Labels

Saturday, April 8, 2017

මිනිසාට ඇති අනතුර කුමක්ද?

මේ මොහොත අප සුගති ලොවක ගත කරන කාලයයි. සුගති ලෝක රාශියක් තිබෙනවා. එයින් අන්තිම සුගති තලය මේ මිනිස් ලෝකය යි. මිනිස් ලොවින් උඩ චාතුම්මහාරාජික, තාවතිංස, යාම, තුසිතය, නිම්මාණරති ආදි සුගති කාම ලෝක තිබෙනවා. ඒ වගේම බ්‍රහ්මපාරිසජ්ජ ආදී බ්‍රහ්ම ලෝක සුගති තිබෙනවා. පහළම සුගති තලය වන මේ මිනිස් ලොව ඉතාම තීරණාත්මක ස්ථානයක්.
ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ පහළ වන්නේ මිනිස් ලෝකයේ බව. දෙවියන්, බඹුන් අතර බුදුවරයන් පහළ නො වන්නේ මිනිස් ලොවට උපකාර ලැබීමට අවස්ථාව අහිමි වන නිසයි. මිනිස් ලොව බුදුවරයෙක් පහළ වූ විට මිනිස් ලොව ඇතුළු සියලු ලෝකයන්ට ඒ බුදුරදුන්ගෙන් නො වෙනස්ව උපකාර ලැබෙනවා. එසේනම් මිනිස් ලොව බුදුරජාණන් වහන්සේලා පහළ වන්නේ සත්ත්වයාට අනුකම්පාව පිණිසමයි.
තිරිසන් ලෝකයේ දුක
ඒ වගේම මේ ලෝකයෙහි අප අතරේම ඇති තවත් ලෝකයක් අපට පෙනෙනවා. ඒ තිරිසන් ලෝකයයි. මේ තිරිසන් ලෝකය අයත් වන්නේ සුගතියට නොවේ. දුගතියටයි. සුගතියේ සහ දුගතියේ පැහැදිලි වෙනසක් තිබෙනවා. අපට වගේම තිරිසන් සතුන්ටත් ඇස්, කන් ආදි ඉඳුරන් තිබෙනවා. නමුත් ඔවුන්ට අපට තරම් කල්පනා කොට හිතාමතා නිර්මාණශීලිව යමක් කළ නොහැකියි. ඔවුන්ට අඩුපාඩු තනිවම සපුරා ගන්නට අමාරුයි. බඩගින්න, පිපාසය ඇති වූ විට එය සන්නිවේදනය කර ගන්නට ඔවුන්ට තේරෙන්නේ නැහැ. ඔවුන්ගේ හැඟීම් ප්‍රකාශය දුර්වලයි. ඒ වගේම මුලික අවශ්‍යතා ඉෂ්ට කරගන්න ඔවුන්ට තේරෙන්නේ නැහැ. සීතලේදී ඔවුන් දුක් විඳිනවා. රස්නයේදීත්, වැස්සේදීත් ඔවුන් දුක් විඳිනවා. ඔවුන්ට ප්‍රඥාව නැහැ. ඔවුන් දුක් විඳිනවා. ඒ වෙනුවෙන් අරගල කොට ඒ දුක ජය ගන්නට ඔවුන්ට බැහැ.

මිනිසාගේ කුසලතාව
මිනිස් ලෝකයේ මිනිසුන් කල්පනාකාරීයි. ඔවුන් අනාගතයට සැළසුම් හදනවා. ස්වභාව දහමේ අනතුරු වලින් අතමිදෙන්න වෙර විරිය කරනවා. කෑම බීම රසවත් කරගන්න ඔවුන් මහන්සි ගන්නවා. අලංකාර නිවාස තනාගන්න ඔවුන් සැළසුම් කරනවා. ගමන් බිමන්, සන්නිවේදනය පහසු කර ගන්නවා. පහසුවෙන් ඉන්නට පුළුවන් ආකාරයට ඔවුන්ගේ අතපය සකස්වෙලා තියෙන්නේ. ඔවුන්ගේ කල්පනාව ජීවිතයේ සැපය උපදවා ගැනීම පිණිස භාවිත කළ හැකියි. මෙනිසාම ඔවුන් සාමාන්‍ය සත්ත්වයාට වඩා සැපය නිර්මාණය කරගෙන වාසය කිරීමට දක්ෂයි. මෙය සුගතියක ඇති විශේෂත්වයක් නොවේද?
මිනිසා සාමාන්‍ය ජීවිතය සැපසේ ගත කරනු වස් තම නුවණ පාවිච්චි කරන්නට හැකියාව තිබෙනවා මෙන්ම ජීවිතාවබෝධය පිණිසත් ඔවුන්ට හැකියාව තිබෙනවා. සතුන් හට ඉන්ද්‍රියන් සංවර කර ගන්නට තේරෙන්නේ නැහැ. ආවේග හඳුනාගෙන ඒවා වර්ගීකරණය කරගන්නට සතුන්ට බැහැ. නමුත් මිනිසාට පුළුවනි. බුද්ධිමත් මිනිසා ඉඳුරන් සංවර කර ගන්නවා. වචනය වුණත් හොඳින් හසුරුවනවා. ආවේග හඳුනාගෙන යහපත් දේ දියුණු කර ගන්නවා. අයහපතින් වළකිනවා. මෙය මිනිසාගේ අපූරු කුසලතාවයක් නොවේද?
මිනිස් ලොව සුගතිය වුවත් මෙහි උපන් මිනිසාගේ අතීත භවයේ හැම අවස්ථාවේම ඔහු මිනිස් ලොව ඉපිද නැහැ. ඇතැම් විට නිරයේ උපදිනවා. තිරිසන් අපායේ උපදිනවා. පේ‍්‍රත ලෝකයේ උපදිනවා. අසුර ලෝකයේ උපදිනවා. කලාතුරකින් දෙවි ලොවත් උපදිනවා. සසර යනු මෙවැනි අනතුරුදායක උපතක් ලැබෙන එක්තරා අවාසනාවන්ත ඉරණමක්. නමුත් සුගති සැපයට වසඟ වූ මිනිසා තම බුද්ධිය මෙහෙයවා මෙම අනතුර තේරුම් ගන්නට කල්පනා කරන්නේ නැහැ.
අපගේ සිත මුලා නොවීමට මෙහෙයවීය යුත්තේ බුද්ධිමත් බවමයි. ප්‍රඥාවමයි. දුක අවබෝධ කරන්නේ දුක් විඳිමෙන් නොව, ප්‍රඥාව දියුණු කිරීමෙනි. කලින් සඳහන් කළ නිරය, තිරිසන්, පේ‍්‍රත අසුර යන සතර අපායේ අතිවිශාල දුකක් තිබෙනවා. බුදු කෙනෙකුගේ ධර්මය ඇසුරෙන් තමයි අප එය වටහා ගන්නේ. උන්වහන්සේ වදාළේ කෙනෙක් උපදින්නේ තම තමන් කරන ලද කර්මයේ විපාකයට අනුව බවයි. එසේනම් කර්මානුරූපව සසරෙහි උපත කරා යන ස්වභාවයෙන් අප තවමත් නොමිදී ඇති බව වටහා ගැනීම ඉතාම වැදගත්.
සුගතිය යනු කුමක්ද?
දැන් අප මේ සුගති ලොව ගැන ටිකක් විමසමු. මිනිස් ලොව යනු සැපය සලසාගත හැකි සුගතිය බව සැබෑය. නමුත් ඔවුන් තුළ අනතුරක් තිබේ. එනම් වරදට වැටෙන සුළු බවයි. දොස් සහිත කි‍්‍රයාවන්ට නැඹුරු වන බවයි. නොමඟ යන සුළු බවයි. මෙයින් පෙනෙන්නේ මිනිසා තම නුවණ යහපත් ලෙස හසුරුවා ගත නොහැකි වූ විට බරපතල අර්බුදයන්ට ලක්වන බවයි. ඔහු දුරදිග නොබලා කටයුතු කරන්නට යෑමෙන් දුගතියට වැටෙන විපාක ඇති කර්මයන් කරන බවයි. මෙය මිනිසා තුළ ඇති අනතුරයි. මෙම අනතුරට භාජනය වන මිනිසා තම සිරුර හසුරුවා ප්‍රාණඝාතයෙහි යෙදේ. සොරකමෙහි යෙදේ. වැරදිකාම සේවනයෙහි යෙදේ. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙහි යෙදේ. එමෙන්ම වචනයෙන් යහපත් ලෙස හසුරුවා ගන්නට අසමර්ථ වූ විට වචනයෙන් අසත්‍යය පවසයි. සමඟිය නැතිවෙන බේදභින්න වන කේළාම් පවසයි. දුෂ්ට නපුරු පාපි වචන පවසයි. අරුත්සුන් ළාමක වචන පවසයි. එමෙන්ම ඔහුගේ සිතිවිලි නිසි පරිදි තේරුම් ගැනීමට ඔහු අසමත් වුවහොත් අනුන් සතු දේ දැක එය තමා සතු කර ගන්නට සිතෙන් සැලසුම් සකසයි. වෛර, ක්‍රෝධ, ඊර්ෂ්‍යා, මසුරුකම් ආදිය ඇති කර ගනී. නොයෙක් මතවාදවලට රැවටේ. මේ සියල්ලම සුගතියේ උපන් මිනිසාගේ නොමග යෑම නොවේද?
මිනිසා නොමඟ යන්නේ ඇයි. පීඩාකාරි ආවේගයන්ට ඔහු සැණෙකින් ගොදුරු වන්නේ ඇයි? ඉවසීම, කරුණාව, මෛත්‍රිය වැනි යහපත් හැඟීම් දියුණු කර ගැනීමට ප්‍රමාද වන්නේ ඇයි? මෙයට හේතුව නම් මිනිස් ලොව උපන් නමුත්, මිනිසාගේ මනස තුළ රාගයත්, ද්වේෂයත්, මෝහයත් පැලපදියම්ව ඔහුට නොදැනීම එය ක්‍රියාත්මක වීමයි. මේ නිසා රාගය ඇතිවන කරුණු ඔහුට අසන්නට දකින්නට හෝ දැනගන්නට තිබුණොත් මුලා වූ සිත ඇති ඔහු තුළ සැණකින් රාගය හටගනී. ද්වේශය ඇතිවෙන කරුණු ඔහුට අසන්නට දකින්නට හෝ දැනගන්න ලැබුණොත් මුලා වූ සිත් ඇති ඔහු තුළ සැණෙකින් ද්වේෂය හටගනී. එමෙන්ම රැවටීමට, මුලාවට බඳුන්වන කරුණු ඔහුට අසන්නට දකින්නට හෝ දැනගන්නට ලැබුණහොත් මුලා වූ සිත් ඇති ඔහු තුළ සැණෙකින් රැවටෙයි. මුලාවෙයි. අතරමං වෙයි.
වත්මන් මිනිසා දිවි ගෙවන්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මුලාවෙන් ගිනිගෙන නොවේද? මිනිසාගේ සියලු අර්බුදයන් නිර්මාණය වන්නේ ඔහුගේම සිත තුළ ඇති මේ භයානක මනෝභාවයකින් නිසාය. මේ නිසා ම සමස්ත ලෝකයම බරපතල ඛේදවාචකයක් කරා ගමන් කරමින් සිටින බව සෑම අතින්ම දිස්වෙයි. එක් පසෙකින් න්‍යෂ්ටික අවි තනාගත් මිනිසා එහි බලය පිළිබඳව වහසිබස් දොඩමින් සිටියි. එක් පසෙකින් ත්‍රස්තවාදියෙකු බවට පත්වන මිනිසා අනිත් මිනිසුන් ඉතා සැහැසි ලෙස වනසා දමමින් සිටි. තවත් පසෙකින් වංචාකරුවන් මිනිසුන් සූරා ගනිමින් සිටියි. ඒ වගේම මිනිසාගේ මනස අවුල් කරන නා නා විධ නිර්මාණ බිහිකරමින් සිටී. තව පසෙකින් සංසිඳුවාගත නොහැකි කාම පිපාසයෙන් වල්මත් ව හිස ලූ ලූ අත යමින් කාම දාහයෙන් දැවෙමින් සිටී. සැබැවින්ම වත්මන් මිනිසා මරණින් මතු යළි සුගතියට නො එන්නට වගබලා ගන්නා බවක් පෙනේ.
මෙයට හේතුව, රාග, ද්වේෂ, මෝහ විනා වෙන කුමක්ද? තම අභ්‍යන්තරය ගිලගත් මේ විනාශකාරී මමෝභාවයන්ට යට වූ මිනිසා සියල්ල වසා ගන්නට යන්නේ මමත්වය ඉස්මතු කර ගැනීම තුළිනි. මේ සියල්ල ඔහුගේ සුගති සැපය ඔහුට අහිමි කරදෙයි. එසේ නොවීම පිණිස අපට උපකාරී වන්නේ අපගේ ප්‍රඥාවයි. එහෙයින් සුගතියේ උපන් අප ප්‍රඥාව මෙහෙයවන්නට මහන්සි ගැනීම කළ යුතුම දෙයකි. යම් හෙයකින් අපගේ ප්‍රඥාව මෙහෙය වන්නට අප දක්ෂ වුණොත් ලොව අතිශයින්ම දුර්ලභ දෙයක් අපට මුණගැසේ. “මහණෙනි, මාගේ මේ ධර්මය තිබෙන්නේ ප්‍රඥාවන්තයින් උදෙසායි. ප්‍රඥාව නැත්තවුන් සඳහා නොවේ.” එය බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි.
ඒ නිසා අප ගෞතම බුදුරජාණන් වහන්සේ හඳුනාගෙන උන්වහන්සේගේ අවබෝධය කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකර ගත යුතු වෙයි. බුද්ධිමත් මිනිසා කළ යුත්තේ ගෞතම බුදුරදුන්ගේ ධර්මය තමාට වැටහෙන පරිදි ඉගෙනගෙන ඒ අනුව යහපත් ගතිගුණ දියුණු කර ගැනීමයි. රාග, ද්වේෂ, මෝහයෙන් හටගන්නා විනාශකාරි මනෝභාවයන්ට යට නොවී සිටීමයි. කෙළෙහි ගුණ දන්නා සද්පුරුෂ භූමියට පැමිණ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෙකු වීමයි. ගෞතම බුදු සසුනින් තොරව සත්ත්වයන්ට පිළිසරණක් නැත.


පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ බක් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 අප්‍රේල් 03 වන සඳුදා   දින බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment