නෙළුම් මලක් අප නෙළුම යනුවෙන් හඳුන්වනු ලබයි. එය සඳහාම සංස්කෘත භාෂාව දන්න අයෙක් පදුම ලෙස හඳුන්වයි. එය සඳහාම ඉංග්‍රිසි ජාතිකයෙක් ලෝටස් නමින් හඳුන්වයි. එය සඳහාම තවත් පුද්ගලයෙක් පුන්ඩරීක යනුවෙන් හඳුන්වයි. ලබාදී ඇති නම් එක්කෙනාට එක්කෙනා වෙනස්. අපගේ ශරීර එකකට එකක් වෙනස් වශයෙන් දැක්කාට සත්‍ය වශයෙන්ම සම හැර අන් කිසිවක් වෙනසක් නැහැ. සම පමණක් වෙනස් වෙයි. අප ළඟ තිබෙන කෙස්, ලොම් ඉවත් කළ විට සම සම්පූර්ණයෙන්ම ගලවා ඉවත් කළ හොත් අපගේ ශරීරය කාගේද? කියා හඳුනාගන්න බැහැ. එම නිසා ලෝකය තුළ තිබෙන්නාවූ සියලු දේ හුදෙක් නාම මාත්‍ර ලෙස තේරුම් ගැනීම අවශ්‍ය වෙයි.
අප සියලු දෙනා ජීවත් වන සමාජයෙහි අප අපගේ දරුවන්ට නම් යොදා තිබෙනවා. වයස අවුරුදු හැත්තෑ පහක තාත්තා කෙනෙකු සිටිනවා යැයි සිතා එම තාත්තාට අවුරුදු පහළොවක දරුවෙක් සිටිනවා යැයි අපි සිතමු. එම පුතාට වයස අවුරුදු පහළොවක් වෙන දවසට අවුරුදු විස්සකට පෙර පුතා සිටියේ නැහැ. ඒ වකවානුව වන විට තාත්තාගේ වයස පනස් පහක් වෙයි. තාත්තාගේ වයස අවුරුදු පනස් පහේදී එම දරුවා ඉපදී නැහැ. නමුත් එම දරුවා වෙනත් ආත්ම භාවයක සිටී. එම දරුවා මිනිසෙක්ව ශ්‍රී ලාංකිකයෙකු වශයෙන්ම සිටියාම නම්,එම තැනැත්තාගේ වයස සාමාන්‍ය වශයෙන් කෙතරම් ප්‍රමාණයක් ඇතිද?වියපත් පුද්ගලයෙකු ලෙස සිට මිය ගියා නම්,
වයස අවුරුදු පනස් පහේදී වයස අවුරුදු අසූවක පමණ පුද්ගලයෙකු මියැදී ගොස් මෙම තාත්තා ළඟ ඉපදුනා විය හැකියි. අප කුඩා දරුවන්ට ලස්සන ල ස්සන නම් යොදයි. අප කුඩා අවධියෙහි එම දරුවන් කුමන වයසක සිටියා විය හැකිද?එම ශරීරයට වෙනත් නමක් . නම යොදා තිබෙන්නේ ශරීරයට පමණයි. ශරීරය මළා නම්,නැවත වෙනත් ශරීරයක් ගත් විට වෙනත් නමක් ලැබෙයි.හැඩය වෙනස් වීම
අපි කල්පනාකර බලමු. අවුරුදු විසිපහක තිහක දරුවන් සිටින තාත්තා කෙනෙකු ලෙස සිතමු.දරුවාට අවුරුදු විසිපහ වන විට තාත්තාගේ වයස අවුරුදු හැටපහක් නම්,තාත්තා තව අවුරුදු විස්සක් ජිවත් වූවිට තාත්තාගේ වයස අවුරුදු අසූපහක් වෙයි.
තාත්තා අවුරුදු අසූපහ වන විට මිය ගියා නම්, අවුරුදු විසිපහක පුතා තාත්තා මිය යන විට අවුරුදු හතළිස් පහක් වෙයි. පුතාට වයස අවුරුදු පනහ වන විට තාත්තාගේ වයස කීයක් වී ඇතිද?අවුරුදු හතරක වයසක් සම්පූර්ණ කරයි. පුතා අවුරුදු හතළිස් පහ වන විට තාත්තා නැවත පුතෙක් වශයෙන් ඉපදී වෙනත් නමක් ලබාගනී. සැම තැනකම, සැම දෙයකම, සැම ශරීරයකම, සෑම ගොඩනැඟිල්ලකම, සෑම ද්‍රව්‍යයකම ඇත්තේ එයයි. හැඩ පමණක් වෙනස් වෙයි. මේ ලෝකයේ තිබෙන සැම දෙයක්ම ඒ වගේ බව තේරුම් ගත යුතුයි. හැඩයෙන් හැඩය වෙනස් වන නිසා යොදා ඇති නම් වෙනස් වුවත්,සැම දෙයකම පොදු ගුණාකාරයක් වෙයි. එය නම්, උප්පාද වයධම්මිනෝ . උප්පාද වයධම්මිනෝ යනු පුද්ගලයෙකු මරණයට පත්වූ විට බැනරයක දමන වාක්‍යයක් පමණක් නොවෙයි. උප්පාද වයධම්මිනෝ යනු සුදුපාට රෙද්දක කලු අකුරින් ලියන්න පමණක් තිබෙන වාක්‍යයක් නොවෙයි. එහි සත්‍යය තේරුම් ගත යුතුයි. උප්පාද වනවා නම්, ක්ෂයවීම ධර්මතාවයක්. මේ ලෝකය තුළ අවබෝධකර ගැනීමට ඇත්තේ කුඩා කාරණාවක් පමණයි.
ඔබ රත්තරන්වලින් සාදන ලද භාණ්ඩ ඕනෑ තරම් පරිහරණය කර ඇති.රත්තරන් පත්‍රිකාවල ධර්මය පවා ලේඛන ගත කරයි. චෛත්‍ය රාජයාණන් වහන්සේට පලදවන කොත රත්තරන් වලින් සාදයි. රත්තරන් තුළින් කර්ණාභරණයක් නිර්මාණය කළ හැකියි. මුදුවක් සෑදිය හැකියි. මුදුවක හැඩය කරාබුවට වඩා වෙනස් වෙයි. රත්තරනින් පෙණ්ඩනයක් සෑදිය හැකියි. එහි හැඩය අනෙක් සියල්ලටම වඩා වෙනස් . ඇතැමෙක් රත්තරනින් නාසය අලංකාර කරයි. එය සියල්ලටම වඩා වෙනස්.රත්තරනින් කුඩා පිළිමයක් සෑදූ වට සියල්ලටම වඩා වෙනස් ස්වරූපයක් ගනී. සියල්ලෙහිම හැඩය වෙනස් වන අතර එකිනෙකට දමා තිබෙන නම්ද, වෙනස් වෙයි. සියල්ලටම පොදු එකම දෙය නම් රත්තරන්ය.වෙනස් වන්නේ හැඩය සහ නම පමණයි. ඒ සියල්ලම එකම ආකාරයට දිය කළ විට රත්තරන් ලැබෙයි. එකින් එකට වෙනස් නම් දැම්මාට සියල්ලම එකක් වෙයි. සෑම ශරීරයකම කායේ ලෝමා නඛා දන්තා තචෝ පමණක්මයි. ලෝකයෙහි සෑම දෙයකම තිබෙන්නේ පරමාණු පමණයි. පරමාණුවල සංයුතිය වෙනස් . පරමාණුවල සංයුතියේ ඝනත්වය වෙනස්. පරමාණු සංයුති ඝනත්වයට පත්ව අපට පෙන්වන වර්ණය වෙනස්. හැඩය ද වෙනස් වෙයි.
මැටිවලින් වළඳක් සාදා තිබෙනවා යැයි සිතමු. වළඳට වඩා මුට්ටිය වෙනස්. මුට්ටියට වඩා හට්ටිය වෙනස්. හට්ටියට වඩා පෙට්ටිය වෙනස්. ඇතිලියට වඩා නෑඹිලිය වෙනස්. මැටියෙන් නිර්මාණය කර තිබෙන සත්තු ඊට වඩා වෙනස්.හැඩය වෙනස් වුවත්, එකම ඇත්තක් පවතී. බුදුපියාණන් වහන්සේ ලෝකය දෙස බලා එයින් විස්මයට පත්වන්නට එපා කියාද,බලන බැල්මෙන් ආස්වාදයේ උපරිමයෙහි රඳාපවතින්නට එපා යනුවෙන් ද දේශනා කරනු ලැබුවේ එම කාරණාව නිසයි. මේ සැම දෙයක් ඇතුළතින්ම ඇත්ත දකින්න තරම් අපේ ඥානය ගලාගෙන යන තීක්ෂණ භාවයට අප නිදසුන් සෙවිය යුතුයි.
ලෞකික සිතිවිලි
අප ළඟ කඩදාසියක් තිබෙනවා යැයි සිතා එම කඩදාසියට අපගේ චින්තනය ගලාගෙන යාමට ඉඩහැර යම්කිසි ස්ථානයක රඳවා නවතා ගත හැකියි. මේ කඩදාසිය දෙස බලන විට සිතිවිලි ගලාගෙන එයි . කඩදාසිය ලස්සනයි, එය සුදුය, මිල අධිකය, එය ප්‍රයෝජනවත්ය,අලෙවිද කළහැක, යන තැන දක්වා පැමිණ එතෙක් දක්වා ඇවිත් නැවතුන හොත් කඩදාසි කොළය පිළිබඳ පැමිණි සිතිවිල්ලෙහි ලෞකිකත්වයයි. ඉන් එහාටත් ඇතුළට කිඳා බස්නා සිතිවිලි ඇතිකර ගත හැකියි. මෙය කොළයක්ය. එය නාම මාත්‍රිකය. මෙය සාදා ඇත්තේ පිදුරු ආදී ද්‍රව්‍ය වලින්ය. එය අවසානයේදී නැති වන්නේය. අවසානයෙහිදී ඉරීගිය විට ඉවතට වීසි කරයි. අවසානයේදී එම කොළය නැති වන්නේය. එම කොළය පිළිබඳ හටගත් සිතිවිල්ල එතැනින් නැවැත්වූ විට ලෞකික සිතිවිල්ලක් පමණක් ඇතිවෙයි. ලෞකික සිතිවිල්ල දක්වා පැමිණ එම සිතිවිලි ධාරාව නවතනවාට වඩා එම සිතිවිල්ල පතුළට කිඳාබැස නිරායාසීව ගලාගෙන යාමට සැලැස්සුව හොත් ලෝකෝත්තරය දක්වා සිත ගමන් කළ හැකියි.
කිසියම් ධර්මාසනයක් දෙස බලා එය ඉතාම මනස්කාන්තයි.සිත් ඇදගන්නා සුළුයි. මැනවින් කැටයම් කොට තිබෙයි. ඉතාමත් මිල අධික විය හැකියි. එම ධර්මාසනය පිළිබඳ ලෞකික සිතිවිලි ගලාගෙන යන්නේ කෙසේද? එය වටිනා ලීවලින් නිම කර ඇත. මෙහි කැටයම් කැපීමට මාස ගණන් ගත වනු ඇති. එය දක්ෂ කැටයම් ශිල්පියෙකුගේ නිර්මාණයකි. ඒ ලෞකික සිතිවිලි ධාරාව ගලාවිත් නැවතෙන තැනයි. එම ලෞකික සිතිවිල්ලෙහි සිත රඳා තබන්නේ නැතිව යටට කිඳා බස්නා ලෙස සිතිය යුතුයි.ධර්මාසනයක් බව සෑබෑය එය ලීවලින් නිර්මාණය කර ඇති බව සත්‍යයි. එය ගුල්ලන් ගසා ක්‍රමයෙන් දිරාපත් වන බව සැබෑය. ඉන් අනතුරුව ධර්මාසනය නැත. එසේ වන්නේ ධර්මාසනයට පමණක් නොවෙයි. එය නිදසුනක් පමණි. නිදසුනින් එහා ගිය ඇත්ත ධර්මාසනයට පමණක් පොදු නොවන සෑම තැනම තිබෙන පොදු ඇත්තක් වෙයි.
ලෝකෝත්තරභාවය ස්පර්ෂකිරීම
ලෞකික සිතිවිලි ධාරාව කිසියම් ස්ථානයක රඳවන්නේ නැතිව ගැඹුරට කිඳාබස්නා සේ ගමන් කරලීම ලෝකෝත්තරභාවය ස්පර්ෂකර ලෝකෝත්තරභාවය සාක්ෂාත් කරන සිතිවිල්ලයි. කැටයම ඉදිරියේ රැවටුණ හොත් , කැටයම ඉදිරියේ සිත මන්මත් වී ගිය හොත් ලෝකෝත්තරයට නොයා ලෞකික සිතිවිලිවල සිත අතරමං වෙයි.
අතීතයේ කරත්ත පිළිබඳව සිතුවත් වර්තමානය වන විට අලුත් වාහන දෙස බලාගෙන එය විශාල වටිනාකමක් ඇත. අසවල් රටෙන් ආනයනය කර ඇත. මෙහි වර්ණය බොහොම පැහැපත්ය. ආසන ඉතාම සුවපහසුය. එය බොහෝ මිල අධිකය. එහෙයින් කල් නොයවා මිලදී ගත යුතුයි. මේ වාහනය වටින්නේ කුමක් නිසාද ? එය අපේ ගෙදරට එහා ගෙදර නැති හෙයිනි. අපේ ගමට එම වාහනය තවමත් නොපැමිණි නිසා පැමිණීමට පෙර මා මිලදී ගත යුතුයි. යනුවෙන් ලෞකිකයෙහි සිත අතරමං වී ගිය ආකාරයයි.
වාහනයේ මිල අධික බව සැබෑය. එය සාදා ඇත්තේ ලෝහවලිනි. ලෝහ දිරාපත්වීම ස්වභාවිකය. තවත් අවුරුදු ගණනාවක් ගිය විට භාවිතයෙහි නැති වනු ඇති. දිරාපත් වනු ඇති. ප්‍රතිසංස්කරණය කරනු ඇති.නැවත නැවත හදනු ඇති.එය ලෝකෝත්තරයෙහි සිත අතරමං නොකර ලෞකිකයට සිත කිඳා බස්සවන ස්ථානයක් වෙයි.
කිසියම් අයෙකුගේ අතක් දෙස බලාගෙන මේ අත හරිම ලස්සනයි නියපොතු හරිම සුදුයි. වටකුරුයි විල්ලුද සමක් සහිතයි. වර්ණවත්. අල්ල හරිම පියකරුයි. කියා යමෙක් අතක් දෙස බලාගෙන අතට වශී වුවහොත් එය සිතිවිල්ලක් සේ ලෞකිකයෙහි අතරමං වීමක්. කළ යුත්තේ කුමක්ද? එය සමය.සම මතුපිට ඇත්තේ ලොම්ය. එයට යට ඇත්තේ කුඩා සමය . එයටත් යට ඇත්තේ සමය. සමට යට ඇත්තේ මසය. මසට යට ඇත්තේ ඇටය. ඇට අතර ඇත්තේ ඇට මිඳුලුය. එය අතර ඇත්තේ නහරය .ඒවායෙහි ඇත්තේ ලේය.එයටත් යට සිරා හා ධමනිය.එය සැම එකක් සඳහාම වෛද්‍යවරු ඇත්තේය. වෛද්‍යවරු එය ප්‍රතිසංස්කරණය කරමින් ප්‍රතිකර්ම කරමින් සුවපත් කිරීමට වෑයම් කරනු ඇත්තේ එම සියල්ලම ලෙඩ වන නිසාය. මෙහි මනස්කාන්ත භාවය ඉදිරියෙහි ඇස් රවටාගනු වෙනුවට කිදා බස්නා ඇත්තකින් ලෝකෝත්තර සිතිවිල්ලකට අත හරහා සිත ගමන් කරවිය හැකියි. එසේ වූ විට පෙනෙන්නට තිබෙන ඔපමට්ටම් විල්ලුද සමෙහි සිත රඳවා ලෞකිකයෙහි අතරමං නොවී ලෝකෝත්තරය දක්වා ගමන් කළ හැකිය. ඇල්ම නැති වන්නේ එවිටයි. ඒ ආකාරයට කල්පනා කරන විට මේ ශරීරය පිළිබඳ ඇලීමක් ද ගැටීමක් නැහැ. ඇලීමෙන්ද තොර ගැටීමෙන්ද තොර අවස්ථාව නිවන පහසු කරවන තැනක්.
එම නිසා නාම මාත්‍රික දේ පිළිබඳව නාම මාත්‍රිකව කල්පනා කරමු. එය සඳහා විභාග සමත් වීමට අවශ්‍ය නැහැ. තේරුම් ගැනීමට විභාග සමත් වීම අවශ්‍ය නැහැ. ඔබ දන්නා ප්‍රමාණය හොදටම ප්‍රමාණවත්. වයස අවුරුදු අෙටි චුල්ල පන්ථක කුඩා දරුවාට තේරුනා නම්, වයස අවුරුදු අෙටි හතේ සෝපාක දරුවාට තේරුණා නම්, කසළ සෝදක සුනීතට තේරුණා නම්. දෑස් අන්ධ මන්ද කරවන විකසිත බව ඉදිරියේ අතරමං වනු එපා.කිඳා බස්නා සිතිවිල්ලෙන් ලෝකයේ සත්‍ය සත්‍යයේක්ෂණය කරන්නට වෑයම් කළ යුතුයි. මේ ශරීරයත් ඒ වගෙයි.අනෙක් ශරීරත් ඒ වගෙයි. ශරීර නොවන වෙනත් ද්‍රව්‍යද ඒ වගෙයි. සියල්ලේම ඇත්තේ පරම අණු හෝ අණුක පමණයි. ඇත්තේ වෙනස නම්න් පමණයි. එම සත්‍ය තේරුම් ගත යුතුයි.
කැලණිය විශ්ව විද්‍යාලයේ
සංස්කෘත අධ්‍යයන අංශයේ
මහාචාර්ය
ඉඳුරාගාරේ ධම්මරතන හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ මැදින් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මාර්තු 05 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment