බුදු දහම ප්‍රඥාවන්තයාට මිස මෝඩයන්ට නොවේ. (අයං ධම්මො පඤ්ඤාවන්තස්ස
නායං ධම්මො දුප්පඤ්ඤස්ස) යනු බුද්ධ භාෂිතයකි. උන්වහන්සේගේ ධර්මයෙන්
නිසි ප්‍රයෝජනයක් ලැබිය හැකිවන්නේ ප්‍රඥාවන්තයන්ට පමණකි. එදා සිටි
ප්‍රාඥයෝ උන්වහන්සේ නිර්දේශ කළ ශික්ෂා මාර්ගය පිළිපැද විමුක්තිය ලැබූහ.
අවුරුදු දෙදහස් ගණනක් බුද්ධ ධර්මය ආරක්ෂා වූයේ ප්‍රඥාවන්තයන් ගේ අතින්
අත පැවතීම නිස යි. ධර්මධරයන් වහන්සේගේ වචන මාර්ගයෙනි. පෞද්ගලික
අභිමතාර්ථ සපුරා ගැනීමේ අභිලාෂයෙන් සසුන් ගත වූ බොහෝ දෙනා අගනා ධර්ම
පාඨ සාවද්‍ය ලෙස වටහා ගැනීමෙන් එම වැරැදි අර්ථකථන සෙස්සනට ප්‍රකාශ
කිරීමෙන් ඇති කළ ශාසන අර්බුද, කාලීන ධර්මධර මහතෙරවරුන් ගේ මැදිහත්
වීමෙන් බොහෝ දුරට වළක්වා ගත හැකි විය. නිර්මල බුදුදහම එමගින් රැකගත
හැකි විය.
බුද්ධ දේශනාව මුල් යුගයේ දී හැඳින්වූයේ ධම්ම - විනය වශයෙනි. නවංග සත්ථු
ශාසනය වශයෙන්ද සමහර අවස්ථාවලදී හැඳින්වූවත්, ‘ධම්ම - විනය’ යන්න, වඩාත්
ජනපි‍්‍රය හා ව්‍යාප්ත වූ ව්‍යවහාරය විය. බුදුරජාණන්වහන්සේ ජීවමාන
කාලයේදීම ඇතැම් ධර්ම පාඨ සාවද්‍ය ලෙස වටහා ගත් පැවිදි පිරිස් නිසා
බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ඇති විය හැකි ශාසනික පරිහානිය වැළැක්වීම
සඳහා උන්වහන්සේ ‘ධම්ම - විනය’ යන්නට නියම අර්ථ විග්‍රහයක්
මහාපරිනිර්වාණ සූත්‍ර දේශනාවේදීම පෙන්වා වදාළහ. ආශාව, කෝපය, මුලාව (රාග
, ද්වේශ, මෝහ) නැති කිරීමට අඩුකර ගැනීමට, පාලනය කර ගැනීමට ඉවහල් නොවන
උපදේශයක්, දේශනාවක්, හෝ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට ඉවහල් නොවන
උපදේශයක් අනුශාසනාවක් බුදුන් වහන්සේ විසින් සිදු නොකළ බව, මහා
පරිනිර්වාණ සූත්‍රයේ දී පෙන්වා දී ඇත. එයින් උන්වහන්සේ රාග, ද්වේෂ, මෝහ
නැති කර ගැනීම සඳහා විනය, ශීලය අනුමත කළ බවත්, චතුරාර්ය සත්‍ය අවබෝධය
සඳහා ධර්මය දේශනා කළ බවත් පැහැදිලි ය. ඒ නිසා ධර්මයට හා විනයට හානිකර
අර්ථ විග්‍රහ මතවාද බැහැර කොට නිර්මල ධර්මය ආරක්ෂා කරගත හැකි ය. අනාගත
පරපුරට දායාද කළ හැකි ය. මෙතෙක් නිර්මල බුදුදහම රැක ගත්තේ ඒ ආකාරයෙනි.මෙසේ වරින්වර කාලීන ධර්මධරයන් වහන්සේ ගත් උත්සාහයේ ප්‍රතිඵලයකි. ඒ ඒ යුගවලදී ඇති වූ ධර්ම සංඝායනා. ධර්ම සංඝායනාවලදී එවකට ඇති වූ දුර්මත බැහැර කොට ධර්ම, විනය දෙක ආරක්ෂා වුවත්, ඒ පිළිබඳ ඇති අවධානය අඩුවීමෙන් සමහර දුර්මත ඒ ආකාරයෙන්ම බෞද්ධ සමාජයේ පැලපදියම් වී ඇත. ඒ ගැන අපේ ධර්මධරයන් වහන්සේගේ හා විද්වතුන්ගේ් ශ්‍රමය හා අවධානය යොමු කිරීම සුදුසු ය. අන්තරාභවය, මනෝ කාය, සෘද්ධි බලය වැනි කරුණු පිළිබඳ එන දුර්මත බැහැර වන්නේ එවිට ය.
බුදුරජාණන් වහන්සේට කල්පයක් වැඩසිටිය හැකිය;එය වැළකුණේ ආනන්ද හාමුදුරුවන් මරුවා ආවේශ වීමෙන් බුදුරජාණන්වහන්සේට කල්පයක් වැඩ සිටීමට ඇරැයුම් නො කළ නිසා ය යන්න ද එවැනි දුර්මතයකි. තුන්වන ධර්ම සංගායනාවේදී මොග්ගලී පුත්ත මහ රහතන් වහන්සේ මේ දුර්මතය විසඳා ඇති බව උන්වහන්සේ සංග්‍රහ කළ ග්‍රන්ථයක් වන කථාවත්ථුප්පකරණයේදී පෙන්වා දී ඇත. කථාවත්ථුප්පකරණය පරවාදී දුර්මත පන්සියයක් හා සත්‍ය පිළිතුරු පන්සියයක් පැහැදිලි කිරීම් වශයෙන් සංග්‍රහ වූ කෘතියක් බව අපි කවුරුත් දනිමු. කථාවත්ථුප්පකරණයේ එන සෘද්ධිබල කථා නම් කොටසේ සෘද්ධිබලයෙන්, සතර ඉද්ධිපාද සම්පූර්ණ කළ, උත්තමයන් වහන්සේට ආයු කාලය කල්පයක් වැඩ සිටිය හැකිය යන්න සමාලෝචනය කොට එය දුර්මතයක් බව දක්වා ඇත. ‘නේනහි න වත්තබ්බං ඉද්ධිබලේන සමන්නාගතේ කප්පං තිට්ඨෙය්‍යාති’ එම පාඨය යි. මෙම කාරණය පිළිබඳ මෑත යුගයේ දී බෞද්ධ ජනතාවට පැහැදිලි කර දුන්නේ පොල්වත්තේ බුද්ධදත්ත මාහිමියන් වහන්සේ ය. උන්වහන්සේගේ ‘පාලි සාහිත්‍යය’ යන කෘතියේ එසේ සටහන් කොට ඇත. ඊට සමගාමී අදහසක් හිත්තැටියේ උදිත නම් හිමි නමක් ද තමන් වහන්සේ රචනා කළ ‘ත්‍රිපිටක පරීක්ෂණය’ නම් කෘතියෙන්ද පෙන්වා දී ඇත. කථාවත්ථුප්පකරණයට අමතරව කාලීන ශාසන ඉතිහාසය විමසා බැලීමෙන් ද බුද්ධ පරිනිර්වාණ සමයේ සිටි ශාසනභාරධාරීන් වහන්සේගේ සමහර ප්‍රකාශනවලින් ද ඒ බව තහවුරු කරගත හැකි ය. ප්‍රථම ධර්ම සංගීතිය අවසන් වූ පසු ආනන්ද රහතන් වහන්සේ සංගීතියට සහභාගිවීමට නොහැකි වූ පුරාණ නම් හිමිනමක් හමුවට ගොස් උන්වහන්සේ බැහැදැක ධර්ම සංගායනාව හොඳින් සිදුකළ බව දැන් වූ විට උන්වහන්සේ දුන් පිළිතුර ඉතා වැදගත් ය. උන්වහන්සේගේ පිළිතුර වූයේ “ධර්ම සංගායනා කිරීම බොහොම හොඳයි. ඒ වුණත් මම බුදුරජාණන් වහන්සේගෙන් අසා දැනගත් පරිදි පිළිපදිමි’ යනුයි. මේ තුළ සැඟවුණු අර්ථයක් ඇත. ඒ එදා සිටි සමහර භික්ෂූන් ඇති කළ දුර්මත සාකච්ඡාවට නො ගැනීමයි. ආනන්ද හිමියන්ට මේ සංගායනාවේදී චෝදනා පහක් එල්ල විය. ඒ චෝදනා පහ තුළ බුදුන් වහන්සේට කල්පයක් වැඩ සිටීමට ආනන්ද හිමියන් ආරාධනා නොකිරීම එකකි.
මහා කාශ්‍යප රහතන් වහන්සේ ඇතුළු පන්සියක් මහරහතන් වහන්සේට ප්‍රථම ධර්ම සංගීතිය පැවැත්වීමට ප්‍රධාන හේතුව වූයේ සුභද්‍ර නම් පැවිදි නමක ගේ අයහපත් වචනයයි. ඊට සමගාමීව බුදුන් වහන්සේ ඒ ඒ තැන්වල දී ඒ ඒ පුද්ගලයන්ට දේශනාකළ දේශනා එක්තැන් කිරීම, කොසඹෑනුවර භික්ෂූ අරගලය යන කරුණුද නොසැළකුවේ නොවේ. ඒවාද සිත් තුළ ධාරණය කරගෙන ධර්මය සංගායනා කළ බව ත්‍රිපිටකය සකස් වූ අන්දමින් පැහැදිලි වේ. බුද්ධ ශ්‍රාවකයන් ශාස්තෘන් වහන්සේගේ විශ්වාසය නො බිඳ රැක ගන්නා බව ස්ථිරවම දැන සිටි නිසා ආනන්ද හිමියන්ට එල්ල වූ චෝදනා වලින් ඛුද්දානුඛුද්ධක ශික්ෂාපද ප්‍රශ්නය සාකච්ඡාවට නොගැනීමෙන් පෙනේ.
ඉතිරි චෝදනා හතරද නො සළකා හැරියේ එදා ධර්මධර භික්ෂුන් වහන්සේගේ බලය නො බිඳී තිබුණු නිසාය. එහෙත් තුන්වන ධර්ම සංඝායනා කාලය වනවිට ඒ දුර්මත ශාසන පැවැත්මට හානිකර තරමට බලවත්වූ නිසා කථාවත්ථුප්පකරණය සංග්‍රහ කිරීමට සිදුවිය. අද අපට එය වැදගත් ග්‍රන්ථයක් වන්නේ ඒ දුර්මත අනුව ක්‍රියාත්මක වන මහායාන අදහස් වලින් අපේ බෞද්ධ සමාජය තෙත් වී ඇති නිසා ය. මොරටුවේ සාසනරතන මාහිමියන්ගේ ලක්දිව මහායාන අදහස් නමින් පළ කළ ග්‍රන්ථයෙන් ඒ බව පැහැදිලි වෙයි.
බුදුදහම රැක ගැනීමට අලංකාරෝක්තියෙන් දහම අගය කරනු වෙනුවට සරු දේ සරු ලෙසත් නිසරු දේ නිසරු ලෙසත් සලකමින් (සාරංච සාරතෝ දිස්වා - අසාරංච අසාරතෝ) යන ධම්මපද පාඨය සිහිපත් කරමින් බුදුදහම අගය කරන්නේ නම් අපට දහම රැක ගැනීමටත් අනාගත පරපුරට නිර්මල බුදුදහම දායාදයක් කොට දීමටත් හැකි වන්නේ ය. මේ වගකීම අපේ ධර්මධරයන් වහන්සේ ම සතු ය.
උන්වහන්සේ ගේ ධර්ම ඤාණයත් කාලයත් ශ්‍රමයත් ඒ සඳහා වැය කිරීමට අවශ්‍ය පහසුකම විවේකය ඕනෑ තරම් ඇත.
ගිහියන් වැඩි වශයෙන් දහම හදාරන්නේ සිය වෘත්තියේ ප්‍රයෝජනය හා උසස්වීම් සඳහා ය. විශ්‍රාම සුවයෙන් සිටින බොහෝ ධර්මඥානය දියුණු කරගත් උගතුන් විද්වතුන් නිහඬව සිටීමෙන් ඒ බව සනාථ කළ හැකි ය.
ධර්මය දත් ගිහියන් සිටීම අපේ ධර්මධරයන් වහන්සේ ගේ පැවැත්මට ද උපකාරක
වන්නේ ය. අද පවතින සමහර තත්ත්ව අනුව ධර්මය නොදත් ගිහියන් හික්මවීමට,
සැනසවීමට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සිදුකිරීමට අපේ සමහරුන් පෙළඹී ඇත්තේ
ද ධර්මධරයන් වහන්සේගේ නිහඬතාව නිසා ය.
උඩඅළුදෙණිය රජමහා විහාරස්ථ
මහානාම දහම් පාසලේ ආචාර්ය,
විශ්‍රාමික විදුහල්පති
එස්. අතුලතේජ
මහානාම දහම් පාසලේ ආචාර්ය,
විශ්‍රාමික විදුහල්පති
එස්. අතුලතේජ
ශ්‍රී බුද්ධ වර්ෂ 2552 ක් වූ උදුවප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2008 ක් වූ
දෙසැම්බර් මස 12 වන සිකුරාදා බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි
No comments:
Post a Comment