන් පරිසරයක කවර වෘත්තියක නියැලී සිටියද ඒ පිළිබඳ නිපුණතාව අවශ්‍ය බව උද්‍යානපාලකයාගේ චරිතයෙන් පැහැදිලි වේ. නිපුණතාවන්ගෙන් පිරිපුන් වෘත්තිකයන් සමාජ සම්භාවනාවට පාත්‍රවන බව භික්ෂූන් විසින් උද්‍යාන පාලකයාගේ දක්ෂතා ඇගයීමෙන් පැහැදිලි වේ.
ජාතක කථාවේ එන බෝසත් සාත්තු නායකයා නායකත්ව ලක්ෂණ මැනවින් නිරූපණය කරන්නෙකි. තමා යටතේ සේවය කරන පිරිසේ ආරක්ෂාව තහවුරු කිරීම නායකයෙකු සතු වගකීමකි. අනතුර කල්තියා දැකීමේ නුවණ නායකයාට අවශ්‍ය වේ. බෝසත් සාත්තු නායකයාට දුරදක්නා නුවණක් තිබූ හෙයින් වනගත ප්‍රදේශයට ඇතුළත් වූ සැනින් තම සහායක පිරිස දැනුවත් කළේය. නායකයා දෙන උපදෙස් පිළිපදින අය මෙන්ම නොපිළිපදින අය ද සිටී. මෙය කවර ආයතනයක වුව දක්නට ලැබෙන සාමාන්‍ය ස්වභාවයයි. උපදෙස් නොපිළිපැද අනතුරට ලක් වූ පුද්ගලයාගේ ද ආරක්ෂාව තහවුරු කිරීම නායකයාගේ වගකීමකි. තම උපදෙස් නොසළකා විෂ ඵල අනුභව කොට අනතුරට පත් පිරිසට ද වමනය කරවා ගිතෙල් හා මී පැණි පොවා ඔවුන් සුවපත් කළේ උදාර නායකයෙකු නිසයි. අනෙක් අතට උපදෙස් නොපිළිපැද ස්වාභිමතයට අනුව කටයුතු කිරීම අනතුරට අතවැනීමක් බව මෙයින් ගම්‍ය වේ. නීතිය හෝ සම්මතයන් ඇතිකරගන්නේ පුද්ගලයාගේ හා සමාජයේ ආරක්ෂාව සඳහාය. සාත්තු නායකයා තමාගෙන් නොවිමසා කිසිවක් අනුභව නොකළ යුතුයැයි නියම කළේ තම පිරිසේ ආරක්ෂාව සඳහාය. කෙනෙකුට මෙය නිදහස අහිමිකිරීමක් ලෙස අර්ථ ගැන්විය හැකිය. එහෙත් පුද්ගල ආරක්ෂාව වෙනුවෙන් නිදහස සීමා කිරීමට සිදුවන බව මෙමගින් පැහැදිලි වේ.
ව්‍යාපාරික ලෝකය තුළ අනතුර කල් ඇතිව හඳුනා ගැනීමේ ඤාණය ව්‍යාපාරිකයා සතු විය යුතුවේ. බාහිර ස්වරූපය පමණක් සැළකිල්ලට ගෙන යමක් නිගමනය කිරීම බුද්ධිගෝචර නොවන බව සාත්තු නායකයා, ගස දෙස බලා එය අඹ නොවන බව තීරණය කිරීමෙන් පැහැදිලි වේ. මෙහිදී ඔහු සැළකිල්ලට යොමු කළේ වෙනත් කරුණු දෙකකි. ගම්දොර පිහිටි ගස අඹ ගසක් නොවන බව තීරණය කිරීමට ඔහු යොදාගත් සාධක තාර්කිකය. එකී තාර්කික ඤාණය උපයෝගීකරගනිමින් ඔහු නිවැරදි නිගමනයකට එළඹියේය. බාහිර වශයෙන් සමානවන බොහෝ දෑ තිබේ. එහෙත් ඒවායේ අභ්‍යන්තර සංයුතිය වෙනස් බව හඳුනා ගැනීමට තර්කය මෙන්ම ප්‍රඥාවද අවශ්‍ය වේ. ගැඹුරින් නොවිමසා බාහිර වශයෙන් යමක් දැක නිගමනයකට එළඹීම බෞද්ධ පිළිවෙත නොවන බව මෙම ජාතක කථාවෙන් තහවුරු වේ.
කෙනෙකු අනතුරට ලක්කොට තමාගේ පැවැත්ම තහවුරු කරගැනීමට මාන බලන අවස්ථාවාදී පුද්ගලයන් කොතෙකුත් දක්නට ලැබේ. ගම්දොර පිහිටි ගසෙහි ඵල අනුභව කොට වෙළෙඳාමෙහි නියුක්ත වූවන් මියගිය පසුව ඔවුන්ගේ වස්තුව කොල්ලකා ජීවත් වීමට පුරුදුව සිටි ගම්වාසී පිරිසක් පිළිබඳ ජාතක කථාවෙන් නිරූපණය වේ. ජාතක කථාවේ එන ගම්වාසීන් ආත්මාර්ථකාමී අවස්ථාවදී පිරිසකි.
ඔවුන් අවංක මානවවාදී පිරිසක් වූයේ නම් විෂ සහිත ගස හා එහි ඵල පිළිබඳ සමාජය දැනුවත් කිරීම සඳහා යම් උපක්‍රමයක් යොදනු ඇත. එහෙත් ඒ වෙනුවට ඔවුන් අනුගමනය කළේ මිනිසුන් අනතුරට පත්වන තෙක් බලා සිට ඔවුන් සතු දෑ කොල්ල කෑමයි. එවැනි අවස්ථාවාදීන්ගේ උපක්‍රමවලට හසු නොවී කටයුතු කිරීමේ උපාය කෞශල්‍ය ඤාණය ඇතිකරගත යුතුය යන්න ජාතක කථාවෙන් ලැබෙන පණිවිඩයයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත
උඩුහාවර ආනන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ මැදින් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මාර්තු 05 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment