Labels

Monday, April 10, 2017

උඩුගං බලා යනවාද? යටිගං බලා යනවාද?

සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් පසු සත්සතිය ගත කළ බුදුරජාණන් වහන්සේ තුළ තමන් වහන්සේ විසින් ඉමහත් කැපවීමෙන් හා අසීරුවෙන් දැන, දැක පසක් කරන ලද ධර්මය ලෝ වැස්සනට දේශනා කිරීමෙන් පලක් වේ දැයි විමතියක් උපන් බව සඳහන් වෙයි. රාග වශයෙන් ඇලුණු සිත් ඇතිව, මෝහ වශයෙන් මුලාව අවිද්‍යා අන්ධකාරයේ ගිලී සිටින ලෝකයාටම මේ දහම දැකගත නොහැකි වනු ඇතැයි උන්වහන්සේ සිතූහ. එතැනම පෙන්වාදී ඇති පරිදි බුදුදහම පටිසෝතගාමීය. එනම් උඩුගං බලා යන්නේ ය. ලෝක සත්ත්වයා අනුසෝතගාමී ය. යටිගං බලා ම යන්නේ ය. වෙනත් වචනවලින් කිවහොත් බුදුදහම රාගයෙන් විරාගයට මග කියයි. කාමයෙන් නිෂ්කාමයට මග කියයි.

තණ්හාවෙන් වීත තණ්හාවට මග කියයි. ආදාන නම් වූ අල්ලා ගැනීමෙන් මිදී දාන නම් වූ අත්හැරීමට මග කියයි. ලෝභයෙන් අලෝභයට, ද්වේශයෙන් අද්වේශයට, මෝහයෙන් අමෝහයට යාමට උපදෙස් දෙයි. මෙසේ බුදුරජාණන් වහන්සේගේ දහම පටිසෝතගාමීය. ප්‍රතිවිරුද්ධ දිසාවට අප යොමු කරන්නේ ය. චර්යාමය වශයෙන් චින්තනමය වශයෙන් මෙන්ම බුද්ධිමය වශයෙන්ද ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාව ම එනම් බුදුරදුන් වදාළ මුළුමහත් විමුක්ති මාර්ගයම පටිසෝතගාමීය. උඩුගං බලා දිවෙන්නේ ය. සැබෑ සැනසුම උදාකර ගත හැක්කේ එසේ උඩුගං බලා යාමෙනැයි බුදුදහම නැවත නැවතත් උගන්වයි. එය ම ප්‍රඥාගෝචර ය. අර්ථ සම්පන්නය. ලෝකවාසීහු අනුසෝතගාමී වෙති. එනම් යටිගං බලා ම යති. ඔවුහු රාගයෙන් රාගයට ම යති. ආදානයෙන් ආදානයට ම, ලෝභයෙන් ලෝභයට ම, ද්වේශයෙන් ද්වේශයට ම, මෝහයෙන් මෝහයට ම යති. මෙසේ අනුසෝතගාමී වන, යටිගං බලා ම යන රාගයෙන් රත් වූ, අවිද්‍යාවෙන් මුලා වූ ලෝක සත්ත්වයාට දහම් දෙසීමෙන් පලක් විය හැකිදැයි බුදුරදුන්ට විමතියක් උපන්නේ ය.

පසුව තවදුරටත් ලෝකය නමැති මඩ දිය පිරුණු මේ පොකුණෙහි වුව ද විවිධ මට්ටම්වල සත්වයන් වසන බව බුදුරදුන්ට පෙනී ගියේ ය. ඔවුහු පියුම් හා සම වන්නෝ ය. සමහර පියුම් මඩ දියෙහි ම ඉපිද එයින් ම යැපෙමින් එහි ම වැතිර සිටියි. එසේ අවිද්‍යා තෘෂ්ණාදියෙහි ම ගැලී වෙසෙන්නෝ ද සිටිති. සමහර පියුම් ජලය හා සම ව සිටියි. එනම් අවිද්‍යා තෘෂ්ණාදියෙහි ම ගැලී වෙසෙන්නෝ ද සිටිති. සමහර පියුම් ජලය හා සම ව සිටියි. එනම් අවිද්‍යා තෘෂ්ණාදියෙන් මදක් ඉහළට පැමිණි ලෝ වැස්සෝ ද වෙති. අවම සංඛ්‍යාවක් හෝ පියුම් මඩදිය ඉක්මවා ඉහළට ම නැගී සුවඳවත් ව ප්‍රසන්න ව හිරු රැස් පහස විඳිමින් සිටියි. එසේ ප්‍රබුද්ධ සත්වයෝ ද ලොව සිටිති. මේ දහම එකී මධ්‍යම හා උපරිම අවදිකම ඇත්තවුන්ට හෝ ඵලදායක වන්නේ ය. එසේ දැන දැක උන්වහන්සේ පසු ව ධර්මය දේශනා කිරීමට තීරණය කළහ.

අනුසෝතගාමී වූ ලෝ වැස්සන් අල්ලා ගැනීම, අයිතිකර ගැනීම, උපාදාන කර ගැනීම, ග්‍රහණය කර ගැනීම ඔස්සේ ම සැනසුම ද, විසඳුම ද සොයද්දී බුදුරජාණන් වහන්සේ අත්හැරීමට, දන්දීමට, අනුපාදානයට ම අනුශාසනා කරති. දික් සඟිය සාමඤ්ඤඵල සූත්‍රාදියෙහි දැක්වෙන පරිදි අරහං, සම්මා සම්බුද්ධාදි උතුම් ගුණ ඇති සම්මා සම්බුදුවරයකු ලොව ඉපිද මුල, මැද අග යහපත් වූ අර්ථ ව්‍යාංජන සහිත පිරිපුන් පිරිසුදු දහම, ශාසන බ්‍රහ්මචර්යාව වදාරණ කල්හි ගිහියෝ ඒ දහම අසා සියලු සම්පත් හැර පැවිදි ව ත්‍රිවිධ ශික්ෂාවෙහි හැසිරෙති. ‘ගිහිගෙයි විසීම නම් අවහිරයකි. රාගාදී කෙලෙස් වැඩෙන තැනකි. පැවිද්ද සම්බාධ නැත්තේ ය. එළිමහන වැන්න. ගිහිගෙයි වසන්නාට ඒකාන්ත පිරිපුන් පිරිසුදු සංඛ ලිඛිතයක් (හක් ගෙඩියක්) වැනි බ්‍රහ්මචරියාව පිරීම නම් අපහසුය. එබැවින් පැවිදි වීම සුදුසු යැයි සලකා අල්ප වූ හෝ විශාල වූ හෝ සම්පත් අත්හැර කුඩා වූ හෝ විශාල වූ නෑදෑ පිරිවර ද අත්හැර ගිහිගෙය හැර පැවිදි වෙයි. මෙසේ බෞද්ධ පැවිද්ද නිර්මාණය වන්නේම අත්හැරීමෙනි. එපමණක් නොව ගිහි ජීවිතය හා බැඳුණු, මැනවැයි අල්ලාගත් බොහෝ දේ අත්හැරීමෙනි. උරුම කොට ගත් අල්ලා ගත් ඒ සියල්ල බන්ධන සේ සලකා ඒවායින් නිදහස් වීමෙනි. පබ්බාජන යන පාලි ව්‍යවහාරය පැවිදි කිරීම යන අර්ථය මෙන්ම (ගිහි ජීවිතයෙන්) පිටමං කිරීම, නෙරපීම යන අර්ථයද ගෙන එයි. එසේ පිටමං වන්නේ ගිහිකම හා බැඳුණු සියලු සබඳතාවලිනි. එය හැඳින්විය හැක්කේ උඩුගං බලා යාමක් ලෙසය.

බුද්ධානුශාසනයට අනුව යදමින් හෝ දැවයෙන් කරන ලද බන්ධනය දැඩි නොවේය යනු නුවණැත්තවුන්ගේ අදහසයි. මුක්තා මාණික්‍යාදියෙන් කළ අනේකවිධ ආභරණාදිය කෙරෙහි ඇති ඇල්ම වඩාත් දැඩි බන්ධනයෝ ය. එබඳු ධන ධාන්‍යාදිය පිළිබඳව ඇති බැඳීම ඉතා දැඩිය. එසේම පුත්‍ර දාරාදීන් අරබයා ඇත්තේ ද එබඳුම බැඳීමෙකි. එම බන්ධනයන්ට මුල් වන සියල්ල අත්හැරීමෙන් පැවිදි වන්නේය. ඒ සියලු දුක් නැති කොට නිවන් පසක් කරනු පිණිස ය. එසේ අත්හැරීම සැනසුමට මග යැයි සලකා ගිහි බන්ධන ද, ඒ හා බැඳුණු භෝග සම්පත් මෙන්ම ඤාති පිරිවර ද අත්හළ පැවිදි ජීවිතය ගිහියාගේ පරමාදර්ශය විය යුතු ය.
පරියේසන යනු සෙවීම ය. බුදුදහම අනුව එය දෙයාකාර වේ. අනරිය පරියේසනය හා අරිය පරියේසනය යනුවෙනි. තෙමේ ජාති නම් වූ ඉපදීමට ලක් වෙමින් එබඳුම වූ දුක් සහිත උපදින ස්වභාවය ඇති දේ ම සොයයි. තෙමේ දිරායාම, ජරාව උරුම කොට ඇත්තේ එබඳු ම වූ ලෙඩ වන දේ ම සොයයි. තෙමේ මරණය උරුම කොට සිටින්නේ මැරෙන, මියයන දේ ම සොයයි. තෙමේ ශෝකය උරුම කොට ඇති ව එබඳුම වූ ශෝකය ස්වභාව කොට ඇත්තක් ම සොයයි. තෙමේ කෙලෙසෙන බව, කිලිටි බව උරුම කොට සිටිමින් එබඳු ම වූ කෙලෙසෙන දේ මැ සොයයි. මේ අනරිය පරියේසනයයි. මිනිස් වර්ගයා මිහිතලයෙහි උපන් දා පටන් ම මෙසේ ජාති, ජරා, ව්‍යාධි, මරණාදියට ගොදුරු වෙමින් තව තවත් එම දුක් සහිත දේ ම සොයා ගිය බව පැහැදිලි ය. සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේ මෙකී අනරිය පරියේසනය අත්හළහ. අරිය පරියේසනයට පිවිසියහ. එනම් තෙමේ ජාති, ජරා, ව්‍යාධි, මරණාදියට ගොදුරු ව සිටිමින් ඒ බව තේරුම්ගෙන ඉන් මිදීමේ මග සොයා යාමය. සසර දුකට භාජනය වෙමින් තව තවත් එබඳු දුක් දොම්නස් ම සොයා යාම හැරපියා දුකින් මිදී නිවන් පසක් කිරීමේ මග ගමන් කිරීමය. එහි දී එතුමෝ අත්හැර දැමීමේ පරමාදර්ශය ලොවට පෙන්වා දුන්හ. සියලු රාජකීය සම්පත් අත්හළහ. රම්‍යය, සුරම්‍යය, සුබ යැයි කියන ලද මාලිගාවන්ද, යශෝධරාව මෙන්ම රහල් කුමරු ද, නිමිත්ත පාඨකයන් කී රජ සැප ද මෙකී නොකී බොහෝ දේ ද අත්හළහ, අනුසෝතගාමිත්වයෙන්, යටිගං බලා යාමෙන් මිදී පටිසෝතගාමී වූහ. උඩුගං බලා ගියහ.

නිරුත්තර ශාන්ත පදය නම් වූ නිවන සොයා සියල්ල අත්හළ බෝසතුන්ගේ පරමාදර්ශය අනුව ගිය බොහෝ ගිහි බොදුනුවෝ ද පැවිදිව නිවන සොයා ගියහ. ඒ පිළිබඳ පුවත් පෙළ දහමෙහි නොමඳ ව දක්නා ලැබේ. බුද්ධ දේශනාව අනුව පැවිද්දා නිවනට යන ගමන හංසයාගේ ගමන වැනි ය. එහි ජව වේගය වැඩිය. ඒ ධන ධාන්‍යාදිය ද, ඤාති පිරිවර ද, තවත් බොහෝ දේ ද අත්හැරීමෙන් උපන් සැහැල්ලුව හේතුවෙනි. ගිහියා නිවනට යන ගමන මොණරාගේ ගමන වැනි ය. ඒ ධන ධාන්‍යාදිය ද, ඤාති පිරිවර ද, තවත් බොහෝ දේ ද කර ගසා ගැන්මෙන් උපන් බර නිසා ය. එබැවින් ගමන මන්දගාමී වේ.


කරුණු එසේ වුවද කාමභෝගී ගිහි ජීවිත ගත කරන්නවුන්ටද, අත්හැරීම පුරුදු කළ හැකි ය. ඔවුන්ට අදාළ පිළිවෙත නම් නිති පන්සිල්, පොහොය අටසිල් යන්නයි. උපෝෂථ අෂ්ටාංග ශිලය මසකට සිව් වරක් එනම් සතර පෝයට සමාදන් වන්නකි. එහි එන තෙවන ශික්ෂා පදය අබ්‍රහ්මචරියා වේරමණී යන්නයි. විවාහකයෙකු පස්කම් විඳින්නෙකු වන ගෘහස්ථ තෙමේ එම ශික්ෂාව රැකීමෙන් පවුල් ජීවිතයේ අඹුසැමි සබඳතාව එක් දිනකට අත්හරියි. එහි මැ සවන ශික්ෂාව විකාල භෝජනයෙන් වැළකීමයි. එමගින් හෙතෙම පස්වරුවේ ආහාරවේල අත්හරියි. සත්වන ශික්ෂාව මල්, සුවඳ, විලවුන් දැරීමද, සැරසීම හා මණ්ඩනය ද විසුළු දැකුම් ද අත්හරියි. අටවැන්න අනුව සුව යහන්, සුව අසුන් අතහරියි. මෙසේ ගිහියාට වුවද පොහොය අටසිල් රකිමින් අත්හැරීමට පුරුදු විය හැකි බව උගන්වා තිබේ. දානය ද අත්හැරීමකි. අතින් මෙන්ම සිතින් දන් දෙන ගිහියා තමා සතු සම්පතක උරුමය, අයිතිය, අපේක්ෂාව අත්හරියි. මෙසේ ගිහියාට ද ටික ටික අත්හරිමින් සෙමෙන් සෙමෙන් සැනසුම වෙත යා හැකි ය. එහෙත් ඔහු නිවනට යන ප්‍රගතිවේගය අඩුය. සපුරා අත්හැරීමට ඔහු යොමු වී නැති බැවිනි. මහ බරක් දරාගෙන සසර ගමන් කරන බැවිනි. සියලු දුක් නැති කිරීම අරමුණු කොට පිළිවෙත් නොපුරන බැවිනි.





මහාචාර්ය
දේවාලේගම මේධානන්ද හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ‍මැදින් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මාර්තු 12 වන ඉරිදා  දින බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment