Labels

Sunday, April 9, 2017

මෙලොවදීම දැකගත හැකි දේවදූතයෝ

පුංචි කාලයේදී අප කතන්දර අසද්දී අසන්න ලැබුණා සුරංගනාවියන්, දේවතාවියන්, දේවදූතයන් ගැන. වැඩිවියට පත්වූ විට බොහෝ දෙනෙකුට ඒ වචන අසන්න ලැබෙද්දී සිහිපත් වන්නේ, සිතෙහි මැවෙන්නේ පුංචි කාලයේ කතන්දර පොත්වල දුටු දේවතාවියන් දේවදූතයන් පිළිබඳවයි. නොයෙක් ආගමි කතා අතරත් මේ අය ගැන සඳහන් වෙනවා. ඒ වගේම අප සරණ ගිය භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්ද දෙවියන්, බ්‍රහ්මයින් ගැන දේශනා කොට තිබෙනවා.
නමුත් ඒ සැබෑම දෙව් බඹුන් අප වගේ සාමාන්‍ය මිනිස් ඇසට දැක ගන්නට අමාරුයි. ඒ සැබෑම දෙව්, බඹුන් මල් වට්ටියට, පලතුරු වට්ටියට බැල්ම හෙළන්නේ නැති නිසා. ඒ අය මනුස්ස ලෝකය හා සම්බන්ධ වන්නේ මිනිසාගේ ඇති ගුණධර්මත් සමඟයි. කෙසේ වෙතත් අද අප ප්‍රස්තුත කොට ගන්නේ දකින්න අමාරු, අහස සිසාරා යන එන දේවදූතයන් ගැන නොවේ. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළා මෙලොවදීම දැකගත හැකි දේවදූතයන් පිළිබඳවයි.
සූත්‍ර පිටකයේ දේවදූත සූත්‍රයෙහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේවදූතයින් ගැන දේශනා කොට වදාළා. මෙලොව දී පව් කරගෙන නිරයේ උපන් නිරි සත්ත්වයා යමපල්ලන් විසින් යමරජුන් වෙත ඉදිරිපත් කරනවා. එහිදී යමරජු විසින් නිරයේ උපන් පුද්ගලයාට දේවදූතයන් පස් දෙනෙකු පිළිබඳව සිහිපත් කරනවා. ඉතින් යමරජු විසින් සිහිපත් කරන තෙක් ප්‍රමාදි නොවී මේ දේවදූතයන් කලින්ම හඳුනාගන්න අප දක්ෂ විය යුතුයි.

ළදරුවෙක්


පළමු දේවදූතයා ඉතා ලාබාල ළදරුවායි. අප දැක තිබෙනවා අලුත උපන් කිසිවක් කර කියා ගත නොහැකි තමාගේම මළමුත්‍රා ගොඩේම වැටී කෑ ගසමින් අඬන ළදරුවන්. අප මේ ළදරුවා අඬන වෙලාවට මළමුත්‍රා සෝදන්න, ළදරුවා නළවන්න උත්සාහවත් වෙනවා. ළදරුවන්ට නැළවිලි ගී කියනවා. කිරි පොවනවා. මේ ආකාරයට අත දරුවන් දුටු විට, බුද්ධිමත් අය ලෙස කල්පනා කළ යුත්තේ අනේ මමත් ඉපදුනේ මේ ආකාරයට නේද? ආයේ ආයෙමත් මනුලොව වේවා, තිරිසන් ලෝකයේ වේවා, ගර්භාෂයකින් උපදින්නේත් මේ ආකාරයටම නේද? ඉපදෙන ස්වභාවය මා විසින් ඉක්මවා ගොස් නැහැ නේද කියා හිතන්න පුළුවන් වෙන්න ඕන.
කප්ප මරහතන් වහන්සේ මවුකුස ගැන වදාළ කරුණ මෙසේය. නොයෙක් අශුචි පිරුණු වැසිකිළි වලක් වගේ. පරණ වෙච්ච ගවර වළක් වගේ. ලොකු තුවාලයක් වගේ. විශාල සැරව ගෙඩියක් වගේ. ගර්භාෂයකුනුයි මම ඉපදුණේ.
ලේ සැරව පිරුණ, අශුචිවලින් බර වූ හැම තිස්සේම අපවිත්‍ර දේම වැගිරෙන මේ ශරීරයෙන් නිතරම කුණු වතුර වැක්කෙරෙනවා. ලොකු නහරවැල් හැටකින් විතර බැඳිලා. මස් වැදලිවලින් ඔතලා හම කියන ඇඳුමෙන් වහල තිබෙන මේ ශරීරය නම් වැඩකට නැති එකක්.
ඇටවලට නූල් වැනි නහර වැල් වලින් බැඳල තිබෙන මේ ශරීරය කුණුප කොටස්ම එකතුවෙලා තමයි ඔය ඉරියව් පවත්වන්නේ.
මෙවන් උපතක් ගැන බුද්ධිමත්ව සිතන කෙනෙකුට ළදරුවන් දුටුවිට තමන්ගේ ජීවිත කතාවත් මේ ආකාරය නේද කියා කල්පනා විය යුතුයි.

මහල්ලෙක්


මිනිසුන් අතරේ ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, අවුරුදු අසූව ගෙවපු අවුරුදු අනූව, අවුරුදු සියය වූ සියලු දෙනා හොඳට ජරා ජීර්ණ වෙලා. දිරාපු පරාල වගේ වකුටු ගැහුණු හැරමිටි ගසමින් යන වෙව්ලමින් යන ලෙඩ වූ යොවුන් බව නැති වූ, දත් වැටුණු කෙස් පැහුණු, කෙස් වැටුණු, හම රැළි වැටුණු, ශරීර ඇති වියපත් උදවිය ඉන්නවා. ඒ තමයි දෙවන දේවදූතයා.
බුද්ධිමත් මිනිසුන් ලෙස අප මෙසේ හිතන්න ඕන. මේ වැඩිමහළු බොහෝ වයසට ගිය පුද්ගලයා හරියට දේවදූතයෙක් වගේ මට වැදගත් පණිවුඩයක් ගෙනවිල්ලා. ඒ තමයි මටත් ඔය ටික වෙනවා. මමත් ජරා ජීර්ණවීම ස්වභාවය කොට ඇති කෙනෙක්. ජරා ජීර්ණවීම ඉක්මවා ගිහින් නැහැ කියලා.

ලෙඩෙක්


අපට දකින්න ලැබෙනවා මිනිසුන් අතරේ ස්ත්‍රියක් වේවා. පුරුෂයෙක් වේවා, ලෙඩ වෙලා ඉන්නවා. දුකට පත්වෙලා ඉන්නවා. දරුණු විදිහට අසනීප වෙලා. තමන්ගේ මළ මුත්‍රා ගොඩේ වැටිලා ඉන්නවා. එවිට අනුන් තමයි නැගිට්ට වන්නේ. හාන්සි කර වන්නේ. සමහර රෝගීන් සිටිනවා පණ පිටින් සිටිියදී ම ඇඟේ කොටසක් කුණු වෙනවා. පණුවෝ ගහනවා. මේ තමයි මෙලොවදීම දකින්නට ලැබෙන තුන්වන දේවදූතයා. සමහරුන් මෙවැනි ලෙඩ වූ අය දැක්කාම හිතන්නේ අපේ හතුරෙකුටවත් මෙහෙම වෙන්න එපා කියලා. එහෙම හිතන එකේ වරදක් නැහැ. ඒ කරුණාව. නමුත් හතුරු, මිතුරු කාටත් ඉපදුණා නම් ලෙඩවීම උරුමයි. ඒ නිසා බුද්ධිමත් පුද්ගලයා මම රෝගි වීම ස්වභාවය කොට ඇති කෙනෙක්. රෝගි වීම ඉක්මවා ගොස්් නැහැ. ඒ නිසා මම කයින්, වචනයෙන්, මනසින් පින් කරන්නට කුසල් වඩන්නට ඕන. ලෙඩවීමෙන් නිදහස් වෙන්න ඕන කියලා හිතන්න පෙළඹෙනවා.

අපරාධ කාරයෙක්


හතරවෙන දේවදූතයා තමා අපරාධ කළ සොරා. රජවරු දරුණු අපරාධ කළ සොරෙක් අල්ලා ගෙන ගිහින් විවිධාකාරයෙන් දඬුවම් කරනවා. ඒ අපරාධකාරයාට කසයෙන් තලනවා. වේවැලෙන් තලනවා. දඬු මුගුරුවලින් තලනවා. අත් කපල දානවා. කකුල් කපා දමනවා. අත් කකුල්, කන, නාසය කපනවා. හිස් කබල චප්ප කර දමනවා. හිස් කබල ඇටේ මතු වෙනකල් බොරළු දාල සූරනවා. යකඩ අඬුවකින් කට පළල් කර ගිනි පන්දම් ඔබනවා. ඇඟේ තෙල් පාන්කඩ ඔතා ගිනි තබනවා. අත්වල තෙල් පාන්කඩ ඔතා ගිනි තබනවා. බෙල්ලේ සිට පහළට හම ගසා ඇදගෙන යනවා. බෙල්ලේ සිට පහළටත්, කකුලේ සිට උඩටත් හම ගලවා එකට ගැට ගසනවා. දණිස් දෙකෙත්, වැළමිටි දෙකෙත් යකඩ උල් ගසා පොළොවේ සිටුවා ගින්නෙන් රත් කරනවා. කොකු වලින් ඇණ ඇණ මස් ලේ විසුරුවනවා. මුළු ශරීරයේම මස් කුඩා කෑලිවලට ඉරා දානවා. ශරීරයේ තැනින් තැන සිදුරු කර ලෝදිය දානවා. පැත්තට ඇල කර බිම දාලා කණේ උලක් ගසා ඒ උලෙන් හිටවා කකුල් දෙකෙන් වටේට කරකවනවා. ගල්වලින් තලල ඇඟ ඇතුලේ ඇති ඇට කුඩු කර දමනවා. ගින්නෙන් කකාරගත්තු තෙල්වලින් නාවනවා. සුනඛයන්ට කන්න දානවා. උල උඩ තබනවා. හිස ගසා දානවා. මේ ගැන අසන්න දකින්න ලැබුණුවිට බුද්ධිමත් පුද්ගලයා හිතන්නේ මෙහෙමයි. අහෝ, යමෙක් පව්කම් කරනවා නම්, ඔවුන්ට මෙලොවදීත් දරුණු විපාකවලට මුහුණ දෙන්න වෙනවා නම්, පරලොවදී ලැබෙන විපාක ගැන කවර කතාද? ඒ නිසා මම අප්‍රමාදි වෙන්න ඕන කියා සිතනවා.

මළමිනියක්


පස්වෙනි දේවදූතයා තමා මළ මිනිය. මිනිසුන් අතරේ ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා, මියගොස් එක් දවසක් නැතිනම් මියගොස් දවස් දෙකක්, දවස් තුනක් ගතවෙලා, ඉදිමී තිබෙනවා. නිල්වෙලා, සැරව පිරී තිබෙනවා. අද කාලයේ අපහට මෙවැනි මළමිනියක් දකින්නට නො ලැබුණත් බුද්ධිමත් කෙනා සිතිය යුත්තේ මමත් මරණයට පත්වීම ස්වභාව කොට ඇති කෙනෙක් නේද? මම මරණය ඉක්මවා ගොස් නැහැ නේද? ඒ නිසා මම කයින්, වචනයෙන්, මනසින් පින් කළයුතුයි කියා. මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ මෙලොවදී දැකිය හැකි දේවදූතයින් ගැන දේශනා කොට වදාළා.

“දූතයා” කියන්නේ පණිවුඩයක් ගෙනඑන පුද්ගලයා යි. ඒ පණිවුඩය තමයි නුඹටත් මේ ඉරණම උරුම වෙනවා. අප්‍රමාදි වෙන්න කියන එක. ඒ නිසා එම පණිවුඩය මෙලොවදීම හඳුනාගෙන සතර අපායේ නොවැටී යහපත සලසාගන්න අපිත් උත්සාහ වෙමු.




පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ‍මැදින් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මාර්තු 27 වන සඳුදා  දින බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment