කාම මිථ්‍යාචාරය පරදාර සේවනය ලෙස ද දක්වා තිබෙයි. “පර” යනු අනුන් හට අයත් යන අදහස දෙන පදයයි. “දාර” යනු ගැහැනිය, ස්ත්‍රිය, බිරිය යන අදහසින් යුක්තයි. නීත්‍යානුකූල විවාහයකින් හෝ විවාහ ගිවිස ගැනීමකින් තොර සැවොම කිනම් ආකාරයකින් හෝ අනුන්ට අයත් ස්ත්‍රිහු වෙයි. ඒ අනුව තමන්ගේ භාර්යාව හැර අනෙකුත් සියලුම ස්ත්‍රීන් පරදාර ගණයට අයත්ය.
ඒ ස්ත්‍රීන් අතරින් එක් අයෙකු සමඟින් හෝ කාම සේවනයෙහි යෙදෙයි නම්, එය කාමේසු මිච්ඡාචාරය යි. කාමේසු යන බහු වචනයෙන් මෙම පදය යුක්ත වී ඇත්තේ මෙම බොහෝ ස්ත්‍රීන් සමඟ වන කාම සේවනය අර්ථවත් කිරීමටය. කාමේසු මිච්ඡාචාරය යන සිල් පදයෙන් අදහස් වන්නේ අනිසි ලෙස ඉඳුරන් පිනවීම නොව වැරැදි කාම සේවනය ගැන බව අප අවධාරණය කළ යුතුය.
විරමණය සහ සමාදානය
බෞද්ධ සිල් පදයන්හි විරමණය සහ සමාදානය යනුවෙන් කොටස් දෙකක් ඇති බව අප දනිමු. විිරමණය වැළකී සිටීම ලෙසත්, සමාදානය කැමැත්තෙන් පිළිගැනීම ලෙසත් දැක්වේ. එහෙත් මෙම සිල් පදය අනුව කාම මිථ්‍යාචාරයෙන් වැළකිය යුතු නමුත්, අප කාම සමාචාරය වැළඳගත යුතු බවක් අදහස් නොවේ. ‘මම වැරැදි කාම සේවනය නොකරමි’ කියා යමෙක් සිතා සිටියත්, එසේ වූ පමණින් ම ඒ තැනැත්තාගේ සිල්පදය පරිපූර්ණත්වයට පත්වන්නේ නැත. වැරැදි කාම සේවනයෙන් වළකින්නා සේම හැකි සෑම අවස්ථාවකම බ්‍රහ්මචාරි වීම ශ්‍රේෂ්ට වෙයි. වැරැදි කාම සේවනයෙන් වැළකී සිටි පමණින්ම කාම රාගය ප්‍රහීණ වන්නේ නැත. ඒ කාමයන්ට ඇති ආශාව නැති කිරීමට උපකාරි වන බ්‍රහ්මචාරි ජීවිතයක් ගත කළ යුතුය. එම සිල්පදය සම්පූර්ණ වන්නේ ඒ අයුරිනි.
කාම යන වචනයෙනි තේරුම කැමැත්තයි. සාමාන්‍ය පුහුදුන් සිතකට කැමැත්ත ඇති කරවන කරුණු පහකි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වන මේවා පඤ්ච කාම සම්පත් ලෙස හැඳින්වේ. නමුත් කාමේසු මිච්ඡාචාරා යන පදයෙහි එන කාම යන වචනයෙන් අදහස් වන්නේ මේ පඤ්චකාම සම්පත්තියට ඇති කැමැත්තක් ගැන නොවේ. මිච්ඡා එසේ නොමැති නම් මිථ්‍යා යනු වැරදි ලෙසටත්, ආචාර යන්නෙන් හැසිරීම ලෙසටත් තේරුම් ගත්කළ මිච්ඡාචාර යනු වැරැදි අයුරින් හැසිරීම බව වටහාගත හැක. කාම මිථ්‍යාචාරය යන මෙහි කාමය යනු මෛථුන සේවනය යි. මෛථුන සේවනය යන වචන ඇසු පමණින්ම අපට ඒ පිළිබඳව ඇති වන්නේ නරක චිිත්‍රයකි. එය අසභ්‍ය අශිලාචාර දෙයක් යැයි අපට හැඟෙයි. නිසැකයෙන් ම එය නිවනට බාධාවක් වන නමුත්, සත්ත්වයාගේ පැවැත්ම සඳහා එය උපකාරි වෙයි. ඒ අනුව අපට නීත්‍යානුකූල මෛථුන සේවනයෙහි වරදක් දැකිය නොහැක. වරදක් වන්නේ එය නීත්‍යානුකූල නොවන වැරැදි අයුරින් සිදු කිරීම නිසාය. නමුත් නිවන් මඟ ගමන් ගන්නෙක් නම් කාමේසු මිච්ඡාචාරා,කාමේසු සම්මාචාරා යන මෛථුන ධර්ම සේවනය යන සියල්ල එකහෙළා අත හැරිය යුතු වෙයි.
කිසියම් ස්ත්‍රියක් සිය ස්වාමි පුරුෂයා යටතෙහි හෝ සිය පියා යටතෙහි හෝ වෙනත් භාරකරුවෙකු යටතෙහි සිටිද්දී එම ස්ත්‍රියගේ කැමැත්තෙන් හෝ බලහත්කාරයෙන් හෝ ඇය සමඟ කාම සේවනයෙහි යෙදීම වැරැදි ලෙස දක්වා ඇත. ඒ තුළ එම කි‍්‍රයාවට එකඟතාවයක් පළ කරන දෙදෙනාම කාම මිථ්‍යාචාර පාප කර්මයට හසුවේ. එසේම යමෙක් ස්ත්‍රියකගේ එකඟතාවයකින් තොරව බලහත්කාරයෙන් ඇය දූෂණය කරයිනම් එහිදී පුරුෂයාට අකුසලයක් සිදුවෙයි. යම් හෙයකින් යමෙක් කාන්තාවක් දූෂණය කිරීමට අණ කරයිනම් එහිදී ඒ අණ කළ පුද්ගලයාට ඒ කර්මය කර්ම පථයක් බවට පත් නොවේ. එහි බරපතල පාප කර්මය සිදුවන්නේ එම ක්‍රියාව සිදුකළ පුද්ගලයාටයි.
කාම මිථ්‍යාචාරය සම්පූර්ණ වීමට අවශ්‍ය කාරණා හතරකි. එනම්
1. නිවැරැදි කාම සේවනයට නුසුදුසු ස්ත්‍රියක හෝ පුරුෂයෙකු සිටීම,
2. කාම සේවන සිත
3. කාම සේවනය පිණිස උත්සාහ කිරීම
4. කාම සේවනය ඉවසා සිටීම.
ඒ වගේම යම් අයෙකුගේ ආරක්ෂාව යටතේ සිටින කාන්තාවක් එම සිල්පදය බිඳීමට යමෙක් බල කරයිද එය ද වරදකි. ඒ මව විසින් ආරක්ෂා කරන ස්ත්‍රිය, පියා විසින් ආරක්ෂා කරන ස්ත්‍රිය, සොහොයුරා හෝ සොහොයුරිය විසින් ආරක්ෂා කරන ස්ත්‍රිය, නෑදෑයන් විසින් ආරක්ෂා කරන ස්ත්‍රිය, වංශ පරම්පරාවේ අය විසින් ආරක්ෂා කරන ස්ත්‍රිය, ශිලාදි ගුණ ධර්ම ආරක්ෂා කරමින් සිටින ස්ත්‍රිය, තම ස්වාමියා විසින් ආරක්ෂා කරන ස්ත්‍රිය සහ අවම වශයෙන් විවාහ වීමට ගිවිස ගෙන සිටින ස්ත්‍රිය ඒ අතර වෙයි.
කාම මිථ්‍යාචාරයෙහි ආදීනව
කාම මිථ්‍යාචාරයෙහි යෙදුන අය මෙලොවදී ලෝකයාගේ නොයෙකුත් නින්දා අපහාස ලබයි. අනුන්ගේ තාඩන පීඩනවලට නීතියේ රැහැනට අසුවී අප්‍රමාණ දුකට පත්වෙයි. ඒ වගේම මරණින් මතු නරකයේ සහ තිිරිසන් අපායෙහි ඉපිද අනන්ත දුකට ගොදුරු වෙයි. මිනිසත් බව ලැබූ විට ද සිය ගණන් ආත්මභාවයන්හි නපුංසකව උපදියි. කාම මිථ්‍යාචාරය නපුංසකව ඉපදීමට ප්‍රධාන හේතුවයි. පුරුෂාත්ම ලබා සිටියදී කාම මිථ්‍යාචාරය කළේ නම් ස්ත්‍රි ආත්ම භාවවල උපදිති. ස්ත්‍රීහු එම ආත්මභාව වලින් නො මිදෙති. මහජනයා අපි‍්‍රය කරන විරූපී ශරීර ඇතිව උපදියි.
එනිසා අප තේරුම් ගත යුතුයි බුදුදහම වඩාත් අගය කරන්නේ බ‍්‍රහ්මචාරි ජීවිතය බව. ඒ කාමයන්ගෙන් වියුක්ත ව සිටීම නිවනට උපාකරි වන නිසයි. අබ්‍රහ්මචාරි ජීවිතයක කාමය උද්දීපනය වන කිසිදු කිි‍්‍රයාවකට ඉඩක් නැත. උපරිම කාමයෙහි වරදවා හැසිරීම වශයෙන් ගෙන කාමේසු මිච්ඡාචාරා සිල් පදයෙන් ගිහියා වළක්වා ඇත.
ගිහියන්ට අබ්‍රහ්මචාරි ව කටයුතු කිරීම අවම වශයෙන් උපෝසථ දිනහිදීවත් වෙන් කළ යුතු බවත්, සෑම දිනකම කාමය වරදවා හැසිරීමෙන් වෙන් විය යුතු බවත් බුදු දහම විසින් ගිහියාට උපදෙස් දෙයි. පැවිද්දා තම ජීවිත කාලයම අබ්‍රහ්මචරියාවෙන් වැළකිය යුතුය. එය පැවිිද්දාගේ නිවන් මඟ වේගවත් කරයි. ඇස, කන, නාසය යන ඉන්ද්‍රියන්ගෙන් අරමුණු ගන්නා විට රාගය උපදින අයුරින් ඒවා පරිහරණය නොකිරීමට කවුරුත් උත්සාහවන්ත විය යුතු අතර, එසේ රාගය උපද්දවන අයුරින් එකී ඉන්ද්‍රියයන් මෙහෙයවීමෙන් මෙවුන් දම් සේවනය කිරීමක් වෙයි. එය කාම රාගය ඇතිවීමට හේතුවයි. එය කාමමිථ්‍යාචාරය දක්වා ම විහිදී යාමට බොහෝ දුරට ඉඩ තිබේ.
බ්‍රහ්මචාරීවීම යනුවෙන් අදහස් කරන්නේ කාමයෙහි නිවැරැදි හැසිීරීම සහ කාම රාගය ඇති වන්නා වූ සකලවිධ ක්‍රියාකාරකම් තුළින්ම වැළකී සිටීමයි. අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි යන සිල් පදයෙහි අරුත එයයි. කාම මිථ්‍යාචාරය යන ක්‍රියාවලිය විග්‍රහ කිරීමෙහිදී කාමය යනු මෛථුන ධර්ම සමාචාරයන්හි ඒකාන්ත වශයෙන් නින්දිත වූ ද, ළාමක වූද, හැසිරිම බව අටුවාවෙහි කාම මිථ්‍යාචාරය අර්ථ කථනයෙහි දක්වා ඇත.
කාම මිථ්‍යාචාරයෙන් වැළැකීමේ ආනිසංස
සතුරන් නැත්තෙකු වීම, සියලුු දෙනාම පි‍්‍රය කරන්නෙකු වීම. සිව් පසයෙන් කිසිවක් අඩු නැතිව ලබන්නෙකු වීම. සැප සේ නින්ද යාම, සැප සේ අවදි වීම, අපාය භය නැත්තෙකු වීම, කාන්තාවක හෝ නපුංසකයෙකු නොවී ඉපදීම, ක්‍රෝධය අඩු පුද්ගලයෙකු විම, සියල්ල පරීක්ෂා කර බලා කටයුතු කරන්නට හැකි කෙනෙකු වීම, සැක බිය නිසා කර නොබා ගත් පුද්ගලයෙකු වීම, පිරිපුන් ඉඳුරන් ඇත්තෙකුව ඉපදීම, සැකයට ලක් නොවන පුද්ගලයෙකු වීම, මහන්සි නොවී ධනය ලැබීමේ වාසනාවන්තයෙකු වීම. සැපවත් ජීවිතයක් ගත කරන්නෙකු වීම, පි‍්‍රයයන්ගෙන් වෙන් වන්නට සිදු නොවන්නෙකු වීම, මරණින් මතු සුගතිගාමි වීම.
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ බක් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 අප්‍රේල් 03 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment