Labels

Sunday, April 9, 2017

ප්‍රේත ලෝකය: කල්ප ගණන් අත්විඳීන දුකෙන් මිදෙමු

මෙම දහම් ලිපි පෙළෙන් අවබෝධ කර දෙන්නට උත්සාහ කරන්නේ ප්‍රේත ලෝකයෙහි ඉපදී කල්ප ලක්ෂ ගණන් බොහෝ දුක් ගැහැට විඳින පේ‍්‍රතයන් ගැනයි.මේ විශ්ව ධාතුවේ පේ‍්‍රත ලෝකය පිහිටා තිබෙන්නේ අප අවට පරිසරයේමයි. ධ්‍යාන ලබා සිත භාවනාවෙන් උසස් තැනකට පත් උදවිය හැර පෘථග්ජන ස්වභාවයේ සිටින අයට එවැනි සත්ත්වයන් පෙනෙන්නේ ඉතාම කලාතුරකිනි. සත්ත්ව හිංසාව, සඟ සතුදේ අයථා ලෙස විනාශ කිරීම, හිස්,පරුෂ, කේළම්, මුසා පැවසීම, කූඨ, වෙළෙඳාම ,ඊර්ෂ්‍යාව සහ වෛරය, ගබ්සා කිරීම, කාම මිථ්‍යාචාරය , සිල්වත් භික්ෂූන්ට අනාදර කිරීම ආදී අකුසල කර්ම නිසා පේ‍්‍රත ලෝකයේ උප්පත්තිය ලබයි.
නිජ්ඣාම තණ්හිකා (කර්ම තේජසින් නිතරම දැවෙන පේ‍්‍රතයන්) ඛුප්පිපාසිකා (සෙම් සොටු පමණ කුඳුවන්) ආහාරය නොලැබෙන පේ‍්‍රතයන්) පංසු පිසාචිකා (අපවිත්‍ර තැන්වල ආහාර සොයන පේ‍්‍රතයන්) පරදත්තූප ජීවින් (අනුන් දෙන පින් අනුමෝදන් විය නොහැකි පේ‍්‍රතයන් ආදි පේ‍්‍රත කොටස් දහනවයක් අයත් පේ‍්‍රත වස්තු ධර්ම ග්‍රන්ථයේ දීර්ඝ ලෙස විස්තර කරනවා. මෙම කොටස් දහනවයෙන් මදකුදු හෝ සැනසෙන්නේ පරදත්තූප ජීවි පේ‍්‍රතයන් පමණි. එයට හේතුව අනෙක් උදවිය සිදුකරන පින් අනුමෝදන් වී ජීවිතය සැපවත් කරගත හැක්කේ එවැනි සතුන්ට පමණයි. මිය ගිය ඤාතීන්ට පින් අනුමෝදන් කිරීමට සාංඟික දාන ආදි පින්කම් සිදුකර පින් අනුමෝදන් කරන විට එම උදවිය පරදත්තූප ජීවි පේ‍්‍රත සත්ත්වයන්ව ඉපදුන හොත් පමණක් පින් අනුමෝදන් කළ හැකියි.
එයට හේතුව මෙම සතුන්ට පමණයි උපතින්ම හැකියාවක් ලැබෙන්නේ අනිත් අයගේ මනස දකින්නට. එය උපතින්ම එම සතුන්ට කර්මානුකූලවම ලැබෙන දෙයකි. මිනිසුන්ට එය ලබාගත හැක්කේ භාවනා වැඩීමෙන් සිත දියුණු කරගෙනයි. අපටද අපගේ ඥාතීන් තාමත් පින් අනුමෝදන් කරනවා ඇති. නමුත් එය අනුමෝදන් වෙන්න නොහැකි වන්නේ අපගේ සිත දියුණු නැති නිසාය. නරක, තිරිසන්, පරදන්තූප ජීවින් හැර අනෙකුත් පේ‍්‍රතයන් සහ අසුරයනට පින් අනුමෝදන් වෙන්නේ ඒ නිසයි.
පේ‍්‍රත කියන වනයේ තේරුම (අස්මාලෝකා අපේතා පේතා) යන්නයි. මෙලොවින් පහව ගොස් මහත් දුක් පීඩා විඳින අමනුස්සයන් යන්න එහි තේරුමයි. ඇතැම් පින්වතුන් මෙවැනි වූ බියකරු ඝෝර සසර තේරුම් නොගන්නේ ධර්මය පිළිබද ඇති අල්ප දැනුම නිසාය. ඒකට කියන්නේ ‘අස්සදෙධා’ කියාය. එනම් අශ්‍රද්ධාව කියාය. මිථ්‍යා දෘෂ්ටිකයන් ලෙස මිය යන මෙවැනි උදවිය මරණින් මතු පේ‍්‍රත ලෝකයටත් වඩා අනන්ත දුක් විදින ඝෝර වූ නිරයට වැටී කල්ප ලක්ෂ ගණන් දුක් ගැහැට විඳිමින් සසර දික් කරගනී. එවැනි අයට බොහෝ කාලයක් බුද්ධ ශාසනයද මග හැරේ. පංචානන්තරීය හා සමානාත්ම විපාක මිථ්‍යා දෘෂ්ටික සත්ත්වයන්ටද ලැබෙන බව ධර්මයේ විස්තර කරයි.
මෙතැන් සිට පේ‍්‍රත වස්තුවේ දක්වා තිබෙන පේ‍්‍රත පිළිබඳ වූ කතා ප්‍රවෘත්ති අවබෝධ කරගෙන එයින් ජීවිතයට පණිවුඩයක් ගෙන සසර බිය තේරුම් ගැනීමට උත්සාහ කරමු. දිනක් ඉතා සිල්වත්, ගුණවත් ධ්‍යානලාභී නාරද ස්වාමීන් වහන්සේ උදෑසන රජගහනුවර පිණ්ඩපාත චාරිකාවේ යෙදුණා. උන්වහන්සේ වැඩ වාසය කළේ ගිජ්ජකූට නම් මහා පර්වතය ඇසුරු කරගෙනයි. මෙසේ පිණ්ඩපාතයේ වඩින නාරද ස්වාමීන් වහන්සේට අතර මග මාර්ගයකදී එක්තරා පේ‍්‍රතයෙක් මුණ ගැසුණා. මුළු ශරීරයම රන්වන් පාටින් බැබළෙන අතර මුඛය පිහිටා තිබුණේ ඌරකුගේ කටක් වගේ, දුගඳ හමන ඉතා අවලස්සනව මුඛය පිහිටා තිබුණත් ඔහුගේ ශරීරයේ අනෙකුත් සෑම තැනම රන්වන් පාටින් බැබළෙන නිසා නාරද ස්වාමීන් වහන්සේ එම සූකර පේ‍්‍රතයා ළඟට ගියා. ඌරකු මෙන් දුගඳ හමන මුඛයක් තිබුණ නිසා ඔහුට කියන්නේ සූකර පේ‍්‍රතයා කියලයි. තෙරුන් වහන්සේ පේ‍්‍රතයාගෙන් මෙසේ විමසන්නට යෙදුණා.

‘කයෝතෙ සබ්බසෝවණ්ණො
සබ්බා ඕභාසතෙ දිසා
මුඛන්තෙ සූකරස්සේව
කිං කම්මමකරි පුරේති’

පේ‍්‍රතය, නුඹගේ මුළු ශරීරයම ඉතා දීප්තිමත්ව රන්වන් පාටින් දිලිසුනත් ඌරෙකුගේ බඳු මුඛයක් ඇතිව මෙසේ අපමණ දුක් විඳීමට හේතු වන කාරණා කවරේද? ඊට පසුව සූකර මුඛ පේ‍්‍රතයා තමා පෙර භවයක සිදු කළ අකුසල කර්ම ගැන තෙරුන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළ සේක.

කායෙන සඤ්ඤනො ආසිං
වාචායාසිං අසඤ්ඤතො
තෙන මේ තාසිසෝ වනනෝ
යථා පස්සති නාරදාති
තං තාහං නාරද භුම
සාමං දිට්ඨමිදං තයා
මාකාසි මුඛසා පාපං
මා ඛො සුකර මුඛේ අහුති

“ස්වාමීනි, නාරදයන් වහන්ස, පෙර භවයකදී මම කායද්වාරය ඉතා සංවර කර ගත්තෙමි. නමුත් මාහට වචනය සංවර කරගැනීමට නොහැකි විය. එනම් මුසාව, කේළම්, හිස්වචනය පරුෂ වචනය , නිතරම සිදු වුණි. එසේ එවැනි ලාමක වචන කතා කළේ තණ්හාව නිසා හටගත් මානය නිසාය.’
ටික කලකින් මාගේ ශරීර කූඩුව මහපොළවට පත්වන බවත්, රැගෙන යන්නේ තමා කරගන්නා වූ පින් පව් කුසල් අකුසල් ආදිය බවත් මට අමතක විය. බාහිරට පෙනෙන්නට ශරීරය අලංකාර කරගෙන තැන්පත් ලෙස පෙනී සිටියත් මාගේ වචනය අසංවර වූ නිසා මේ විදිහට සූකර පේ‍්‍රතයෙක් විදියට කල්ප ලක්ෂ ගණන් බොහෝ දුක් ගැහැට විඳිමින් කල්ගෙවනවා.
එම නිසා පින්වත් නාරද ස්වාමීන්වහන්සේ මුලින්ම සිතේ අකුසල මූලයන් වන ලෝභ, ද්වේෂ, මෝහ මතු නොවන විදියට දාන, ශීල, භාවනා වඩමින් සිත තේරුම් ගෙන වචනය සංවර කරගන්නා ලෙස මම අවවාද කරමි” යනුවෙන් උන්වහන්සේ උපදෙස් ලබා දුන්නේය. පිණ්ඩපාතය හමාරකර උන්වහන්සේ ජේතවනාරාමයට වැඩම කර සිව්වණක් පිරිස ඉදිරියේ වැඩ සිටිය බුදුරජාණන් වහන්සේට මෙම පේ‍්‍රතයා පිළිබඳ සැලකළ සිටියහ. එවිට බුදුන්වහන්සේද මෙම පේ‍්‍රතයා මීට කලින් දැක ඇති බවත් මෙවැනි දුක්ඛිත පේ‍්‍රත ආත්මයක් ලැබීමට හේතු වුණ අකුසල කර්මයන් තමන් වහන්සේද තේරුම් ගත් බවත්, අනතුරුව තථාගතයාණන් වහන්සේ

කායේන සංවරො සාධු
සාධු වාචාය සංවරො
මනසා සංවරො සාධු
සාධු සබ්බත්ථ සංවරො

(කයින් ,වචනයෙන් මනසින් සෑම තැනකදී සංවරවීම ඉතා යහපත්ය.)

ආදි වූ ගාථාවන් ප්‍රමුඛ කරගෙන රැස්ව සිටි සිව්වණක් පිරිසට අනුමෝදනීය ධර්ම දේශනාවක් සිදුකළ අතර දේශනාව අවසානයේ සෑම දෙනාම සසර බිය අවබෝධ කරගෙන තම ජීවිත කාලය පුරාම සද්ධා, සීල, සුත, චාග , පඤ්ඤා කියන උතුම් ශේඛ බල ධර්ම වඩා මරණින් මතු සුගතිගාමී පිරිසක් බවට පත්විය. එසේනම් , පින්වතුන් සෑම දෙනාමත් මේ උතුම් මනුස්ස ජීවිතය අවබෝධ කරගෙන ගෞතම බුද්ධ ශාසනය තුළදීම උතුම් මාර්ගඵලාහි උත්තමයෙක් වෙන්න අධිෂ්ඨාන කර ගන්න.




පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන් විද්‍යායතනයේ 
විහාරාධිකාරි 
දර්ශනපති 
පුස්සැල්ලයායේ චන්දිම හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ‍මැදින් අව අටවක    පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මාර්තු 20 වන සඳුදා  දින බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment