Labels

Sunday, April 9, 2017

හේතුවේ විනාශයෙන් ඵලය ද විනාශ වේ

" හෙතෙම සුව වේදනාවක් විඳී නම් කෙලෙසුන්ගෙන් වෙන්ව විඳිනවා. කැමැති අරමුණ හොඳයි, යහපත්ය, සුන්දරය ආදී වශයෙන් විඳිනවා. රාගය, ලෝභය, රතිය, කාමය ආදී වශයෙන් හඳුන්වන කිසිදු ක්ලේශයකින් ඇලීමක් සහිත උපාදානයකට මනස පත් කර ගන්නේ නැහැ. එලෙසම දුක් වේදනාවක් විඳිනවා නම් එයත් විඳිනවා. නමුත් පටිඝානුසයක් හෙවත් තරහව, වෛරය, අමනාපයෙන් බැහැරවයි"
තථාගත භාග්‍යවතුන් වහන්සේ සල්ල සූත්‍ර දේශනාවේ දී තවදුරටත් මෙසේ දේශනා කරන ලදී. මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා දුක් වේදනාවක් ලබන විට “න ශෝචති, න කිලමති, න පරිදේවති, න උරත්තාලිං කන්දති” ශෝක කරන්නෙ, ක්ලාන්ත වෙන්නෙ, ළයේ අත් ගසා හඬන්නේ නැහැ. “න සමෝහං ආපජ්ජති” මුළාවට පත්වන්නේ නැහැ. ඊට හේතුව කුමක් ද?

මේ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා මේ සියලු සංඛත, සංඛාර වස්තු අනිත්‍ය, දුක්ඛ, අනත්ත ත්‍රිලක්ෂණ ධර්මයට යටත් කොට දකින්නට සිත පුරුදු කොට තිබීම නිසාය.
මේ දුක්ඛ වේදනාව සකස් වුණේ ඇයි? පඨවි, ආපෝ, තේජෝ, වායෝ නම් වූ තද ගතිය වැගිරෙන බව උෂ්ණය සහ වායුව යන සතරෙන් හා රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ නම් වූ ස්කන්ධ පංචකයනුත් ඇස, කන, නාසය, දිව, ශරීරය, මන නම් වූ ආයතන හයෙන් සමන්නාගත මේ කය විසිරීම නිසා ත්‍රිලක්ෂණ ධර්මයට යටත් නිසා මේ දුක් වේදනා හට ගන්නවා. සම්මුතියේ පිහිටා පැවැත්ම පිණිස ප්‍රතිකාර කරනවා. නමුත් මෙහි සැබෑ ස්වභාවය නම් යමක් හට ගත්තා සුළු ද ඒ හැම නැසෙන සුළුයි, නම් වූ අප තථාගත භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුව මේ විඳීම හෝ දුක්ඛ වේදනාව පිළිබඳව සිහිපත් කරන්න තරම් සිත පුරුදු කොට තිබීමයි.
ඒ නිසා එම පුද්ගලයා එනම් එම ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා දුක් වේදනාවට පත් වූයේ කායිකව නීරෝගිවීම පිණිස ප්‍රතිකාර කළත් මනසින් නොගිලන්ව පවත්වා ගැනීම නිසා දුකට පත් නොකර ගැනීම නිසා ශෝක කරන්නෙ නැහැ. ක්ලාන්ත වෙන්නෙ, වැළපෙන්නෙ, ළයේ අත්ගසා ශෝක ගන්නෙ නැහැ. මුලාවට පැමිණෙන්නෙ නැහැ. මේ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා කායික වූ එක් වේදනාවක් පමණයි විඳින්නෙ. මනසේ පවතින විදර්ශනා නුවණ නිසා චෛතසික වේදනාවක් විඳින්නෙ නැහැ.
මහණෙනි, යම් සේ පුරුෂයෙක් හුලකින් ඇණුනේ වේ ද ඒ පුරුෂයා දෙවැනි හුලකින් පළමු තැනම වේදනාවක් විඳින්නෙ නැද්ද? අන්න ඒ හා සමානය. මහණෙනි, ඒ පුරුෂ තෙම, එක් හුලකින් වූ වේදනාව විඳිනවා. දෙවැනි හුලකින් ලබන වේදනාවක් විඳින්නෙ නැහැ. මහණෙනි, අන්න ඒ ලෙස ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා දුක් වේදනාවකින් ස්පර්ශ වුණේ, එනම් දුක් වේදනාවක් ලබන විට ශෝක කරන්නෙ නැහැ. ක්ලාන්ත වෙන්නෙ නැහැ. වැළපෙන්නෙ නැහැ. මුලාවට පත්වෙන්නෙ නැහැ. හෙතෙම කායිකව එක් වේදනාවක් විඳිමුත් සිතින් නම් වේදනාවක් විඳින්නෙ නැහැ. එම නිසා මේ දුක් වේදනාව නිසා ක්‍රෝධයක් සිතේ හටගන්නෙ නැහැ. දුක් වේදනාවෙන් ක්‍රෝධ නැතිව සිටින්න ඔහුට දුක් වේදනාවෙන් යම් පටිඝයක් වේ නම් එය උපදින්නට හේතුවකුත් නැහැ. හෙතෙම දුක් වේදනාවෙන් යුතු වුණේ කම්සුව පිළිගන්නෙත් නැහැ. හේතුව කුමන අරමුණක් නමුත් හටගත්තා සේ නැතිව යනවා. එය සංඛත සංස්කාර හැටියට විදර්ශනාවට යොමු කොට බැලූ විට නො ඇලෙන්න, නොගැටෙන්න එහි යමක් නැති බව එහි පවතින්නේ හේතු ප්‍රත්‍යයන්ගේ ක්‍රියාවලියක් පමණක් බවත් ඔහු තේරුම් ගන්නවා.
මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා කම් සුවයෙන් වෙන්ව දුක් වේදනාවේ නිස්සරණය දකී. එනම් කාම සුඛයකට නැවත හසුවන්නේ නැතිව දුක්ඛ වේදනාවේ නිස්සරණය එනම් ආශ්‍රය නොකට හැරීම දුක් වේදනාව සිතින් අත්හැරීම මැනවින් දන්නවා. එනම් හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගත්ත මේ ශරීරයේ දිරාගෙන යෑම, විසිරීම තමයි මේ දුක් වේදනාවක් ලෙස ඇති වුණේ. මේ ශරීරය මගේ නොවේ නම් එනම් මම නොවෙමි නම් මගේ වසඟයේ පවතින්නේ නැති නම් මට අයත් නැතැයි මම සිතිය යුතු බවට සිත පුරුදු කොට ඇති නිසාය.
කම්සුව නොපිළිගන්නා ඔහුට සුව වේදනාවෙන් වූ යම් රාග අනුසයක් වේ නම් එය නූපදී කම්සුව නොපිළිගන්නා නිසා සුව වේදනාවෙන් හටගන්නට අවස්ථාව තිබෙන රාගය නම් වූ කෙලෙස්වලට නැගී සිටින්නට අවස්ථාවක් ඇතිවෙන්නේ නැහැ. එම වේදනාවේ සමුදය එනම් හට ගැනීමත් නැතිව යාමත් සම්මුතියේ දකින සොම්නසත්, එලෙසම අනිත්‍යතා ලක්ෂණවලට ලක්වෙන ආදීනවයත්, ඒ නිසා ම එය ඇසුරු නොකළයුතු බවටත්, එනම් මමය. මාගේය යනුවෙන් නොසිතිය යුතු බවටත් ඔහු මනාකොට සිත පුරුදු කර තිබෙන නිසායි. එම වේදනාවන්ගේ සමුදයත්, අත්තංගමයත්, ආස්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් මනාසේ දන්නා ඔහුට මධ්‍යස්ථ සුව වූ වේදනාව වූ යම් අවිජ්ජානුසයක් වේ නම් එය උපදින්නෙත් නැහැ. හෙතෙම සුව වේදනාවක් විඳී නම් කෙලෙසුන්ගෙන් වෙන්ව විඳිනවා. කැමැති අරමුණ හොඳයි, යහපත්ය, සුන්දරය ආදී වශයෙන් විඳිනවා. රාගය, ලෝභය, රතිය, කාමය ආදී වශයෙන් හඳුන්වන කිසදු ක්ලේශයකින් ඇලීමක් සහිත උපාදානයකට මනස පත් කර ගන්නේ නැහැ. එලෙසම දුක් වේදනාවක් විඳිනවා නම් එයත් විඳිනවා. නමුත් පටිඝානුසයක් හෙවත් තරහව, වෛරය, අමනාපයෙන් බැහැරවයි. ඒ වගේ ම මධ්‍යස්ථ වේදනාවක් විඳිනවා ද එයත් විඳිනවා. එහි අවිජ්ජානුසයකට අවස්ථාවක් හදාගන්නේ ද නැහැ.
මහණෙනි මේ උගත් ආර්ය ශ්‍රාවකයා ජාතියෙන්, ජරා මරණයෙන්, ශෝකයෙන්, පරිදේවයෙන්, දුකෙන්, දෝමනස්සයෙන්, උපායාසයෙන් වෙන් වුණේ යැයි කියනවා. සියලුම දුකෙන් නිදහස් වුණේ යැයි කියනවා.
මහණෙනි, ඇසූ පිරූ තැන් නැති පෘථග්ජන පුද්ගලයාගේ සහ ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාගේ විශේෂය මෙයයි. වෙනස මෙයයි.






බත්තරමුල්ල සිරි සුදස්සනාරාම 
සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක 
ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ‍මැදින් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මාර්තු 27 වන සඳුදා  දින බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment