භාග්‍යවතුන් වහන්සේ අමා දොර විවර කරන මොහොතේ පරිසරයේ සිදුවූ සුවිශේෂී විපර්යාසය පසුගිය ලිපියෙන් සඳහන් කළා. අද පළවෙන්නේ මෙම ලිපියේ සිව්වන කොටසයි.
භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාවෙන් මුලින්ම සඳහන් වෙන්නේ ත්‍රි ලක්ෂණයයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වූ ත්‍රිලක්ෂණයෙන් භාග්‍යවතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරනවා. ආර්ය සත්‍ය ධර්මය දාසය ආකාරයකට බෙදා දේශනා කර නැවත වතාවක් එය හැටදාහකට බෙදා දක්වනවා. ආර්ය සත්‍ය හතරයි යනුවෙන් සඳහන් කරනවා. මෙසේ කොටස් දාසයකට බෙදා නැවත වතාවක් ක්‍රම හැටදාහකට බෙදා දේශනා කරද්දී දෙව් බඹුන් බියට පත් වෙනවා.
මෙසේ ක්‍රම හැටදාකට බෙදා දේශනා කරද්දී කුමටද බය වුණේ? දිව්‍ය ලෝකවල ඇත්තේ අප්‍රමාණ සැපයි. දෙවියන්ට තිබෙන ආයුෂ අප්‍රමාණයි. කල්ප ගණනින් ආයුෂ තිබෙනවා. ස්වල්ප ආයුෂ එහෙම නොවෙයි. සමහර බ්‍රහ්ම ලෝකවල තිබෙන්නේ කල්ප ගණන් ආයුෂයි.
එක බුදුවරයෙක් නොවෙයි, බුදුවරු හත් නමක් දැකපු බ්‍රහ්ම රාජයොත් බ්‍රහ්ම ලෝකවල ජීවත් වෙනවා. දෙවියන්ට තිබෙන අඩුම ආයුෂ මනුෂ්‍යය ලෝකයේ වර්ෂවලින් ලක්ෂ අනුවක් බව සඳහන් වෙනවා. වැඩිම ආයුෂ තිබෙන දෙවියන්ගේ ආයු ප්‍රමාණය මනුස්ස වර්ෂ නවසිය විසිඑක් කෝටි හැට ලක්ෂයක ආයුෂයි. මෙහෙම ආයුෂ තිබෙන දෙවියෝ තැති ගන්නවා.
ඇත්තටම තැතිගන්න දෙයක් නැහැ. දෙවියන්ට ලැබෙන ආහාර පානවල අඩුවක් නැහැ. අපට වගේ ලෙඩ රෝග වැළෙඳනවාද? නැහැ. ශරීරයෙන් දහදිය බිඳුවක්වත් නොදමන මහා සැප ඇති මේ දෙවියොත් තැති ගන්නා බව සඳහන් කරනවා. අපේ මේ ආයුෂ නිත්‍ය නැහැ. අවුරුදු කෝටි ගණන් භුක්ති විඳිමින් ජීවත් වුවත් යම් දවසක ඔබෙත්, මගෙත් ආයුෂ පිරිහෙනවා.
එසේම, දෙවිවරු සසර ගමන ගැන බිය වෙන බව සඳහන් කරනවා. සැපයි , සැපයි යනුවෙන් ජීවත් වුණාට මේ එක තැනකවත් සැප නැහැ. දිව්‍ය ලෝකයෙන් චුතවී කොතන උපත ලබයිද , දන්නේ නැති තරමින් මේ සසර ගමන බියකරුයි. අනිත්‍යයයි, ස්ථීර පැවැත්මක් ඇත්තේම නැහැ. යමක වෙනස්වීමේ ස්වභාවයෙන් යුක්ත නම්, වෙනස් වනවා නම් එතැන සැපක් නැහැ.
අප කැමැතිද, වෙනස් වෙනවට? නැහැ. තමන් මොහොතින් මොහොත, දවසින් දවස , වෙනස් වුවත් ඒ තමන්ගේ රූපයේ වෙනස මාසෙන් මාසෙට දුටුවොතින් අප කවුරුත් සතුටුද? මේ ගැන කවුරුත් කියනවටවත් කැමැති නැහැ. අප සැවොම දුකට පත් වෙනවා. ඒ නිසා වෙනස් වී ඇති බව යටපත්වෙන්න අප විවිධ තාවකාලික ක්‍රමවේද පාවිච්චි කරනවා. බෙහෙත් හේත්, ආලේපන ආදී විවිධ ක්‍රමවේදයන්ගෙන් මේ වෙනස්වීම වහගන්නවා. අප වෙනස් වීමට කැමැති නැත්තේ ඇයි? වෙනස්වීම අනිත්‍ය නිසා දුක ඇතිවෙනවා. එසේනම්, දුක්ඛ යනුවෙන් සඳහන් කළේ එයයි. වෙනස් වීමක් තියෙනවා. එය ස්ථීරයි. වෙනසකින් දුක ඇති වෙනවා. ආත්මයක් නොමැති මෙය අනාත්මයි. මෙය දෙවියන්ගේ මතකයට නැඟී, අප සිටින්නේ රැවටීමෙන් බව අවබෝධ වෙනවා.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ ධර්මය කොටස් කර දේශනා කර වදාළා. අප නිත්‍ය නැහැ. තාවකාලික රැවටීමකින් සියලු දෙනාම සිටිනවා. මෙහෙම හිතන්නේ දෙවිවරු. එසේනම්, මිනිසුන්ට කෙසේ සිතෙන්න ඕනද? අවුරුදු කෝටි, ප්‍රකෝටි ගණනින් ආයුෂ ඇති දෙවියන්ට මෙසේ සිතෙනවා. අප නිත්‍ය නැහැ. අප රැවටිලයි ඉන්නේ, මීට වඩා යමක් අප කරගත යුතුයි යනුවෙන් කල්පනා කර ශීල, චිත්ත, විමුක්තිය ලබනවා. ශීලය දියුණු කරනවා. ශ්‍රද්ධාව, ශීලය දෙවිවරු ළඟ තියෙනවා. තව තවත් ශීලය පුහුණු කරනවා. පුහුණු කර විමුක්තිය කෙසේ හෝ සොයා ගන්නවා.
නාම ධර්මයෙන්ගේ, රූප ධර්මයන්ගේ අනිත්‍ය භාවය මනාව අවබෝධ කර ගන්නවා. පටිච්ච සමුප්පාදය තෙරුම් ගන්න වෑයම් කරනවා. මග්ගා මග්ග ඵලයෙන් දිව්‍ය ඥානය ලබා නාම රූපයන්ගේ වෙනස්වීම මනාව අවබෝධ කරන්න උත්සාහ කරනවා. භංගා භංග ඥානය නිසා දෙවියන් ඉදිරියෙන් ඉදිරියට යනවා. මේ අනිත්‍ය ලෝකයේ රැවටිලා සිටින්න උත්සාහ කරන්නේ නැහැ. භංගානු ඵස්සනාව දැක බයට පත් වී පට්ඨානය දැක සියල්ලෙහිම අනිත්‍ය බව දකිනවා. අප මුලාවෙන් සසරේ සැරි සරන බව තේරුම් ගන්නවා. ඒනිසා, වහවහා සංසාරයෙන් එතෙර විය යුතුයි යන අධිෂ්ඨානය දෙවියන්ට පහළ වෙනවා.
නිකවැරටිය රත්නායකපුර
නෙළුම්ගල පුරාණ විහාරයේ
කෝරළයාගම සරණතිස්ස හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ බක් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 අප්‍රේල් 03 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment