නමෝතස්ස භගවතෝ අරහතෝ
කුරුණෑගල මහ දිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝ නායක
තැඹිලිපොල රාජ මහා විහාරාධිපති
ශ්‍රී සද්ධර්ම වාගීශ්වර
නාමල්වත්තේ ශ්‍රී ආනන්ද නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ මැදින් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මාර්තු 27 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
සම්මා සම්බුද්ධස්ස
"අභිත්ථරෙථ කල්‍යාණෙ
පාපා චිත්තං නිවාරයෙ
දන්ධංහි කරොනෙතා පුඤ්ඤං
පාපස්මිං රමතී මනො"
"අභිත්ථරෙථ කල්‍යාණෙ
පාපා චිත්තං නිවාරයෙ
දන්ධංහි කරොනෙතා පුඤ්ඤං
පාපස්මිං රමතී මනො"
කාරුණික පින්වතුනි,
අද ධර්ම දේශනය සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ ධම්මපදයට අයත් පාප වර්ගයේ පළමු ගාථා රත්නයයි. මෙම ගාථාව බුදුරජාණන් වහන්සේ විසින් සැවැත්නුවර ජේතවනාරාමයේදී චුල්ලේකසාඨක බමුණු තුමන් අරභයා දේශනා කරන ලද්දක්.
සැවැත්නුවර සැදැහැවත් එක් බමුණෙක් වාසය කළා. මොහු ඉතා දුප්පත්.මොහුට හා බිරිඳට උරහිස වසා පෙරවීම සඳහා ඇත්තේ එක් කුඩා උතුරු සළුවක් පමණයි. මෙනිසාම මෙතුමා චුල්ලේකසාඨක නමින් ප්‍රසිද්ධව සිටියා. එකම උතුරු සළුව ගමනක් යන විට පමණක් පොරවන බැවින් කිසි දිනෙක දෙදෙනාටම නිවසින් බැහැරව එකට ගමනක් යා නොහැකි වුණා.
බුදුරදුන් සැවැත්නුවර වැඩ සිටි සමයක ජේතවන මහා විහාරයෙහි දින කිහිපයක් පුරා පැවැත්වෙන ධර්ම දේශනා පින්කම් මාලාවක් සිදුවෙමින් පැවතුණා. මීට සහභාගි වන්නට සිතූ බමුණා සිය බිරිඳ අමතා සොඳුර ඔබ දහවල බණ අසන්නේද? නැතහොත් රාත්‍රි කාලයෙහි ඊට සහභාගි වන්නේදැයි විමැසුවා.
මම දහවල යමි’යි කියා බැමිණිය බණ අසනු පිණිස වෙහෙරට ගියා. ඉතා හොඳින් බණ ඇසු ඇය ධර්මයේ වටිනාකම තම ස්වාමියාට ප්‍රකාශකොට රාත්‍රී කාලයෙහි බණ ඇසීම සඳහා ඔහුට අවස්ථාව සළසා දුන්නා. හොඳින් බණ ඇසූ චුල්ලේකසාඨක බමුණා ප්‍රසාදයට පත්ව සද්ධාවෙන් ඉපිළ ගියා. සියල්ලෝම ධර්ම පරිෂ්කාර පූජා කරනවා. දුප්පත් තමන්ට පූජා කිරීමට යමක් නොමැති නිසා බමුණාගේ සිත සසලවුණා. තමන් සතු එකම උතුරුසළුව පිදීමට අදහස් කළද දෙදෙනාටම ඇත්තේ එකම උතුරු සළුව පමණක් බැවින් දෙම්දෝ නොදෙම්දෝ යන සිතුවිල්ලෙහි මොහු අතරමං වුණා. මසුරු සිත් දුරු කළා. හොඳින් නැමු උතුරු සළුව දහම් පිරිකර ලෙස පූජාකළා. තමන් සිදු කළ උදාර, පුණ්‍යක්‍රියාව පිළිබඳ සතුටට පත් වුණා. ‘දිනුවෙමි, දිනුවෙමි, දිනුවෙමි’ යි තෙවරක් ප්‍රකාශ කළා.
බණ අසන පිරිස මැද සිටි කොසොල් රජු මේ හඬ අසා ඇමතියන් ලවා ඒ දිනුවා යන ප්‍රකාශය කුමක්දැයි විමසුවා. තමන් සතු එකම උතුරු සළුව පූජාකොට සතුටු වන චුල්ලේකසාඨක බමුණාගේ උදාර පරිත්‍යාගය පිළිබඳ, රජුට සැළ කළා. දුප්පත් අයෙකු කළ මහා පිංකමකැයි සතුටට පත් රජතුමා නොයෙක් ධන ධාන්‍යයෙන් හා සළු පිළියෙන් බමුණාට සංග්‍රහ කළා.
බමුණා ලද මහත් සම්පත් පිළිබඳ භික්ෂූන් වහන්සේලා දම් සභා මණ්ඩපයේදී සාකච්ඡා කළා. ඒ නිමිති කොටගෙන ‘කුසල් කිරීමෙහි යුහුසුළු විය යුතු බවත්, අකුසලයන්ගෙන් සිත මුදවාගත යුතු බවත්, පින් කිරීමෙහි මැලි වන්නාගේ සිත පවෙහි ඇළෙන බවත් බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළා.
මේ අනුව ඉහත ගාථාවෙහි අපේ ජීවිතවලට අතිශය වැදගත් දහම් කරුණු කිහිපයක් සඳහන් වෙනවා. “කල්‍යාණෙ අභිත්ථරෙථ පාපා චිත්තං නිවාරයෙ” සුසිරිතෙහි යුහුසුළු වන්නේය. සිත පවින් වළකා ලන්නේය යනු මෙහි සරල අදහසයි. සුසිරිත් හෙවත් කලණ දහම් යනු නොමැලිව සිදු කළ යුතු දන්දීම, සිල් රැකීම, භාවනා කිරීම පින්දීම, පින් අනුමෝදන්වීම, වතාවත් කිරීම, වැඩිහිටියන් පිදීම, ධර්ම දේශනා කිරීම, ධර්ම ශ්‍රවණය කිරීම, මිථ්‍යා දෘෂ්ටියෙන් ඈත්වීම යනාදී යහපත් ක්‍රියාවන්ය. මෙලොව සැනසිලිදායීව, සුවදායීව, යථාර්ථවාදීව ජීවත්වීම සඳහා මෙම කලණ දහම් හෙවත් සුසිරිත් ක්‍රියාවන් ඉවහල් වෙනවා. සසරෙහි දුක්භය හොඳින් තේරුම් ගෙන ඉන් මිදීමට ඇති මාර්ගය අප තෝර ගත යුතු වෙනවා.
“අභිත්ථරෙථ” යනු යුහුසුළු බවයි. නොපමාව ක්‍රියා කිරීමයි. පින් සිතුවිලි පහළ වූ කෙනෙහිම ක්‍රියාත්මක වීමයි. නොපමා බව බුදුසසුනෙහි ඉගැන්වෙන විශිෂ්ට ලක්ෂණයක්. නොපමාව නිවනට මග බවත් පමාව මරණයට මග බවත් අප්පමාදො අමත පදං පමාදො මච්චුනො පදං” යන්නෙන් පැහැදිලි වෙනවා.
‘පාපා චිත්තං නිවාරයේ” සිත පවින් වළකාලිය යුතුයි. මෙහිදී පාපා යනුවෙන් අදහස් කෙරෙන්නේ සිත, කය, වදන යන තිදොරින් සිදුවන ප්‍රාණඝාත අදත්තාදාන, කාමමිච්ඡාචාර , මුසාවාද, පිසුනාවාච, ඵරුෂාවාද, සම්ඵප්ඵලාප, අභිධ්‍යාව, ව්‍යාපාදය, මිථ්‍යාදෘෂ්ටිය යන දස අකුසල ධර්මයන්ය. විපාක දෙන තෙක් මෝඩ මිනිසුන් පව මිහිරක් සේ සිතනවා. “මධුවා’ මඤ්ඤති බාලො යාව පපං න පච්චතී” ජීවිතයක අස්ථාවරභාවයට මෙම දස අකුසල් හේතුවෙනවා. මින් වැළකී දස කුසලයෙහි යෙදීම දෙලොව සැනසීම උදාකර ගැනීමට හේතු වෙනවා.
මාතෘකා ගාථාවේ තෙවන සිව්වන පදයන්ගෙන් පැහැදිලි වන්නේ පිනට කුසලයට අලස වන්නාගේ සිත පාපයෙහි ඇලෙන බවයි. ‘දන්ධංහි කරොන්තෝ පුඤ්ඤං පාපස්මිං රමතී මනෝ” මෙහිදී අපගේ විශේෂ අවධානය යොමු කළ යුතු වන්නේ “දන්ධංහි” යන බුද්ධ වචනයටය. ඉන් ගම්‍ය වන්නේ පින් කිරීමට අලස වීමයි. දාන, සීල, භාවනාදී පින්කම් කිරීමට අලස නොවිය යුතුමය. කුමටද කුසලට කම්මැලි වන්නේ යන අදහස අනුව ඉතා උනන්දුවෙන් ,උත්සාහයෙන් පින්දහම් කිරීම වැදගත් වෙනවා.
මෙනිසා පින්දහම් කිරීම සඳහා දුප්පත්කම ආදිය බාධාවක් සේ නොසළකා සද්ධා ප්‍රඥාදී චෛතසික ධර්ම ප්‍රධාන කොට ගෙන ක්‍රියා කළ යුතුයි. අකුසලයෙන් බැහැරව කුසලයෙහි සිත යෙදවිය යුතුයි. දිවි ඇති තෙක් ප්‍රාණඝාතාදී අකුසලයෙන් මිදී දන් සිල් භාවනාදී කුසල් දහම්හි නිරතව මෙලොව පරලොව දෙලොව වාසනාවන්ත කරගැනීමට උත්සාහ දරමු.
ඔබ සැමට උතුම් දළදා සමිඳු සරණයි.
කුරුණෑගල මහ දිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝ නායක
තැඹිලිපොල රාජ මහා විහාරාධිපති
ශ්‍රී සද්ධර්ම වාගීශ්වර
නාමල්වත්තේ ශ්‍රී ආනන්ද නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ මැදින් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මාර්තු 27 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment