Labels

Tuesday, April 11, 2017

කළ යුතු වැඩ පසුවට කල් දැමීමෙන් පසුතැවීම ඇතිවේ

ලොව යම් ජයග්‍රහණයක් වේ නම් එය උත්සාහය මත තීරණය වේ. උත්සාහයෙන් තොරව ප්‍රාර්ථනා කිරීමෙන් කිසිවක් ලද නොහැකි බවත් එසේ ලැබිය හැකිනම් මිනිසාට කිසිවකින් අඩුවක් නැතැයි පංච ඉට්ඨධම්ම සූත්‍රයෙන් පෙන්වා දෙයි
බුදුන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වෙසෙන සමයේ කුටුම්බිය තිස්ස නම් එක්තරා උකටලී භික්ෂුවක් අරබයා මෙම ජාතක කථාව දේශනා කරන ලදී. අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයෙහි බෝසතාණන් වහන්සේ ගන්ධාර රට තක්සලා නුවර දිසාපාමොක් ආචාර්යවරයා නමින් ඉපිද පන්සියයක් අන්තේවාසික මානවකයන්ට ශිල්ප උගන්වමින් සිටියේය.

එම ශිෂ්‍ය පිරිස එක් දිනක් දර කැඩීම පිණිස වනයට ගියහ. එම පිරිසෙහි සිටි එක්තරා අලස මානවකයෙක් ලුණුවරණ ගසක් දැක එය මැරුණු ගසකැයි නිශ්චයකොට මදක් නිදාගෙන සිට පසුව ගසට නැග දර කඩාගෙන යමි’යි සිතා ගස යට නිදා ගත්තේය. සෙසු මානවකයෝ වනයෙහි ඇවිද වියලුණු දර කඩාගෙන මිටි බැඳ ගෙන යන්නේ ලුණුවරණ ගස යට නිදා හුන් තරුණයාට පයින් පහරක් දෙවා නින්දෙන් අවදිකොට ගියහ. නින්දෙන් වහා අවදි වූ අලස තරුණයා ඉතා ඉක්මනින් ලුණුවරණ ගසට නැග අත්තක් අල්වා ගෙන තමා දෙසට අදින්නේ අත්ත බිඳීමෙන් එක් ඇසක් තුවාල කරගත්තේය. එක් අතකින් ඇස වසාගෙන අනෙක් අතින් නොමැරුණ දර කඩා මිටි බැඳ ගෙන ගොස් සෙසු මානවකයන් විසින් රැගෙන එන ලද දරගොඩ මත්තෙහි දැමීය. එදිනම එම ජනපදවාසී එක්තරා පුද්ගලයෙක් බමුණන් ලවා ශාන්තිකර්මයක් කරවාගෙන පසුව දානයක් පිරිනැමීමට අදහස් කළේ ඒ සඳහා පසුදිනට දිසා පාමොක් ආචාර්යවරයාට ආරාධනා කළේය. දිසාපාමොක් ආචාර්යවරයා ද එම ආරාධනය පිළිගෙන තම අන්තේවාසික ශිෂ්‍ය පිරිස අමතා ප්‍රකාශ කළේ පසුදින උදෑසනම එක් ගමකට යාමට සිදුව ඇති බවත් නිරාහාරව යා නොහැකි නිසා උදෑසනම කැඳ පිස අනුභව කොට එහි ගොස් ශාන්තිකර්මය සිදුකොට ඔබට ලැබෙන දෙයත් මට ලැබෙන කොටසත් යන කොටස් දෙකම රැගෙන එන මෙන් දන්වා සිටියේය. ඒ අණ පිළිගත් මානවකයෝ පසුදින අලුයම මුළුතැන්ගෙයි සේවිකාව අවදිකරවා යුහුසුළුව කැඳ පිසින මෙන් ඉල්ලා සිටියෝය. ගිනි දැල්වීම සඳහා දරගොඩ මත්තෙහි වූ අමු ලුණුවරණ දර රැගෙන ලිප දැල්වීමට කොතෙක් උත්සුක වුවත් දහවල් වනතුරුත් ඇයට ගිනි දල්වා ගත නොහැකි වූවාය. දහවල් වු හෙයින් ආගමික කටයුත්තට යෑම අතහැර දැමූ මානවක පිරිස දිසාපාමොක් ආචාර්යවරයා වෙත ගොස් සිදු වූ සියල්ල සැකෙවින් දන්වා සිටියහ. ඒ සියල්ල අසා සිටි ආචාර්යවරයා ප්‍රකාශ කළේ යම් කිසි කෙනෙක් පළමුව කළ යුතු කාර්යය හා පසුවට කළ යුතු කාර්යය යනුවෙන් යමක් පිළිබඳ නුවණින් පරීක්ෂා නොකොට පළමුව කළ යුත්ත පසුවට කරයි ද ඔහු ලුණුවරණ දර කඩාගෙන ආවා වූ මානවකයා මෙන් දුකට පත්වන බවයි.
අලස තැනැත්තා විවිධ හේතු මවා පාමින් වැඩ කල් දමා පසුව දුකට පත්වන බව මෙම ජාතක කථාවෙන් පෙන්වා දෙන ආදර්ශයයි. උත්සාහයෙන් වැඩ කරන විශාල පිරිසක් අතර එක් අලස පුද්ගලයෙක් කළ දේ නිසා සමස්තයටම ලැබිය යුතු ව තිබූ ප්‍රතිලාභය අහිමි වූ අයුරු මෙම කථාවෙන් පැහැදිලි වේ. වැඩ කල් දැමීමේ ලක්ෂණය බොහෝ දෙනෙක් තුළ පවතී. විවිධ හේතු මවමින් වැඩ අතපසු කිරීම අලස පුද්ගලයාගේ ලක්ෂණයන් ලෙස අංගුත්තර නිකායේ කුසීතාරම්භවත්ථු සූත්‍රයෙන්ද පැහැදිලි වේ. එහි දැක්වෙන පරිදි අලස පුද්ගලයා කරුණු අටක් අනුව කල්පනා කරමින් තම කටයුතු අතපසු කරයි. ඒ අනුව යම් වැඩක් ආරම්භ කිරීමට පෙරම කය වෙහෙසා වැඩ කිරීමෙන් සිදුවන වෙහෙස පිළිබඳ උපකල්පනය කොට එම කාර්ය මඟහැර සිටීමට කටයුතු කිරීම, වැඩ කළ නිසා වෙහෙසට පත්ව සිටිමි යැයි සිතා කටයුතු අතපසු කිරීම, යම් කටයුත්තකට දුර බැහැර යාමට සිදුවේ නම් එහි දුෂ්කර හා වෙහෙසකර බව සලකා කාර්ය අතපසු කිරීම, යම් කටයුත්තක් සඳහා බැහැරට ගිය හෙයින් දැන් වෙහෙසකර යනුවෙන් සලකා කටයුතු අතපසු කිරීම, ප්‍රමාණවත් තරම් ආහාරපාන නොලැබුණියැයි චෝදනා කොට කටයුතු පසුවට කල්දැමීම, ප්‍රමාණයට වඩා ආහාරපාන ගත්හෙයින් කය වාරුකරගත නොහැකි යැයි සලකා කටයුතු අතපසු කිරීම, සුළු අසනීපයක් පවා ඇති විටෙක වැඩ කළහොත් එය වැඩිවේයැ’යි සලකා කාර්ය කටයුතු අතපසු කිරීම, යම් රෝගයකින් සුවපත් වූ පසුව එයින් ඇති වූ ශාරීරික දුර්වලතාව තවමත් පවතී යැයි සලකා කටයුතු අතපසු කිරීම, යන මේ අට ආකාරයට කල්පනා කරමින් අලස තැනැත්තා තම කටයුතු හා කාර්යභාරය පසුවට කල්දමයි. මෙම ජාතක කථාවෙහි එන අලස තරුණයා ද එම කරුණු අටෙන් පළමු වැන්නට අනුව ‘වැඩ කිරීම නිසා වෙහෙසට පත්වන බවත් ඒ නිසා නිදා ගන්නෙමි’ යනුවෙන් කල්පනා කොට තම කාර්ය අතපසු කොට තිබේ. වැඩට පොළඹවන උත්සාහය හා උනන්දුව ඇතිකරන ආරම්භක වත්ථු අටක්ද ඉහත සඳහන් කළ සුත්‍රයෙහි දක්නට ලැබේ. ඒ අනුව ඉදිරියට කරන්නට තිබෙන වැඩ ගැන සිතා අද කළ යුතු දෙය අදම කිරීම, යම් වැඩක් අවසන් කළ පසුව කටයුතු අවසන් යැයි නොසලකා එම කාලය තුළ අතපසු වූ යමක් වී නම් එය සම්පූර්ණ කිරීම, යම් ගමනක් යාමට තිබේ නම් එයට පෙර අවසන් කළ යුතු කටයුතු නිමාවට පත් කිරීම, ගමනක් ගොස් ආපසු පැමිණි පසුව එම කාලය තුළ අතපසු වූ කටයුතු සම්පූර්ණ කිරීම, ප්‍රමාණවත් ආහාරයක් නොලැබුණු අවස්ථාවේදීත් තම ශරීර ශක්තිය තවමත් පවතී යැයි සලකා වැඩ කිරීමට උනන්දු වීම, ප්‍රමාණවත් ආහාරයක් ලද කල්හී දැන් ශරීරය පෙරට වඩා ශක්තිමත් යැයි සලකා වැඩ කිරීමට උත්සාහවත් වීම, මඳ ගිලන් බවක් ඇති විට, රෝගය උත්සන්න වීමට පෙර කටයුතු අවසන් කිරීමට උත්සාහයක් වීම, මඳ ගිලන් බවක් ඇති විට, රෝගය උත්සන්න වීමට පෙර කටයුතු අවසන් කළ යුතු යැයි සලකා කාර්ය කටයුතු කෙරෙහි උනන්දු වීම, රෝගයකින් සුවය ලද පසුව රෝගීව සිටි කාලය තුළ මග හැරුණු කටයුතු නැවත සම්පූර්ණ කිරීමට අධිෂ්ඨානයක් ඇතිකරගැනීම එම ආරම්භක වස්තු අටයි. පුද්ගලයා වැඩට පොළඹවන මෙම උපදෙස් අලසකම දුරලා භෞතික හා ආධ්‍යාත්මික වශයෙන් දියුණු වීමට බෙහෙවින් උපයෝගි වේ. ධනාත්මක චින්තනය පිළිබඳ බටහිර ඉගැන්වීම් වැළඳ ගන්නා වර්තමාන ලාංකික සමාජයට මෙම උපදෙස්වල අගය නොවැටහීම එක්තරා අභාග්‍යයක් සේ සැලකිය හැකිය.
බුදුසමයට අනුව අලසකම භෞතික දියුණුව පමණක් නොව අධ්‍යාත්මික දියුණුවද ආවරණය කරයි. සිඟාලෝවාද සූත්‍රයේ එන ධන විනාශ මුඛ හයෙන් එකකි. අලසකම, එය භෞතික දියුණුව වළක්වාලයි. වීර්ය කායික මෙන්ම මානසිකව ක්‍රියාවට නැංවිය යුතු ධර්මයකි. එබැවින් එය වර්ධනය කළ යුතු දියුණු කළ යුතු අධ්‍යාත්මික ගුණයක් ලෙස නම් කර තිබේ. එසේම ලොව යම් ජයග්‍රහණයක් වේ නම් එය උත්සාහය මත තීරණය වේ. උත්සාහයෙන් තොරව ප්‍රාර්ථනා කිරීමෙන් කිසිවක් ලද නොහැකි බවත් එසේ ලැබිය හැකිනම් මිනිසාට කිසිවකින් අඩුවක් නැතැයි පංච ඉට්ඨධම්ම සූත්‍රයෙන් පෙන්වා දෙයි.

විශාල පිරිසක් සමඟ වැඩ කිරීමේදී එක් අයෙකු හෝ තම කාර්යභාරය හා වගකීම නොසලකා ක්‍රියා කරන්නේ නම් එක් පැත්තකින් ආයතනය විනාශ වන අතර එයට ලැබිය යුතු ප්‍රතිලාභ ද අහිමි වේ. මෙහි එන අලස තරුණයා සාමූහික වගකීම නොසලකා තම අවශ්‍යතාව ගැන පමණක් සිතා කටයුතු කළ අතර එයින් සිදුවූයේ ගුරුවරයාට හා අන්තේවාසික පිරිසට අලාභයකි. අලස තරුණයා පමණක් නොව ගෘහ සේවිකාවද කරුණු මැනවින් පරික්ෂා නොකොට ක්‍රියාකර තිබේ. ගිනි දැල්වීම සඳහා දර ගෙන යාමේදී ඒ පිළිබඳ පරීක්ෂාකාරී වූයේ නම් සිදුවුණ අලාභය යම් පමණකට හෝ මඟහරවාගත හැකිව තිබුණි. කෙසේ හෝ අවසානයේ සිදු වූයේ අලසකම හේතුවෙන් තමාගේ පමණක් නොව අන් අයගේද දියුණුව වැළකී යාමයි. කවර නාමයකින් හැඳින් වුවද අලසකම භෞතික දියුණුව මෙන්ම නිවන් පිළිවෙත ද වළක්වන බව මෙම ජාතක කතාවෙහි වර්තමාන හා අතීත පුවත් දෙකින්ම සනාථ වේ.



 කොළඹ විශ්වවිද්‍යාලයේ 
බෞද්ධ අධ්‍යයන අංශයේ 
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය 
රාජකීය පණ්ඩිත ආචාර්ය 
උඩුහාවර ආනන්ද හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ‍මැදින් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මාර්තු 12 වන ඉරිදා  දින බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment