අද සූත්‍ර දේශනාව සඳහා මාතෘකා කරගනු ලබන්නේ සංයුක්ත නිකායෙහි සළායතන වග්ගයේ වේදනා සංයුක්තයෙහි අඩංගු සල්ල සූත්‍ර දේශනාවයි.
සල්ල යනු හුලක් යන අදහසයි. හුලක් යන අදහස අපේ මතකයට නැඟෙන්නේ දුක්ඛ වේදනාවක් හා සමඟින්මයි. හුලක් ඇනුනොත් දැනෙන වේදනාව බොහෝමයි. එය ඇතැම් විට මරණයට පවා හේතුවන්නටත් පුළුවනි
භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරනවා. මහණෙනි, ඇසූ පිරූ තැන් නැති පෘතග්ජන පුද්ගලයා සැප වේදනාවත්, දුක් වේදනාවත්, එලෙසම මධ්‍යස්ථ වේදනාවත් විඳිනවා. මහණෙනි, ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාත් ඒ සුව වේදනාවත්, දුක්ඛ වේදනාවත්, මධ්‍යස්ථ වේදනාවත් විඳිනවා. මහණෙනි, අන්න එම අවස්ථාවේදී ඇසූ පිරූ තැන් නැති පෘතග්ජන පුද්ගලයාගේ හා ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාගේ වෙනස කුමක් ද? අදහස කවරේ ද? විශේෂය කුමක් ද පිළිබඳවයි.
මේ ආදී ලෙසින් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාගෙන් විමසන කල, ස්වාමීන් වහන්සේලා මෙසේ සඳහන් කරනවා. භාග්‍යවතුන් වහන්ස, අපගේ දහම පවතින්නේ භාග්‍යවතුන් වහන්සේ මුල්කරගෙනයි. භාග්‍යවතුන් වහන්සේ අපේ ශාස්තෘවරයාණන් වහන්සේ, අප භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට වාසය කරන්නේ. එම නිසා භාග්‍යවතුන් වහන්සේම එහි අදහස අපට දේශනා කරන සේක්වා.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරන ලදී. මහණෙනි, ඇසූ පිරූ තැන් නැති පෘතග්ජන පුද්ගලයා දුක් වේදනාවක් ලබන විට ශෝක කරනවා. ක්ලාන්ත වෙනවා. වැළපෙනවා. ළයෙහි අත්ගසා ගන්නවා.
මුලාවට පැමිණෙනවා. එවිට එම පුද්ගලයා කායිකව මෙන් ම චෛතසික වේදනාවත් යන වේදනා දෙකක් විඳිනවා. මහණෙනි, යම් සේ පුරුෂයකු හුලකින් විද්දාහු ද, එනම් හුලක් ඇනුනේ ද? ඒ ඔහු දෙවෙනි හුලකින් ද සමීපයෙහි විඳින්නේ ද? මහණෙනි, එසේ ම ඒ පුරුෂ තෙමේ හුල කරන කොටගෙන වේදනා දෙකක් විඳිනවා. අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයා සියලු සංඛත සංස්කාර අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණ ධර්මයට යටත් කොට දහම් ඇසින් හෙවත් පරමාර්ථ ධර්ම නුවණින් දැක ගැනීමෙහි සිත පුරුදු කරන ලද අයෙක් නොවේ. තවත් ආකාරයකින් සඳහන් කළොත් විදර්ශනා නුවණ ඇති පුද්ගලයෙක් නොවේ. මේ අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයා ඇස, කන, ආදී ඉන්ද්‍රියන් මුල් කොටගෙන රූප, ශබ්ද ආදී ආරම්මනයන් හි ප්‍රිය අරමුණක් නම් එහි නිමිතිගෙන ඇලෙනවා. එනම් උපාධානයට පත් කරගන්නවා. අකැමැති අරමුණුවල ගැටෙනවා . අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයා නිරන්තරයෙන් ඇලීමට සහ ගැටීමට පත්වෙනවා. ප්‍රිය අරමුණෙහි නිමිති ගෙන එනම්, පුද්ගලයෙක් නම් ශාරීරික අංග, ලීලාව ආදී වශයෙනුත් අවිඤ්ඤාණික වස්තුවක් නම් එහි හැඩතල ස්වභාවය ආදී වශයෙනුත් නිමිති ගෙන එහි සැප වේදනාවක් ලෙස සිතෙහි දැඩිව අරමුණ පවත්වාගන්නවා. එහි වඩ වඩාත් සතුටු වෙනවා. ඒ ගැනම කියනවා. ප්‍රාර්ථනා කරනවා. සිත නිරන්තරයෙන් එම ආරම්මනයෙහි ම ඔසවා තබාගන්නට උත්සාහ කරනවා. එනම් ඒ ගැනම මතක් කරගෙන තබා ගන්නට උත්සාහ කරනවා. අකැමැති අරමුණෙහි ගැටෙමින් ඒ ගැනම නැවත නැවත මෙනෙහි කරමින් සිත ඒ අකැමැති අරමුණෙහි ම පවත්වා ගන්නවා. මෙය සරලව සඳහන් කළොත් ප්‍රිය අරමුණෙහි රාගී සිතිවිලි සකස් කර ගන්නවා. අකැමැති අරමුණෙහි ද්වේෂ සහගත සිතිවිලි නිරන්තරයෙන් පවත්වා ගන්නවා.
අශ්‍රැතවත් පෘතග්ජන ස්වභාවයෙන් යුතු පුද්ගලයාට මෙවැනි වැටහීමක් පවතින්නේ නැහැ. ඒ කුමක් ද? මේ ඇස වගේ ම රූපයත්, චක්ඛු විඤ්ඤාණයත්, ස්පර්ශයත්, විඳීම් මේ සියල්ලම අනත්‍ය, දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ ධර්මයට යටත්ව පවතිනවා යන අදහසයි. ඒ සියල්ලම වෙනස්වන බව දන්නේ නම් වෙනස්වීමට උරුම බව සිහිපත් කරන්නේ නම් ඒ නිසා ම එහි දොම්නසට හේතුවිය හැකි බවත් තමා කෙරෙහි කිසිදු පැවැත්මක් වසඟයට පත්කර ගැනීමක් ඒ අරමුණෙහි නැති බවත්, පුරුදු කොට නැති නිසා ඔහු මමත්වයට පත් කරගෙන තිබෙනවා.
නමුත් ඒ රූපය, ශබ්දය වශයෙන් ඒ අරමුණු වෙනස්වීම නිසා ඔහුට හිමි වන්නේ ශෝකයක්, දුකක්, වේදනාවක් පමණයි. ඉහත භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළේ ඒ අදහසමයි.
"අස්සුතවා භික්ඛවේ පුථුජ්ජනො දුක්ඛාය
වේදනාය පුට්ඨෝ සමානො
සෝචති කිලමති පරිදේවති
උරත්තාළිං කන්දති සම්මෝහං ආපජ්ජති " යනුවෙනුයි.
වේදනාය පුට්ඨෝ සමානො
සෝචති කිලමති පරිදේවති
උරත්තාළිං කන්දති සම්මෝහං ආපජ්ජති " යනුවෙනුයි.
මේ අශ්‍රැතවත් පුද්ගලයා මෙහි දී දුක්ඛ වේදනාව එනම් අකැමැති වේදනාව ස්පර්ශ කරමින්, එනම් මමත්වයට පත්කර ගනිමින් ශෝකයට පත්වෙනවා, හඬනවා. ක්ලාන්ත භාවයට පත්වෙනවා. ළයේ අත් ගසාගන්නවා. මුලාවට පත් වෙනවා කියන අදහසයි.
නැවතත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි, මේ අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයා විදර්ශනා නුවණින් මේ දුක්ඛ වේදනාව මෙනෙහි කරන්නට තරම් සිත පුරුදු නොකරන ලද නිසා ඔහු දුක් දෙකක් උපදවා ගන්නවා. කායිකව මුල් වෙච්ච දුක්ඛ වේදනාව අනිත්‍යවාදී ලක්ෂණ වශයෙන් යටත් කොට දකින්නට සිත පුරුදු නොකරන ලද නිසා මනසෙහි ඒ දුක්ඛ වේදනාව තැන්පත් කර ගන්නවා. කොහොමද, එය මගේය, මම වෙමි, ඒක මගේමයි කියන අදහසිනුයි. එහි දී චෛතසික වේදනාවක් හටගැනීමට පටන් ගන්නවා. සරලව සඳහන් කළොත් කයින් ලබන වේදනාවට අමතරව සිතිනුත් දුක් විඳින්නට පටන් ගන්නවා. නිදසුනක් ලෙස “යම් සේ පුරුෂයෙක් හුලක් ඇනී එම ස්ථානයේ ම දෙවැනි හුලකිනුත් ඇනෙනවා සේ මේ පුරුෂයා කායිකව ලබපු දුක්ඛ වේදනාව පමණක් නොවෙයි. මනසිනුත් දුක් විඳිමින් එනම් එකම අරමුණකින් දුක් වේදනා දෙකක් ලබනවා කියන අදහසයි”.
යම් කෙනෙක් ගිලන්වන විට ඔහුට හෝ ඇයට කායික අපහසුව වේදනාව දැනෙනවා. උපන් සියලු දෙනාටම දිරාගෙන යෑම, ලෙඩදුක්, මරණය ආදී වශයෙන් ලෝක ස්වභාවයට මුහුණපාන්නට වෙනවා. විදර්ශනා නුවණ ක්‍රම ක්‍රමයෙන් හෝ පුරුදු නොකරන ලද අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයෙක් මේ ගිලන්වීම දුක්ඛ වේදනාවක් සේම එය සිතින් මගේ කරගන්නට උත්සාහ ගන්නවා. එනම් මම ලෙඩ වුණා මට මහත් වූ වේදනාවක් දැනෙනවා. මට මේ දුක සැමදාම විඳින්නට වේවි. ඇයි මට මේ ආකාරයට දුක් විඳින්න වෙන්නෙ. මම කොයිතරම් නීරෝගීව සිටියද? ගිලන්වෙන්නට මත්තෙන් දුව, පැන කටයුතු කළ අයෙක් නොවෙයි ද? මට මේ ගිලන්බව නිසා ම බොහෝ කාලයක් දුක් විඳින්නට වෙයිද? මරණය පවා උරුම වෙයි ද? ඇස, කන, ආදී ඉන්ද්‍රියන්ගෙන් රූප ආදී අරමුණු ලබා සතුටු වූ ප්‍රීති වූ ජීවිතය මට අහිමි වෙලා යයි ද? මා සතුව පවතින කාම වස්තු තවදුරටත් මා සතුව පවත්වාගන්නට අපහසු වෙයිද? මගේ සිතේ පවතින බොහෝ බලාපොරොත්තු මට ඉටුකරගන්න බැරි වෙයිද? මේ ආදී වශයෙන් තමා මුල් කරගෙන කායික වේදනාව නිසා සිතිනුත් දුක් විඳින්නට වෙනවා. කයේ ගිලන්වීම නිසා ඇති වූ දුක පමණක් නොවෙයි මනසෙනුත් දුක් විඳින පුද්ගලයෙක් බවට පත්වෙනවා. තවදුරටත් මෙය පැහැදිලි කළොත් යම් කෙනෙකුට යම් වූ ද අසනීපයක් නිසා පාදයක ඇතිවන වේදනාවෙන් ඔහුට මනා සේ පාදය හසුරුවන්නට නොහැකි වෙනවා. ඔහු ඒ පාදයට බාහිරව ප්‍රතිකාර කරනවා සේම විදර්ශනා නුවණින් දැක ගන්නට නොහැකිවීම නිසා මනසෙනුත් දුක්විඳින්නට සිද්ධවෙනවා. විදර්ශනා නුවණ ඇති කරගන්න පුළුවන් ශ්‍රාවකයෙක්, පුද්ගලයෙක් වුණා නම් කයේ ගිලන්වීම පරමාර්ථ ධර්මයට හෙවත් විදර්ශනාවට අනුව දැකගෙන මනසට ගිලන් බවක් වේදනාවක් ඇති නොකර ගන්නට තරම් දක්ෂ බවක් තියෙනවා.
භාග්‍යවතුන් වහන්සේ අනේපිඬු සිටාණන්ට දේශනා කළේ කය ගිලන් වූවත්, මනස ගිලන් කර නොගන්නා හැටියටයි. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අනුගමනය කරමින් සැරියුත් මහ රහතන් වහන්සේ ද අනේ පිඬු සිටාණන්ට කය ගිලන් වූවත් මනස ගිලන් නොකර ගන්නට අප අපේ සිත පුරුදු කළ යුතු බවයි පෙන්වා දුන්නේ. එහෙත් වැඩි ප්‍රමාණයක් අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයෝ සිත ඒ ස්වභාවයට පුරුදු නොකිරීම නිසා ඇසට කනට ආදී ඉන්ද්‍රියන්ට අරමුණුවන රූප ශබ්ද ආදී අරමුණු තමා බලාපොරොත්තු වූ ආකාරයට සිදු නොවන විට කයෙහි ඇතිවන දුක්ඛ වේදනාවක් වගේම ඊටත් වඩා මානසික වේදනාවක් බවට පත්කර ගන්නට පෙළඹෙනවා.
එම නිසා ධර්මය තුළින් අප දැකිය යුතු ගැඹුරු අදහස නම් ධාතු ස්කන්ධ ආයතනයන්ගෙන් සමන්නාගත මේ කය ගිලන්වීම උරුමයි. දිරාගෙන යාමට උරුමයි. කය ගිලන් වන්නේ නම් එයට ප්‍රතිකාර කළ යුතුයි. එහෙත් අවබෝධයෙන් යුතුව මනස නොගිලන්ව පවත්වා ගැනීමට තරම් මනසේ පුහුණුවක් පුරුද්දක් ඇති කරගත යුතු බවයි.
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක
ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ මැදින් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මාර්තු 12 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment