Labels

Sunday, April 9, 2017

නොදුන් දේ ගැනීම සොරකමයි

අදින්නා දාන කවුරුත් දන්නා සිල් පදයයි. අදත්ත සහ අදින්න යන වචන දෙකෙහිම තේරුම නොදුන් යන්නයි. පාලි බසින් "දත්ත" වචනය දුන් යන අර්ථය ගෙන දේ. ඒ අනුව අදත්තය යනු නොදුන් ලෙස පැහැදිලි වේ. අදින්න යන්නෙහි තේරුම ද එයයි. ආදාන නම් ගැනීමයි. තමන්ට නොදුන් යමක් ගැනීමක් වේද, එය සොරකමකි. මෙලොවෙහි තමන්ට අයත් නොවන යමක් වේ නම් ඒ සියල්ල අයත් වන්නේ අනුන්ටය. අනුන්ට අයිති දෙයක් වේ නම් එහි අයිතිකරුවෙකු ද සිටිය යුතු බව සාමාන්‍ය පිළිගැනීමයි. අයිතිකරුවෙක් ඇති දෙයක් ගැනීමෙන් පව් සිදුවන බවත්, එසේ අයිතිකරුවෙක් නැති දෙයක් ගැනීමෙන් පව් නො සිදුවන බව අපගේ හැඟීමයි. එය වැරැදි මතයකි. දෙවැනි සිල් පදයෙහි සඳහන් වන්නේ නොදුන් දේ ගැනීමෙන් වැළකීම මිස අයිතිකරුවෙක් ඇති දෙයක් ගැනීමෙන් වැළකීම නොවේ.අවුරුදු සියයක් මිනිස් වාසයෙන් තොර යම් කැලෑවකට මනුෂ්‍යයෙක් ඇතුල් වෙයි.
තමන්ට කලින් අවුරුදු 100 කට පෙර කිසිම මිනිසෙක්් මේ කැලෑවට ඇතුල් වී නොමැති බව මේ මනුෂ්‍යයා හොඳින්ම දනී. එසේ දැනුවත්ව යන මේ තැනැත්තාට ඒ කැලයේ බිම වැටී ඇති ඉඳිකටුවක් දකින්නට ලැබෙයි. මේ කැලයට මිනිසෙක් අන්තිමට ඇතුල් වූ කාලසීමාව හා සලකා බලන විට මේ ඉඳිකටුවත් අවුරුදු 100 ක් හෝ ඊට වඩා පැරැණි විය යුතුය. එසේ කිසිම අයිතිකරුවෙක් පෙනෙන්නට නැති අර ඉඳිකටුව මේ පුද්ගලයා ගත්තා නම් එයද සොරකමකි. එය එසේ වන්නේ නොදුන් දේ ගැනීම හේතුවෙනි. මම ගන්නේ මට නොදුන් දෙයක් කියා දැන ගැනීම සොරකමට සම්බන්ධව චේතනාවයි.

අග්ගඤ්ඤ සුත්‍රයට අනුව ප්‍රාණ ඝාතයටත් ප්‍රථමයෙන් ලොවෙහි ඇති වී තිබෙන්නේ අදත්තාදාන පාප කර්මයයි. එම සූත්‍රයට අනුව මුලින්ම සොරකම් කළ තැනැත්තා පොහොසතෙකි. පොදුවේ බෙදා දුන් ඉඩම් පරිහරණය කරමින් මිනිසුන් සතුටින් සිටින විට එක් අසංතෘප්ත පුද්ගලයෙක් අනෙක් අයගේ ඉඩම්වලට පැන ඒවා අල්ලා ගන්නට යාමෙන් මුලින්ම සොරකම සිදුවූ බව එම සූත්‍රයෙහි සඳහන් වේ.

ලෝභ, ද්වේශ, මෝහ යනුවෙන් අප සැම දෙනාගේ සිතෙහි ඇති අකුසල මූල තුනකි. අකුසල් මූල සිතේ තිබූ පමණින් පව් සිදු නොවේ. ඒවා අකුසල්ය. අකුසල් හිතේ තිබූ පමණින් පව් සිදු නොවුවත්, පව් සිදුවන්නේ මේ සිතිවිලි තුන ක්‍රියාත්මක වීම තුළිනි. සිත, කය, වචනය යනුවෙන් මේ සිතිවිලි කි‍්‍රයාත්මක වෙන ක්‍රමවේද තුනකි. ලෝභය නමැති අකුසලය සිතෙන් ක්‍රියාත්මක කරන විට විෂම ලෝභය නමැති පාප කර්මය සිදුවේ. ලෝභය නම් තමන් සතු දේ පිළිබඳව ඇති දැඩි බැඳීමයි. විෂම ලෝභය නම් අනුන් සතු දේ තමන් සන්තක කර ගැනීමට ඇති දැඩි වූ ආශාවයි. යමකට අයිතිකරුවෙක් සිටින බව දැන දැනත් ඒ පුද්ගලයා සතු දේ තමන් සතු කර ගැනීමට මානසිකත්වයක් සකස් වනුයේ විෂම ලෝභයෙන් පෙළීම තුළයි. මෙවන් සිතිවිල්ලකින් පසුවන තැනැත්තා තමන් කැමති වස්තුව කෙරෙහි දැඩි ආශාවෙන් පෙළෙමින් එය තමන් සතු කර ගැනීමට නිරන්තරයෙන් සැළසුම් යොදයි. ඒ පිළිබඳ සිතිවිල්ලෙන් ම පසුවෙයි. ඒ පුද්ගලයා එසේ සිතන්නා වූ සෑම මොහොතකදී ම පහළ වෙන චේතනා අභිජ්ඣාව මුල් කොට ඇති වූ මනෝ කර්ම බවට පත්වේ. මෙම මනෝ කර්ම ප්‍රබලව සිදුවීම නිසා මෙම සිතිවිලි තවදුරටත් සිතේ තබා ගැනීමට නොහැකිව, ඒවා කයෙන්ද ක්‍රියාත්මක වීම ආරම්භ වේ. අන් සතු දේ තමන් සතු කර ගන්නට සිතීම පවා පවකි. නමුත් එය පරිපූර්ණ පවක් බව පත් වන්නේ ඒ සිතිවිල්ල ක්‍රියාත්මක කිරීම තුළිණුයි.

ප්‍රාණඝාතය සහ අදත්තාදානය සියලු පාපයන්ගේ ප්‍රධාන පව් දෙකක් වශයෙන් ගැනේ. මෙයින් අදත්තාදානය බොහෝ විට සිදුවන්නේ නැති බැරිකම හේතුවෙන් බවට සාමාන්‍ය පිළිගැනීමක් ඇත. නමුත් සොරකම් කරන්නේ දිළිඳුකම නිසාම නොවේ. සොරකම සිදුවන්නේ පොහොසත් දුප්පත්කම නිසා නොව ඒ ඒ පුද්ගලයාගේ සිතෙහි ක්‍රියාත්මක වන තණ්හාව හෙවත් ලෝභය නිසයි.
කෙසේ නමුත් සොරකම යනු නොදුන් දේ ගැනීමයි. යමෙක් තමන්ට නොදුන් දෙයක් තමන්ගේ භාවිතය සඳහා ගනීද, එය අනිවාර්යයෙන්ම සොර සිත මුල් වී කරන ක්‍රියාවකි.

1. සොරකම් කිරීම (අනුන් සතු නොදුන් දේ සොර සිතින් ගැනීමෙන්),

 2. අනුන් ලවා සොරකම් කරවීම, 

3. සොරකම් කරනවා දැක සතුටින් ඒ දෙස බලා ඉවසා සිටීම.

යමෙක් අන් කෙනෙකු ලවා සොරකම් කරවීනම්, ඒ සොරකම සිදුකළේ තමන් නොවේ යැයි සිතා එම පාප ක්‍රියාවෙන් නිදහස් විය නොහැක. මේ දේ සොරකම් කරන්න යැයි තමා දුන් නියෝගයක් අනුව කෙනෙක් යම් වස්තුවක් තිබු තැනින් ඉවත් කළ සැණින් ඒ නියෝගය දුන් තැනැන්තාට සොරකමෙහි පාප කර්මය සිදුවෙයි.
ඒ නියෝගය දුන් පුද්ගලයාට සහ සොරකම සිදුකළ තැනැන්තා යන දෙදෙනාම ඒ සිල්පදය කැඩු අය වෙයි. සොරකම් කරනවා දැක සතුටින් එය ඉවසා සිටීම මඟිනුත් අදින්නාදාන සිල්පදය බිඳේ. මෙය සිදුවන්නේ සොරකම දෙස නිකම්ම බලා සිටීමෙන් නොව එය සතුටින් වින්දනය කිරීම තුළිනි. ඒ සොරකම ඇගයීමට ලක් කරමින් ඒ පිළිබඳව උදම් අනමින් කටයුතු කිරීමෙන්ද පව් සිදුවේ. ටෙලි නාට්‍යය, චිත්‍රපට ආදිය මඟින් පෙන්වන විවිධ සොරකම් දැක බලා අප සතුටු වන අවස්ථාද බොහෝ තිබේ. එම ක්‍රියාව යහපත් යැයි එය අනුමත කොට එමඟින් සතුටු වීමෙන්ද පහළ වන්නේ පවිටු සිතිවිලිමය. යමෙක් අදත්තාදානයෙන් වළකින්නට නම් 
1. අනුන්ට අයත් දේ ගැනීමෙන් වැළකීම, 

2. අනුන්ට අයත් දේ වෙනත් අයෙකු ලවා නො ගැනීම,

 3. අනුන්ට අයත් දේ ගන්නා විට ඉවසා නොසිටීම කළ යුතු වෙයි.

අනුන්ට අයත් දේ ගැනීමෙන් හැකිතරම් වැළකීම අපගේ වගකීමයි. මෙය බොහෝ කලක් සිට දූවිලි වැදෙමින් මෙතැනම තිබුණා යැයි අයිතිකරුවෙක් නැති දේ ලෙස සිතා හෝ අන්සතු දේ ගැනීම නොකළ යුතුයි. භාණ්ඩ කිහිපයක් යම් තැනකට රැස්කර මෙහි ඇති භාණ්ඩ කැමැති අයට ගෙන යා හැකියි කියා දැන්වීමක් එතැන ගසා තිබුණා යැයි සිතමු. කාලයාගේ ඇවෑමෙන් මේ දැන්වීම් පුවරුව ගැලවී ගියානම්, එම පුවරුව නැවත සවිවන තුරු ඒ භාණ්ඩ ගැනීමක් සිදු නොකළ යුතුය. එසේ කළයුත්තේ ඒ පුවරුව එතැන නැත්තේ එය සුළඟේ ගසා ගියා හෝ එය ඉවත් කර හෝ එම භාණ්ඩ නොමිලයේ දීම දැන් නතර කර ඇද්දැයි අප හරියටම නොදන්නා බැවිනි. නොමිලයේ දෙන දෙයක් හෝ දෙන ප්‍රමාණය හඟවා ඇත්නම් ඒ ප්‍රමාණයට වඩා ගැනීම සොරකමකි.

සොරකම සම්පූර්ණ වීමටනම්

1. අනුන්ට අයත් වස්තුවක් වීම,

 2. අනුන්ට අයත් බව දැන ගැනීම, 

3. සොර සිත, 

4. තිබූ තැනින් එම වස්තුව බැහැර කිරීම, 

5. එය සොරා ගැනීම යන කරුණු තුළින් සොරකම සම්පූර්ණ වෙයි.

තමන්ට අයත් නොවන ඕනෑම දෙයකට අයිතිකරුවෙක් සිටියි. අයිතිකරුවෙක් නැති යම් දෙයක් ඇත්නම් එය රජය සතු වෙයි. ඒ අනුව මහ මඟ වැටී දින ගණනක් ගතවුවද අයිතිකරුවෙක් පෙනෙන මානයකවත් නොමැති දෙයක් හෝ අපට අයිති කරගත නොහැකියි. එය තමන් පරිහරණය කිරීම සොරකමයි.

සමහර විටක කලබල අවස්ථාවන්හි අප නො දැනුවත්ව අනුන්ට අයත් දේවල් අපේ යැයි සිතා ඒවා ගත්තාට එතැන සොර සිතක් නැති බැවින් පාපයක් සිදු නොවේ. ගෙන ඇත්තේ අනුන්ට අයත් දෙයක්නම් එසේ දැනගත් විට එය නැවත දීමෙන් ඒ වැරැද්ද නිවැරැදි කර ගත හැක. සොරකමක් වන්නේ අන්සතු බව දැන දැනත් යම් තමන්ගේ සුඛ විහරණය සඳහා යොදා ගැනීමෙන් පමණි.





ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ‍මැදින් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මාර්තු 27 වන සඳුදා  දින බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment