පසුගිය ලිපියෙන් අපි සීහ සූත්‍රයෙන් කේසර සිංහ රජාණන් ගැන සඳහන් කළෙමු. මේ කේසර සිංහ රජාණන්ගේ අභීත හඬ යොදුන් තුනක් දුරට ඇසෙන බව සඳහන් කළා. යොදුන් තුනක් යනු සැතපුම් හතළිස් අටක් වෙයි. මේ සිංහයාගේ රැව්දෙන ගාම්භීර හඬ භාග්‍යවතුන් වහන්සේට සමකර තිබෙන්නේ කෙසේ දැ’යි අද අපි සඳහන් කරමු.
භාග්‍යවතුන් වහන්සේ යොදුන් දහ අටක් බරණැස ඉසිපතනාරාමයට වැඩම කළා. මා පළමු ධර්ම දේශනාව සිදු කරන්නේ කාටදැ’යි සිතුවා. සම්මා සම්බුද්ධත්වයෙන් පසුව පළමු සිංහ නාදය කරන්න බුදුරදුන් සූදානම් වෙනවා. සම්මා සම්බුද්ධත්වය ලැබුවේ මහා කල්ප අසංක විස්සයි ලක්ෂයකින් පසුවයි.
අති දීර්ඝතම කාලයක් සම්මා සම්බුද්ධත්වය වෙනුවෙන් පාරමිතා පරිපූර්ණ කර සම්මා සම්බුද්ධත්වය මුදුන් පත් වී අවබෝධකර ගත් ධර්මය දැන් මාස දෙකකට ආසන්නයි. තාමත් ධර්මය දේශනා කළේ නැහැ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය මා දේශනා කරන්නේ කාටද යනුවෙන් කල්පනා කළා. ආලාරකාලාම, උද්දකරාම පුත්ත වැනි උත්තමයොත් ජීවතුන් අතර නැහැ. ඊටපසුව සුමධුර දහම පස්වග මහණුන්ට දේශනා කරන බව තීරණය කරනවා.
මේ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයේ වැඩ සිටිනවා. මුලින්ම ධර්මය දේශනා කරන්න මැළි කමකුත් ඇති වුණා. ඒක ලෝක ධර්මතාවයක්. සෑම බුදුරජාණන් වහන්සේ නමකටම ඒ මැළිකම ඇති වීම ස්වභාවිකයි. රාගයෙන් රත් වූ, ද්වේශයෙන් මත් වූ, මෝහයෙන් මුලා වූ මේ මිනිසුන්ට මා දේශනා කරන ගැඹුරු දහම අවබෝධ වේවිද? සිතිවිල්ල බුදුන් වහන්සේට ඇතිවෙන සැනින්, ක්ෂණයක්වත් ගත වුණේ නැහැ. තමන් වහන්සේ දේශනා කරන ගැඹුරු ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අය ලෝකයේ සිටින බව භාග්‍යවතුන් වහන්සේට වැටහුණා.
නමුත්, භාග්‍යවතුන් වහන්සේගේ පෙර සිතිවිල්ලත් සමඟම බඹලොව කැළඹුණු බව සඳහන් වෙයි. බැරි වෙලාවත් භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා නොකළොත් ලෝකය ඉවරයි..., අප නැසුණා... ,අප නැසුණා යනුවෙන් බඹලොව කැළඹුන බව සඳහන් වෙයි. මේ කැළඹීමත් සමඟම බ්‍රහ්ම රාජයා භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණ මෙසේ ආරාධනා කරයි. සුගතයන් වහන්ස, භාග්‍යවතුන් වහන්ස, මහා පුරුෂයන් වහන්ස, මහා වීරයන් වහන්ස, නැඟී සිටින්න. මාර යුද්ධය දිනූ මහා වීරයන් වහන්ස නැඟී සිටින්න. ලෝක සත්ත්වයා කෙරෙහි අනන්ත අනුකම්පාවෙන් යුක්තව ශ්‍රී සද්ධර්මය දේශනා කරන සේක්වා! යනුවෙන් ආරාධනා කරනවා. මේ ආරාධනාව කරද්දී භාග්‍යවතුන් වහන්සේ මෙසේ පැහැදිලි කරනවා.
මහා බ්‍රහ්මය, බ්‍රහ්ම රාජ්‍යයේ අමාදොර විවර කළා. මොහු ආරාධනා කරන්න පෙරම භාග්‍යවතුන් වහන්සේ දහම් දේශනා කරන්න තීරණය කර අවසන්. ඒ නිසයි, සඳහන් කළේ අමා දොර විවර කළබව. සැදැහැත්තෝ සැදැහැ මුදත්වා යනුවෙන් දේශනා කළා. ආරාධනාවෙන් පසුව ඇසළ පුර පසළොස්වක පොහොය දවසට පෙර භාග්‍යවතුන් වහන්සේ පස්වග මහණුන් වැඩ සිටින ස්ථානය සොයා යොදුන් දහඅටක් පාත්‍ර සිවුරු අරගෙන වැඩම කරන්න පටන් ගත්තා. සීහ සූත්‍රයේ සිංහ රාජයා යොදුන් තුනක් දුවලා සිංහනාද කරනවා. භාග්‍යවතුන් වහන්සේ සිංහනාද කරන්න යොදුන් දහඅටක් පා ගමනින් වඩිනවා.
බරණැස ඉසිපතනාරාමයට වැඩම කර සෙලෙවෙන්නේ නැති අචල වූ පල්ලංකයක භාග්‍යවතුන් වැඩ සිටියා. දහ දාහක් සක්වල දෙවි බඹුන් මේ ස්ථානයට රැස් වුණේ අපමණ ප්‍රීතියෙන්. මුලින්ම ශ්‍රී මුඛධාතුවෙන් පළවෙනිම බුද්ධ වචනය පිට කරන්න සූදානම් වන අසිරිමත් මොහොත. කෙනෙකුට සිතන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් අප වචනයක් පිට කරනවා වගෙයි ලෝකය මේ මොහොතේ නිහඬව සිටින්න ඇතිද? නැහැ. මහා කල්ප අසංඛ්‍ය විස්සයි. ලක්ෂයක් සංසාරයේ අපමණ දුක් විඳලා අවබෝධ කරගත් ශ්‍රී සද්ධර්මය හා හාපුරා කියා ලෝකයට මුදා හරින්න සූදානම් වන මොහොත. අමා ගඟ ලෝක ධාතුව සිසාරා ගලා බසින්න සූදානම් වන මොහොත. ඒ මොහොත පිළිගන්න මේ ස්වභාව ධර්මයට නිසලව ඉන්නට බැරිව ගියා. ඒ නිසාම සොභා දහම වෙනස් වන්නට පටන් ගත්තා. දහ දාහක් ලෝක ධාතු කම්පාවෙන්න පටන් ගත්තා. අකල් වැසි වසින්න පටන් ගත්තා. හිරු දහසක් , සඳු දහසක් පෑව්වොත් මුලු මහත් ලෝකයටම කොපමණ එළියක් වැටේද, ඒහා සමාන ආලෝකයකින් ලෝකය ඒකාලෝක වූවා.
නිකවැරටිය රත්නායකපුර
නෙළුම්ගල පුරාණ විහාරයේ
කෝරළයාගම සරණතිස්ස හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ මැදින් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මාර්තු 20 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment