Labels

Sunday, April 9, 2017

වේදනා දුරු කිරීමට හොඳම මඟ

සංයුක්ත නිකායෙහි සලායතන වර්ගයෙහි වේදනා සංයුක්තයේ අඩංගු සල්ල සූත්‍ර දේශනාවේ දී තථාගත භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද්දේ අශ්‍රැතවත් පෘතග්ජන අයෙක් මෙන් ම ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙක් අතර පවතින වෙනස, විශේෂය පිළිබඳවයි.
භාග්‍යවතුන් වහන්සේ විසින් සූත්‍ර දේශනාවේ දී මෙසේ දේශනා කරන ලදී. මහණෙනි, ඇසූ පිරූ තැන් නැති පෘතග්ජන පුද්ගලයා දුක් වේදනාවට මුහුණ දෙන විට ශෝක කරනවා. ක්ලාන්ත වෙනවා. ළයෙහි අත්ගසා ගනිමින් වැළපෙනවා. මුලාවට පැමිණෙනවා.
හෙතෙම කායික වේදනාව මෙන්ම චෛතසික වේදනාව ද යන වේදනා දෙකක් විඳිනවා. අන්න ඒ ආකාරයට දුක්ඛ වේදනාව ලබනකොට සිත ක්‍රෝධයට පත්වෙනවා. එනම් තරහවට පත්වෙනවා. ඇයි මට මෙහෙම වුණේ. ඇයි මට මේ වේදනාව මේ ආකාරයට ලැබෙන්නෙ, මට ඉවසන්න බැහැ වශයෙන් ක්‍රෝධ සිතක් ඇතිකර ගන්නවා. දුක් වේදනාවෙන් වූ ක්‍රෝධ ඇතිව සිටින මෙහොත දුක්ඛ වේදනාවෙන් යම් පටිඝානුසයක් වේ නම් එය උපදිනවා.

භාග්‍යවතුන් වහන්සේගේ දහමට අනුව සසර ගමනේ ආරම්භයේ පටන් සත්ත්වයන් ලුහුබැඳ යමින් බලවත් ලෙස සිතෙහි යටපත්ව පවතින කෙලෙස් පවතිනවා. මේවා හඳුන්වන්නේ අනුසය හැටියටයි. ධර්ම කතාවේ මෙවැනි අනුසය ධර්ම හතක් දැක්වෙනවා. එනම් රාගානුසය, මානානුසය, පටිඝානුසය, විචිකිච්ඡානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය, දිට්ඨානුසය වශයෙනුයි.
මේ වේදනාව කයෙනුත්, චෛතසික වශයෙන් ක්‍රෝධ ස්වභාවයෙනුත් අල්ලා ගැනීම නිසා පටිඝානුසයට මතුවෙන්න බොහොම පහසුයි. සසර ගමනේ පටන් රැගෙන ආ අනුසය ධර්ම වේදනාව ඔස්සේ දුක්ඛ, වේදනාවක් හැටියට චෛතසිකවලටත් දැනී අමනාපයෙන්, ක්‍රෝධයෙන් ඒ දෙස බැලීම නිසා පටිඝය නම් වූ අනුසය ධර්මය හටගන්නට, ඉදිරියට එන්නට අවස්ථාවක් සැලසෙනවා.
දුක්ඛ වේදනාව වගේ ම ක්‍රෝධයෙන් යුතු සිතිවිලි නිසා මේ අශ්‍රැතවත් පෘථග්ජන ස්වභාවයේ සිටින අය සිතනවා. කම්සැප විඳීම පමණක්මයි මට මේ දුක්ඛ වේදනාවෙන් ගැලවෙන්නට තිබෙන එකම මාර්ගය කියා. එසේ සිතා කම් සැප පිළිගන්නවා. ඇසෙන් රූප දකින්න, කනින් ශබ්ද අසන්න, නාසයෙන් ආඝ්‍රාණය, දිවෙන් රසය, ශරීරයෙන් ස්පර්ශය, මනසට ධර්ම එනම් සිතිවිලි මේවා මමය, මාගේය. ස්ථිරයි සදාකාලිකයි.
මේ ආදී වශයෙන් කම්සුවය තමාගේ කරගෙන ආත්ම සංඥාවට හසු කර ගන්නවා. එය කවර හෙයින් කුමන කරුණක් නිසා ද? මහණෙනි, ඇසූ පිරූ තැන් නැති පුද්ගලයා කම්සුවය හැර දුක් වේදනාව දුරු කිරීමට වෙන යමක් නොදන්නා නිසාය. මෙම දුක්වේදනාවෙන් නිදහස් වෙන්න නම් මම කැමැති කැමැති දේ ලබාගැනීම විනා වෙන යමක් මට පිළිසරණ පිණිස නැත යන අදහසිනුයි. මේ අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයාගේ සිත විදර්ශනාවට හුරු නැහැ. මේ නිසා දුක් වේදනාවෙන් බැහැර වෙන්න ඔහු කම්සුවය සොයනවා.
යම් කෙනෙක් ප්‍රිය වස්තුවෙන් වෙන්වීම නිසා කායික වේදනාවක් ඇතිවෙනවා. එය මානසික වේදනාවක් බවටත් පත්වෙනවා. ඊළඟට අර ප්‍රිය වස්තුවේ නැතිවීම නිසා ඔහුට තරහවක් ඇති වෙනවා. එනම් පටිඝානුසයත් මතුවෙනවා. ඔහු හිතන්නෙ මට දැන් ගැලවීම නම් මෙතනින් නිදහස් වෙන්න තව ප්‍රිය වස්තුවක් ළංකර ගැනීමක් පමණයි. ඒ නිසා මම තවත් දෙයක ඇසින්, කනෙන් ආදී වශයෙන් ඉන්ද්‍රියන්ගෙන් එකතු වෙන්න ඕනෙ. එවිට පළමු ප්‍රිය වස්තුවෙන් ලැබුණු දුක්වේදනාවෙන් යම් වූ ද අකැමැති අරමුණක් නිසා තරහක් හටගත්ත නම් ඒ සියල්ලන්ගෙන් ම නිදහස් වෙන්න මේ ප්‍රිය වස්තුව මම උපයෝගී කර ගන්නවා කියන අදහසයි.
සරල ලෙස සඳහන් කළ විට අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයෝ නිරන්තරයෙන් ම යමක් තමා වෙතින් අත්හැරුණොත් තවත් යමක් ලබාගෙන අර අත්හැරීමෙන් සිතේ ඇති වූ දුක නැති කර ගැනීමට උත්සාහ කරනවා. ඒ හිඩැස පුරවා ගන්න උත්සාහ කරනවා. නමුත් මේ අලුතින් මම මගේ කියා සිතින් අල්ලාගත් එනම් උපාදානය කරගත් වස්තුවක් හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත් සංඛතයක් හේතුප්‍රත්‍යය විසිරී යෑමෙන් මේ සංඛතය ද නැතිව යන බවත් ඒ සිතට පුරුදු කොට නැහැ. දුකට උරුමවන තවත් දුක් දෙන වස්තුවක් තමා විසින් නැවතත් සිතින් අල්ලාගෙන ඇති බව මේ සිතට පුරුදු නැහැ.
ඔහු ඒ නිසා තමාට ඇති එකම පිළිසරණ කම්සුවය පමණක් බව දැනගෙන තව තවත් කම්සුව සොයන්නට පටන් ගන්නවා. එහි දී කුමක් ද සිද්ධ වන්නේ. කම්සුව පිළිගන්නා ඔහුට සැප වේදනාවක් වූ යම් රාගානුසයක් වේ නම් එය උපදී. ඉන් පසුව කුමක් ද වෙන්නෙ බලවත් ලෙස යටපත්ව තිබෙන අනුසය ධර්ම අතරින් රාගානුසය මතුවෙන්නට පටන් ගන්නවා. එනම් ඔහු අරමුණුවල තදින් ඇලෙන්නට පටන් ගන්නවා. එසේ ඒ වේදනාවන්ගේ සමුදය හෙවත් හට ගැනීමත් අත්ථංගමය හෙවත් නැතිව යාමත් අස්සාදයත් එනම් යම් වූ අරමුණක සම්මුතියේ දක්නා වූ සොම්නසත් එනම් සතුටත් හා ඒ අරමුණ අනිත්‍ය, දුක්ඛ, අනත්ත ත්‍රිලක්ෂණ ධර්මයට යටත් බව දැක ගත යුතු ආදීනවය පිළිබඳවත් එසේ ආස්වාදයත් ආදීනවයත් නුවණින් අවබෝධ කරගෙන ඒ අරමුණ සම්මුතියේ ඇසුරු කළත්, පරමාර්ථ වශයෙන් මගේය, මම වෙමි, මගේ වසඟයේ පවතිනවා කියන අදහසට නොගත යුතු බවත් තේරුම් අරගෙන නැහැ. තවදුරටත් සඳහන් කළොත් අරමුණ හටගත්තා වගේ ම නැතිවෙලා යනවා. සම්මුතියේ පිහිටා මමය, මාගේ යනුවෙන් පැවැත්වූවත් මේ අරමුණ හටගත්තා වගේ ම නැතිවෙලා යනවා. අනිත්‍ය, දුක්ඛ, අනත්ත ත්‍රිලක්ෂණ ධර්මයට යටත් බව සිහිපත් කරන්න තරම් කෙලෙස් සහිත ආශ්‍රය කරන්නට තරම් මේ සිත පුරුදුකොට නැහැ. එයට හේතුවන මේ ආරම්මණයන්හි හෙවත් මේ සංඛත වස්තූන්ගේ ඇති යථා ස්වභාවය නොදැන සිටීමයි. එසේ සිත පුරුදු නොකොට පවත්වා ගැනීම නිසායි. ඒ වේදනාවන්ගේ සමුදයත් අත්ථංගමයත් අස්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් නියම ආකාරයෙන් නොදන්නා ඔහුට මධ්‍යස්ථ වේදනාවෙන් යම් අවිද්‍යා අනුසයක් වේ ද එයත් උපදී.
යටපත්ව පවතින කෙලෙස් අතර අවිද්‍යාව හෙවත් මුලාව නම් වූ කෙලෙස් පවතිනවා. මුලින් සඳහන් කළ දුක් වේදනාවේ සමුදය, අත්ථංගමය, ආස්වාදය, ආදීනවය, නිස්සරණය විදර්ශනා වශයෙන් දකින්නට මෙනෙහි කරන්නට ඔහු නොදන්නා නිසා ඔහුට මධ්‍යස්ථ විඳීමක් හැටියට යම් හැඟීමක් ඇතිවේ නම් එහි දී නොදැනීම නම් වූ අනුසය මතුවෙනවා. එහි දී සැප වේදනාවක් විඳිනවා නම් කෙලෙසුන්ගෙන් යුතුවම ඔහු විඳිනවා. දුක් වේදනාවක් විඳිනවා නම් සැපයි දුකයි මිශ්‍රව විඳිනවා.
මහණෙනි, මේ නූගත් අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයා ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන්, ශෝකයෙන්, පරිදේවයෙන් එනම් හඬා වැළපීමෙන් දුක්ඛ, දෝමනස්ස, උපායාසයෙන් එනම් බලවත් සිත් තැවුලෙන් යුතු වූයේ යැයි සඳහන් කළ යුතුයි. සියලුම දුකෙන් යුක්ත වූයේ යැයි සඳහන් කරනවා යැයි භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා. මෙහි කෙටියෙන් සඳහන් කළොත් මේ අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයා කැමැති අරමුණෙහි ඇලී එහිදීත් දුක්විඳිනවා. අකැමැති අරමුණෙහි ගැටී එහිදීත් දුක් විඳිනවා. මධ්‍යස්ථ සිටිමින් ද එම අරමුරණහි දුකකට පත්වෙනවා.

භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අනුව අපේ සිත පුරුදු කළ යුත්තේ, සීලයේ පිහිටා ලෝක ව්‍යවහාරයට අනුව මම, මගේ කියමින් කටයුතු පැවැත්වීමයි. සීලයේ පිහිටා කියන තැන පස්පව් හෝ දස අකුසල්වලට යොමුවන්නේ නැති බව පැහැදිලියි. ඒ වගේ ම සම්මුතියෙහි පවත්නා කියන තැන මේ ජීවිත පවත්වා ගැනීමටත් ධාතු ස්කන්ධ ආයතනයන්ගෙන් සමන්නාගත මම නම් වූ මේ ශරීර පුංඡය නීරෝගීමත්, දහම දැකීමේ අදහසිනුත් පවත්වාගැනීම පිණිසත් මෙය පරිහරණය කරන බවටත් එහි අදහස් ඇතුළත් ව තියෙනවා. පරමාර්ථ ධර්ම වශයෙන් අවබෝධය ඇති කරන විට එනම් විදර්ශනා නුවණින් කටයුතු කරන විට සම්මුතියේ පවත්නා වූ මේ කය කෙරෙහි උපාදානයන් ඇති කර ගන්නේ නැහැ. එයට හේතුව නම් අනිත්‍ය, දුක්ඛ, අනන්ත ත්‍රිලක්ෂණ ධර්මයට යටත් කොට දකින්නට තරම් මේ සිත පුරුදු කොට පවත්වා ගැනීමයි. එවිට ළමා, තරුණ, මධ්‍යම, වැඩිහිටි කියන ඕනෑම වයසේ පසුවන අයකුට වූවත් තමා කෙරෙන් ද බාහිර අන් අය කෙරෙන් ද එක සේ විදර්ශනා කරන්නට තරම් හැකියාවක් ලැබෙනවා. ඉන් අදහස් කළේ නොසැලී නොගැටී යන අදහසමයි.





බත්තරමුල්ල සිරි සුදස්සනාරාම 
සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක 
ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ‍මැදින් අව අටවක    පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මාර්තු 20 වන සඳුදා  දින බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment