වීර්යවන්ත වූ ඒ අර්හත් සිතක ආශ්චර්යය අපූර්වත්වය දැකිය හැකි වන්නේ ඒ අර්හත් භූමිය ස්පර්ශ කිරීමෙන්මය. සතර අපා දුකකට නොවැටී කාමාවචර ලෝකය තුළ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක සැපයෙන් ද වෙන්වී නික්ලේශි සිතක උරුමය ලබන්නට කෙතරම් සිත පුරුදු පුහුණු කළ යුතුදැයි විවේකී සිතින් මනාව සිතිය යුතුමය."
මාරයාගේ වසඟයෙන් අතමිදුනු උත්තරීතර චරිතයක් වන්නේ මහ රහත් භූමියට පත් වූ උතුමෙකුමයි. සසර ගමනට එකතු වී සිත සහ සිතිවිලිවලට වසඟව කටයුතු කරන තාක්කල් අප මාරයාගේ තෝන්ලණුවට හසුවෙමින් සිටින්නෙමු. මාරයා ඉදිරියේ අභීතව සිංහනාද කළහැක්කේ මාරයාගේ ග්‍රහණයෙන් මිදුනු ආර්ය උතුමෙකුටම පමණි. එවන් වූ ආර්යත්වයෙන් පිදුම් ලද මාරයා ඉදිරියේ නිර්භය වූ සෝමා මහරහත් තෙරණින් වහන්සේ ශ්‍රද්ධාවෙන් වන්දනා කරමු.
සංසාරයෙහි දිනක බුදුවරුන්ගේ කාලවල මහත් වූ පින්කම් කොට සිඛී බුදුරජාණන් වහන්සේ සමයෙහි මහසල් කුලයක ඉපිද අරුණවන්ත රජුගේ අගමෙහෙසිය වූවාය. දිනක් රජතුමා ඇයට සුවඳවත් උපුල්මල් සතක් දුන්නේය. ඕතොමෝ ඒවා පිළිගෙන ඒවා පැළඳීමෙන් ඇති ඵලය කුමක්දැයි සිතා බුදුරජාණන් වහන්සේට පූජාකිරීමේ අදහසින් උන්වහන්සේ එහි වඩින තුරු බලා සිටියාය. භාග්‍යවත් සිඛී බුදුරජාණන් වහන්සේ සන්සුන් ඉඳුරන් සහිතව මනාකොට වඩිනා අයුරු දැක ශ්‍රද්ධා සිත් මෝදු කොටගෙන, පෙරගමන්කොට උපුල්මලින් භාග්‍යවතුන් වහන්සේ පුදන්නට වූවාය. මෙසේ කරන ලද පිනෙන් දෙව් මිනිස් ලොව උපත ලබා සශ්‍රික වූ ජීවිත ගත කළාය.
මෙසේ දෙව් මිනිස් ලොව හැසිර අප ගෞතම බුදුපියාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි රජගහනුවර බිම්බිසාර රජතුමාගේ පුරෝහිතයාගේ දියණිය වී සෝමා නමින් උපන්නාය. බුදුපියාණන් වහන්සේ රජගහනුවරට පිවිසෙන අවස්ථාවේ දී මහත් වූ ශ්‍රද්ධාවක් හටගෙන උපාසිකාවක් බවට පත්ව පසු කලෙක වඩ වඩාත් පැහැදුණු සිත් ඇතිව භික්ෂුණින් සමීපයෙහි භික්ෂුණිත්වය ලැබුවාය. නොබෝ කලකින් විදසුන් වඩා මහරහත් තෙරණියක මේ විශ්වයට ජනිත වූවාය.
මහරහත් භූමියට පත්ව දේශනා කරන ලද්දේ නගරේ “අරුණවතියා අරුණවා නාම ඛන්තියො තස්ස රඤ්ඤො අහං චාරිකං වාරයාමහං”
“ අරුණවති නම් නගරයෙහි අරුණවන්ත නම් රජෙක් විය. මම ඔහුගේ බිරිඳ වී චාරිකාවෙහි යෙදුණෙමි.”
මහරහත් තෙරණියක ලෙස අන්ධ වනයෙහි එක්තරා ගසක් මුලකට පිවිසියාය. ඇය ඉතාමත් සුවසේ විවේකීව වාසය කරනු දැක විවේකයෙන් ඉවත් කිරීම උදෙසා අහසෙහි සිට මෙසේ ප්‍රකාශ කරන්නට විය.
“යං තං ඉසිහි පත්තබ්බං
ඨානං දුරභිසම්භවං
න තං ද්වංගුල පඤ්ඤාය
සත්තා පප්පොතුමිත්ථියා”
ඨානං දුරභිසම්භවං
න තං ද්වංගුල පඤ්ඤාය
සත්තා පප්පොතුමිත්ථියා”
“සෘෂිවරුන් විසින් පැමිණිය යුතු ලබා ගැනීමට අපහසු වූ යම් ස්ථානයක් වේද එය දෑඟුලක් පමණ නුවණැති ස්ත්‍රීන් විසින් ලබාගත නොහැකිය.”
මේ ආකාරයට මාරයා ඇයගේ ප්‍රඥාවට උසුළු විසුළු කරන ලදී. කාන්තාව පහත් කොට සැලකූහ. අඩු නුවණක් ඇති කාන්තාවන්ට කිසිදු අයුරකින් ධර්මය අවබෝධ කර ගැනීමේ සක්‍යතාවයක් නොමැති බව දක්වන්නේය. මාරයා විසින් ඇය ග්‍රහණය කරගැනීම උදෙසා මෙවැනි තැතක් දරන්නේය. නමුදු මාරයාට සෝමා මහරහත් තෙරණින් වහන්සේගේ ප්‍රඥාවට ගැරහිය නොහැකිය. මාරයා යැයි සෝමා තෙරණිය මනාව හඳුනාගන්නීය.
“සිත එකඟ වූ කල්හි, ප්‍රඥාව පවත්නා කල්හි, ධර්මය මැනවින් දැනගත් කල්හි, ස්ත්‍රීභාවය අපට කුමක් කරයි ද?
“මගේ රාගය නැසිණ. ගනඳුර පැළිණ, පාපීමාරයා එය ඒ අයුරින් දැනගනුව, ඔබ අවසානය කරා පමුණුවා ඇත.”
මේ ආකාරයට සෝමා තෙරණිය පාපී මාරයාට තර්ජනය කරන්නට විය. මෙසේ තෙරණිය විසින් තර්ජනය කරනු ලැබූ මාරයා එතනම අතුරුදහන් විය. සෝමා මහරහත් තෙරණින් වහන්සේ ඵලසමවත් සුවයෙන් අන්ධවනයෙහි දහවල් කාලය ගතකොට සවස්කාලයෙහි තමන් වහන්සේ වැඩ සිටින්නා වූ ස්ථානයට වැඩම කොට වදාළ සේක.
නිවීම නම් වූ උත්තරීතර භූමියට පත්වූවෝ සදාකාලික සුවයක් නිරතුරුවම විඳින්නෝය. උන්වහන්සේලාගේ සිත් ලෝභ, ද්වේෂ, මෝහ නම් වූ පාපී ලාමක අදහස්වලින්, අකුසල්වලින් තෙත් නොවන්නේය. කිසිදු තැනකට කිසිදු පුද්ගලයෙකුට, කිසිදු දෙයකට විශේෂයෙන් බැඳුනු සිතක් ඇතිකර නොගන්නේමය.
වීර්යවන්ත වූ ඒ අර්හත් සිතක ආශ්චර්යය අපූර්වත්වය දැකිය හැකි වන්නේ ඒ අර්හත් භූමිය ස්පර්ශ කිරීමෙන්මය. සතර අපා දුකකට නොවැටී කාමාවචර ලෝකය තුළ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක සැපයෙන් ද වෙන්වී නික්ලේශි සිතක උරුමය ලබන්නට කෙතරම් සිත පුරුදු පුහුණු කළ යුතුදැයි විවේකී සිතින් මනාව සිතිය යුතුමය.
මේ ලෝකයෙහි අනන්ත බුදුවරයන් වහන්සේලා පහළ වී පිරිනිවන් පා වදාළ සේක. එමෙන් ම පසේ බුදුවරයන් වහන්සේලා මහරහත් උත්තමයන් වහන්සේලා සෝවාන්, සකෘදාගාමී අනාගාමි ඵලයන්ට, මාර්ගයන්ට එළැඹුණාවූ ආර්ය උත්තමයෝ කෙතරම් මේ ලෝකයෙහි පහළ වන්නට ඇත් ද? මොහොතකට මෙවන් වූ අතිදීර්ඝ සංසාරය පිළිබඳව මෙනෙහි කිරීමේ දී පරිහානියට පත්වෙමින් යන මෙම සමාජ වටපිටාව තුළ අපගේ ප්‍රමාදය වන්නේ තව තවත් සංසාර ගමනකට සූදානම් වන්නේදැයි සිහිපත් වනු නොඅනුමානය.
කුඩා හෝ වස්තුවක්, පුද්ගලයෙක් අරමුණු කොටගෙන අපේ සිත තදින් උපාදාන කොට ගනිමින් සංසාර පුරුදුතාවය ඉස්මතු කරමින් එම පුරුදු මම මෙලොව වශයෙන් තවතවත් පුරුදු කරන්නේ ධර්මයෙන් ඈත්වෙමිනි, ධර්මයට නිගා කරමිනි, මිථ්‍යාදෘෂ්ටිකත්වය ඇතිකර ගනිමිනි.
මානයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන්, කුහකබවින් කපටිකමින් වෙලාගත් සිතක් කෙතරම් භයානක ද? කෙතරම් අපිරිසුදු භාවයෙන් යුක්තද? මොහොතක් භාවනා කමටහනක සිත පවත්වාගෙන කුසල් වැඩීම කෙතරම් අපහසු කාර්යයක් වී ඇත් ද?
තම පෘථග්ජන සිත සමඟ විරාගී, නික්ලේෂී අර්හත් සිතක් පිළිබඳව සසඳා බැලීමෙන් මහරහත් උතුමන්ගේ ශ්‍රේෂ්ඨභාවය ශ්‍රද්ධාවෙන් පිළිගත යුත්තේමය. මෙලෙස මාරයාගේ ග්‍රහණයෙන් මිදුණු සිතක් ඇතිකර ගැනීමට ස්ත්‍රී භාවය ද, පුරුෂු භාවය ද යන භාවය පිළිබඳ කිසිදු සාධකයක් ප්‍රකට නොවන බව සෝමා මහරහත් තෙරණින් වහන්සේගේ උත්තරීතර චරිතයෙන් ඉස්මතු වන්නේයැයි ශ්‍රද්ධාවෙන් පිළිගනිමු.
මොරගොල්ලාගම
උපසමා සිල්මාතාව
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ බක් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 අප්‍රේල් 03 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment