Labels

Sunday, April 9, 2017

සිත ගැන සිතන්න

මේ ගාථා රත්නය අප හැමදෙනාම දන්නා නිතර භාවිත කරන බොහොම සුලභ ගාථාවකි. එය බුදුවරයෙකුගේම බුද්ධ භාෂිතයකි. එසේම බුදුරදුන් දේශනා කළ සුවාසු දහසක් ධර්මස්කන්ධයම හකුළා ඉතා සංක්ෂිප්තව ඉදිරිපත් කළ ගාථාවකි. බෞද්ධ ඔබගේ ප්‍රධාන අරමුණ වන සසර දුක නිවන, විමුක්තිය සලසා දෙන, නිවන් මඟ හෙළි කරවන ඉතා වටිනා ධම්මපද ගාථාරත්නයකි. ඔබගේ මුවගෙහි නිතර රැව්පිළිරැව් දෙන මේ උතුම් ගාථාවෙහි මෙතරම් වටිනාකමක් ඇති බව ඔබ සිතනවාද?
'සබ්බ පාපස්ස අකරණං' සියලු පාප කර්මවලින් වැළකීම පළමු වැන්නයි. පාපය යනු සිත කෙලෙසන සිතිවිලි, වචන හා ක්‍රියායි. යම් ක්‍රියාවකින් යම් වචනයකින් සිත කෙලෙසනවාද? ඒ සියල්ල පාප ක්‍රියා වෙයි. පාපක්‍රියා කොටස් තුනකි. කයින්, වචනයෙන් හා සිතින් වන පාපය. කය මුල්වීමෙන් ප්‍රාණඝාතය, අදන්තාදාන, කාමමිථ්‍යාචාරය සිදුවේ.
වචනවලින් පාපකර්ම හතරක් ක්‍රියාත්මක වෙයි. මුසාවාද, පිසුනාවාච, ඵරුසාවාච හා සම්ප්‍රප්ඵලාපය ය. එසේම මනස මුල් වී ප්‍රබල පාපකර්ම තුනක් සිදුවනබව. 'මනසා තිවිධං චේති' යන නිර්වචනයෙන් පැහැදිලි කරයි. ඒවා නම් ‘අභිධ්‍යා' දැඩි ලෝභය, 'ව්‍යාපාද' දැඩි තරහා,
‘මිත්‍යාදෘෂ්ටි’ වැරැදි විශ්වාස ලෙස කෙලෙස් ධර්ම තුන මනස මුල් වී ක්‍රියාත්මක වෙයි. මෙම දහය කර්මය ලෙස නම් කළාට ඒවා කර්මපථ ලෙස නම් කිරිම, අර්ථවත් වෙයි. අප මේ කරන කර්ම පථවලින් ප්‍රතිසන්ධි විපාක හෙවත් සෘජුවම ඊළඟ භවයෙහි උපතක් සඳහා මුල් වෙයි.
කර්මවලින් සිදුවන්නේ එම ප්‍රතිසන්ධිය ලැබුවාට පසු එය පවත්වාගෙන යෑම සඳහා ඉවහල්වන ක්‍රියා දාමයයි. මෙහිදී කාය වාග් කර්මපථ සිදුකරනුයේ චේතනාව මුල්වීමෙනි. එබැවින් මේ කර්මපථ හතෙහි කර්ම වන්නේ චේතනාවයි. මානසික අභිධ්‍යා කර්ම පථයෙහි කර්මය වන්නේ ලෝභ චෛතසිකයයි. ව්‍යාපාද කම්මපථයෙහි කර්මය වන්නේ ද්වේෂ චෛතසිකයයි. මිථ්‍යා දෘෂ්ටි කර්ම පථයෙහි කර්මය වන්නේ චේතනා සම්ප්‍රයුක්ත දෘෂ්ටි චෛතසිකයයි.
පංචශීලය ඉතා සරල එසේම ඔබේ දිවිමග සාර්ථක කරවන බෞද්ධ ප්‍රතිපත්තියයි. පංචවිධ පාපකර්මවල යෙදීම දසවිධ පාප කර්මවල යෙදීම නිසා ආවරණය කරයි. මෙවන් පාපයන්හි යෙදෙන අයගේ සියුම් ස්වරූප කීපයක් ද නිතර මතු වෙයි. ඒවා ඔබ නොදැනුවත්ව සිදුවන හෙයින් එම අවස්ථා දැන හැඳින ගෙන ඉන් වැළකීම ද ‘සබ්බ පාපස්ස අකරණං’ යන්නට ඇතුළත් වෙයි. එම සියුම් ස්වරූප කීපයක් මෙසේ ය. ඔහු තුළ ආත්මාර්ථකාමී සිතිවිලි බහුලය. සියුම් ඊර්ෂ්‍යාවෙන් යුක්තය. අමනාපය, කළකිරීම, ශෝක ආදී අසහනකාරී සිතිවිලි නිතර හටගන්නේ ය. කෝපය , කේන්ති ගති වැඩිය. භය තැති ගැනීම් බහුලය.
මෙකී ලක්ෂණ පාපියා කෙරෙහි නිතර දැක ගත හැක. ඉන් මිදීම සියලු පාපයන්ගෙන් මිදීමයි. එය චාරිත්‍ර ශීලයයි. එසේම ධම්මික සූත්‍රයට අනුව තමන් පාපයෙන් වැළකීම, අන් අය ඉන් වළක්වා ගැනීම, අන් අයට පාපයන් කිරීමට අනුබල නොදීම ත්‍රිකෝටික පාරිශුද්ධ ශීලයයි. එයින්ද ඔබ සන්නද්ධ විය යුතු යි. එයින් ඔබ ශීලවන්ත වීම නිසා නිවන් මඟට පිළිපන් කෙනෙක් වෙයි. මේ සපුරන ශීලය තුළින් නිවනට මෙහා විවිධ කාම ලෝකවලදී සැප විපාක ද ගෙන දෙයි. බුද්ධ කාලයට පෙරද ශීලය පැවතුන බව මහාමායා දේවිය ද උපෝසථ ශීලයක් සමාදන්ව සිටි බව සඳහන් වීමෙන් මනාව පැහැදිලි වෙයි. ඒ ශීලය ආර්ය ශීලයක් බවට පත් කළේ බුදුරජාණන් වහන්සේයි. ආර්ය නම් වූ රහතන්වහන්සේ බිහි කිරීමට උපයෝගී වන නිසා මෙය ආර්යශීල නම්විය. එය සිදු වන්නේ කෙසේද? ශීලයකින් ලැබෙන ප්‍රතිඵලයක් ලෙස ඉහත සඳහන් කළ කාම සම්පත් භෞතික වස්තු සියල්ල විදර්ශනා නුවණින් දැකීමෙන් මෙය ආර්ය ශීලයක් බවට පත්වෙයි. ශීලයෙන් ලැබෙන සියල්ල අනිත්‍ය, අසාර, දුක ගෙන දෙන දේ ලෙස දැකීම ආර්ය ශීල ලෙස වැඩි දුරටත් පැහැදිලි කළ හැක. මෙය නිවනට ඒකායන මාර්ගයකි.

එසේනම් ශීලය නිවනට පදනම බව අමුතුවෙන් කිව යුතු නැත. ඊළඟ කාරණය 'කුසලස්ස උපසම්පදා' යන්නයි. ඉන් කියැවෙන්නේ පවෙන් වැළැකී පිනෙහි යෙදීම කුසලය බවයි. එසේම නිවන් දැකීම සඳහා කුසලතා මතු කර ගැනීම කුසලයයි. ප්‍රාණඝාතයෙන් වැළකීම පිනක්. එම සතුන්ට කරුණාව මෛත්‍රිය අනුකම්පාව දැක්වීම කුසලයක්. මෙයම චාරිත්‍ර ගණයට අයත් ශීලයෙන් මතුවන කුසලයයි. සිතෙහි ලෝභාදී ක්ලේශ ධර්ම නිසා සිත වික්ශිප්ත වෙයි. නිවනට විමුක්ති මාර්ගයට එය බාධාවකි. මේ කුසල කර්ම නිසා සිතේ පවතින නිවන්මග ආවරණය කරවන කෙලෙස් මර්දනය කර ගැනීමට හැකියාව ලැබෙයි.
මෛත්‍රී කුසලය මතු කර ගත් විට කෝපය තරහා යන අකුසලය යටපත් වෙයි. අන් අයට කරුණාව දැක් වූ විට සිතේ පවතින ඊර්ෂ්‍යාදී අකුසල යටපත් වෙයි. දානාදී පුණ්‍යක්‍රියා කරන විට ලෝභාදී අකුසල මර්දනය වී අලෝභාදී කුසල ධර්ම මතු වෙයි. මෙහිදී සිත ද සන්සුන් වෙයි. එය චිත්ත සමාධිය ලෙස නම් කළ හැක. එය නිවන් මඟ හෙළි කරවන මාවතකි. එසේම සමාධිය වැඩීම නිසා

 සිත ධ්‍යානගත වෙයි. එහි ප්‍රතිඵල ලෙස නිවන නොලැබෙන අතර රූප අරූප බඹතලවල උපත ගෙන දෙයි.
බඹලොව ඉපදීම නිවන නොවෙයි. එය තාවකාලික සැප සම්පත් ගෙන දෙන අස්ථිර දේ ලෙස විදසුන් නුවනින් දැකිය යුතු යි. එලෙස දැකීම ආර්ය සමාධිය වෙයි.
මෙම ගාථාරත්නයේ විමුක්තියට මඟ හෙළි කරවන අවසාන කාරණය වන්නේ 'සචිත්ත පරියෝදපනං' යන්නයි. ඉන් කියවෙන්නේ සිත පිරිසුදු කරගත යුතු බවයි.

මිනිසා මෙහෙයවනු ලබන්නේ සිතයි. මෙය විඤ්ඤාණය නමින්ද හඳුන්වා දිය හැක. උපතින් මේ විඤ්ඤාණය සිත ඉතා නිර්මලයි. අහස්සරමිද භික්ඛවේ චිත්තං, යන්නේ ඒ බව කියවෙයි. මේ උපතින් ගෙන ආ නිර්මල සිත, බාහිරින් එකතු වෙන ගොඩනැගෙන මනෝභාවයන් ආකල්ප නිසා නිවන් මඟ ආවරණය වෙයි.
මිනිසා සිත තේරුම් ගැනීමට ක්‍රියා කරන්නේ නැහැ. එසේ ක්‍රියා කරන අය අතළොස්සකි. සිතේ ඇතිවන චේතනා ඔස්සේ අන්ධ වී ඇති හෙයින් එය තේරුම්ගත නොහැකියි. කිසිවෙක් සම්මා සතියෙන් යුතුව සිත දෙස බැලුවොත් සිතේ පවතින මුලා ගතිය පහව යයි. සිත මාර බැම්මෙන් බැඳී ඇති හෙයින් සසර ගමන දිගු කර ගනියි. එම නිසා සිහිය මීට පෙර සඳහන් කළ පරිදි සමාධිය තුළින් ගොඩනගා ගත්විට මාර බන්ධනයෙන් මුදවාගත හැක. ඒ සඳහා අවශ්‍ය වන්නේ සිත පවිත්‍ර කරවන එකම ක්‍රියාවලිය වන භාවනාවයි.

මානසික අවුල් තැවුල් භාවනාවෙන් යටපත්කර ගත හැක. එසේම නිර්මල විඤ්ඤාණය වඩ වඩා මතු වන්නට පටන් ගනියි. ඒ පිරිසුදු විඤ්ඤාණය සියලු ක්ලේසයන් හා සංස්කාර ඉක්මවා පවතින උතුම් විමුක්තියට නිර්වාණයට පත්වෙයි





බද්දෙගම මහගොඩ කන්ද ඉසිපතානාරාම විහාරවාසි, 
බද්දෙගම සමථ මූල මණ්ඩලයේ සභාපති 
විශ්‍රාමික විදුහල්පති, 
බලගොඩ සිරිනිවාස හිමි 


ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ‍මැදින් අව අටවක  පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මාර්තු 20 වන සඳුදා  දින බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment