Labels

Sunday, April 9, 2017

අර්බුදයට ලක්ව ඇති ළමා සහ වැඩිහිටි ප්‍රජාව



 මෙම ආර්ථිකයත් මෙම අධ්‍යාපනයත්, එම පරිසරය තුළ ගොඩනැඟුන මේ සංස්කෘතියත්, ඇතුළත බිහිවන මනුෂ්‍යයා සම්පූර්ණ වශයෙන් අනුරාධපුර ශිෂ්ටාචාරයේ බිහිවුණ සිංහල බෞද්ධ ළමයා නොවෙයි. එම යුගයේ සිටි සිංහල බෞද්ධ වැඩිහිටියාත් නොවෙයි."
බුද්ධ ධර්මයට අනුව, වැඩිහිටියන් සහ දරුවන් අතර පවතින සම්බන්ධකමේ පදනම කුමක් විය යුතුද? වැඩිහිටිකම සහ ළමාකම සැමරීමට සිදුවී ඇත්තේද, වැඩිහිටිකම සහ ළමාකම අර්බුදයකට ලක් වී ඇති නිසයි.වැඩිහිටි දිනය සහ ළමා දිනය ලෙස දින වෙන්කරවාගෙන අනුස්මරණය කිරීමට තරම් අවශ්‍ය කාරණාවක් නොවෙයි. වැඩිහිටි ප්‍රජාව සහ ළමා ප්‍රජාව වර්තමානය තුළ මුහුණ දෙමින් තිබෙන අර්බුද, 

ප්‍රශ්න,ගැටළුකාරී තත්ත්වයන් හමුවේ වැඩිහිටියා සම්බන්ධව සහ ළමයා සම්බන්ධව සංවාදයක් ඇති කර ගැනීම සඳහාත්, අවධානයක් ඇතිකර ගැනීම සඳහාත් ලෝක ළමා දිනය ලෝක වැඩිහිටි දිනය ලෙස දිනයක් ලෝකයා විසින් ්යොජනා කරගනු ලබයි.



ළමා සහ වැඩිහිටි දිනය


අප ජීවත් වන්නේ අනුරාධපුර යුගයේ නොවෙයි. අප ජීවත්වනු ලබන්නේ බටහිරට බර වුණ ආර්ථිකයක් ,බටහිරට බර වුණ අධ්‍යාපනයක්, බටහිරට බර වුණ සංස්කෘතියක්,සහිත ලංකාවක බව අමතක නොකළ යුතුයි. බටහිර දෙස බලාගෙන ගොඩනැඟුණ ආර්ථිකයක ,බටහිර දෙස බලාගෙන සැකසුණ අධ්‍යාපනයක හැදෙන වැඩෙන ළමයා බටහිර සමාජයේ ළමයා මුහුණ දෙන අභියෝග තරම් නොවූනත් සැළකිය යුතු ව්‍යාකූලත්වයකට හෙවත් අභියෝග ප්‍රමාණයකට වර්තමාන ළමයා මුහුණ දෙමින් සිටී. බටහිර සමාජයේ වැඩිහිටියා තරම් නොවූනත්,මේ අර්ථක්‍රමය තුළ මේ සමාජ ක්‍රමය තුළ මේ සංස්කෘතිය තුළ වැඩිහිටියාත් අර්බුදයකට ලක්වෙලා තිබෙන බව දක්නට ලැබෙයි. එම නිසාම ලංකාවට වැඩිහිටි දිනයක් කුමකටද? යනුවෙන් කාටවත් ප්‍රකාශ කළ නොහැකිය. ලංකාවට වැඩිහිටි දින කුමකටද ?කියා ප්‍රශ්න කරනවා නම්,ලංකාවට මෙම ආර්ථිකය කුමකටද? කියා විමසීමට සිදු වෙයි. ලංකාවට ළමා දිනයක් කුමකටද? කියා අප ප්‍රශ්න කරනවා නම්,බටහිර දෙසට හැදුණ අධ්‍යාපන ක්‍රමයක් ලංකාවට කුමකටද? යන ප්‍රශ්නයත් ඇසිය යුතු වෙයි.



සිංහල බෞද්ධකම


මෙම ආර්ථිකයත් මෙම අධ්‍යාපනයත්, එම පරිසරය තුළ ගොඩනැඟුන මේ සංස්කෘතියත්, ඇතුළත බිහිවන මනුෂ්‍යයා සම්පූර්ණ වශයෙන් අනුරාධපුර ශිෂ්ටාචාරයේ බිහිවුණ සිංහල බෞද්ධ ළමයා නොවෙයි. එම යුගයේ සිටි සිංහල බෞද්ධ වැඩිහිටියාත් නොවෙයි.
එම නිසා නූතන තත්ත්වයන් ඇතුළත කිසියම් ආකාරයක දිනයක් කේන්ද්‍රකර ගනිමින් සංවාදයක නියැළීමට සිදුවෙයි. බුද්ධ ධර්මයට අනුව වැඩිහිටියා සහ ළමයා අතර සම්බන්ධකම අර්ථාන්විතව නිවැරැදිව ගොඩනැඟුව හොත් ,කිනම් අර්ථ ක්‍රමයක් ඇතුළත වුවත්,එම සම්බන්ධකම් බිඳවැටීමත්, අර්බුදයන් කරා ගමන් කිරීමත්,පළුදුවීමත් වළක්වාලිය හැකි වෙයි. අපගේ සම්බන්ධකමේ පදනම විය යුත්තේ කුමක්ද?බෝසත් ගුණ හතරක් වූ සතර බ්‍රහ්ම විහරණය දරුවන්ගේ අධ්‍යාත්මය තුළ ගොඩනැංවුව හොත් ,සතර බ්‍රහ්ම විහරණය ,වැඩිහිටියන්ගේ අධ්‍යාත්මය තුළ ගොඩනැංවුව හොත් මේ සම්බන්ධකම වඩාත් අධ්‍යාත්මික සම්බන්ධකමක් වන බවට විශ්වාස කළ හැකි වෙයි.
වර්තමානයෙහි වැඩිහිටියා සහ ළමයා මුහුණ දෙන අර්්බුදය ලෙස හඳුනාගත හැක්කේ එම සම්බන්ධකමේ තිබෙන්නාවූ ගණුදෙනුකාරී බවයි. වැඩිහිටියා සහ ළමයා අතර තිබෙන සම්බන්ධකමේ තිබෙන ගණුදෙනුකාරී බව වැඩිවෙන්න වැඩි වෙන්න අපට එය දරාගැනීම දුෂ්කර වෙයි.මෙම සමාජ ක්‍රමය කඩාවැටී ඇති බවට අප ප්‍රකාශ කරනු ලබන්නේද එම හේතුව නිසයි. ඉස්සර සිටි ළමයින් නොවෙයි දැන් සිටින්නේ යනුවෙන් වැඩිහිටියන් ප්‍රකාශ කරයි. ඉස්සර සිටි ආච්චි අම්මාවරුන් වර්තමානය තුළ නැති බව දරුවන්ද ප්‍රකාශ කරයි. දැන් සිටින්නේ ඉස්සර සිටි සීයලාද? යනුවෙන් ළමයින්ද ප්‍රශ්න කරයි. ඉස්සර සිටි පිරිස පිළිබඳව දැන් සොයන්න උත්සාහ කරන්න එපා.


සමාජ සම්බන්ධතාවල පදනම

ඉස්සර සිටි ළමයි සොයන්නත් එපා. ඉස්සර සිටි අච්චිලා, සීයලා සොයන්නත් එපා.එවැනි පිරිස් වර්තමානය තුළින් හමුවන්නේ නැහැ. එය ධර්මානුකූලවද සිදුවිය හැකි දෙයක් නොවෙයි. එසේ සිටිය නොහැකිය. එය වෙනස් විය යුතුයි. එම වෙනස්කම සිතුවාටත් වඩා අස්වාභාවිකව ඉතාම ෙවිගයෙන් සිදුවනු ලබන්නේ පවතින්නාවූ සමාජ තත්ත්වයන් තුළයි. එම නිසා අපගේ සමාජ සම්බන්ධකම්වල පදනම සතර බ්‍රහ්ම විහරණ බවට පත්විය යුතුයි.


මෛත්‍රිය

එයින් පළමුවෙනි බ්‍රහ්ම විහරණය වන මෙත්තා හෙවත් මෛත්‍රිය යන මානසික තත්ත්වයෙහි ස්වභාවය කුමක්ද ? යනුවෙන් අප තේරුම් ගත යුතුයි. එය ඉතාම සරලව පැහැදිලි කරගනු ලැබුව හොත්, මෛත්‍රිය යන මනෝභාවය ඔබ තුළ ගොඩනැඟීම යනු අතහැරීම ඔබ තුළ පුහුණු කිරීමක්මයි. මෛත්‍රිය යන මානසිකත්වය ගොඩනැඟුනාට පසුව මේ ලෝකය වෙනුවෙන් ජීවිතයම කැප කිරීමට අවශ්‍ය කරන ශක්තිය නිර්මාණය වෙයි. නමුත් ලෝකයාගෙන් පෙරලා කිසිවක්, අපේක්ෂා නොකළ යුතුයි. මෛත්‍රියෙහි විශේෂත්වය එයයි.

නිරාමිස බව

තමාගේ සම්පුර්ණ ජීවිතයම මිනිසුන් විසින් පුදකරනු ලබන්නේ මෛත්‍රියෙන් පමණක් නොවෙයි,ආදරය යන හැඟීම මත පදනම් වෙලත් මිනිසුන් තමාගේ ජීවිතය අනෙක් අය වෙනුවෙන් පුද කරයි. ආදරය වෙනුවෙන් වස පානය කරයි. ආදරය වෙනුවෙන් ගෙල වැල ලා ගනී. හැත්තෑව අසූව දශකවල මෙවැනි පිරිස් බොහෝ සෙයින් සිටියත් වර්තමානය තුළ එවැනි පිරිස අඩුයි. නමුත් නැත්තේම නැහැ. ආදරය වෙනුවෙන් ජීවිතය පූජාකරන පිරිස එදත් සිටියා වගේම ඇතැම් විට අදත් සිටී. ඒ පිරිසගේ ජීවිත පූජාව නිරාමිස නැහැ. එම පූජාව තුළින් යම්කිසි ගුණයක් ඉදිරියට ගමන් කරන්නේ නැහැ.

අකුසලය

එම ජීවිතය අහිමි කර ගැනීම හෙවත් ජීවිත පූජාව සිදුකරගනු ලබන්නේම යමිකිසි බලාපොරොත්තුවක් ඇතුළත සිදුවන දෙයක් මිස නිරාමිසව සිදුවන දෙයක් නොවන නිසයි.ආදරය වෙනුවෙන් ජීවිතය පූජා කළා නම්, ආමිසයක් ලාබයක් මනස තුළ රඳවාගෙන ආදරය වෙනුවෙන් ජීවිතය පූජා කළා මිස නිරාමිස නැහැ. බුදුදහම එය කුසලයක් ලෙස අර්ථකතනය කරන්නේ නැහැ. එය එම පුද්ගලයෙකුගේ් අකුසලයක් මිස ශක්‍යතාවයක් නොවෙයි.එය පුද්ගලයෙකුගේ නොහැකියාවක් වෙයි. හැකියාවක් ලෙස හෝ භවයෙන් භවයට අඛණ්ඩව ගමන් කරනු ලබන කුසලයක් ලෙසට එවැනි දේ අර්ථකතනය වන්නේ නැහැ. වෙස්සන්තර රජතුමා දරුවන් අතහැරීම , දහම් සොඬ රජතුමා ජීවිතය පූජා කිරීම සහ වර්තමානයෙහි පුද්ගලයෙකු ජීවිතය පූජා කිරීම සමාන නැහැ.ඒ තුළ තිබෙන මානසික පසුබිම එයට හේතුවයි.

පරාර්ථය

වෙස්සන්තර රජතුමා සහ දහම් සොඬ රජතුමාගේ ජීවිත පූජාව ඇතුළත කිසියම් පුද්ගලික අර්ථයක් සාධනය කර ගැනීමක් තිබෙන බව අපට දක්නට නැහැ.එය තුළ සම්පූර්ණ වශයෙන්ම පරාර්ථය සාධනය කරගැනීම පවතී. එය නිරාමිස කාරණාවක් වෙයි. වර්තමානය තුළ අපට දක්නට ලැබෙන ගැටළුව නම්, වැඩිහිටියන් දරුවන් වෙනුවෙන් අසීමාන්තිකව කැප වුණත් එම කැපවීමේ ස්වභාවය නිරාමිසවමද? එය එසේ සිදුවනවාද? යන ප්‍රශ්නය පැන නගී. වැඩිහිටියන් දරුවන් වෙනුවෙන් කරනු ලබන කැප කිරීම්,දරුවන් වෙනුවෙන් කරනු ලබන පරිත්‍යාගය සම්පූර්ණ නිරාමිසද?එම කැපවීම් ඇතුළත එම පරිත්‍යාග ඇතුළත,එම දුක්විඳීම් ඇතුළත පෙරලා දරුවන්ගෙනුත් කුමක් හෝ දෙයක් අපේක්ෂා කරයිද?.

මෛත්‍රිය සහ ආදරය වෙනස් වෙන සන්ධිස්ථානය එතැනයි. මෛත්‍රිය සහ ආදරය එක ළඟින් යන දෙකක් නිසා කුඩා වෙනසක් පවතී





හෝමාගම මුල්ලේගම 
ශ්‍රී සීලාලංකාර මාවත ආර්ය නිකේතන නිර්මාතෘ
 අමරපුර විද්වත් 
සංඝ සභාවේ ලේඛකාධිකාරී 
ශාස්ත්‍රපති
මාවරලේ භද්දිය හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ‍මැදින් අව අටවක    පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මාර්තු 20 වන සඳුදා  දින බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment