Labels

Thursday, April 13, 2017

ශාසනික වත්පිළිවෙත්වලට ගෞරවයක්

භික්ෂූන් වහන්සේ නමකගේ අපවත් වීමක් යනු පොදුවේ කා තුළත් සංවේගය දනවන සිදුවීමකි. ඒ නිසාම ඒ හා සබැඳී, ආදාහන උත්සවයකින් ද නොනැවතී, ආදාහන පූජෝත්සවයක් දක්වාම වැඩි දියුණු වී ඇති බව දක්නට හැකිය. මේ අවස්ථාවේ සිදු කෙරෙන පෙරහැර ගුණ කථන ආදී හැම දෙයකින්ම ප්‍රස්තුත චරිතය ගැනත් පොදුවේ භික්ෂූ ජීවිතය ගැනත් දායක දායිකාවන් තුළ ඇති කරවන්නේ ඉමහත් සංවේග පූර්වක සිතුවිලි දහරාවකි.
එපමණක් නොව එහිලා ප්‍රදර්?ශනය වන චාරිත්‍රවාරිත්‍ර ආදී ගෞරව උපහාර මගින් සහගාමී සහ අනුගාමී භික්ෂු, සාමණේර පිරිස තුළ ද යම් ආකාරයක සාසනික වගකීම්භාරයක් පිළිබඳ හැඟීමක්ද ඇති කරවයි. සියල්ල අවසානයේ දේහය සෑය තුළට ඇතුළු කොට සෑය වටා සිදු කෙරෙන ප්‍රදක්ෂිණාවෙන් තීව්‍රවන චින්තාවලිය ඇතුළු හදවත සිසාරා පැතිරෙත්ම කාගේත් දෙනෙත් අගට නිතැතින්ම කඳුලු බිඳුවක් එක් කෙරෙන අයුරු ද පැහැදිලිය. මේ සියලු සංසිද්ධීන් සාධනීය වූ ද, ධර්‍ම සංවේගය පිණිස හේතුවන්නාවූ ද සත්චාරිත්‍ර වන බව හැබෑය. එහෙත් මේ සියලු සාධනීය සංවේජනීය තත්ත්වයන් සහමුලින්ම විනාශ කරන විපරීත හා උම්මන්තක ක්‍රියාවකින් සියල්ල හමාරකරන විකෘති චාරිත්‍රයක් දැන් දැන් හැම ආදාහන පලකම දක්නට ලැබෙනු වේදනාසහගත ය.
 ඒ විකෘතිමය උමතු චාරිත්‍රය නම්, සෑයට ගිනි දැල්වීමත් සමගම ක්‍රියාත්මක වන මල් වෙඩි සංදර්?ශනයයි හෙවත් ගිනි කෙළියයි ! හදිසියේම කණ්අඩි පුපුරායන අයුරින් ඇහෙන වෙඩි හඬත් සමගම වෛවර්‍ණ ගිනි මල් අහස් කුසට පැන නැගෙයි, අහසේ මල් වියන් මවමින් ගිනිබෝල දසත විසීරියමින් මහත් ආලෝකයක් පතුරුවයි. දෑස් පිරීයන මේ අසිරිමත් දසුනින් සියල්ලෝම විශ්මිත වෙති. ඒ සමඟ අතරක් නැතුව ඇසෙන විවිධ ප්‍රමාණයේ වෙඩි හඬ මගින් දෙසවන් පිරීයත්ම සමහරු කණේ ඇඟිලි ද රදවා ගනිති.
වෙඩි වරුසාවෙන් නැගෙන පිපුරුම් හඬත් සමඟ මෙතෙක් සෑය ආසන්නයේ සංවේගප්‍රාප්තව සිටි ගිහි පැවිද්දෝ ද වික්ෂිප්ත වූවාහු ඈතින් ඈතට දිවයති. මේ අතර ළමෝ අත්පුඩි තලති. “ආව්, ආව්, මරේ මරු, නියමෙට නියමයි....” යනුවෙන් ද හඬ තලන තවත් අයෙක් අත්පොලසනින් තම සතුට පිරි ආවේගය මුදා හරිති. දැන් මුළු ආදාහන මළුවම විපිරියාස වූ ජනරාශියකි. කෑකෝ ගැසීමත්, අත්පොලසනත්, එහෙ මෙහෙ දිව යාමත් අතර දර සෑයේ ගින්න ඇවිලෙන්නේ ගිනි කෙළිත් සමග තරඟ වදින්නට මෙනි.
මෙවන් උමතුවක් මැද මෙතෙක් සිදු වූ දේ ගැන කාටවත් වගේ වගක් නැත. සියල්ල උඩු යටිකුරුවී හමාරය. සිහි එලවාගත හැකි කීපදෙනෙක් පමණක් තමන් අත් දුටු විකෘතිය ගැන බලවත්ව සංවේග වනු ඇත. ගෞරවණීය තෙරනමකට අවසන් ගෞරවය පුදදෙන ආදාහන පූජෝත්සවයක් අවසන් විය යුත්තේ මේ ආකාරයෙන් ද? මෙයට ‘ඔව්’ යැයි කියන ආදාහන උත්සව සංවිධායක යම් භික්ෂුවක් වෙයි නම් ඒ නමට අර ගග්ග තෙරුන්ට කළා සේ උම්මන්තක සම්මුති දානය වහා පිරිනැමිය යුතු ම ය. එයට උත්සුකවන ගිහි අයෙකු වෙයි නම් ඔහු අර ලිච්චවියේ මෝඩ වඩ්ඩකයා සේ පත්තනිකිකුජ්ජනයෙන් දුරින් දුරු කළ යුතු ම ය. මෙවන් වූ විකාරයන්ට මූල හේතුව වන්නේ, වනේ අන්ධ මහීසෝව යනු කී හෙයින් දක්නා ලැබෙන අන්ධ මීමුන්ගේ වැනි ක්‍රියාකාරකම් ය. අපි කවුද, කරන්නේ කුමක් ද යන්න පැහැදිලි කරවන ප්‍රත්‍යවේක්ෂාවෙන් තොරව ක්‍රියා කිරීමය. දානය හා මරණය ප්‍රියසාදයක් බවටත්, සීලය ව්‍යාපාරයක් බවටත් උපන් දිනය ප්‍රීත්‍යුත්සවයක් බවටත් පත් වූවා සේ ම ආදාහනය ද පිස්සු විකාරයක් බවට පත් කරලීමේ වරද කරුවෝ නම් අපි අප ම ය.
මෙහිලා ඇති තතු වටහා ගෙන ම සිදු වී ඇති විකෘතිය ප්‍රකෘති කර ගැනීම පිණිස භික්ෂු අනුශාසකයන් වහන්සේලා ඉදිරිපත් විය යුතු ය. දැන උගත් ධර්‍මකාමී ගිහි පින්වතුන් ද නො ඇසු කන්වලා නොසිට සිද්ධියේ යුක්ති අයුක්ති භාවය පැහැදිලි කළ යුතු ය. සිය ව්‍යාපාරය ජනප්‍රිය කර ගැනීමේ බොළඳ උපාය මාර්‍ග සොයන මල් කරුවන් යැයි කියා ගන්නා ඇතැම් අවිචාරවත් මිනිසුන්ගේ අනුවණකම්වලට ඉඩ දී භික්ෂු ගරුත්වය කෙළෙසා නොගත යුතු ය. සාසනික වත් පිළිවෙත් පහත් රුචිකත්වයට ගොදුරු නොකළ යුතුය.

“අපි ඒ තරම් වියදමකුත් කරගෙන මල්වෙඩි පත්තු කරන්නේ හාමුදුරුවන්ට වැඩි ගෞරවය සඳහා ම ය” කියා ද සංවිධායකයෝ කියනු ඇත. කාපට් පාරේ වැලි අතුරන, මඩගොහොරුවේ පාවාඩ දමන, කිරිහොද්දටත් සීනි දමන ආකාරයේ ආදර ගෞරව නිතර දකින්නා වූ ද, මදුරුවා මරම් යැයි සිතා පියාගේ හිස දෙසට පොරවේ තලය එල්ල කළ “ආදරණීය” පුත්‍රයා ගැන අසා ඇත්තාවූ ද සාමාන්‍ය සිහි කල්පනාව ඇති අයෙකුට නම් ශූන්‍යාර්ථය තේරුම් ගැනීම උගහට නොවන බවනම් නොකියාම නොහැකි ය. ?



ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 
දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක,
ආචාර්ය 
ඕමල්පේ සෝභිත නා හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ‍මැදින් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මාර්තු 12 වන ඉරිදා  දින බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment