සෙය්‍යථාපි භෝ ගෝතම ඉමස්ස මිගාරමාතු පාසාදස්ස දිස්සති. අනුපුබ්බ සික්ඛා, අනුපුුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා, යදිදං යාව පච්ඡිමා සෝපාන කළෙබරා ඉමෙස්සම්පි හි භෝ ගෝතම බ්‍රාහ්මණානං දිස්සති. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදාති.
පින්වත්නි,
තථාගතයන් වහන්සේ සැවැත්නුවර මිගාරමාතු පාසාද හෙවත් විශාඛාවන් විසින් කරවූ පූර්වාරාමයෙහි වැඩ වාසය කරන්නේ ගණක මොග්ගල්ලාන නැමැති බ්‍රාහ්මණයා පැමිණ සතුටු සාමිචි කතාවෙහි නිරතව එකත්පසෙක හිඳ මෙවැනි කරුණක් සැලකර සිටියා. එනම් පින්වත් ගෞතමයෙනි, බමුණු ඉගැන්වීමෙහි අනුපූර්ව ශික්ෂා ක්‍රමයක්, අනුපූර්ව ක්‍රියා පටිපාටියක් අනුපූර්ව ප්‍රතිපදාවක් අනුපූර්ව වශයෙන් දක්නට ලැබෙනවා.
එමෙන්ම ඔබ වහන්සේගේ ශාසනයෙහිද අනුපූර්ව ශික්ෂණ ක්‍රමයක් අනුපූර්ව ක්‍රියා මාර්ගයක්, අනුපූර්ව ප්‍රතිපදා මාර්ගයක් පවතින්නේද, උගන්වන්නේද යනුවෙන් ඇසුවා.
එයට පිළිතුරු දෙන බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණය. මගේ ශාසනයෙහිද අනුපූර්ව ශික්ෂාවක්, අනුපූර්ව කිරියාවක්, අනුපූර්ව ප්‍රතිපදාවක් ඇතැයි නිදසුන් ගෙන හැර පාමින් මෙසේ විස්තර කර පෙන්වා දුන්නා. එනම් දක්ෂ අශ්වයන් හික්මවන්නෙක් අශ්වයන් ගෙන මුලින්ම ඔවුනට මුඛදාහය හෙවත් කටකලියාවක් දමා ක්‍රමයෙන් අසු හික්මවනවා. එමෙන්ම මමද සසුන්වන් භික්ෂුව පළමුකොට ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයෙහි පිහිටුවනවා. එසේ පිහිටුවා කුඩාවූද වරදෙහි භය දක්නා යහපත් ආචාර හා ගෝචරයෙන් යුතු, සමාදන් වූ ශීලය මැනවින් ආරක්ෂා කරන්නෙකු බවට පත්කිරීමේ පළමු පියවර ලෙස අධිශීලයෙහි පිහිටුවනවා. එය ආර්ය මාර්ගයෙහි පළමු පියවර වෙනවා.
එතැනින් නොනැවතී තවදුරටත් හික්මවන්නෙමි. එනම් එම මහණ තෙමේ ඉන්ද්‍රියන්ගෙන් වැරැදි ලෙස අරමුණ ගැනීමෙන් වළක්වමි. යම් හේතුවකින් චක්ඛු ඉන්ද්‍රිය අසංවර වුවහොත් දැඩි ලෝභයද දැඩි දෝෂයද යන ළාමක අකුසල ධර්මයන්ගෙන් සිත ලුහුබඳිනවා. එබැවින් චක්ඛු ඉන්ද්‍රිය සංවරකර ගත යුතු වෙනවා. එමෙන්ම කනින් ශබ්ද අසාද, නාසයෙන් ගඳ සුවද ආඝ්‍රාණය කරන්නේද, දිවෙන් රස විඳින්නේද, කයෙන් ස්පර්ශය ලබන්නේද මනසින් ධර්මාරම්මණ ලබන්නේද ඒවා පූර්ණ ලෙසද ඒවා අනුව්‍යඤ්ජන වශයෙන්ද වැරදි ලෙස ගතහොත් ලෝභය හා ද්වේශය යන ළාමක අකුසල ධර්මයන් හටගන්නවා. එබැවින් ඒ අරමුණු ගැනීමේදි සිත සංවර කර ගත යුතු වෙනවා.
බ්‍රාහ්මණය මම එතැනින් නොනැවතී එම භික්ෂු තෙමේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත කොට තව දුරටත් ශික්ෂණයට පත් කරනවා. ඒ සඳහා ආහාරයේ පමණ දැන පරිභෝජනය කිරීමට උගන්වනවා.
එසේ ආහාරයේ පමණ දැන වළදන භික්ෂුව තවදුරටත් මෙසේ ශික්ෂණයට පත් කරනවා. එනම් එම භික්ෂුව නින්දාශීලි බවින් තොරව, නිසි පරිදි අවධියෙන් යුතුව වාසය කරන්නැයි අනුශාසනා කරනවා.
බ්‍රාහ්මණය එම භික්ෂුව තවදුරටත් මෙසේ ශික්ෂණයට පත්කරනවා. එනම් භික්ෂුව පැමිණෙන්න. සති සම්පජඤ්ඤයෙන් හෙවත් එළඹ සිටි සිහියෙන් යුක්ත වන්න. ඉදිරියට යාමේදී ආපසු පැමිණීමේදී ආදි සෑම ඉරියව්වකදීම ක්‍රියාවකදීම සිහියෙන් යුතුව වාසය කරන්නට අනුශාසනා කරනවා.
බ්‍රාහ්මණය, මෙසේ සති සම්පජඤ්ඤයෙන් යුතුව වාසය කරන භික්ෂුව තවදුරටත් ශික්ෂණයට පත්කරනවා. ඒ භික්ෂු තෙමේ පිණ්ඩපාතය වළඳා අවසන් වූ විට කය ඍජුව තබා ගනිමින් කර්මස්ථාන වැඩීමට යොමු කොට, ද්වේශයෙන් බැහැර කර පිරිසුදු මෙත්තා සහගත සිතින් කටයුතු කරන්නට පොළඹවනවා. ථීනයද, මිද්ධයද බැහැර කරනවා. උද්ධච්චය, හෙවත් සිතේ නොසන්සුන් කම නැති කොට සන්සුන් බව ඇතිකරනවා.
බ්‍රාහ්මණය මෙසේ යුත් භික්ෂුව තවදුරටත් ශික්ෂණයට පත් කරනවා. එනම් ප්‍රඥාව වසාලන කාමච්ඡන්දාදී පඤ්ච නීවරණයෝ දුරුකර, ප්‍රථම ධ්‍යානය උපදවා ගැනීමට, දෙවෙනි ධ්‍යානයට පත්කරනවා.
බ්‍රාහ්මණය, යම් භික්ෂු නමක් තවමත් රහත් බවට නොපැමිණියේද, රහත් බවට පැමිණීමට උත්සාහ කරන්නේ එවැනි භික්ෂූන් උදෙසා තවදුරටත් මම අනුශාසනා කරමි.
භවත් ගෞතමයෙනි, ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් මෙසේ හික්මවන විට අවවාද කරන විට ඒකාන්තයෙන්ම ඒ සියල්ලෝම නිර්වාණාවබෝධය කරන්නේද යනුවෙන් නැවත ගණක මොග්ගල්ලාන විමසනවා. මෙයට පිළිතුරු දෙන තථාගතයන් වහන්සේ මගේ ශ්‍රාවකයන් ඇතැමෙක් මගේ අනුශාසනාව අසා නිර්වානාවබෝධයට පැමිණෙන බවත්, ඇතැමෙක් එසේ නිර්වාණාවබෝධයට පත් නොවන බවත් දන්වා සිටියා. එසේ වීමට හේතු මොනවාදැයි තව දුරටත් ඔහු විමසුවා. ඒ ඇසු ඔහුට මෙවැනි උපමාවකින් පිළිතුරු දුන්නා. බ්‍රාහ්මණය, ඔබ වෙත පැමිණි පුරුෂයෙක් රජගහ නුවරට යන මග විමසනවා. ඔබ ඔහුට මේ මාර්ගය රජගහ නුවරටය. ටික දුරක් යන විට මෙබඳු ගමක් හමුවෙයි. තව දුරක් යන විට තවත් ගමක් හමුවෙයි. තව දුරටත් යන විට රජගහනුවර හමුවෙයි. මෙසේ ඔබ ඔහුට නිවැරැදිව මග සලකුණු කියා දුන්නද, ඔහු වැරදි මග ගියේ නම් ඔහුට පසුතැවීමට සිදුවන බව දන්වා සිටියා. ඒ මග නිවැරදි ගමන් කළ පුද්ගලයාට සුවසේ රජගහනුවර යාමට හැකිවෙනවා.
මෙසේ පැවසූ විට නැවත ඔහු මෙසේ අසනවා. ගෞතමයන් වහන්ස, එසේ වූ විට ඔබ වහන්සේ කරන්නේ කුමක්දැයි අසනවා. එයට පිළිතුරු දෙන උන්වහන්සේ බ්‍රාහ්මණය මේ ආකාරයෙන් නිවන ඇත. නිවන් මග ඇත. නිවන් මගෙහි පිහිටවීම කරමි. මාගේ ශ්‍රාවකයෝ මා මෙසේ අවවාද අනුශාසනා කරනු ලබන පරම නිෂ්ඨාව නම්වු නිර්වානය අවබෝධ කර ගනිති. එහෙත් ඇතැමෙක් එසේ අවබෝධ නොකර ගනිතියි බමුණාට පිළිතුරු දෙන ලදී.
සද්ධාවෙන්ම ගිහිගෙයින් නික්ම පැවිදි වූ පුද්ගලයා කපටි නොවූ, වංචක නොවූ පුද්ගලයෙක් වීම . උඩඟු නොවු මානය නැති ස්ථිරසාරවූ පුද්ගලයෙක් වීම,
දොඩමලු නොවූ, නොවිසුරුණු වචන ඇති ඉඳුරන් හික්මවනු තැනැත්තෙක් වීම භෝජනයෙහි පමණ ඇති, අවිද ස්වභාවයෙන් යුත් අයෙක් වීම ශ්‍රමණ බවින් යුක්ත වු ශික්ෂාපද කෙරෙහි ගෞරව ඇත්තෙක්වීම ප්‍රත්‍ය බහුලව රැස් නොකරන සසුන ලිහිල් කොට ගත් පුද්ගලයෙක් වීම
නීවරණ ධර්ම බැහැර කොට ආරද්ධ වීර්ය ඇත්තෙක් වීම පිහිටුවා ගත් සිත ඇති, ප්‍රඥාවන්තයෙක්වීම යනාදී ගුණයෙන් යුතු වෙයි. මේ ධර්මවාදියා තුළ පවතින ලක්ෂණයන්ය.
ගණක මොග්ගල්ලාන තෙමේ දෙසු තථාගත දහම් කෙරෙහි පැහැදුනේ සතුට පළකරමින් තථාගතයන් වහන්සේ සහ උන්වහන්සේගේ ධර්මය හා උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා අද පටන් සරණ යන්නේ යයි ප්‍රකාශ කර සිටියේය.
කෝට්ටේ ඇතුල්කෝට්ටේ කොටුබැම්මපාර
ශ්‍රී සුනේත්‍රාරාමයේ
ඇලිකේවෙල සීලානන්ද නාහිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ මැදින් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මාර්තු 05 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment