සම්මුති ලෝකය තුළ මොනතරම් 'මම' 'මගේ' කියා පැවැත්වූවත්, පරම සත්‍යයට අනුව මේ 'මම' කියන 'මගේ' කියන ශරීරයවත් මට අයිති නැති බව පැහැදිලිවන විට, මේ දඩබ්බර වූ අසංවර වූ සිත හික්මෙන්නට පටන් ගන්නවා. කිසිවක් මට අයිති නැති නම්, සදාකාලික නොවේ නම් මම කායික, වාචසික අසංවරයෙන් බැහැරව කායික වාචසික සංවරයෙන් යුක්තව දැඩි වූ ආශාවන්ගෙන් බැහැරව, ඒ වගේ ම දෝමනස්ස, තරහව, වෛරය, පළිගැනීම ආදී පටිඝයන්ගෙන් බැහැරව මේ ජීවිතය පැවැත්විය යුතුයි කියන තැනට සිත සංසුන්වෙන බව හික්මෙන බව ඉතාම පැහැදිලියි.
දඩබ්බර වූ දැඩි ආශාවන්ගෙන් හෝ අතෘප්තිකර ආශාවන්ගෙන් පිරිපුන් වූ එමෙන් ම ඉක්මනින් කේන්ති ගන්න, වෛරයෙන්, ක්‍රෝධයෙන් යුතු පුද්ගලයන්ගේ චරිත ගැන ඔබ නුවණින් විමසා බලන්න.ඔවුන්ගේ වදන් මේ වගෙයි, මෙය ධර්මානුකූලව තේරුම් ගැනීමට ඉදිරිපත් කරන අදහසක් පමණක්මයි. එනම් හොඳින් බැරිනම් නරකින්, ධර්මයෙන් බැරිනම් අධර්මයෙන් හරි මගේ කුස පිරේ නම්, මගේ ඉන්ද්‍රියන් සතුටු වේ නම් මම ඕනම දෙයක් කරන්න සූදානම් යැයි පවසන පිරිස් දුලබ නොවන බව ඔබටත් පැහැදිලි ඇති යැයි කල්පනා කරනවා.
ඉන් අදහස් කරන්නෙ, පරම සත්‍ය පිළිබඳව අවබෝධයක් නැති මේ අඥාන පුද්ගලයන් තමාටවත් අයිතියක්, පාලනයක් නැති ශරීරය ආත්ම දෘෂ්ටිය හෙවත් සක්කාය දෘෂ්ටියෙන් යුක්තව මමය, මාගේ ය, මම වෙමි යැයි සිතින් දැඩිව අල්ලාගෙන එනම් උපාධානය කරගෙන තමන්ටත් අනුන්ටත් දුක් විපත් ගෙන දෙමින් තමාගේ ම මෙලොවත් පරලොවත් පිරිහෙන ආකාරයට කටයුතු කරන බව නොවේ ද?
තමාගේ සීලය තමාගේ වයස, තමාගේ ස්වභාවය එනම් භික්ෂුවක්, විවාහක අයෙක්, දෙමාපියෝ, දරුවෝ, මෙවැනි තනතුරක් දරණ අයෙක් වශයෙක් නිතර සිහියේ පවත්වාගෙන කටයුතු කිරීම තුළ යම් අරමුණක් නිසා සිතට තද ඇලීමක්, ගැටීමක් පැමිනුණත් තමාගේ ස්වභාවය එනම් සප්පාය සම්පජඤ්ඤය නිසා එම බලවත් වූ ආශාව හෝ ගැටීම සංසිඳී සිතෙහි හික්මීමක් සංවර බවක් සමාධියක් සේ සංසුන් බවක් ඇතිවෙන්නට පුළුවනි.අප බොහෝ කෙනෙක් අපගේ ස්වභාවය තේරුම් අරගෙන ඇසට රුව, කණට ශබ්ද ආදී වශයෙන් බාහිරව හිතට එන ආරම්මනයන් පාලනය කරගෙන සංසිඳුවාගෙන කටයුතු කරනවා නොවේ දැයි ඔබම සිතා බලන්න. එම සිහිය, එනම් තමා කවුරුන් ද, තමාගේ ස්වභාවය කුමක් දැයි සිහිපත් කරන්නට නොහැකි ආතතිය පවතින හැම වෙලාවකම සිත අසංවර වීමෙන්, එම නිසා ම මුවෙන් පිටවෙන වචන හා කයින් සිදු කරන ක්‍රියාවන්ගෙන් තමා මොනතරම් විපත් තමාට ම කරගන්නවා දැයි ඉතාම පැහැදිලියි. වර්තමාන සමාජය දෙස බැලීමේදීත් ඔබට මේ බව ඉතාම පැහැදිලි වෙනවා නොවේ ද?
කුසලය, අකුසලය මැනවින් දැන කුසල් මාර්ගයට සිත, කය, වචනය යොමු කිරීම. සාර්ථක සම්පජඤ්ඤය නම් වේ. ගෝචර සම්පජඤ්ඤය නම් ඉදිරියට ගමන් කිරීම පිටුපසට ගමන් කිරීම ආදී සෑම ඉරියව්වක ම එමෙන් ම වැසිකිළිය, කැසිකිළිය පරිහරණය කිරීමේ දී පවා, ඇඳුම් පැළඳුම් පරිහරණයේ දී පවා මනාව සිහිය පිහිටුවාගෙන කටයුතු කිරීමයි. අවසානයේ සම්මුතිය පරමාර්ථය මැනවින් තේරුම් අරගෙන කටයුතු කිරීමයි. පැවැත්ම තුළ මම, මගේ යැයි පැවසුවත්, කටයුතු කළත් පරමාර්ථ වශයෙන් සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණ ධර්මයට යටත් කොට දැකීමේ හැකියාවක් ඇති කර ගැනීමයි. අසංමූල්හ සම්පජඤ්ඤය නම් වේ.
තමාගේ ස්වභාවය පිළිබඳව අවබෝධයෙන් කටයුතු කිරීමත්, සම්මුතිය හා පරමාර්ථය පිළිබඳව අවබෝධයෙන් කටයුතු කිරීමත්, හික්මීමට සීලයට සංවරයට, ශික්ෂණයට හේතුවන යහපත් වූ උපකාරක ධර්ම බවට පත්වෙනවා. මෙම හික්මීම සුපසන් ජීවිතයකට මොනතරම් වටිනවා දැයි දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති. දුර්ලභව ලැබූ මේ උතුම් මනුෂ්‍ය ජීවිතය මොනතරම් කල්පනාකාරීව හෙවත් සිහිය පවත්වාගෙන ගත කළ යුතු දැයි භාග්‍යවතුන් වහන්සේ නැවත නැවතත් අපට පෙන්වා වදාරනවා.
සංයුක්ත නිකායේ අනවතග්ග සංයුක්තයේ දී භාග්‍යවතුන් වහන්සේ මෙසේ පැහැදිලි කරනවා. ‘මහණෙනි, එනමුත් භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා නම් වූ සිවු පිරිසටමයි මේ ආරාධනා කරන්නේ, මේ සසර කෙළවරක් නැතිය. එනම් අනවරාග්‍රයයි. ආරම්භයක් හෙවත් පූර්වාන්තයක් නොපෙනේ. එවන් වූ සසර ගමනේ දී අවිද්‍යාවට හසු වී එනම් අනිත්‍ය, දුක්ඛ, අනත්ත ත්‍රිලක්ෂණ ධර්මය තේරුම් ගන්නට බැරිව, මමය, මාගේ ය, මගේ ආත්මය එනම් ස්ථිර යැයි සිතාගෙන කටයුතු කිරීම නිසා තෘෂ්ණාව උපදවාගෙන ප්‍රාණඝාත ආදී අකුසල් ධර්ම සිදු කරමින් සසරට බැඳී නුඹලා හඬාගෙන, දුවගෙන ගිය බව ගමන් කළ බව ද හැසිරුණ බව ද පැහැදිලියි. දීර්ඝ කාලයක් පුරා නුඹලා සෑම කෙනෙක් ම මේ සංසාර ගමනෙහි දුක්විඳ ඇත.’ අපි ලැබූ මනුෂ්‍ය ජීවිතය හික්මවා ගන්න, මොනතරම් යහපත් වූ ධර්ම අවවාදක් දැයි මෙතන පැහැදිලියි.
මේ කෙළවරක් දකින්නට නැති දීර්ඝ සංසාර ගමනෙහි අපි හැම කෙනෙක් ම හොඳ – නරක තේරුම් ගන්නට බැරි ව තමන්ගේ ශරීරයේ පටන් බාහිර වස්තු සෑම දෙයක් ම එනම්, ස්වාමියා බිරිඳ, දෙමාපියෝ, දරුවෝ, ගේ දොර, ධන ධාන්‍ය, වතු පිටි, සෑම දෙයක් ම හටගත්ත වගේ ම වෙනස්වෙලා නැතිවෙලා යනවා. මෙන්න මේ බව තේරුම් ගන්න බැරි වුණා ම ඒවා කෙරෙහි දැඩි ආශාවෙන් අපි බැඳෙනවා. බැඳුණු දේවල් ලබාගන්න බැරි වූ විට තරහ ගන්නවා. පස් පව් දස අකුසල් කරනවා.අපි බැඳුණු දේවල් ලබා ගත්ත නම් ඒ ලැබූ දේවල් වෙනස් වෙලා යන විට හඬනවා. වැළපෙනවා. තවත් විදිහකින් ලැබූ දේවල් අත්හැරෙයි ද? තවත් කෙනෙක් උදුරා ගනී ද කියල සැකයෙන්, බියෙන්, ත්‍රාසයෙන් යුක්තව කාලය ගත කරනවා. ඒ වගේ ම ලබාගත්ත දේවල් එහි ඇති අනිත්‍ය ස්වභාවය අනුව වෙනස්වෙලා දිරාගෙන යන විට හඬනවා, වැළපෙනවා. නැවතත් දුක්වෙනවා.
තවත් ආකාරයකින් බැලුවොත් ලබාගත්ත දේ කෙරෙහි මේ අතෘප්තිකර සිත තෘප්තියට පත් නොවී දැන් ඒක එපා ඒක ඇති මට අලුත් දෙයක් අවශ්‍යයයි. පවසමින් ලැබූ දේ පැත්තකට දමා හොඳ – නරක, පින – පව අමතක කොට අලුත් දේවල් ඇසෙන් දෙන්නත්, අලුත් හඬක් කණින් දෙන්නත්, අලුත් ආග්‍රහණ නාසයෙන් ලබන්නත්, අලුත් රසයන් දිවට දෙන්නත්, අලුත් ස්පර්ශයන් ශරීරයෙන් ලබන්නත්, අලුත් සිතිවිලි සිතන්නටත් පටන් ගන්නවා. අසංවර සිතක ආරම්භයත්, අසංවර චරිතයක වචන හා ඇවතුම් පැවතුම් සකස් වෙන්නෙත් මෙන්න මෙතැනයි.මෙලොව ජීවිතය අසංවර, නොහැදුණු සමාජයට අහිතවත් විනාශකාරී පුද්ගලයෙක් බිහිවෙනවා පමණක් නොවෙයි තවත් වචනයකින් සඳහන් කළොත් පව්කාරයෙක්, පව්කාරියක්, පාපී මනුෂ්‍යයෙක් සකස් වෙනවා. ඒ වගේ ම මේ පුද්ගලයා මරණින් මතුව දුගතියක ඉපදීමට අවස්ථාව සලසා ගන්නවා. මේ නිසයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ, අවිද්‍යාවට අසුවෙලා අනිත්‍ය, දුක්ඛ, අනත්ත ත්‍රිලක්ෂණ ධර්මය තේරුම් ගැනීමට නොහැකිව පස් පව් දස අකුසල් කරමින්, තෘෂ්ණාවෙන් සසරට බැඳී හඩාගෙන, දුවගෙන ගමන් කරමින් යන බව.
‘තිබ්බං පච්චනු භූතං’ තියුණු ලෙස සතර අපායේ ඉපදී දුක්වින්ද ‘ව්‍යසං පච්චනු භූතං’ මහත් සේ ව්‍යසනයන්ට හසු වී තිබෙනවා. සරල අදහසක් දැක්වුවොත් වර්තමානයට අනුව එළුවන්, ගවයන්, කුකුළන්, මාළුවන් වැනි සතුන් නිරන්තරයෙන් ම මනුෂ්‍යයන්ගේ ග්‍රහනයන්ට හසු වී මරණයට පත්වෙන බව පැහැදිලියි. ඒ වගේ ම කෘමිනාශක ද්‍රව්‍ය නිසා මැසි, මදුරු වැනි අප්‍රමාණ සත්ව කොට්ඨාස නිරතුරුව ම විනාශයට පත්වෙනවා. මේ සංසාර ගමනෙ අපි සෑම කෙනෙක් ම අවිද්‍යාවට හසු වී තෘෂ්ණාව නිසා සසර ගමනට බැඳී සතර අපායේ ඉපදී දුක්විඳි දුක් ප්‍රමාණයත් අන්න ඒ වගේ අප්‍රමාණයි.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, නුඹලා සෑම කෙනෙක් ම අතීත සංසාර ගමනෙ වැඩිපුරම ඉපදී තිබෙන්නේ සතර අපායේ බවයි. මේ දහම් පෙළ මෙනෙහි කරන්න පුළුවනි නම්, අපේ සිත තුළ ස්වභාවයෙන් හට ගන්නට පුළුවන් දැඩි වූ ආශාව, රාගය, රතිය, කාමය, ලෝභය, විෂම ලෝභය ආදී කෙලෙස් සංසිදුවාගෙන, පටිඝය නම් වූ දෝමනස්ස නම් වූ තරහව, උපක්ලේෂයන් නම් වූ වෛරය, කේන්තිය, පළිගැනීම, බද්ධ වෛරය, අනුන් පහත් කොට සැලකීම, අනුන්ගේ ඇති ගුණ වසා නැති ගුණ මතුකොට දැක්වීම ආදී මේ උපක්ලේෂයන් හැකිතාක්දුරට සංසිදුවාගෙන හික්මුණු යහපත් වූ සිතක් ඇති කර ගන්නට හැකියාවක් තිබෙනවා නොවේද? තමාට ම තමා සංසිඳුණු මනුෂ්‍යයෙක් කියා දැන්නේ එවිට නොවේ ද?
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ අධි ඇසළ අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජූලි 15
වන බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි
No comments:
Post a Comment