රන් රිදී, මුතු මැණික්, ගේ දොර, ඉඩ කඩම් වැනි යෙදුම් සිංහල භාෂාවේ හඳුන්වන්නේ යුගල පද වශයෙනි. වත් පිළිවෙත් යන යෙදුම ද එවැනි යෙදුමක් ලෙසයි පෙනෙන්නේ. වත් සහ පිළිවෙත් කියන පද දෙකට අරුත් දෙකක් තිබෙන බව පෙනෙයි. යමෙකු තමන් සිටින ස්ථානයට හා එතැන ඇති පරිසරයටත් බඩු භාණ්ඩ ආදියත් වෙනුවෙන් කළයුතු දේවල් වත් යනුවෙන් දැක්වෙයි. ඒ ඒ ස්ථානය හා අවස්ථාවන්හි දී පුද්ගලයින් විසින් කළයුතු හෝ නොකර හරින දේ පිළිවෙත්වලට ඇතුළත් වේ. ඒ අනුව 'වත්' හා පිළිවෙත් ප්‍රධාන වශයෙන් දෙකොටසක් හැටියට දැක්වීමට පුළුවනි.
අප සමඟ ජීවත් වන විවිධ පුද්ගලයින් වෙනුවෙන් අප කරන වත් හා පිළිවෙත්
අප ජීවත්වන පරිසරයේ යහපත පිණිස අප විසින් කළයුතු වතාවත් වශයෙනි.
බුදුරජාණන් වහන්සේ නිර්මාණය කළ සමාජය බෞද්ධ සමාජයයි.
එය භික්ෂු, භික්ෂුණී, උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසගෙන් සමන්විතයි. එයිනුත් භික්ෂු භික්ෂුණී යන දෙපිරිස විශේෂයි. භික්ෂු සමාජය ගොඩනැගුණේ එදා භාරතයේ විසූ බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍ය හා ක්ෂුද්‍ර යන සියලු වර්ණයන්ට අයත් පිරිසගෙනි. ඒ කිනම් වර්ණයකින් පැමිණ පැවිද්ද ලැබූවත් ඒ සියලු දෙනා හඳුන්වන ලද්දේ ‘සක්‍ය පුත්ත සමණ’ යනුවෙනි. පැවිද්දට පෙර ඔවුන් වෙනම පවුල්වල, වෙනස් වූ සමාජ පසුතලවල, විවිධ සංස්කෘතීන්ට අනුගතව ජීවත් වූ අයවෙති. බුදුරජාණන් වහන්සේට වුවමනා කළේ විවිධතා ඇති මොවුන් එකම ස්වරූපයක් ඇති, එක් ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන පිරිසක් ලෙස හැඩ ගැස්වීමටයි.
බෞද්ධ පැවිදි සමාජය සෙසු ගිහි හෝ පැවිදි සමාජවලට වඩා වෙනස් හා උසස් බවට හේතුව වන්නේ ද ඊට ඇතුළත් වූ අයගේ පැවති මෙම උසස් සිතුම්පැතුම් රටාව හා හැසිරීම් රටාවයි. එම උසස් තත්ත්වය ගොඩනඟා ගැනීමට උපකාර වන ආකාරයෙන් සම්මත කරගත් සම්මුතීන් සමූහයක් වත් පිළිවෙත් ලෙස හඳුනා ගත හැක.
අප හැම විටකම ජීවත් වන්නේ සමූහයක් වශයෙනි.පිරිසක් සමගිනි. විවිධතා ඇති කීප දෙනෙකුට එක තැනෙක සතුටින් හා සුහදව කලක් ජීවත්වීම ඉතාම දුෂ්කරයි. නොයෙක් හේතු නිසා ගැටුම්, ආරවුල්, අමනාපකම් ඇතිවේ. පැවිද්දෙකුට වත් පිළිවෙත් පිළිබඳ නිසි අවබෝධයක් ඇතිකරගෙන, දෛනික ජීවිතයේ ඒවා අනුගමනය කිරීමෙන් සමූහයා සමඟ ගැටුමකින් තොරව සාමකාමීව සහජීවනයෙන් යුතුව ජීවත්වීමට පුළුවන. පුද්ගල සබඳතා යහපත්ව තබා ගැනීමටත් අපේ සිරුර හා ජීවත්වන පරිසරය පිරිසුදුවත් ක්‍රමානුකූලවත්, සෞඛ්‍ය සම්පන්නවත් පවත්වාගෙන යාමටත් වත් පිළිවෙත් මහෝපකාරී වෙයි. ආරාමයට අයත් බාහිර අභ්‍යන්තර පරිසරය පවිත්‍රව තබා ගැනීම නිසා තමන්ගේත් ආරාමිකයින්ගේත් සිත්තුළ පහන් සිතිවිළි ජනිත කරවයි. එමෙන්ම යන එන දායක පිරිසගේ ද ප්‍රසාදයට හේතුවක් වෙයි. දෛනිකව වත් පිළිවෙත්වල යෙදීමෙන් කායික හා මානසික ව්‍යායාමයක් මෙන්ම නිරෝගී බවක් ද ලැබේ. භික්ෂූන් වහන්සේලා එකිනෙකා අතර සාමූහිකත්වය හා සුහදතාවය වර්ධනය වීමට ද වතාවත් බෙහෙවින් උපකාරී වෙයි. ආරාමයක වෙසෙන රෝගී අයහැර අනෙකුත් සියලු ස්වාමීන් වහන්සේලා වත් පිළිවෙත්වල නිරත විය යුතු ය. එයින් ඔවුන් තුළ සුහදත්වය හා සාමූහිකත්වය වැඩෙන අතර පැවිදි ජීවිතයට අපමණ වටිනාකමක් ද ලැබේ.
චුල්ල වග්ග පාලියේ වත්තක්ඛන්ධකයේ, දෛනිකව හා සුවිශේෂී අවස්ථාවල භික්ෂූන් වහන්සේ ඉටු කළයුතු වත් පිළිවෙත් මෙලෙස දක්වා තිබේ. ආගන්තුක වත්, ආවාසික වත්, ගමික වත්, අනුමෝදනා වත්, භත්තග්ග වත්, පිණ්ඩචාරික වත්, ආරඤ්ඤික වත්, සේනාසන වත්, ඡන්තාඝර වත්, වච්චකුටි වත්, උපජ්ඣාය වත්, සද්ධිවිහාරික වත්, ආචරිය වත් අන්තේවාසික වත්, හා ගිලාන වත් වශයෙනි.
දැන් අපි එයින් එක් වතක් හෝ දෙකක් පිළිබඳ විමසා බලමු. ආගන්තුකව ආරාමයකට පැමිණෙන පැවිද්දා. ආරාමයට පිවිසීමේදීත් ඒ තුළ වැඩ වාසය කරන කාලය තුළ සහ ආරාමයෙන් පිටව යන විටත් ඉටු කළයුතු වත් හා පිළිවෙත් ආගන්තුක වත් ලෙස දක්වා තිබේ. ආගන්තුකව වැඩම කළ ඇතැම් ස්වාමීන් වහන්සේලා, ගොම, මඩ ආදිය තැවරුණු අපිරිසුදු පා වහන් පැළඳ ආරාම තුළට පිවිසි බව පෙනෙයි. සමහරු දිග හැරගත් කුඩය නොහකුලාම ආරාම තුළට ඇතුල්ව තිබේ. මෙවැනි අසෝභන හැසිරීම් දුටු තථාගතයන් වහන්සේ භික්ෂුව විචාර ශීලී ශිෂ්ට සම්පන්න අයෙකු කරලීම පිණිස ආගන්තුක වත් නියම කළහ. ඒ අනුව ආරාමයකට පිවිසෙන විට ඒ බව සිහියේ තබාගෙන පාවහන් ගලවා, නිසි තැනෙක තබා, සිවුර මනාලෙස සකසාගෙන පිවිසිය යුතුයි. ආවාසයික භික්ෂූන් පෙනෙන තැනක නැතිනම්, සිටින තැනකට ගොස් පා සිවුරු පසෙකින් තබා සුදුසු අසුනක හිඳ, වෙහෙස නිවා අවශ්‍ය නම් පැන් වළඳා වැඩිහිටි භික්ෂුවක් ඇත්නම් වැන්ද යුතුයි. ආපසු යාමට පෙර නැවතී සිටි ස්ථානය හා පරිභෝග කළ භාණ්ඩ ආදිය පිරිසුදුකොට නිසි තැන්හි තබා, ආරාමයීය භික්ෂූන්ට දන්වා පිටත්විය යුතුයි. අද වෙන විට ඇතැම් සමාජ සම්මුති ආදියේ යම් යම් වෙනස්කම් තිබෙන්නට පුළුවනි. එනිසාම අලුතින් එකතු කරගත යුතු වත් පිළිවෙත් තිබෙන්නට ද පුළුවන. ඒ කුමක් වුවත් මෙම පිළිවෙත් තුළින් භික්ෂුවකගේ සීලාචාර බව මනාව පිළිබිඹු වේ. එමෙන්ම පිරිසුදුකම හා පිළිවෙල ද ආචාර සම්පන්න බවද පෙන්නුම් කෙරේ.
ගෝසිංග වනයේ භාවනාව සඳහා ගොස් සිටි අනුරුද්ධ, කිම්බිල හා නන්දිය තෙරවරුන් බැලීම පිණිස බුදුරදුන් වැඩම කරන්නේ ,කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරවයි.
අනුරුද්ධ තෙරුන් හමු වී උන්වහන්සේලා සමගියෙන්, සහයෝගයෙන් කටයුතු කරන්නේදැයි ඇසූ විට, අනුරුද්ධ තෙරුන්ගේ පිළිතුර වූයේ කිරි හා දිය වෙන් කළ නොහැක්කාසේ, එකාවන්ව බැඳී තිදෙනා සමගියෙන් සතුටින් සිටින බවයි. ඊට හේතු වූයේ, තම තමන් වහන්සේ ඉටු කළයුතු වත් පිළිවෙත් ගැන තිදෙනාම අවබෝධයෙන් කටයුතු කිරීමයි පවුල් ඒකකයේ සිට සමාජය දක්වා ඇතැම් විට අද වන විට අවුල් සහගත තත්ත්වයක් පැන නැගී තිබෙන බව පෙනේ. ඒ ඔවුනොවුන්ට තමන් ඉටු කළයුතුවත් පිළිවෙත් පිළිබඳ ඇති අනවබෝධය හා නොදැනුවත් කම නිසයි නැතිනම් ඒ පිළිබඳව දක්වන නොසැලකිල්ලයි. දරුවන් කුඩා කල සිට මේ සඳහා යොමු කොට හුරුවක් ලබා දීම දෙමාපියන්ගේ කාර්යයයි. නිවස හා අවට පරිසරය පිරිසුදුව හා විසිතුරු ලෙස පවත්වාගෙන යාමත්, ප්‍රයෝජනයට ගන්නා බඩු භාණ්ඩ භාවිතයෙන් පසු නිසි පරිදි පිරිසුදු කොට නියමිත තැන තැබීමටත් ඔවුන් තුළ ආකල්පයක් ගොඩ නැගිය යුතුයි තමන් සිටින තැන හා නිවස අවට පරිසරය පිරිසුදුව තබා ගැනීම, ඇඳුම්, පොත්පත් හා භාවිතයට ගන්නා සියල්ල පිරිසුදුව නිසි පරිදි තබා ගැනීමත් නිවසෙහි වැසිකිළි කැසිකිළි ආදිය පවිත්‍රව තබා ගැනීමත් ගෘහස්ත වතාවත්වලට ඇතුළත් වේ. සියල්ල මවුපියන් විසින් ඉටු කිරීම දරුවන්ට කරන හානියක් මිස යහපතක් නොවේ. අද ඇතැම් දෙනෙකුට යහපත් හා ශිෂ්ට සම්පන්න ලෙස පුද්ගල සම්බන්ධතා පැවැත්වීම පිළිබඳ හුරුවක් හා අවබෝධයක් නැත. විලි බිය නැතිව සතුන් මෙන් හැසිරෙන්නේ එනිසයි. වන්දනා මාන කිරීමට හා නැරඹීමට යන ආගමික ස්ථාන, දිය ඇලි ජලාශ හා වැව් අවට පරිසරය අපද්‍රව්‍ය දමා විනාශ කිරීමට තරම් අපි අශීලාචාර වී සිටිමු. යම් පොදු තැනකට ගිය විට ඒ ස්ථානය අපිරිසුදු කොට කෙලෙසන තැනට මේ සමාජය පත්ව තිබේ. එයින් ප්‍රදර්ශනය වන්නේ ඔවුනගේ අශීලාචාර බවයි. වත් නොපුරන්නාගේ සිල් නොපිරෙන බව දහමෙහි සඳහන් වේ. එහෙයින් වත් පිළිවෙත් මනාව අවබෝධ කරගෙන එහි නිරතවීමෙන් ජීවිතයට වටිනාකම් එකතු කරන සමාජයක් ගොඩ නගමු.
කඩුගන්නාව, මුදලිවත්ත
දීපාලෝක විහාරාධිපති
නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ මැදින් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මාර්තු 27 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment