Labels

Tuesday, April 11, 2017

අවබෝධයෙන් රකින පඤ්ච සීලය නිර්වාණාවබෝධයට

තථාගතයන් වහන්සේ නිවන් මාර්ගය තුළ ශික්ෂණයට පත්වන ශ්‍රාවකයා තුළ තිබිය යුතු අනිවාර්ය ශික්ෂණ ක්‍රමයක් ලෙස සීල ප්‍රතිපදාව හඳුන්වා ඇති අතර, නිවන් මඟ සීලයෙහි පිහිටා ආරම්භ කළ යුත්තක් බව දක්වා ඇත.
පඤ්ච සීල ප්‍රතිපදාවෙන් ඉගැන්වෙන වැළැක්වීම්වලට හා සමාන වැළැකීම් ක්‍රමයක් අන් ආගම්වලද ඉගැන්වෙන බව සමකාලීන ආගම් දෙස තුලනාත්මකව බලනවිට වටහා ගත හැකිය. ඒ අනුව පැහැදිලි වනුයේ පඤ්ච සීලය තුළ තිබෙන වැළැකිය යුතු කාරණා සමාජයට දායාද කළේ කිසියම්
නිශ්චිත ආගමකින් නොවන බවයි. සෑම ආගමක් ම ඒ කාරණය සමාජය තුළින් දැන හැඳිනගෙන තමන්ගේ ඉගැන්වීම් ද ඇතුළත් කොට සමාජගත කර ඇති ආකාරය වටහා ගත හැකියි. බුදුරජාණන් වහන්සේ සිදු කළේ ද එයමැයි. උන්වහන්සේට පෙර ලෝකයේ පඤ්ච සීලයෙන් ඉගැන්වෙන වැළැකීම් ක්‍රමය අනුගමනය කළ විවිධ ආගමික නායකයන් සිටි බවට සාධක තිබේ. නුවණැති පුරුෂයා විසින් සීලයක පිහිටා සමථ, විදර්ශනා භාවනා ක්‍රම දියුණු කිරීම තුළින් අධ්‍යාත්මික හා බාහිරව ඇතිකරගෙන තිබෙන සියලු පැටලැවිලි ලිහා දමන බවද තථාගතයන් වහන්සේ වදාළ සේක. බුදු දහමෙහි ඉගැන්වෙන සීල ප්‍රතිපදාව තුළදී පඤ්ච සීලයට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි. ගිහියන්ගේ නිත්‍ය ශීලය පඤ්ච සීලය ලෙසින් හඳුන්වා ඇත.
මිනිසා විසින් ඔවුනොවුන්ගේ ජීවත්වීමට ඇති අයිතිය සුරැකිය යුතුය යන සමාජ සම්මතය ඇතිකර ගන්නවාත් සමඟම ලෝකයේ ප්‍රථම වතාවට මූලික මිනිස් අයිතිවාසිකම හෙවත් සැමට ජීවත්වීමට ඇති අයිතිය සුරක්ෂිත විය. ලොව ජීවත්වෙන සෑම දෙනා ම තම ජීවිතයට කැමැතිය. මරණයට අකැමැතිය. එම පිළිගැනීම තුළ ප්‍රාණඝාතය තුළින් වැළැකී සිටීමේ වැදගත්කම එදා සමාජය විසින් හඳුනා ගන්නා ලදී.
මිනිසාට වැදගත් වන දෙවැනි කරුණ වූයේ මිනිසාට අයත් දේපළය. කෘෂි හා එඩේර යුගයන්හිදී මිනිසාගේ පුද්ගලික දේපළ පිළිබඳ උනන්දුව වැඩි දියුණුය විය. තමාගේ ජීවිතයට පමණක් නොව තමා අයත් දේපළවලටත් නිශ්චිත රක්ෂණාවරණයක් අවශ්‍ය බව එදා මිනිසාට වැටහී ගියේය. තමා විසින් සොයා ගත් දෙය තව අයෙකු විසින් පැහැර ගන්නවාට මිනිසා අකැමැති විය. ඒ අනුව සොරකම වරදක් වශයෙන් සමාජ සම්මත විය. එය සමාජය පිළිගත් අතර, එතැන් පටන් සොරකම අපරාධයක් ලෙසින් සහ දඬුවම් කළයුතු වරදක් ලෙස සමාජය විසින් සම්මත විය.
සංක්‍රමණශීලි ජීවිතයකට හුරුව සිටි එදා යුගයේ මිනිසා එම ජීවන ක්‍රමය අවසන් කොට තැන් තැන්වල ස්ථිර පදිංචිය ආරම්භ කළ අතර, මෙහිදී සමාජ ඒකකය හෙවත් පවුල පිළිබඳ අදහස සමාජගත විය. එක් එක් සමාජ ඒකකවල සිටින ස්ත්‍රින්ට වෙනත් සමාජ ඒකකවල සිටින පිරිමින්ගේ කරදර හිරිහැර ඇතිවීම තුළ පවුල් සහජීවනය සේ ම ස්ත්‍රියගේ ආරක්ෂාවද නැතිව ගියේය. එනිසා ස්ත්‍රියගේ ආරක්ෂාවට සමාජය තුළින්ම ක්‍රමවේදයක් සකසාගෙන තිබුණි. පරදාර සේවනය වරදක් ලෙසින් සමාජ සම්මතයක් ඇති වන්නේ මේ පසුබිම යටතේය.
මේ අනුව අපට වටහා ගත හැක්කේ සමාජය විසින් සමාජයේ ඕනෑකමට සම්මත කරගත් ක්‍රියාවලියක් අද අප පඤ්ච සීලය නමින් හඳුන්වන කරුණුවලින් නිරූපණය වන බවයි. එදා සමාජයේ පහළ වූ සියලු ආගමික නායකයන් මේ කරුණ සමාජයට කෙතරම් අවශ්‍ය වන්නේ දැයි මනා ලෙස දැන සිටි නිසා, ඔවුහු තමන්ගේ ආගමික ඉගැන්වීම් තුළට මේ පඤ්චසීල ප්‍රතිපදාවෙහි සඳහන් කරුණුු ඇතුළත් කර ගැනීමට උත්සුක විය. බුදුරජාණන් වහන්සේ ද සිදුකොට ඇත්තේ සමාජ සම්මතයේ තිබූ මේ පඤ්ච සීල ප්‍රතිපදාවේ සඳහන් කාරණාවන්ට තමන් වහන්සේගේ අර්ථ නිරූපණයන් ගෙනහැර දැක්වීමයි. ඒ අනුව පඤ්ච සීල ප්‍රතිපදාවේ සඳහන් වන නොකළ යුතු කාරණා නොකර සිටීමෙන් සහ කළයුතු කාරණා කිරීමෙන් පුද්ගලයාට මෙලොව වශයෙන් ද, පරලොව වශයෙන්ද, ලෝකෝත්තර වශයෙන්ද ළඟාකර ගතහැකි ප්‍රතිඵල කුමක්දැයි බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී ඇත.
පඤ්ච සීලය ගැන විමසන විට සිහියට නැඟෙන අනෙක් කාරණය වන්නේ පඤ්ච දුශ්චරිතය යි. පඤ්ච දුෂ්චරිතයෙන් වැළැකී සිටීම පඤ්ච සීලය යි. තථාගතයන් වහන්සේගේ ඉගැන්වීමට අනුව පඤ්ච සීල ප්‍රතිපදාව තුළ සඳහන් වෙන ප්‍රධාන කාරණා දෙකකි. ඒ සමාදානය හා විරමණය යි. සමාදානය යනු කැමැත්තෙන් සමාදන් වීමයි. විරමණය යනු වැළැකී සිටීමයි. වැළැකී සිටින්නේ නරක දේ කිරීමෙනි. සතුන් මැරීමෙන්, සොරකම් කිරීමෙන්, කාමය වරදවා හැසිරීමෙන්, බොරු කීමෙන්, රහමෙර පානයෙන් වැළැකී සිටීම පඤ්චසීල ප්‍රතිපදාවේ එන විරමණය යි. වැළකී සිටින්නේ නරක දේ කරන්නට ඇති ආශාව දුරුකර ගැනීමටයි. යමෙක් සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, වැරැදිකාම සේවනයේ හැසිරෙන්නේ, බොරු කියන්නේ, රහමෙර පානය කරන්නේ ඇයි? මේ සඳහා කෙනෙකුට විවිධ හේතු කිව හැකිය. තරහව, ලෝභය ආදි වශයෙන් විවිධ හේතු කියතත් අප වටහා ගත යුතු ප්‍රධානම හේතුව වන්නේ එම වරද කරන්නට ඇති කැමැත්තයි. කෙනෙක් සතුන් මරනවා නම් එය කරන්නේ ඒ දේ කරන්නට ඇති කැමැත්ත නිසාය. ඒ කැමැත්ත අතහැරීම “විරමණය” නම් වේ. ඒ අතහැරීම ද පන්සිල් සමාදන් වනවිට සිදු කරනු ලබන ප්‍රධානම ක්‍රියාවකි.
”සමාදානය” යනු කැමැත්තෙන් වැළඳ ගැනීමයි. කැමැත්තෙන් වැළඳ ගන්නේ කුමක්ද? සියලු සතුන්ට ජීවත්වීමට ඇති අයිතියයි. අන් සතු දෙය නො ගෙන සිටිීමයි. බ්‍රහ්මචාරීව වාසය කිරීමයි. සත්‍යවාදී වීමයි. සිහිනුවණින් යුතුව කායික හා මානසික පසුබෑමකින් තොරව කටයුතු කිරීමයි. මේ කරුණු සිදුකිරීම සඳහා පංචසීල ප්‍රතිපදාව සමාදන් විය යුතුය. එසේ කටයුතු කරන තැනැත්තා පරිපූර්ණ පුද්ගලයෙකු බවට පත්වේ.
ඇතැමෙක් පංචසීල ප්‍රතිපදාවේ විරමණය හොඳින් ආරක්ෂා කළද සමාදන් පැත්ත ආරක්ෂා කරන්නේ නැත. එම නිසා ඔවුන් තුළ පරිපූර්ණ ශීලයක් ආරක්ෂා වන්නේ නැත. ඒ අනුව පන්සිල් රකිනවා යනු නරක දේ නොකර සිටීම ම පමණක් නොව හොඳ දේ පුරුදු පුහුණු කිරීමක් බව ටවහා ගත යුතුය.
පස්පවින් වැළැකීමට නම් පංච දුශ්චරිතයන්ගේ ආදීනව දැනගත යුතුය. පන්සිල් සුරැකීමට නම් එහි ආනිසංසද දැනගත යුතුය. පන්සිල් රැකීමේ විවිධ ආනිශංස තිබුණත් ධර්මය ගැන මනා දැනීමක් ඇති ශ්‍රාවකයා පන්සිල් රකිනුයේ එය නිවනට උපාකරි වන ප්‍රධාන අංගයක් වන බැවිනි. විශේෂයෙන් ම සීලය සමාධියට උපකාරි වෙයි. සමාධිය ප්‍රඥාවට උපකාරී වෙයි. ප්‍රඥාව උපදවා ගන්නා තැනැත්තා මනා ලෙස කෙලෙසුන්ගෙන් මිදීමේ වැඩපිළිවෙල දැන අනුගමනය කොට නිවන්සුව සලසා ගන්නා තැනැත්තෙක් වෙයි. එනිසා සීලය නිර්වාණගාමි ප්‍රතිපදාවේ ප්‍රධාන අංගයක් ලෙස දක්වා ඇත.
යමෙක් පංච සීලය තුළ ක්‍රියාත්මක වන කර්ම සැකැසීම මනා සේ දැන ගැනීම, ඒ තුළ සත්ත්වයාගේ සංසාර ගමන සකස් වන ආකාරය මනා ලෙස දැන ගනීම, සසර පැවැත්ම සකස් වීම නිසා දුක ඇතිවන බව මනාලෙස දැන ගනීද, දුකත් දුකට හේතුවත් දුක නැති කිරීමත්, දුක නැති කිරීමේ මඟත් පන්සිල් පදනම් කරගෙන මනාලෙස දැන ගනීද, එය ඒ තැනැත්තාට පන්සිල් පදනම් කරගෙන ඇතිවන සම්මා දිට්ඨියයි. පන්සිල්වල සඳහන් වන විරමණය පුරුදු පුහුණු කිරීමට හෙවත් අතහැරීම පුරුදු පුහුණු කිරීමට කල්පනා කරයිද, එය පන්සිල් සම්බන්ධයෙන් ඒ තැනැත්තා වැඩිදියුණු කරන සම්මා සංකප්පය යි. එසේම පන්සිල්වලින් කියැවෙන පරිදි නරක දේ නොකර නරක වචන නොකියා සිටීමද පඤ්ච සීල ප්‍රතිපදාවට අනුව තම ජීවන පැවැත්ම සකසා ගනීද එය ඒ තැනැත්තාගේ සම්මා වාචා, සම්මා කම්මන්ත සහ සම්මා ආජීවය යි. එසේම දුක නැති කිරීමේ උත්සාහයෙන් ඒ තැනැත්තා කටයුතු කරන්නේ නම් එය සම්මා වායාමයයි. පන්සිල් රැකෙන සහ කැඩෙන ආකාරය මනා ලෙස දැන සිහි නුවණින් කටයුතු කරන්නේ නම් සම්මා සතියයි. පන්සිල් මුල්කර ගෙනම සිත තුළ පඤ්ච නීවරණයන්ගේ සංසිදීමක් වේනම් ඒ තුළ කිසියම් ඒකාග්‍රතාවයක් ඇති වන්නේ නම්, එය සම්මා සමාධිය යි.

මෙලෙසින් බලන විට පන්සිල් රකින තැනැත්තා විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කළා වේ. පන්සිල් රැකීම නිවනට හේතු වන්නේ එය මාර්ග අංග දියුණු වන ලෙස පුරුදු කළ විටය.එනිසා බෞද්ධ අපට හැමවිටම පන්සිල් පද පහ ගැන මනා අවබෝධයක් තිබිය යුතුය.




ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත 
තලල්ලේ චන්දකිත්ති හිමි




ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ‍මැදින් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මාර්තු 12 වන ඉරිදා  දින බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

1 comment:

  1. මේ ධම්ම විග්‍රහයන්ට නිතරම බුද්ධ වචනය එනම් ත්‍රිපිටක සූත්‍ර සදහම් කිරීම වටින වා

    ReplyDelete