කාන්තා විමුක්තිය සඳහා ද සමාජමය වශයෙන් නව අර්ථකථනයක් ලබා දුන් ආගමක් ලෙසින් බුදු දහමට අද්විතීය ස්ථානයක් හිමිව ඇත. පුරුෂ පක්ෂයට පමණක් නොව කාන්තාවටද විමුක්තිය ලද හැකි බවත් පුරුෂ පක්ෂයට මෙන් භික්ෂුණිය හා උපාසිකාව යැයි තනතුරු ඇති කරමින් ඇයගෙන් ගිලිහී ගොස් තිබූ මානව අයිතීන් නැවත ලබා දෙමින් ඔවුනට ද සමාජය තුළ පෙරට ඒමට මං හෙළි කරන ලද්දේ බුදුදහම තුළිනි.
ක්‍රිස්තු පූර්ව තෙවැනි සියවස ශ්‍රී ලාංකේය ආගමික හා ජාතික ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් වන කාල පරිච්ඡේදයක් සේ සැලකේ. මිහිඳු හිමියන්ගේ හා සංඝමිත්තා මෙහෙණියගේ ශ්‍රී ලංකාගමනයත් මහබෝධිය වැඩමවීමත් මේ සඳහා පදනම් වූ සිද්ධිදාමයෝ වෙයි. ශ්‍රී‍්‍ර ලාංකේය කාන්තාවගේ විමුක්තිය පතා ලක්දිවට වැඩම කළ සංඝමිත්තාවගේ ලංකාගමනය වනාහි ලාංකේය ඉතිහාසයේ එක් සුවිශේෂ කඩයිමක් සනිටුහන් කරන්නක් බව කිව යුතුවේ.
සංඝමිත්තාවගේ ලංකාගමනය වනාහි ලාංකේය කාන්තාවනට නිවන් දොර විවර කරදීමට මං හෙළි කළා පමණක් නොව ඔවුන්ගේ සමාජ හා මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමටත් හා තහවුරු කරලීමටත් ගුණ නුවණින් පිරිපුන් පිරිසක් ඇතිකරලීමට ද ඉවහල් වූ වැදගත් කරුණක් ලෙසින් ද ඉතිහාසගත ය.
බුද්ධිමය පාර්ශ්වයක් මත භික්ෂුණී ශාසනය පිහිටුවීමේ ඍජු ප්‍රතිඵලය වූයේ පුරුෂ පක්ෂය හා සමානත්වයකින් සමාජයේ ඉදිරියට ඒමට හා සමාජ කාර්යයන් සඳහා සිය දායකත්වය ලබාදීමට කාන්තාවට අවස්ථාව හා ඉඩකඩ විවරවීමය.
භික්ෂු, භික්ෂුණී, උපාසක හා උපාසිකා යනුවෙන් සසුනේ අනුගාමික පිරිස පෙළ ගැස්ම මත සම අයිතිය වඩාත් තහවුරු වූ අතර මහණකම හා රහත් බව පවා ඇය හිමි කර ගැනීම නොහැකිය යන මතයට වඩා හැකියාවක් ඇත්තියක් ලෙසින් සමාජය තුළ ඉදිරියට ඒමට කාන්තාවට ශක්තියක්, පදනමක් ගොඩනැඟිණි. සඟමිත් තෙරණිය අනුස්මරණය කෙරෙන අදවන් දිනෙක කාන්තාවට බුදුදහමින් ලබාදුන් සමාජ අයිතීන් පිළිබඳ සාකච්ඡාවක් මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.
එමෙන්ම කාන්තා විමුක්තිය සඳහා ද සමාජමය වශයෙන් නව අර්ථකථනයක් ලබා දුන් ආගමක් ලෙසින් බුදු දහමට අද්විතීය ස්ථානයක් හිමිව ඇත. පුරුෂ පක්ෂයට පමණක් නොව කාන්තාවටද විමුක්තිය ලද හැකි බවත් පුරුෂ පක්ෂයට මෙන් භික්ෂුණිය හා උපාසිකාව යැයි තනතුරු ඇති කරමින් ඇයගෙන් ගිලිහී ගොස් තිබූ මානව අයිතීන් නැවත ලබා දෙමින් ඔවුනට ද සමාජය තුළ පෙරට ඒමට මං හෙළි කරන ලද්දේ බුදුදහම තුළිනි. බ්‍රාහ්මණ සමයෙන් මතු කළ අදහස් නිසා කාන්තාව අත්විදි දුක් අපමණය. කාන්තාවගේ බුද්ධිය ඇගයුමට ලක්වූයේ බුදුදහම තුළිනි. සමාජ අසධාරණත්වයට හා කම්පාවට පත්ව අනුකම්පා රහිතව මිය යාමට සිටි පටාචාරව, කිසාගෝතමිය, රජ්ජුමාලාව වැනි අසරණියන්ට අනුකම්පාවේ පහස ලැබ ශාසන දායාදයට උරුමකම් කියමින් විමුක්තිය මඟ හෙළි කර ගැනීමට හැකි වූයේ බුදුරජාණන් වහන්සේගේ අපරිමිත කරුණාවෙනි.
එදා කාන්තාවන් විඳි අපමණ දුක් කන්දරාව කුමක්ද? ඇයට සමාජ තුළ හිමිව තිබුණේ කුමන තත්ත්වයක් ද යන්න තේරුම් ගැනීමට සසුනට වැද මහණව සැනසුම් සුසුම් හෙළු ථෙරින්ගේ උදාන වාක්‍ය ඉතාමත් වැදගත්ය. එසේ දුක්විඳ මහණව සැනසුමට පත් තෙරණියක් තම යටගියාව මෙසේ සිහිපත් කරයි, “ මිදුනෙමි මිදුනෙමි මැනවින් මම මිදුනෙමි කුදු තුනකින් මම මිදුනෙමි මෝල් ගහෙන් වංගෙඩියේ හා කුදු ස්වාමියාගෙන් මිදුනෙමි මරණින් සසරින් හා බව තණ්හාවෙන් සැබැවින් මම මිදුනෙමි ඇය බුදුදහමේ පහස ලැබ වින්ද දුක්වලින් මිදීයමින් දැන් විඳින සැනසුම කුමක්ද යන්න මෙම උදානය පෙන්වා දෙයි. විමලා තෙරණිය ද තමාගේ අතීතය හා වත්මන මෙසේ පෙන්වයි, “ මේ සිරුර සරහා උමතුවන සේ මෝඩයින්ගේ සිත් උගුල ඇටවූ සේ බලා සිටියෙමි. නිවස ගණිකාවක්ව ඒ දක්වා රහස් නොරහස් තැන් පෙන්වා පැළදි අභරණ සිනහාවෙන් මායාවෙන් රැවැටුවෙමි බොහෝ මිනිසුන් ඒ මම...මුඩු කළේවෙමි හිස දැරුවෙමි මේ කසාවත් යැපෙන්නෙමි පිඩුවෙන් පසක් කළේ වෙමි නිවන අගපල” තරුණ ළඳක් ලෙස ගිහි කල ඇය වින්ද අපමණ වේදනාව මෙසේ කැටිකොට දක්වා ඇති අතර එම දිවියේ නිසරු බව හා මායාකාරි බවද ඇය පසක් කළ බව මින් හැඟ වේ. ස්වාමියාගේ අභාවයෙන් වැන්දඹු වු දරුවන් නැතිව අසරණ වූ කිසිවකුගේ පිළිසරණක් නොලද දොරින් දොරට වැද ලද දෙයින් සැනහි අපමණ දුක් වින්ද කතක් පටාචාරවන් හමුව දහම් අසා පැවිදිව විඳින සැප උදාන වාක්‍යයක් ලෙසින් මෙසේ මුදා හරියි” බඳුනක් හා සැරයටියක් අතැතිව වැන්දඹුවක් වී සිඟා දොරෙන් දොර ඒ සත් අවුරුද්දක් විඳි දුක් නිමා කොට නිවුනෙමි. තෙරණිය පටාචාරා “ ලඟ “ සැනසුම් සුසුම් හළන ආකාරය උදාන වචන තුළින් දක්වයි.
සෝමා තෙරණිය හමුවන මාරයා ඇයට මෙසේ ප්‍රකාශ කොට ඇත. “ඍෂීන් පත්වන තැනට දෑඟිලි පමණ නුවණක් ඇති ගැහැනියකට කෙසේ ළං විය හැකිද “ යන්නයි. ඒ ඇසූ සෝමා තෙරණිය “ නුවණ ඇති සිත එකඟ කර ගත හැකි නම් බණදහම් දන්නා කෙනෙකුට ගැහැනු කමින් කුමක් වේද” යන්න පෙන්වමින් පෙරළා මාරයාගෙන් ප්‍රශ්න කොට ඇත. ඉන් ද හැඟීයනුයේ පිරිහීගොස් තිබූ කාන්තාවගේ ආත්ම විශ්වාසය බුදුදහමින් කෙතෙක් දුරට පෝෂණය කොට තිබේ ද යන්නය.
ස්ත්‍රියකට වුවද ස්ත්‍රිමානසිකත්වයෙන් මිදී පුරුෂ මානසිකත්වයක් ඇති කරගත් විට පුරුෂභාවයක් ලද හැකි බව දීඝනිකායේ සක්ක පඤ්හ සූත්‍රය දක්වයි. මින් ඉසුමතු කෙරෙනුයේ කාන්තාවගේ මානසික ශක්ති පුරුෂයාට නොදෙවෙනි බවය. පුරුෂයෙකුගේ පරම මිතුරෙකු ලෙසින් තැනක් සිය බිරිඳට බුදුරදුන් විසින් හිමිකරදීම මගින්ද කාන්තාව පුරුෂ පක්ෂය අතර අවමානයට හෝ පහත් තත්ත්වයකට ඇදවැටීමෙන් ඇය මුදවා ගෙන ඇත.
එමෙන්ම මවක් ලෙසින් ගෞරවනීයත්වයක් ඇයට හිමිකරදීම තුළ කාන්තාවගේ සමාජ තත්ත්වය තව අතකින් ශක්තිමත් කොට ඇත. මව පියා සමානත්වයකින් යුතුකම ඉටුකළ යුතු අතර දරුවන් විසින්ද මව් පියනට සමානත්වයකින් පෙරළා ඉටු කළ යුතුය යන අදහස තුළද ගැබ් කොට ඇත්තේ මව පියා වශයෙන් වෙනසක් කළ නොකළ යුතුබවය. මවට එක ආකාරයකටත්, පියාට තව ආකාරයකටත් සැලකුම් දැක්වීමක් බුදු දහමින් අවධාරණය නොකරන අතර දෙදෙනාට සම අයිතින් හා සම සැලකුම් දැක්විය යුතු බව පෙන්වා දෙයි. එමෙන්ම පඤ්චානන්තිරිය කර්මයන්හි මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම සංඝභේදය බුදුරදුන්ගේ ඇඟේ ලේ සෙලවීම යන කරුණු එක සමාන දිට්ඨධම්ම අකුසල් ලෙසින් දැක්වීමෙන් මව පිළිබඳව සමාජ ආකල්පය වර්ධනය කරන අතර කාන්තාවගේ ගෞරවනීයත්වය ගැන සමාජමය දැක්ම තීව්‍ර කොට තිබේ.
ඇතැම් කාන්තාවන් බුදුරදුන් සමග ධර්ම සාකච්ඡා පවා පැවැත්වීම තරම් බුද්ධිමය වශයෙන් ඉදිරියට පැමිණි ආකාරයට නිදසුන් බෞද්ධ ඉතිහාසය තුළ අන්තර්ගතය. සැවැත්නුවර විසු සුමණා නම් කාන්තාව වෙනත් වෙනත් කාන්තාවන් පන්සිය දෙනෙකු සමග ජේතවනාරාමයට ගොස් බුදුරදුන් සමග ධර්ම සාකච්ඡා පවත්වා තිබේ.
කාන්තා සමාජය දෙස දයානුකම්පාවකින් බැලිය යුතු බව පසක් කරලීම අරඹයා ඇය විසින් විඳින ආවේණික දුක්ඛයන් පසක් ගෙන බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේ ආවේණික දුක්ඛ සූත්‍රයේදී පෙන්වා වදාළහ.
ඒ ආවේණික දුක්ඛයන්ගෙන් ඇය අනුකම්පා සහගත තැනැත්තියක් බවත් එබැවින් හිංසනයෙන් තවදුරටත් පීඩනයට පත් නොකළ යුතුය යන අදහසක් ඉන් ගම්‍ය කරයි. විශේෂයෙන් පුරුෂයන් ගෙන් ස්ත්‍රියට වන ගෘහස්ථ හිංසනයෙන් ඇය මුදවා ගැනීමට හා ඒමගින් ඇයගේ කායික හා මානසික සුවය ඇයට ලබාදීමටද මේ මගින් අපේක්ෂිතය. ඇය දරුවන්ගේ මෙන්ම ස්වාමියාගේ ද මවක් හා මිතුරියක් බවට පත්කිරීම මත කාන්තාවට සිය ගෘහය තුළ සාමකාමීව විසීමට මෙන්ම ඇයට ගෘහස්ථය තුළ වැඩි බලතල හා කාර්යය කොටසක් හිමි කරමින් ඇයගේ මානව අයිතින් සුරක්ෂිත කිරීමට මෙමගින් මං විවර කොට දී තිබේ.
සමාජය තුළ සුචරිතවත්ව ඉදිරියට ඒමටත් ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීමටත් සමාජමය වශයෙන් කාන්තාවගේ අයිතීන් සුරකීමටත් කටයුතු කළ යුතු ආකාරය කෙසේද යන්න පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් කර ඇති දේශනාවන් තුළින් පෙනෙන අතර එමගින් මානව ක්‍රියාකාරිත්වය උන්වහන්සේ වටහා ගනු ලැබුවේ කෙසේද යන්න ද පෙන්වා දීමට හැම තැන්හිම පුරුෂයන් පණ්ඩිත නොවන බවත්, ස්ත්‍රින් ද ඒ ඒ තැන්හි පණ්ඩිතයන් වන බව කළ දේශනය ඉතා වැදගත්ය.
බුදුරදුන්ගේ දේශනයන් තුළින් මෙන්ම ප්‍රායෝගිකව කාන්තාවනට ආගමික නිදහස හිමිකර දීමෙන්ද ඇය නුවණින් අඩු හැඳිමිටේ නුවණ ඇත්තියක් නොව නිවන ද පසක් කළ හැකි විචාර බුද්ධියෙන් හෙබි තැනැත්තියක් යැයි පෙන්වා දීමෙන් ඇයට සමාජයේ ගරුත්වයක් හිමිකර දෙනු ලැබීය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස
අධ්‍යයන අංශයේ මහාචාර්ය
හඟුරන්කෙත ධීරානන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ
දෙසැම්බර් 16 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ
ලිපියකින් උපුටා ගැනිමකි
No comments:
Post a Comment