නමෝ තස්ස භගවතෝ රහතෝ
සම්මා සම්බුද්ධස්ස
න තේන පණ්ඩිතො හොති
යාවකා බහුභාසති
ඛෙම් අවේරි අභයො
පණ්ඩිතො ‘ති පවුච්චති ‘
කාරුණික සුපින්වතුනි ,
තුන් ලොවක් දම් රසයෙන් සනහා වදාළ ශාන්ති නායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මයෙන් බිඳක් බුදුසරණ ධර්මදේශනා තුළින් කියවන්නට සූදානම් වන ඔබ භාග්‍ය වන්තයෙක්, වාසනා වන්තයෙක්, පුණ්‍ය වන්තයෙක් යැයි සිතන්න මක්නිසාද? ඔබ අප ලද දුර් ලභ මනුෂ්‍ය ආත්ම භාවයෙන් ඉඩ ලද ලද හැම මොහොතක ම පින් දහම් සිදු කර ගත යුතු වේ. අප ලද මේ මනුෂ්‍ය ජීවිතයේ වටිනා බව වචන වලින් කියා නිම කළ නොහැකිය. ඒ තරම් වාසනාවන්ත ජීවිතයකි, මේ ලබා තිබෙන්නෙ. එබැවින් ධර්ම ශ්‍රවණය කිරීම , දහම් දෙසීම , ධර්මය සාකච්ඡා කිරීම, සජ්ඣායනය , සහ භාවනාවකට සිත යෙදවීම තුළිනුයි නිවන් ලබා ගත හැකි වනුයේ. එම නිසා ධර්මය දේශනා කිරීම සාකච්ඡා කිරීම සසර දුකින් අතමිදීමට මහෝපකාරි වේ.
ලොව ඇති දසුන් අතුරින් බුදු රුව දැකීම උතුම්ම දැකීම වේ. ඇසුමෙන් උතුම් ම ඇසුම ධර්මය ඇසීමයි. ලොව ඇති උතුම් ම ලාභය වනුයේ සද්ධා සීල ත්‍යාග ආදි ධනයන්ගෙන් යුක්තව ක්‍රියා කිරීමය. උපස්ථාන කිරීම් අතුරින් උතුම්ම උපස්ථානය වනුයේ, බුදු පසේ බුදු මහරහතන් වහන්සේ වෙත උපස්ථාන කිරීමය. අපේ බුදුන් වහන්සේ යම් දිසාවකට වඩින්නේද ? ඒ වඩිනා මං මාවත් ඉතා පිරිසුදුව බාධක වලින් තොර වෙයි. එයට හේතුව පෙර පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධාතු චෛත්‍ය වෙත ගොස් පිරිසුදු කොට කොඩියක් පූජා කිරීමේ ආනිසංස වශයෙනි. ශීලයෙන් යුක්ත වීම උතුම් වේ. සිහිකිරීමෙන් උතුම්ම සිහිකිරීම බුදු ගුණ දහම් ගුණ , සඝ ගුණ සිහි කිරීම දිවා රාත්‍රී දෙක්හි සුවසේ වාසය කරන්නට සුවසේ නිදා පිබිදෙන්නට හේතු වන බැවින් මේ උතුම් ගුණ දම් ඇතිව ක්‍රියා කරන්නට උත්සුක වන්න.
අද ධර්ම දේශනය ධම්ම පද පාලියේ ධම්මට්ඨ වර්ගයේ තුන් වන ගාථා රත්නය වන න තෙන පණ්ඩිතො හොති යන ගාථා රත්නයයි ඉදිරිපත් කරනු ලැබුවේ. මෙම දේශනය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනු ලැබුවේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරේදියි.
බොහෝ කොට කථා කිරීමෙන් කෙනෙකු පණ්ඩිතයකු නොවේ. ක්‍ෂෙමි, අවේරි, අභය පුද්ගලයා පණ්ඩිතයකු බව දෙසු සේක. බොහෝ කොට කථා කරන්නා ‘අත්තුක්කංසන ‘ තමා උසස් යැයි තමාම පිරිස මැදට ගොස් කථා කරයි. පරවම්භන අනුන් පහත් කොට පිරිස මැදට ගොස් අනිකා හෙළා දකිමින් කථා කරයි. මෙවැනි අය පණ්ඩිතයන් නොවන බව අටුවාවෙහිද විස්තර කරනු ලබයි. ඛේමි යනු අනුන්ට උවදුරු නොකොට ක්‍රියා කරන්නාය.
“අවෙරි “ වෛර කිරීම දරුණූ දුක්ඛ විපාක ගෙන දෙන බව “සේරිවාණිජ” ජාතක කථාවෙන් මැනවින් පෙන්නුම් කැරේ. අවසානයේ දේවදත්ත අපා ගත වී දුක් විදින්නේ වෛර කිරීමේ දුක්ඛ විපාක වශයෙනි.
“ඉඳ ඉඳ එක වෙහෙර
විඳ විඳ දහම් මනහර
සිඳ බිඳ දුක් සසර
අනේ දෙව්දත් නුදුටු මොක් පුර
“ බුදුන් වහන්සේගේ ඥාති සහෝදරයා වුවත් දෙව්රම් වෙහෙරේ බුදුරදුන් සමග ජීවත් වුවත් අවසානයේ වෛරයෙන් ක්‍රියා කිරීම නිසා සසර දුකින් මිදෙන්නට දෙව්දත් තෙරුන්ට නොහැකි විය. “අභයෝ” අභය ලබා දීම සතුන්ට මෙන්ම තම මව්පියන්ට දරුවන්ට අසරණයන්ට සුවසේ නිදහසේ වාසය කරන්නට අවස්ථාව සලසා දෙන්නකි. එමෙන්ම එය ලොකු පින්කමකි. ගව ඝාතක , සත්ව ඝාතන ස්ථාන බිහිවී ඇත්තේ අභය නොදෙන නිසාය. එහි දුක් විපාක අප කාටත් විදින්නට සිදු වේ. එම නිසා බියට දුකට කරදරයට පත් අය මුදවා ගෙන සුවසේ වසන්නට අවස්ථාව සලසා දිය යුතු වේ.
සවග භික්‍ෂූන්ගේ නොදැහැමි අසංවරය නිසා ජනයාගෙන් පවා දෝෂ දර්ශනයට ලක් විය. භික්‍ෂුවක් ක්‍රියා කළ යුත්තේ ‘අප්පසන්නාං වා පසාදාය , පසන්නානං වා හීයො භාවාය ‘ යන බුදු වදනට අනුව නොපැහැදුන අයගේ පැහැදීම පිණිසත් පැහැදුන අයගේ පැහැදීම වඩාත් දියුණු වීම සඳහාත්ය. එදා චණ්ඩාශෝකයන් ධර්මාශෝකයන් බවට පත් වුයේ සත් අවුරුදු වියැති නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ ශාන්ත සුන්දර ගමන් විලාශය දැකීමෙනි. සේඛියා තුළින් භික්‍ෂු ජීවිතයේ ඇවතුම් පැවතුම් සංවරව සකසා ගන්නේ කෙසේදැයි පැහැදිලි කරදී ඇත. ඒ ආභාෂය ලත් අපේ ලාංකික බෞද්ධ ජනතාවද තම දරුවන්ටත් මේ අනර්ඝ වටිනාකම් ආහාර ගැනීමේ සිට උගන්වනු ලබයි. උසස් සිරිත් විරිත් කෙනෙකුගේ ජීවිතය ශෝබාමත් කරනු ලබයි. නිවන් මග පසන් කරනා තුරු අපේ දිවි මැදුර උතුම් ගුණ දහමින් ශක්තිමත් කර ගත යුතු වේ.
ඔබ සැමට උතුම් වු ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් මෙලොව සැපත් නිවන් සැපත් පිණිසම මෙම උතුම් දහම් දෙසුම පිහිට වේවා.
තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති
උඩුමලගල ශ්‍රී ආදිච්චවංස
පරිවේණාධිපති
යක්කලමුල්ල ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි, ශාස්ත්‍රපති
පලල්ලේ සරණජෝති හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2552 ක් වූ උඳුවප් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2008 ක් වූ
දෙසැම්බර් 19 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ
ලිපියකින් උපුටා ගැනිමකි
No comments:
Post a Comment