Labels

Sunday, April 16, 2017

සමනොළ ගිරි හිස සිරසින් විහිදෙන මුනිගුණ මහිමය

සකල ජනමන සනසන අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයෙන් අටවෙනි වස ශ්‍රී ලංකාදීපයේ සමනොළ අඩවියට අධිපති සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් සමනොළ ගිරි සිරසෙහි සිරිපතුල් සලකුණ තබා වදාළ සේක. අනතුරුව පන්සියයක් මහ රහතන් වහන්සේ සමඟ දිවා ගුහාවෙහි වැඩ සිට දීඝවාපියට වැඩි සේක.
මිහිපිට සොබාසිරිය ඇති තැන් අතර පූජනීය වන්දනීය ස්ථානයක් වශයෙන් සමනොළ අඩවිය අග්‍රස්ථානයක් ලෙස සැලකීමට හේතු සාධක ඇත්තේය.







01. මනරංජන ස්වභාවික සිරියාව
02.බුදුරදුන්ගේ සිරිපතුල් සලකුණු පිහිටීම
03. තුන්සරණේ ගුණ ගායනය
04. දේව භක්තිය
05. බෞද්ධ ශිෂ්ටාචාරය පෝෂණය වීම

අප ජීවත්වන දෙපයින් නැගී සිටින එමෙන්ම අප සතර ඉරියව් පවත්වා කෙදිනක හෝ ඇදවැටෙන මෙම මහ පොළොව මෙතරම් සුන්දරවන්නේ එහි ස්වභාවික විෂමතා නිසාය. තුරුලතා වැවෙන ගංඟා, ඇළ, දොළ, ගලායන කඳු තැනිතලා, කාන්තාරාදී වශයෙන් පවත්නා විවිධාකාර භාවය උපදින සතත්වයන්ගේ අන්‍යෝන්‍ය විවිධත්වයට මෙන්ම දාර්ශනික චින්තනයටද ,ශිෂ්ටාචාර පැවැත්මටද මහෝපකාරි වන්නේය. එසේ නොවූයේ නම් මහ පොළෝ මත ජෛව ශක්තියක් නැතිවෙන්නට ඉඩ තිබුණි.
අප බුදුරජාණන් වහන්සේ ශ්‍රීපාද ලාංඡන පිහිටියා වු නර්මදානදී තීරය, සච්ච බද්ධ පර්වතය, යෝනකපුරය, සමනොළ කඳු මුදුන යන ස්ථාන හතරින් සමනොළ ගිරි ප්‍රදේශය සොබා සිරියෙන් අතිශයෙන් ජනමනරංජනය වන්නේය. වාර්ෂිකව උඳුවප් පෝදා පටන් වෙසක් පෝය දක්වා හයමසක් පුරාවට දසලක්ෂ සංඛ්‍යාත ජනතාවක් බෞද්ධ, හින්දු ඉස්ලාම්”, කි‍්‍රස්තියානි, ආදි වශයෙන් සර්ව ආගම්වලට අයත් වුවද අවංක මිත්‍රලීලාවෙන් පැමිණෙන්නේ යළිත් වරක් පැමිණීමේ ආපේක්ෂාවෙන් හා ආගමික භක්තිවාදී ප්‍රාර්ථනයෙනි.
දෙතිසක් මහාපුරුෂ ලක්ෂණ, අසීති අනුව්‍යංජන ලක්ෂණ දෙසිය සොළසක් මංගල ලක්ෂණ වශයෙන් මහා භාග්‍යවන්ත අප බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද ලාංඡනය දැකගන්නට තරම් භාග්‍යවන්තයන් වර්තමානයේ නැතිවුවද එය වසා ඇති ශිලාමය සංකේතවට වුවද වැඳීමෙන් පිදීමෙන් තෙරුවන් ගුණ මෙනෙහි කිරීමෙන් තුන් සරණේ කවිපද ගායනයෙන් ලැබෙන ප්‍රතිවිපාකය අපමණය.
ශ්‍රී පාද සිද්ධස්ථානය පිළිබඳ ඉතිහාසය ඉතා දීර්ඝ වන අතර මූලාශ්‍ර කීපයක්ද දක්නට පුළුවන. අඹගමු ශිලා ලේඛනය, වංශ කතා පූජාවලිය, සමන්තකූට වන්ණනා ,සංදේශ සාහිත්‍ය ආදිය මෙහි ඇති පූර්ව කතා විස්තර ඇමතීය.
නිශ්ශංකමල්ල රජතුමා සමකොළ කන්ද නැඟ සිරිපතුල් වැඳ මෙම පූජනීය ස්ථානය වැඳ පුදා ගැනීම සඳහා පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා මඟතොට සකසා ගල්පඩි බන්දා අම්බලම් තනවා විශාල සේවාවක්, මහෝපකාරයක් සිදු කළේය.
මහ විජයබාහු රජතුමා අඹගමුවෙන් ලැබෙන ආදායමෙන් කොටසක් ශ්‍රීපාදස්ථානයේ නඩත්තුව සඳහා පූජාකළ බව අඹගමු ශිලාලේඛනයෙන් දැක්වේ. එම රජුගේ ඇවෑමෙන් එය අක්‍රිය වුවද නිශ්ශංකමල්ල රජතුමා යළිත් එම ආදායම් ශ්‍රී පාද සිද්ධස්ථානයටම අයිති කර දුන්හ. දඹදෙණි යුගයේ ප්‍රතිරාජ ඇමැති ශ්‍රී පාදයට මෙම අඹගමුව ප්‍රදේශයෙන් ගිය බවත් එවකට වන්දනාකරුවන්ගේ ප්‍රධාන මාර්ගය මෙම ගම හරහා පැවැති බවත් ආගන්තුක සත්කාර වශයෙන් ප්‍රකටව පැවැති බවට තොරතුරු ලැබී පවතින්නේය.
අඹගමු ශිලා ලේඛනයෙන් ශ්‍රී පාද වන්දනාව පිළිබඳව මෙන්ම එකල සිද්ධස්ථාන ආරක්ෂා කර ගැනීමේ ප්‍රයත්න සම්බන්ධ එක් අංශයක්ද විස්තර වන්නේය. එකල ගමනාගමනය පයින් හෝ කරත්තයෙන් සිදුකළ බැවින් අම්බලම් ප්‍රධාන කරගත් නවාතැන් පැවැති අතර ඒවා රජයෙන් හෝ පළාතේ ගම් ප්‍රධානීන්ගේ ආරක්ෂා පෝෂණය කරන ලදී.
ශ්‍රී ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාරයේ ක්‍රියාකාරී ප්‍රධාන ලක්ෂණයක් නම් සාමූහික වන්දනා ගමනයි. විශේෂයෙන් ගැමි ජනතාව විනෝදයත් වන්දනාමාන කුසලයත් එම දේශීය වන්දනා ගමන්වලින් ලබා ගන්නා අතර එයින් ගෙදර දොරේ සමඟිය ගමේ රටේ සංහිඳියාව රටේ තොටේ දැනුම හුවමාරු කර ගැනීම, ආදියෙන් බොහෝ ප්‍රතිඵල ලැබෙන්නේය.
ශී‍්‍ර පාද වන්දනා ගමනේදී භාවිත කරන භාෂාව, හැසිරීම් රටාව, සිරිත් විරිත්, ඇඳුම්, පැළදුම්, ආහාරපාන සුවිශේෂ වන්නේ එම ගමනේ ඇති දුෂ්කරතාව නිසාය. ප්‍රථමයෙන් වන්දනා නඩයට එක්වන්නා කෝඩුකාරයා නමින් හඳුන්වන අතර ඔහු සීත ගඟුලෙන් පිරිසුදුව සුදු පිරුවට ඇඳ සමන් දෙවියන්ට බාරවී කන්ද නඟින්නට ආරම්භ කරන්නේ නඩේගුරාගේ හෝ වැඩිහිටියන්ගේ අණ පිළිපැදීමෙනි. සීත ගඟුලේදී පිරිසුදුවීම, ඉදිකටුපානේදී නූල් ඉදිකටු එල්ලීම අනිවාර්ය වන්නේය.
වන්දනා ගමන ආරම්භයේදී තුන්සරණේ කවි කීම හා සාධු කාරදීම, නඩේ ගුරාගේ අනුදැනීම ඇතුවම ගමන් කිරීම, නැවතීම ආහාරපාන ගැනීම, යළි පිටත්වීම, සාමූහිකවම, සුහදව කතා කිරීම කරුණා කිරීම හෙවත් වඳින්ට කන්ද නැගීම, උඩමළුවට පැමිණීම, ඉර සේවය බැලීම, සිරිපතුල වන්ඳනා කිරීම, ගාණ්ඨාරය ගැසීම, වැඳල බැසීම, නගින අයට ආසිරි පැතීම ආදි සියලුම සිද්ධීන් නඩේගුරාගේ උපදෙස්මත සිදුවන්නේය.

වඳින්ට යන කිරිකෝඩුට බුද්ධං සරණේ සරණයි
වැඳල බහින මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි
මුනි සිරිපා අපි වැන්ඳා, පෙරළි පෙරළි අපි වැන්ඳා

ආදියෙන් නිතැතින්ම පවිත්‍ර චේතනාවෙන් මුවින් පිටවන වදන්වලින් මුනිගුණ මහිමය, සමන් දේව භක්තිය සිතින් සිතට සම්පේ‍්‍රෂණය වීමෙන් හමනා සුළඟේ අවට කඳු සිසාරා විහිදී යන්නේය. .තුරුලතා එම ලොව්තුරා ගුණමහිමයෙන් කඳු මතට නැමී තිබෙන්නේය. සිව් පා අපා දෙපා සතුන් පවා තෙරුවන් ගුණ මහිමයට නැමෙන්නේය. දස ලක්ෂ සංඛ්‍යාත ජනතාව මත රුවන් බලයෙන් ආරක්ෂා වන්නේය.

සුරරද සමන් සමඟින් සුරඟන එවර
පැහැනද මදාරා පරසතු මල් පතර
කර පුද වඳින රැඳි මුනි සිරිපා තඹර
සකිසඳ පෙනේ සමනොළ ගල නැඟෙනහිර

සිංහල භාෂා සාහිත්‍ය පෝෂණයට මෙන්ම පොදු ජනතාවගේ කලා විඤ්ඤාණයට සිරිපා වන්දනාව මූලාධාර විය.

සුත්වාන නාථො ගිරමෙතමස්ස
පස්සං මහා භූති මනාගතෙසු
ලෝකස්ස ලෝකේහි මහීය මානෝ
අකාසි වාමෙන පදෙන ලංඡං
සම්බෝධිතෝ අට්ඨම සාරදස්මිං
වේසාඛමාසේ මුනි පුණ්ණමායං
පාදස්ස භිඤ්ඤාණ මකා පරණ්හෙ
සදේවකෙ සස්සමණේ මහෙන්තෙ

අප බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අටවෙනි වස වෙසක් පුර පසළොස්වක පෝදින හෙවත් මෙයට වර්ෂ 2604 ට පෙර සමන් දෙවිඳුගේ ආරාධනාවෙන් සමනොළ ගල ගිරි සිරසේ වම් සිරි පතුලේ ලාංඡනය තබා වදාළ සේක. එදා මෙදා තුර වසරින් වසර බුදු සිරි පතුල වන්දනා කිරීමෙන් පින් රැස් කරගත්, කුසල් වැඩූ සත්ත්වයන්ගේ ගණන මෙපමණ යැයි කෙසේ තීරණය කරන්නද, දැක තුටු පහටුවු සිහිකර ශ්‍රද්ධා චේතනා පෝෂණය කළ,ආධාර, උපකාර, සම්මාදම් කළ අයගේ සංඛ්‍යාව සිතීම පවා බැරෑරුම් වන්නේය.
අප බුදුරජාණන් වහන්සේගේ දානාදී පුණ්‍ය කර්මයන්ගේ ප්‍රතිවිපාක වශයෙන් ඉතා විචිත්‍ර මහානුභාව සම්පන්න ස්වස්තික දෙක, සිරිවස දෙක, අවතංසදෙක, ආදියෙන් මනුලොව පමණක් නොව දිව්‍යාලෝක ආදි සමස්ත විෂයම දර්ශනය වන මංගල සම්මත සියලු ලක්ෂණ පිහිටි සිරිපතුල මෙසේ යැයි දක්නට නැතිවුවද එම සිරිපතුල් පිළිබඳ සංකේත දැකීමෙන්ම එම අසම සමදීපදෝත්තම බුදුපියාණන් වහන්සේගේ ශාරීරික ස්වභාවය මඳ පමණින් හෝ නැණ පමණින් සිතන්නට ලියන්නට හැකි වන්නේය.
වනයේ සතුන්ට තම තමන්ගේ අභිරුචිය පරිදි සංචාරකයන් පරිසර රසවින්දනයෙන් මානසික වින්දනයක් ලබන, සාහිත්‍ය රසිකයන් තම අනුභූතිය වටා කියා ලියා විනා තම පරමාර්ථය ඉෂ්ඨ සිද්ධ කරගන්නා, ශ්‍රද්ධාවන්තයන් තෙරුවන් ගුණෙන් ආරක්ෂාවෙන, දේවභක්තියෙන් තම තමන්ගේ දෙවියන් සිහිකරගෙන ආරක්ෂාවෙන ශ්‍රී පාදස්ථානය ආශි‍්‍රත වන පෙත. මනුලොව ඇති උතුම් සම්පතකි.

සමනොළ ගිරි සිරසෙන් ඇසෙන සාධු නාදයත් ඝණ්ඨානාදයත් ඈත කදු ශිඛර දක්වා පමණක් නොව ශ්‍රී ලංකා ධරණී තලයට ද සමස්ත මානව සමාජයටම බෙදා දෙන සාමපණිවුඩයක් වේවා!







අස්ගිරිය මහා විහාරයීය සංඝ සභාවේ මහෝපාධ්‍යාය
ශාස්ත්‍රවේදී පණ්ඩිත 
අමුණුපුර පියරතන හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ‍මැදින් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මාර්තු 12 වන ඉරිදා  දින බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment