මල් සුවඳ ආපස්සට හමන්නේ නැහැ. මල තිබෙන්නේ දකුණු පැත්තේ නම්,මල ඇති පැත්තේ සිට වම් පැත්තට සුළඟ හමනවා නම් සුවඳ හමන්නේ වම් පැත්තටයි. මල් සුවඳ ප්‍රතිවාදයට ගමන් කරන්නේ නැහැ.උඩු සුළඟට ගසා ගෙන යන්නේ නැහැ. මල් සුවඳ බොහෝ ඈතට විහිදී යන්නේ නැහැ. මල් සුවඳ ගමන් කරන්නේ සුළඟත් සමඟයි.
මිනිසුන්ගේ කීර්තිය ,මිනිසුන්ගේ යහපත්කම ,සිල් සුවඳ, මිනිසුන්ගේ සිල් සුවඳ කුමක්ද? යන වග මල් සුවඳ වගෙයි. මල යනුවෙන් අප දකිනු ලබන ලස්සන සුන්දර නිර්මාණයත් සමඟ බුදුපියාණන් වහන්සේගේ බණ ඕනෑ තරම් ශ්‍රවණය කළ හැකි වෙයි. මල් පූජාකරන අවස්ථාවෙහි සජ්ඣායනා කරනු ලබන වණ්ණගන්ධ ගුණෝපේතං යන ගාථාවෙහි ඉතාම ලස්සන ප්‍රකාශයක් සඳහන් වන අතර මේ මල මැලවී යන්නා සේ මේ කයද විනාශ වී යයි කියන ප්‍රකාශය බොහෝ සෙයින් වැදගත් වෙයි. පුප්පං මිලායාති යථා ඉධම් මේ කායෝ තථායාති විනාස භාවං යන සියලුම ප්‍රකාශ සමඟ මල පිළිබඳව බුදුපියාණන් වහන්සේ දේශනා කර ඇති ධර්මානුකූල වටිනාකම දැනෙයි.
මල හරිම ලස්සනයි. එය ජීවිතයට සම්බන්ධ කාරණාවක්.මල්, කොළ, නටු, අතු, කඳ යන සෑම කොටසකම ලස්සන නිදර්ශන දක්නට ලැබෙයි. ගසක් වඩ වඩාත් ලස්සන වන්නේ මල් තිබෙන විටයි. මල් හරිම ලස්සනයි, සුවඳයි. මලක වර්ණය සහ සුවඳ මලෙහි පවතින ප්‍රධාන කාරණා දෙක වෙයි. වර්ණයත් සුවඳත් යන කාරණා දෙකින්ම සම්පූර්ණ වූ විට මලක වටිනාකම පවතී. ඉටිමල් ,ප්ලාස්ටික් මල් , කඩදාසි මල් යනුවෙන් විවිධ වර්ගයේ ලස්සන මල් වර්ග දක්නට ලැබෙයි. ඒ මල් ලස්සන වුවත්, සුවඳවත් නැහැ. එසේ නම්, මිනිසෙක් වූ විට ගුණාත්මක වටිනාකමක් නැතිව ලස්සන පමණක් තිබුණාට ඇති ඵලක් නැහැ. මිනිසෙකු සතු ගුණාත්මක වටිනාකමක් තිබිය යුතුයි.
මිනිසෙකු සතුව ගුණයත්, ලස්සනත් යන දෙකම තිබිය යුතුයි. එය ශරීර ලස්සන හෙවත් ශරීරයෙහි තිබිය යුතු පියකරුබව, ,පින්වන්ත පෙනුම පළමු කාරණාව නම්. ඇවතුම් පැවතුම්්වල තිබිය යුතු ලස්සන දෙවන කාරණාවයි. මලකින් අපට හමුවන වටිනාම නිදර්ශනය එයයි. අපගේ ජීවිතයෙහි රුවත් ලස්සනත් , පිරිසුදුකමත් , අපගේ චර්යා රටාවෙහි අභ්‍යන්තරිකව තිබෙන්නාවූ පියකරු කමත්, වණ්ණ ගන්ධ යන දෙකින්ම යුක්ත වන මලක තිබෙන්නාවූ වටිනාකම සේම වටී.මලෙහි සුවඳ හමාගෙන යන විට කීර්තිය පැතිරෙන්නා සේ ,ලස්සන රූපයක් දකින විගස ප්‍රියසම්පන්න නම්, කවුරුත් ආසා කරයි. ලස්සන චර්යාවක් පැවති විට මිනිසුන් අතර බොහොම ජනප්‍රිය වන්නාසේම සමාජයේ පි‍්‍රය සම්පන්නයි.ආශ්වාදනීයයි. කාගේත් නින්දාවට අපහාසයට පත් නොවී ගෞරවයට පාත්‍ර වෙයි. මලෙන් අපට හමුවන වටිනාම ආදර්ශය එයයි.
එම මල සුදු පැහැ විය යුතුමයි කියා නියමයක් නැහැ. රතු පැහැ හෝ කහ පැහැ වීමටම අවශ්‍ය නැහැ. සෑම මිනිසෙක්ම එකම වර්ගයේ විය යුතු බවට නියමයක් නැහැ. සිංහල විය යුතුම කියා නියමයක් නැහැ. සෑම වර්ගයකම, සෑම පැහැයකම, සෑම මුලකටම මලක් උප්පදන්න හැකි වෙයි. එම මල වණ්ණ ගන්ධ යන ගුණ දෙකින් යුක්තව ඉතාම ලස්සන විය යුතුයි.
ඔබට ඔබ පිළිබඳව හා ඔබ ආශ්‍රිතයන් පිළිබඳව කුඩා හෝ විෙවිචනයක් තිබීම අවශ්‍යයි. සමහර විට එය විවාරයක් විය හැකිය. මගේ ශරීරය නිරෝගී සේම,එය රූමත් වෙයි. මගේ නළල ,කෙස් , අතපය, ලස්සනයි වගේම මම සවිමත් වෙයි. එය මගේ බාහිර වටිනාකමයි.ලස්සන ශරීරයක් වුවත්, සවිමත් නැත්නම් ඵලක් නැහැ. මට මේ තරම් ප්‍රමාණයක් පයින් ගමන් කළ හැකියි. මේ තරම් ප්‍රමාණයක් ගොවිතැන් කළ හැකි වෙයි.මට හොඳට දිවීමේ ධාවන ශක්තියක් තිබෙයි. යනුවෙන් තමාගේ මිනිස් ශරීරයෙහි වටිනාකම් පිළිබඳ ආත්මාභිමානයක් තබාගැනීම එක කාරණාවක් වෙයි.
දෙවන කාරණාව වශයෙන්,මා කළ කී දේ පිළිබඳව අතපය දිගහැර මම මේ තරම් ප්‍රමාණයක් කටයුතු කර තිබෙන්නා සේම මේ තරම් ප්‍රමාණයක් ලබාදී තිබෙයි.මගේ අත්දෙකෙන් මේතරම් ප්‍රමාණයක් රෝගීන්ට සළකා තිබෙයි. මේ අත් දෙකෙන් බුසල් මේ තරම් ප්‍රමාණයක් අස්වද්දා තිබෙයි. මේ අත් දෙකෙන් මේ තරම් ප්‍රමාණයක් රුක් රෝපණය කර තිබෙයි. මම මේ අත් දෙකෙන් අම්මා අප්පච්චි නාවා කවා පොවා තිබෙයි.මම මේ අත් දෙකෙන් මේ තරම් ප්‍රමාණයක් දරුමල්ලන් හදාවඩා තිබෙයි. ඒ තමන්ගේ අතපය දෙස බලමින් සතුටු විය හැකි ආකාරයයි. “ඉධ නන්ධති පෙච්ච නන්ධති” යනුවෙන් එම තැනැත්තා මෙලොවත් සතුටු වන්නාසේම පරලොවත් සතුටු වෙයි. තමන්ගේ කකුල් දෙස බලාගෙන මම මේ කකුල් දෙකෙන් කෙතරම් නම්, ඇවිද තිබෙනවාද?කකුල් දිග හැර යාමට බැරි තරම් , වයස් ගතවෙලා. මේ කකුල් දෙක ඒ තරමටම ෙවිදනාවයි. ඒත් එම කකුල් දෙකෙන් මොනතරම් නම්, ගමන් බිමන් ගිහින් ඇතිද?එවැනි ආකාරයෙන් ශරීර අංගෝපාංග පිළිබඳව සතුටු විය හැකියි.
කන්දෙක ලස්සන වෙන්නේ අප අසන ලද දේ අනුව මිස ,කනට දමන කරාබුවලින් නොවෙයි. අත් දෙක ලස්සන වෙන්නේ ලබාදුන් තරමට මිස වළලු දැමීමෙන්ම නොවෙයි. මේ ශරීරයෙහි පවතින ලස්සන මලෙහි බාහිරින් පවතින ලස්සන වගෙයි. පින්තූරයකින් දකින මලක ලස්සන විඳිය හැකි වුවත්, මලෙහි සුවඳ ඒ ආකාරයෙන් විඳිය නොහැකි වෙයි. අන්තර් ජාලයෙන් හමුවන ප්‍රේමවන්තයන් වෙනුවෙන් ඉතාම රූමත් අහිංසක තරුණ දියණියන් සිය දිිවි හානිකරගනු ලබන අවස්ථා අසන්නට ලැබෙයි. ජීවිතයට දැක නැති , ජීවිතකාලයටම මුහුණට මුහුණ හමුවී නැති , කවදාවත් දන්නේ හඳුනන්නේ නැති සයිබර් අවකාශයක අන්තර්ජාලයෙන් හඳුනාගත් එක්තරා ප්‍රේමවන්තයෙකුට ආදරය කර ඔහුගේ පණිවුඩ නැවතුන සැනින් රූමත් ලස්සන සුන්දර මලක් වගේ පුංචි දියණියක් සියදිවි හානිකර ගත්තා. ජායාරූපයකින් මලක් දැක, අන්තර්ජාලයෙන් මලක් දැක , චිත්‍රපටයකින් මල් වත්තක් දැක, ටෙලිනාට්‍යකින් මල් පොකුරක් දැක, රූපවාහිනියෙන් මල් පිපෙනවා දැක එයට ලොබ බැන්දා සේ එහි සුවඳ විඳගන්න බැහැ. දුටු පමණින් ආකර්ෂණයට පත්වන්නේ බාහිර පෙනුමෙනුයි. මලේ වටිනාකම කොළයෙහි වටිනකමට වඩා වෙනස් වනුයේ මලේ තිබෙන සුවඳ කොළයෙහි නැති නිසයි. කොළය කුමක්ද? කියා වෙලාවකට සිතෙයි. පැහැදිලි ලෙසම මලක වටිනාකම රඳාපවතින්නේ සුවඳත් සමඟයි. සුවදැති මල් පරවුවත්, සුවඳ නැති මල් පරවෙන්නේ නැහැ. ලස්සන මල් පරවියද, පරනොවියද හැකිය. රෙදි මල්, කඩදාසි මල් ලස්සන වුවත්, පරවන්නේ නැහැ. නමුත් සුවැඳැති මලක් නම්, පරවෙයි. එය එහි ස්වභාවයයි.
මිනිස් ජීවිතයත් බැහැරින් පෙනෙන්නට තිබෙන මලෙහි ලස්සන වගේ ශරීර ශක්තිය ජවය හා පෙනුම තිබිය යුතුවා සේම ආභ්‍යන්තරික ගුණ වගාවද තිබිය යුතුමයි. තමන්ට තමන් පිළිබඳව කෙතරම් සතුටු විය හැකිද? යනුවෙන් කල්පනා කර බැලිය යුතුයි. අප කළ නොකළ දේ, කී නොකීදේ හොඳයිද? අප ඔවුන් සමඟ කතාබස් කළ දේ වැරැදිද? නිවැරැදිද? මම කුඩා කල හැසිරී ඇති ආකාරය නිවැරැදිද? අම්මාට කතා කළ ආකාරය නිවැරැදිද? තාත්තට ප්‍රතිචාර දැක්වූ ආකාරය නිවැරැදිද?මට කේන්ති ගිය අවස්ථාවෙහි ඔහුට හෝ ඇයට කියූ දේ නිවැරැදිද?ඔහු හෝ ඇය මට ප්‍රකාශ කළ දේ නිවැරැදිද?තමන් කළ කී දේ තමන්ගේ අතීත සිද්ධිත් සමඟ තමන්ගේ ගුණවන්තකම මැනගත යුත්තේ මලෙහි සුවඳ ආඝ්‍රහණය කරගන්නා සේ. මලෙහි ජායා රූපයකින් මලෙහි සුවඳ විඳ ගත නොහැකි වන්නේ එම නිසයි. මල විඳගන්නේ මලෙන්මයි. මල ලෝකයටම සුවඳ ලබාදෙයි. අප ලෝකයට ලබාදුන්නේ මොනවාද?මල ලෝකයට ලස්සන වගේම සුවඳ ලබාදෙයි. අප ලෝකයට ලස්සන ලබාදුන්නා ද?අප ශරීරයක් ලෙස ශරීර ශක්තිය ලෝකයට ලබා දී ලෝකය සංවර්ධනය කළා ද?අපගේ රූමත්කම වගේම ගුණවත්කම ලබාදී ලෝකයට යම්කිසි එකතු කිරීමක් කළාද? අපගේ ගුණයෙන් අප ලෝකයට ලබාදී තිබෙන්නේ කුමක්ද?වචනයෙන් අපට කෙතරම් දෙයක් ලෝකයට දිය හැකිද?
කැලණිය විශ්ව විද්‍යාලයේ
සංස්කෘත අධ්‍යයන අංශයේ
මහාචාර්ය
ඉඳුරාගාරේ ධම්මරතන හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ මැදින් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මාර්තු 20 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment