Labels

Monday, April 10, 2017

සිතට වධ දෙන කාම රාගය

‘කාම’ යන්න බුදුදහමෙහි නිතර භාවිත වන වචනයකි. එහි සරල අදහස වන්නේ කැමැත්ත යන්නයි. ධර්මයෙහි උගන්වන පරිදි මොකක්ද? මේ කැමැත්ත. සසර දිගු කිරීමට හේතුවන පස්කම් සැප පිළිබඳ කැමැත්තය. කම් සැප ලෙස ධර්මයෙහි විස්තරවන කරුණු පහක් පෙන්වා දෙන්නට පුළුවනි. ඒවානම් රූප, ශබ්ද, ගන්ධ, රස හා ස්පර්ශ යන පහයි. පුහුදුන් සිත නිරන්තරයෙන් උත්සාහවත් වන්නේ මේ සැප අත්පත් කරගැනීමේ ක්‍රියාවලියෙහි යෙදීමටයි. ඉතින් අප මේ සැප ළඟා කර ගැනුමට යොදා ගන්නා ඇස, කන, නාසය, දිව හා ශරීරය ඉන්ද්‍රිය පහක් ධර්මයෙහි උගන්වනවා. මේ ඉන්ද්‍රිය පහ නිරන්තරයෙන් උත්සාහවත් වන්නේ මේ අරමුණු පිටුපස හඹා යන්නටයි.
‘කාම’ යන්න බුදුදහමෙහි නිතර භාවිත වන වචනයකි. එහි සාමාන්‍ය සරළ අදහස වන්නේ කැමැත්ත යන්නයි. ධර්මයෙහි උගන්වන පරිදි මොකක්ද? මේ කැමැත්ත. සසර දිගු කිරීමට හේතුවන පස්කම් සැප පිළිබඳ කැමැත්තය. කම් සැප ලෙස ධර්මයෙහි විස්තරවන කරුණු පහක් පෙන්වා දෙන්නට පුළුවනි. ඒවානම් රූප, ශබ්ද, ගන්ධ, රස හා ස්පර්ශ යන පහයි.

මිනිස් සිත ඒ අරමුණු කෙරෙහි හඹා යා නොදී පාලනය කර ගැනීම තුළින් තමයි මේ කාමය පාලනය කර ගත හැකි වන්නේ. ඒවා පාලනය කර ගැනුමට හේතු වන සිතිවිලි දෙකක් ‘හිරි’ හා ‘ඔත්තප්ප’ ලෙස ධර්මයෙහි පෙන්වා දී තිබෙනවා. සත්ත්වයාගේ ප්‍රතිසන්ධිය හෙවත් නැවත උපත ලබාදීමට හේතු වන්නේ කාම සිතිවිලි එකතුවීමයි. කාම සිතිවිලි නිසා අප විසින් සිදු කරනු ලබන ක්‍රියාවන් සියල්ලටම කෙටියෙන් විස්තරයක් ලබා දෙනවා නම් ඒවා ‘කුසල’ හා ‘අකුසල’ කර්ම ලෙස පෙන්වා දෙන්නට පුළුවනි. ඒ ආකාරයෙන් බලනවිට කාටද? මේ කුසල සිතිවිලි ඇතිවන්නේ. පුහුදුන් එනම් කෙලෙස් සහිත සත්වයාටයි. බුදු පසේ බුදු, මහරහත් උත්තමයන්ට මේ කුසල හෝ අකුසල සිත් පහළ නොවන නිසා උන්වහන්සේලා අතින් සිදුවන්නේ හුදෙක් ක්‍රියාවන් සමුදායක් පමණයි.
කාමයන් පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර රාශියක් ම පවතිනවා. අද අපි විස්තර කර දෙන්නට අපේක්ෂා කරන්නේ ‘කාමාධිවචන’ නමැති සූත්‍රධර්මයයි. උන්වහන්සේ මේ සූත්‍රය දේශනා කර වදාරන්නේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන අවස්ථාවකයි. එහිදී උන්වහන්සේ පෙන්වා දී තිබෙනවා කාමය යන්නට ම දිය හැකි තවත් වචන කීපයක්. එයින් පළමුවැන්න ලෙස පෙන්වා දෙන්නේ ‘දුක්ඛ’ යන්නයි. දුකෙහි අවසානයක් දකින්නට නම් දුක ඇතිවීමට හේතුව කුමක්ද? යන්න පිළිබඳ මනා විමසීමකින් යුක්තව සිහියෙන් ක්‍රියා කළ යුතු වෙනවා. එහෙම වුණොත් ඔහුට වැටහෙනවා මේ දුක ඇති වන්නේ තම සිතේ දැවෙන පංචකාම වස්තු පිළිබඳ ඇලීම නිසා බව. ඉතින් ඒ සඳහා මනා සිහිය පවත්වා ගැනීම අවශ්‍ය වෙනවා. එවිටයි දුක වටහා ගත හැකි වන්නේ. ඔහුට මේ තත්ත්වයෙන් අතමිදෙන්නට නම් කල්‍යාණ මිත්‍රයෙකුගේ පිහිට පතන්නට අවශ්‍ය වෙනවා. එහෙත් තම චිත්ත සන්තානයෙහි බලපවත්නා කාමෝන්මාද ස්වභාවය මෙයට අවස්ථාව සලසා දෙන්නේ නැහැ. මේ නිසා සදාකාලිකව දුක් විඳිනවා ‘කාම’ යනු භය ලෙසත් සඳහන් වෙනවා. එයින් අදහස් කරන්නේ ‘කාම’ යන වචනයට ‘භය’ යන අරුත දෙනවා කියන එකයි. ජීවිතයේ අප නිරන්තරයෙන්ම මේ භය අත්විඳිනවා. නිතරම අප භයෙන් ජීවත් වෙනවා. තිරිසන් ගත සුනඛයෙක්, නරියෙක්, අලියෙක්, සර්පයෙක් වැනි සතෙක් ගැන මොහොතකට සිතා බලන්න. මේ තිරිසන් සත්ත්වයෝ කොතරම් භයෙන්ද ජීවත් වන්නේ කියලා. මොකක්ද? මේ භය තමන්ගේ ජීවිතයට තර්ජනයක්, විපතක් කරදරයක් වේ දෝ කියන භය, මේ නිසා සර්පයා පවා වෙනත් ප්‍රාණියෙක් දැක්ක විගස ඒ සතාගෙන් බේරී යන්න උත්සාහ කරනවා. එසේ බැරි වෙයි කියලා සිතන කොට ඒ සර්පයා තමන්ට භය ගෙන දෙන ප්‍රාණියාට දෂ්ට කරනවා. ඉතින් මිනිසාත් එහෙම තමා. ඔහුට බුද්ධිය තිබෙන නිසා හුරු පුරුදු මිනිසුන් දුටුවිට භයක් ඇති කරගත්තේ නැතත් නුහුරු නුපුරුදු පරිසරයක මිනිසෙකු දුටුවිට ඒ මනුස්සයාගෙන් අපට විපතක් වේද? කියා වරෙක තැති ගන්නවා. මේ තමා හැම පුහුදුන් සත්වයෙකුගේම ස්වභාවය. එනම් සියලු භය දුරු කළ උත්තමයා යන්නයි.
ඒ වගේ ම කාම යන්නට යෙදෙන තවත් අර්ථයක් ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. රෝග යන්න. මෙය ව්‍යසනයක් ලෙසයි විස්තර වන්නේ. කාම යන්නත් එක් ආකාරයක රෝගයක්. ඇයි? එය රෝගයක් වන්නේ මේ නිසා පුද්ගලයා කායික හා මානසික වශයෙන් මහත් පීඩාවකට ගොදුරු වෙනවා. එපමණක් ම නොවෙයි කාමය නිසා ඇතිවන අරමුණු සම්පූර්ණ කර ගන්නට අපහසු වූ විට ඒ තුළින් සත්වයා නිරන්තරයෙන් තැවීමකට පත් වෙනවා. මේ තැවීම නිසාම රෝග පීඩාවන්ට ගොදුරු වෙනවා. ධර්මයෙහි විස්තර වන ආකාරයට මේක ‘ඕඝය’ ක් ඉතින් ඕඝයක් හෙවත් සැඩ පහරක් වන මේ කාමය සත්ත්වයා දුකට ඇද ගෙන තල්ලුකර ගෙන යනවා. ඒ නිසා දුක් සහිත තත්ත්වයක් ලෙස රෝග පීඩා හඳුන්වා දෙන්නට පුළුවනි. කාමයට ධර්මයෙහි භාවිත වන තවත් වචනයක් ලෙස ‘සල්ල’ යන වචනය පෙන්වා දී තිබෙනවා. සල්ල යන්නෙහි අර්ථය වන්නේ ‘උල’ යන්නයි. තවත් ආකාරයකින් ප්‍රකාශ කරනවා නම් කටුව, විදිනය, වේදනා සහගත කාවැදීම යන අර්ථ ලබා දෙනවා. බුදුදහමට අනුව චිත්ත සන්තානයෙහි ඇතිවන කාවදින නිරන්තරයෙන් බලපාන රාග, දෝෂ, මෝහ, මාන, දිට්ඨි යන ධර්මතා මේ වචනයෙන් අදහස් වේ. මේ එක් එකක් ගෙන බලනවිට ඒ හැම එකකින්ම අපේ චිත්ත සන්තානය පලුදු වෙනවා. මේවා සිත සිදුරු කරන සිතිවිලි. ඒ විතරක් නොවේ පුහුදුන් සිතේ නලියන මේ සිතිවිලි ක්‍රියාත්මක වීමෙන් තම සිත පලුදු වෙනවා පමණක් නොව ඕනෑම සමාජයක ජීවත් වන විට සමාජයේ අනිකුත් බොහෝ දෙනාට වධයක් පිණිස හිංසාවක් පීඩාවක් පිණිස හේතු වෙනවා. මේ සියල්ල ම මීළඟට කාම යන්නට යෙදෙන තවත් අර්ථයක් ප්‍රකාශ කරන වචනයක් ලෙස මෙම සූත්‍රයෙන් පෙන්වා දෙනව ‘සග‘ යන්න මේ සග යන්නෙන් අදහස් කරන්නේ ඇලෙන, ගැලෙන හෙවත් ලගින ස්වභාවයයි. ඇලෙන ලගින ගතිය නිසා සිදු වන්නේ වෙන් කළ නොහැකිව බැඳී පැවතීමයි. අපේ සිත්වල බලපවත්නා විවිධ කාම සිතිවිලිවල ස්වභාවයම ඇලෙන, ලගින ගතියයි. එයින් ඉවත් වීම, වෙන්වීම හරිම දුෂ්කර වැඩක්. අද අප ජීවත්වන මේ සමාජයේ සිය දිවි නසා ගැනීම්වල ස්වභාවය හා හේතු යුක්ති සළකා බැලුවහොත් මේ තත්ත්වය අපට මැනවින් වැටහෙනවා. හොර මැර තක්කඩිකම්වලට, මත්ද්‍රව්‍යයන්ට, මත්වතුරට ඇලෙන, ඇබ්බැහි වූවන් ගැන විමසා බැලුවත් මේ තත්ත්වයෙහි වෙනසක් දකින්නට පුළුවන්කමක් නැහැ. මේ ඇලෙන ලගින ස්වභාවය නිසා කාම සිතිවිලි මිනිස් සිතට වධ දෙනවා.

‘කාම’ යන්නට තවත් යෙදෙන වචනයක් ලෙස ‘කාමාධිවචන’ සූත්‍රයෙහි කියවෙනවා. ‘පධ¢ක’ යන්න. සාමාන්‍ය අර්ථය වශයෙන් ගත්තහම ‘පධ¢ක’ යන වචනයේ තේරුම වන්නේ ‘මඩ’ යන අදහසයි. ඉතින් කාමය මඩ යන අර්ථයෙන් මෙහිදී සටහන් වන්නේ මේ කාමයෙහි ගති ලක්ෂණ ස්වභාවය අනුවයි. මඩෙහි ස්වභාවයන් කිහිපයක් වෙනවා. ඇලෙන, තැවරෙන ගතිය එක ලක්ෂණයක්. එමෙන්ම එරෙන ගතිය තවත් සභාවභාවයක්, වැගිරෙන ගතිය තවත් ස්වභාවයක්. පැල්ලම් සහිත ගතිය වැනි තවත් ස්වභාවයන් තිබෙනවා. ඊටත් වඩා මඩේ එ වරුණ විට නැගිට ගැනීමත් දුෂ්කර වෙනවා. එරිලා මිය යන්ටත් පුළුවනි.

 මේ නිසා මේ තත්ත්වය පවතින ස්වභාවයක් ලෙස කාමයන් පිළිබඳ වුවද සැලකීමට පුළුවනි.
අවසාන වශයෙන් ‘කාම’ යන්නට අර්ථයක් දෙනු ලබන්නේ එය ගර්භයට හෙවත් දරු ගැබකට සමාන කරලයි. ගර්භාෂය නිරන්තරයෙන්ම විවිධ අපද්‍රව්‍යයන්ගෙන් පිරුණු දුර්ගන්ධය නිකුත් කරන අපිරිසුදු ස්ථානයකි. කාමාසක්ත පුද්ගලයා නිරන්තරයෙන්ම ජීවත් වන්නේ එවැනි අපිරිසුදු ගැබකයි. එනම් ඔහුගේ හෝ දිවිපැවැත්ම නිරන්තරයෙන් අපිරිසුදු පිළිකුල් සහගත වන ආකාරය මෙයින් ප්‍රකාශ වෙනවා.

මේ ආකාරයෙන් කාමරාගයෙන් බැඳී, වෙලී ජීවත් වන අය මෙලොවත් පරලොවත් දුකෙන් (දුක්ඛ) පෙළෙනවා. භයෙන් (භය) ජීවත් වෙනවා. රෝග පීඩාවන්ගෙන් (රෝග) ද නිරතුරුව ම පෙළෙනවා. මෙලොව උපත ලබනවා වගේම පරලොවත් උපත ලබනවා. දුක් විඳිනවා. නිරන්තරයෙන් තමන්ට උල්වලින් කටුවලින් (සල්ල) අණිනවා වැනි වේදනාවන්ගෙන් පෙළෙනවා. මේ නිසා කාමය දුරලීමේ ශක්තිය තමන් තුළ ඇති කරගැනීමේ උත්සාහයක යෙදීමේ අවශ්‍යතාවය බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදදිලි කර දී තිබෙනවා.






වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් 
රාජමහා විහාරාධිපති
තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ‍මැදින් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මාර්තු 12 වන ඉරිදා  දින බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment