Labels

Sunday, April 9, 2017

අවදියෙන් සිටිමු

මංගල කරුණු දෙතිසකින් යුතු මහා මංගල සූත්‍රය සාර්ථක ජීවිතයකට මා හැඟි මඟ පෙන්වීමකි. අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයටම සුවිශේෂී වටිනා ජීවින ප්‍රතිපදාවකි.
‘අසේවනාච බාලානං
පණ්ඩිතානංච සේවණා’
යහපත් ඇසුර ජීවිතයට ආලෝකය ගෙන දෙයි. අඳුර දුරු කරයි. දෙතිසක් මංගල කරුණු අතරින් බුදුරජාණන් වහන්සේ අපට පළමුව අවධාරණය කරන්නේ බාලයන් ඇසුරු නොකළ යුතු බවය. බාලයන් නම් අසද්පුරුෂයන්ය. පස් පව්, දස අකුසල්හි ගැලී අඳුරෙන්, අඳුරට යන්නෝය. සිය හිත මිතුරෝද ඒ මගම ගෙන යන්නෝය. දෙවනුව පණ්ඩිතයන් ඇසුරු කළ යුතු බව පෙන්වා දෙති. පණ්ඩිතයන් නම් සද්පුරුෂ නුවණැත්තෝය.ගුණ දහමින් පෝෂණය වූවෝය. පවට ලජ්ජා බිය ඇත්තෝය. අඳුරෙන් එළියට යන්නෝය.
ආලෝකයෙන් ආලෝකයට යන්නෝය. සිය ඇසුරේ සිටින්නන්ටද ඒ යහපත් මාවත පෙන්වා දෙන්නෝය. එවැන්නෝ කල්‍යාණ මිතුරෝය.
“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස! මේ සම්බුද්ධ ශාසනයෙහි හරි අඩක්ම සුරැකෙන්නේ, රඳා පවතින්නේ කල්‍යාණ මිතුරු ඇසුර නිසා යැයි මට හැඟේ”. එක් අවස්ථාවක ආනන්ද හිමියෝ බුදුරජාණන් වහන්සේට පැවසූහ.
“නැත ආනන්ද, හරි අඩක් නොව මුළු සම්බුද්ධ ශාසනයම රැඳී පවතින්නේ, සුරැකෙන්නේ කල්‍යාණ මිතුරු ඇසුර නිසාය’යි බුදුහිමියෝ පෙන්වා දුන්හ.
කළ්‍යාණ මිතුරන්, සද්පුරුෂයන් ඇසුර ඒ සා බලවත්ය.
නිවෙසේදී, විහාරස්ථානයේදී මල් පහන් පුදා තෙරුවන් නැමැද අවසන අපි ප්‍රාර්ථනා ගාථාවක් ද සජ්ඣායනය කරමු.
‘ඉමිනා පුඤ්ඤ කම්මේන
මාමේ බාල සමාගමෝ’ යනුවෙන් එසේ ප්‍රාර්ථනා කරන්නේ මට සද්පුරුෂ ඇසුර ලැබේවායි යනුවෙනි.

යහපත් ඇසුරක මහත්ඵල මොනතරම් වර්ණනා කළද, පහදා දුන්නද බොහෝ දෙනෙක් ජීවිතයට ප්‍රශ්න ගොඩ ගසා ගන්නේ, විපතට වැටෙන්නේද ඇසුර නිසාය.
පසුගියදා පාසල් යන තරුණ පුතුන් දෙදෙනෙකු ගැන අසන්නට ලැබුණේ සිත කම්පා කරවන පුවතකි. මේ දරුවන් ජීවිතයේ සුන්දරතම තරුණ විය පමණක් නොව මුළු ජීවිත කාලයම අඳුරු කර ගත්තේ අසද්පුරුෂ ඇසුර නිසාය. ඒඩ්ස් වැනි භයානක සමාජ රෝගයකට මේ දරුවන් ගොදුරු වුණේ නොදන්නාකමට විය හැකිය. යම් කිසිවෙක් මවා පෙන්වූ ඉන්ද්‍රජාලික ලෝකයක අතරමං වීම නිසා විය හැකිය.
අවසන් ප්‍රතිඵලය මුළු ජීවිත කාලයක් පුරා සමාජයේ අපකීර්තියට, අප්‍රසාදයට පිළිකුලට ලක්වීමය. ඒ වරද නැවත නිවැරැදි කළ නොහැකිය. අම්මට, තාත්තට, සහෝදර සහෝදරියන්ට,උපන් ගමට, පාසලට සිදු වූ කැළල දුරු කළ නොහැකිය. මේ සා කටුක අත්දැකීමකට කුඩා වයසේදීම මේ දරුවන්ට මුහුණ දෙන්නට සිදුවුණේ නිසි සොයාබැලීමක්, වැඩිහිටියන්ගේ පාලනයක් නොවූ නිසාය.
කවර සමාජතලයක කෙනෙකුට වුවද මෙවැනි විවිධාකාර ප්‍රශ්න ගැටලු උද්ගත විය හැකිය. විශේෂයෙන් මවුපියන්, වැඩිහිටියන් බාල පරපුර ගැන දැඩි අවධානයකින් ඔවුන් ගැන විමසීමට කාලය වෙන් කළ යුතුමය. තමන්ගේ දරුවා යන්නේ කොතැනටද, එතැන ඉන්නේ කවුද? කවර හැසිරීම් ඇත්තෝද, දරුවාගේ ඇසුරට ඔවුන් ගැලපෙනවාද, මේ සියල්ල විමසිය යුතුමය. ඉන් නොනැවතී දරුවාට බාලවියේ සිටම ඇසුරට තෝරා ගත යුතු අය පිළිබඳ ආකල්ප දිය යුතුය.
අම්මට, තාත්තට දරුවන්ට වඩා වටිනා සම්පතක් නැත. ඒ නිසාම බොහෝ මවුපියවරු දරුවන් මල් වගේ හදති. දුකක් දැනෙන්නට ඉඩ නොදෙති. හිත නොරිදවති. තමන්ගේ අඩුපාඩු දහසක් මැද දරුවන්ගේ අඩුපාඩු හදති. ඒ ආදරය නිසාය. එහෙම හදන දරුවෝ කාටත් හොරෙන් යහළුවන් සමඟ නොයායුතු තැන්හිද යති. ගඟේ මුහුදේ ගිලෙති. මොන තරම් ආදරය තිබුණත් දරුවන් ගැන නිරතුරුවම විමසිල්ලෙන් සිටිය යුතුය.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ඇසුරට තෝරා ගත යුතු වන්නේ දැන උගත්කමින් ගුණ ධර්මයෙන් තමන්ට වඩා පොහොසත් කෙනෙක් වන බවය. එසේත් නැතිනම් ගුණ නැණින් තමන්ට සම කෙනෙක් ඇසුරු කරන ලෙසය. එවැන්නෙක් නොවේ නම් තනිවම ජීවත්වීම වඩා සුදුසු වන බවය. එය මවුපියන් විසින් දරුවන්ට තේරුම් කර දිය යුතු ය.
පවුලේ සාමාජිකයන් අතර වගේම සමාජයේ පැවැත්ම රඳා පවතින්නේ ඇසුර නිසාය. ඇසුර යහපත් නම් ජීවිතය ද අයහපත් ය. එය බාල, තරුණ, මහලු කාටත් පොදුය.

‘පූජාච පූජනීයානං
ඒතං මංගල මුත්තමං’

බාලයන් ඇසුරින් මිදී පණ්ඩිතයන් සේවනය කිරීම මෙන්ම පිදිය යුත්තන් පිදීමද ජීවිතය සාර්ථක කරන මංගල කරුණකි.
එදා අප කුඩා කල අම්මා තාත්තා වැඩිහිටියෙක් දුටු විට අසුනින් නැඟිටින්නට කිසිවෙක් බල කළේ නැත. ඈත වඩින ස්වාමීන් වහන්සේ ගෙයි සීමාව පසු කර නොපෙනී යන තුරුම නැඟී සිටි හුනස්නෙහි නැවත අසුන් ගන්නට අපි මැළි වූයෙමු. ගෞරවය වගේම වැඩිහිටියන්ට සැලකීමද එදා සමාජයට ආගන්තුක වූයේ නැත.
මවුපියන්ට සලකනවා නම්, වැඩිහිටියන්ට සලකනවා නම්, නිසි ගෞරවය දක්වනවා නම්, ඒ දරුවාට වැරැදි කරන්නට සිත් දෙන්නේ නැත. ‘මම කොහොමද අම්මගේ මුහුණ බලන්නේ’ ‘තාත්තගේ මුහුණ බලන්නේ’ සමාජයට මුහුණ දෙන්නේ කෙලෙසද ආදී ලෙස යමක් කරන්නට පෙර සිතා බලයි.

පරිබ්‍රාජකයන්ගේ සුවිශේෂී අනුග්‍රාහකයෙක් වූ උපාලි ගෘහපතියා තෙරුවන් සරණ ගිය පසුද බුදුරජාණන් වහන්සේ ඔහුට දේශනා කළේ මෙතෙක් ඔවුන් සඳහා කළ දාන මාන, පුද පූජාවන් එලෙසම ඉටු කරන ලෙසය. දන් දිය යුතු වන්නේ පූජ්‍ය උතුමන්ට පමණක් නොවේ. දුගී මගී යාචකයින්ටද දිය යුතු ය. ආගන්තුකයින්ට දුප්පත් නෑයින්ට සැලකිය යුතු ය. නෑයින් අසරණ වී සිටින මොහොතක තමන් පමණක් සැප සම්පත් විඳිමින් සතුටු වෙනවා නම් ඒ පුද්ගලයාගේ ජීවිතය සාර්ථක නොවේ. මේ ගුණ ධර්ම වැඩූ පමණට පෞද්ගලිකව තමන්ගේ මෙන්ම පොදුවේ සමාජයේ සතුට වැඩේ. දෙලොව දියුණුව සඳහා වන උතුම් මංගල කරුණු වේ.





ආචාර්ය 
අකුරැටියේ නන්ද නා හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ‍මැදින් අව අටවක    පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මාර්තු 20 වන සඳුදා  දින බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment