Labels

Saturday, April 8, 2017

අසමගි කරවීමේ පාපය


ආගන්තුක භික්ෂුව තමන් සිදුකළ කේළම් කීමේ අකුසල කර්මය පිළිබඳ නිතර නිතර පශ්චත්තාප වුණා. දුකට පත්වුණා. මරණයට පත්ව බුද්ධාන්තරයක් මුළුල්ලෙහි නිරයේ ඉපදී අප්‍රමාණ දුක් වින්දා. නැවත අප බුදුන් දවස රජගහනුවර පූතිමුඛ ප්‍රේතයෙක් ලෙස ඉපදුණු බව එම ප්‍රේතයා නාරද ස්වාමීන් වහන්සේට සඳහන් කළා. ඔබවහන්සේලා එවන් අකුසල කර්ම සිදු නොකරන ලෙස ඉල්ලා සිටියා. මෙලෙස ගාථාවකින් සඳහන් කර සිටියා.
පින්වත්නි, අද දින ඔබට පැහැදිලි කරදෙන්නට බලාපොරොත්තු වන්නේ මුඛයෙන් පණුවන් හටගෙන ඒ පණුවන් විසින්ම මුඛය සපාකෑමට ලක්කරන ප්‍රේතයෙක් පිළිබඳවයි. ප්‍රේතවස්තුවේ එන තෙවන කතා පුවත මෙයයි. නිතරම පණුවන්ගෙන් මුඛය සපා කෑමට ලක්වන නිසා මෙම ප්‍රේතයා පූතිමුඛ ප්‍රේතයා යැයි හඳුන්වනවා ඇත.
දිනක් නාරද මහතෙරුන් වහන්සේ ගිජ්ජකූට පර්වතයෙන් බසින විට උන්වහන්සේට මෙම ප්‍රේතයා මුණ ගැසුණා. එවිට උන්වහන්සේ එම ප්‍රේතයාගෙන් විමසනවා කුමන අකුසල කර්මයකින්ද නුඹ මෙලෙස බොහෝ වේදනා විඳිමින් ප්‍රේතයෙක් වී ඉපදුනේ කියා. එවිට පූතිමුක ප්‍රේතයා සඳහන් කරනවා කාශ්‍යප බුදුන් දවස තමා සිදුකළ අකුසල කර්මයක් පිළිබඳව. අටවිසි බුදුවරු අතරින් විසිහත්වන බුදුන්වහන්සේ කාශ්‍යප බුදුන්වහන්සේය. උන්වහන්සේ අප ගෞතම බුදුරදුන්ට පෙරාතුව චතුස් දහම දේශනා කළ උත්තමයාණෝය.
කාශ්‍යප බුදුන් දවස එක්තරා සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේ දෙනමක් බණ භාවනා වඩමින් සිටියා. එම විහාරයට ආගන්තුකව භික්ෂුවක් පැමිණි අතර එම භික්ෂුවට අර ගුණවත් භික්ෂූන් වහන්සේලා ඇප උපස්ථාන කර ආවාසයේ වැඩ සිටීමට පහසුකම්ද සලසා දුන්නා. පසුදින උන්වහන්සේලා දෙනම සමඟ පිණ්ඩපාතය සඳහා ද එම භික්ෂුව වඩමවාගෙන ගියා. පිණ්ඩපාතයේ වඩින ආගන්තුක භික්ෂුවට සැදැහැවත් ගම්වාසීන්ගේ ඇප උපස්ථාන දැක දුෂ්ඨ සිතක් පහළ වුණා. ගම්වැසියන්ගේ සිත් දිනාගෙන තමන්ට නොමැති ශීලයක් ඔවුන්ට පෙන්වා ඇප උපස්ථාන ලබන්නට. එම භික්ෂුව කල්පනා කළා. ඒ සඳහා විහාරවාසී භික්ෂූන් වහන්සේ බිඳවීමට බොරු කේළම් කීවා. ගමේ මිනිසුන්ටද උන්වහන්සේලා නිතරම ගැටෙමින්, අසමගිව සිටින බව ප්‍රකාශ කර සිටියා. නොබෝ කලකින්ම ආගන්තුක භික්ෂුවගේ අදහස සපල කරවමින් සමගිව වැඩසිටි භික්ෂූන් දෙනම භේදවන්නට වුණා. ඔවුනොවුන් කිසිම කතාබහක්, සුවදුක් විචාරීමක් ඇති නොකරගත්තා.
ටික කලකින් භික්ෂූන් වහන්සේලා දෙනම, ඔවුන් බිඳවූයේ ආගන්තුක භික්ෂුව බව දැන නැවත සමඟ වී, විදසුන් වඩා රහත් භාවයට පත් වුණා. අනතුරුව ආගන්තුක භික්ෂුව තමන් සිදුකළ කේළම් කීමේ අකුසල කර්මය පිළිබඳ නිතර නිතර පශ්චත්තාප වී දුකට පත්ව සිට මරණයට පත්ව බුද්ධාන්තරයක් මුළුල්ලෙහි නිරයේ ඉපදී අප්‍රමාණ දුක් විඳ නැවත අප බුදුන් දවස රජගහනුවර පූතිමුඛ ප්‍රේතයෙක් ලෙස ඉපදුණු බව එම ප්‍රේතයා නාරද ස්වාමීන් වහන්සේට සඳහන් කළා. ඔබවහන්සේලා එවන් අකුසල කර්ම සිදු නොකරන ලෙස ඉල්ලා සිටියා. මෙලෙස ගාථාවකින් සඳහන් කර සිටියා.

සමරණා අහං පාපො දුට්ඨවාවො
තපස්සි රූපො මුඛසා අඤ්ඤති
ලද්ධාව චෙ තපසා වණ්ණධාතු
මුඛං ච මෙ පෙසුණියෙන පුනීති


ස්වාමීනි බොරු කේළම් බස් කියා බිඳවූ නිසා දුර්ගන්ධ හමන මුඛයක් පිහිටියා. පැවිදි වී බඹසර වාසය කළ නිසා වර්ණවන් සිරුරක් ලැබුණා. එමනිසා කුසල් වඩමින් ජීවිතය ගතකරන ලෙස ඔබවහන්සේට අවවාද කර සිටින්නෙමි යැයි එම ප්‍රේතයා සඳහන් කර සිටියා.
මෙම පූතිමුඛ ප්‍රේත වස්තුවෙන් මොනතරම් පණිවුඩයක් අපට කියවා දෙනවාද? දස අකුසල්වලින් අකුසල් හතරක්ම සිද්ධ වන්නෙ අපගේ මුඛය මුල් කරගෙනයි. එම නිසා පෙර සංසාරික කුසල ක්‍රියාවන් නිසා උතුම් මනුස්ස භවයක් ලැබූ අප වාග් සංවරය ඇති කරගෙන මීට වඩා අපගේ ජීවිත අර්ථවත් කර ගැනීමට උත්සාහ විය යුතු ය. මරණින් මතු ප්‍රේත ලෝක ආදී දුක් භවවලට නොවැටී සුගතිගාමී බව ළඟා කරගැනීමට ධර්මය පිළිසරණ කොට ගත යුතු ය.




දර්ශනපති 
පුස්සැල්ලයායේ චන්දිම හිමි




ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ බක් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 අප්‍රේල් 03 වන සඳුදා   දින බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment