තමන්ට පිහිට තමාමය, වෙනත් කවරෙක් පිහිට වන්නේද? තමාම ම පිහිටකොට වාසය කරව්, අනුන් පිහිටකොට වාසය නොකරව්” “තමා ම තමා හට දුර්ලභ පිළිසරණ ලැබ ගනී.” “ඔබම වෙර දැරිය යුතුය. ශුද්ධිය සහ අශුද්ධිය තම තමන් ළඟය. අනෙකෙක් අනිකකු ශූද්ධ නොකරයි.”මේ සූත්‍රපිටකයේ සඳහන් වන බුද්ධෝපදේශක කීපයක සිංහල අනුවාදක කිහිපයකි. මනුෂ්‍යත්වයේ වගකීම, ශක්තිය හා අගය මෙම දේශනාවලින් මැනවින් ප්‍රකාශ වෙයි. කිසිදා කිසිවෙකුට තමන් දෙවියෙකු හෝ වෙනත් අදෘශ්‍යමාන බලමහිමයක ප්‍රතිඵලයක් වශයෙන් පෙනී නොසිටි, හඳුන්වා නොගත් බුදුරජාණන්වහන්සේ මනුෂ්‍යයකු වශයෙන් ප්‍රඥාවේ උත්තරීතර ශක්තියෙන් බුදු බව ලබා ගත්හ. ඒ බව ප්‍රකාශ කළහ. එහෙයින් මිනිසා කිසිවකුටත් ගැති නොවි ප්‍රඥාවෙන් ක්‍රියාකිරීම නිසා අරහත්භාවයට පත්වීමටත් ලොව දිනීමටත් සමර්ථ වන බව පෙන්වා දුන්හ. මෙසේ මනුෂ්‍යත්වයට ප්‍රමුඛතාවය දෙමින් දේශිත තථාගත ධර්මය මිනිසාට මිනිසා වටහාදෙන මිනිස් සමාජයට අර්ථවත් මෙන්ම ඵලවත් මිනිසකු තනාදෙන මිනිස්කම හඳුනා නොගත් මිනිසුන් නිසා මිනිසුන්ට නානාවිධ ගැටලු ප්‍රශ්නවලට මුහුණ දෙමින් අනර්ථකාරී අවැඩදායි ව්‍යසනවලට ගොදුරුවීමට සිදුවන හැටි පෙන්වා දෙන ධර්මයකි. එබැවින් එය විශ්වාසනික දහමක් මිස කණ්ඩායමකගේ හෝ වර්ගයක හෝ ප්‍රදේශයක සීමා නියමයක් ඇත්තෝ නොවේ. තිරිසනුන් හා ගස්කොළන් අතර එක් එක් ජාතිය හඳුනා ගැනීමට වෙන් වෙන් වූ ලක්ෂණ ඇතත් මිනිසුන් අතර වර්ණයෙන් හා හැඩරුවෙන් දක්නට ඇති වෙනස් කමක් හැරුනවිට ජාති වශයෙන් ගෝත්‍ර වශයෙන් හැඳින්වීමට පාදක වන කිසිඳු විසමතාවක් නොමැති අතර ජාති වශයෙන් මිනිසා එකම මිනිස් ජාතිය බවත් ප්‍රකාශ කළ තථාගතයන් වහන්සේ, ඔවුන්ට පොදුවේ මුහුණ දීමට සිදුවන දුක්කම්කටොළු වටහා ගැනීමෙන් මිනිසත්බවේ උපරිම ඵල ලබාගැනීමට හැකි බව පැහැදිලි කළහ. විමුක්ති මාර්ගයක් වූ බුදුදහම ලොවට බලපාන පොදු මිනිස් දුක් තරණයකොට විමුක්තිය සලසා ගැනීමට මඟ පෙන්වා තිබේ. තමන් වහන්සේ විමුක්තිදායකයෙකු වශයෙන් මිනිසුන් අතර පෙනී සිටීමට තැත් නොකළ අතර, විමුක්ති මාර්ග ප්‍රකාශකයෙකු වශයෙන් මඟ පෙන්වීමට තථාගතයන් වහන්සේගේ කාර්යය වන අතර එහි ක්‍රියාත්මකවීම තම තමන් සතු කාර්යයන් බව පැහැදිලිවම ප්‍රකාශ කොට තිබේ.
මෙහිලා මිනිසාගේ ප්‍රඥාවට මුල් තැන දුන් උන්වහන්සේ මාර්ග විනිශ්චයෙහි බුද්ධිමත්වීම අන්ධ විශ්වාසයෙන් අනුන් පසුපස හඹායාමට වඩා ශ්‍රේෂ්ඨ බව පෙන්වා දී ඇත. ලෝක ප්‍රවෘත්තියෙහි දක්නට ලැබෙන හොඳ නොහොඳ විනිශ්චයට ඇති හොඳම නිවැරැදි බුද්ධිමත් විචාරය මිස අනිකක් නොවේ.
එහෙයින් උන්වහන්සේ ප්‍රසිද්ධියේම ප්‍රකාශකොට වදාළේ යම් අවස්ථාවක යමක් පිළිබඳව මෙය අයහපත්ය. වරද සහගතය,අකුසල්ය කියා තමන්ටම වැටහේනම් එය කළ යුතුය. බැහැර කළ යුතුය. යමක් පිළිබඳව මෙය යහපත්ය. නිවැරැදිය. කුසල්ය කියා තමන්ටම වැටහේනම් එය සමාදන් විය යුතුය. දියුණු කළ යුතුය කියායි. බුදුදහමින් ප්‍රකාශිත කුසල්,අකුසල්, පින්, පව්,හොඳ ,නොහොඳ පිළිබඳ අවබෝධය අවශ්‍ය වන්නේ පුද්ගලයාගේ මෙන්ම සමාජයේ පවත්නා පාරිශුද්ධිය ගොඩනැඟීම සඳහාය. පුද්ගල පැවැත්මේ අපවිත්‍රතාව ඔහුගේත් සමාජයේත්, අනර්ථය සඳහා හේතුවෙයි.අපවිත්‍ර සමාජය යහපත් ජීවිතයකට ඇති මහත් අවාසනාවයි.
මේ අනුව පින් පව් දැන හැඳිනගෙන ජීවත්වීමෙන් පවත්නා පාරිශුද්ධියට පත්වන මිනිසා ලෝකය ජීවිතය පිළිබඳ සැබෑ තතු දැනගැනීමට සිත මෙහෙයවයි. ඔහුට නුවණ පෑදෙයි. ඇතිතතු වසන් කර ගනිමින් නොනැවතී දිගින් දිගටම යන දුක් දොම්නස් සමුදායක පැටලී සිටින බව තේරුම් ගනී. ආශා, ද්වේශ, මෝහයන් සිඳ බිඳ දමා විමුක්තිය ලබයි.
සබ්බපාපස්ස අකරණ
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධානසාසනං
සියලු පව් බැහැර කිරීම, සියලු කුසල් රැස්කිරීම, තම සිත පිවිතුරු කිරීම යන මෙය බුදු වදනයි. පව් බැහැර කොට පින් රැස්කරන මිනිසාගේ විමුක්තිය එතැනය. එසේනම් බුදුරජාණන් වහන්සේගේ මඟපෙන් වන්නේ පාරිශුද්ධියත් විමුක්තියක් සඳහාය. බුදුරදුන් පෙන්වාදුන් මේ පිළිවෙත් මඟ තවුස් ජීවිතයක් ඇති බව අනුකරණය කළයුත්තක් නොවන බව මින් පැහැදිලිවන තවත් කරුණකි. හරවත් ඵලවත් මිනිස් දිවියක් ගොඩනැඟීම බුදුදහමෙන් ඉටුවන කාර්යය නිසා එය පැවිද්දන් සඳහා පමණක් වෙන් වූ ධර්මයක් වශයෙන් හෝ පැවිදි නොවී බුදුදහම පිළිපැදීම අසීරුවෙන් හෝ සිතීම මුළාවක් පමණකි.
වරක් බුදුරදුන් හමුවට පැමිණී වච්ඡගොත්ත බ්‍රාහ්මණයා “ස්වාමිනි , මඟඵල ලබාගත් බ්‍රහ්මචාරිය ගිහි උපාසකවරු , උපාසිකාවරු එසේම කාමභෝගී ගිහි උපාසකවරු, උපාසිකාවරු සිටියේද?” කියා උන්වහන්සේගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ වදාළේ “වච්ඡ , එක්කෙනෙක් නොවෙයි, සීයක් දෙසීයක් නො වෙයි. තුන්හාරසියකිනුත් නොවෙයි. පන්සීයකුත් නොවෙයි. ඊටත් වඩා බොහෝම වැඩිය” කියායි. වච්ඡගොත්ත සූත්‍රයේ සඳහන් මේ පුවතෙන් බුදුදහම පිළිපැදීමට බාධාවක් නොවන නමුත් ධාර්මික ගිිහි ජීවිතයක් ප්‍රගුණ නොකිරීමෙන් තමන්ටත් අනුන්ටත් සිදුකළ හැකි අනර්ථය සුළුපටු නොවෙයි. එබැවින් මිනිස් අගයෙන් පිරුණු ගිහිජීවිත ගොඩනඟාගැනීමට බුදුදහමෙහි දක්වා ඇති උපදෙස් පිළිපැදීම විමුක්තිය සඳහාත් පදනම් වෙයි.
චරිතශුද්ධිය, සදාචාරය , සංවරය පිළිබඳව බුදුදහමේ දැක්වෙන ප්‍රතිපත්ති දෛනික ජීවිතයට සම්බන්ධකොට ගැනීමෙන් සමාදන්වීමෙන් ආත්මාභිවෘද්ධිය පමණක් නොව, උසස් සමාජ සංග්‍රහයක්ද සපුරාලිය හැකිය. පංචශීලය මෙහි පදනමයි. පන්සිල් ඇතිව ජීවත්වන්නා සමාජයට හිංසකයෙකු, කරදරකාරයෙකු නොවන අතර, මෙත් කරුණාව ඇති පි‍්‍රයමනාප පුද්ගලයෙක් වෙයි. ඔහු මෙලොව දියුණුව සඳහා අවශ්‍යයෙන්ම උත්ථානවීය¸ය, ආරක්ෂාව, කල්‍යාණමිත්‍රතාව, සමජීවිකතාව ළඟා කරගත යුතුයි. දැහැමි ජීවන වෘත්තියක යෙදීම, උපයා සපයාගත් දේ ආරක්ෂාකර ගැනීම, ගුණනුවණින් දියුණුවීම ,ජීවිතය සමබරව පවත්වා ගැනීම සඳහා මේ සිවුවැදෑරුම් ගුණාංග මහෝපකාරි වෙයි.
වස්තුවක් තිබීම, ඉන් ප්‍රයෝජන ගැනීම, ණය නැති බව, සපයාගත් දෙයෙහි ධාර්මික බව, කම්සැප විඳින ගිහියාට ඇති සැප හතරයි. සුවපත්ව සමාජ ජීවිතය ගෙවන ඔහු කිසිවිටෙකත් අගතියට නොයා යුතුය. අගතිගාමි බව තරම් සමාජ අසාධාරණයක් හෝ දූෂණයක් නැති තරම්ය. අගතිය පිටුදැක සිව්සඟ රාවතින් යුතුව ක්‍රියාකිරීමෙන් පමණක් සාමකාමී සහජීවනයෙන් පිරුණු සමාජ ප්‍රවර්තනයක් සිදුවේ. සමෘද්ධිමත් සමාජයකට දායකත්වය දිය හැක්කේ මව්පිය, දූදරු, ගුරු, ශිෂ්‍ය, ස්වාමි භාය¸, ස්වාමි සේවක, ගිහි පැවිදි වශයෙන් පවත්නා සාමාජික තත්ව වටහාගෙන ඔවුන් වෙත පැවරී ඇති යුතුකම් හා වගකීම් නොපිරහෙලා ඉටු කිරිමෙනි. මේ පිළිබඳව බුදුදහමේ දක්වා ඇති කරුණු බොහෝය.
කෙසේ හෝ වස්තු රැස්කිරීම බුදුදහම අනුමත නොකරයි. එය කළ යුත්තේ ධර්මයෙන් හා ශ්‍රමයෙනි. සූදුවෙන්, වංචාවෙන් , කූටකමෙන් අධර්මයෙන් සම්පත් ලැබිය හැකි නමුත් ඒ සඳහා මිනිසා ස්වකීය සාරධර්මයන් හාරා ඉවත දැමිය යුතුය. එය මනුෂ්‍යත්වයේ හාස්කමක් නොව පහත්කමකි. වස්තුවෙහි අර්ථයක් තිබේ. එය පරිභෝගයත් පරිත්‍යාගයත්ය. තමන් අඹුදරු , මාපියන්, හිතමිතුරන්, කම්කරු, මෙහෙකරුවන්, පිනවීම, ඉටුකළ යුතුය. ආපදා විපත් සඳහා වෙන්විය යුතුය.ආගන්තුකයන්, ඥාතීන් , මියගිවුන් සඳහා මෙන්ම අයබදු, ආගමික කටයුතු සඳහාද වැය කළ යුතුය. පුද්ගලයා, පවුල, සමාජය,අන්‍යෝන්‍ය වශයෙන් බැඳි පිබිදී ක්‍රියාකිරීමට හේතුවන මේ ඉගැන්වීම්වලින් කෙතරම් උසස් ගුණාත්මක මිනිසෙකු තැනීමට රුකුල් ලැබේදැයි හොඳින් පැහැදිලි වේ.
පසුතැවිල්ලට හේතුවන ජීවිතයක් ගතකරන මිනිසකු දැකීම බුද්ධ ධර්මයේ අභිප්‍රාය නොවේ. තෘප්තිමත් ජීවිතයක් ගොඩනඟා ගැනීමට නිරන්තර උපදෙස්දීම එහි පිළිවෙළයි. මක්නිසාද? මිනිසත්බව එතරම්ම දුර්ලභ වස්තුවකි. රත්නයකි. ජනයන්ධ ජාතකයෙහි පසුතැවීමට හේතුවන කරුණු දහයක් දක්වා තිබේ. යෞවනයෙහි මතුවට ප්‍රයෝජනවත් සම්පත් හම්බ නොකිරීම, ඉගෙනගන්නා වයසෙහි ඒ සඳහා උත්සාහ නොකිරීම, බොරු කේලම් කියමින්, චණ්ඩිකම් කරමින්, අල්ලස් කප්පම් ගනිමින් ජීවත්වීම , සත්ව ඝාතන, හොරකම් කිරිම, කාමමිථ්‍යාචාරය ඇතිවත් දන්සැල් නොදීම, නැතිවත් මව්පියන් වැඩිහිටියනට සංග්‍රහ සත්කාර නොකිරීම, පියාට අවමන් කිරීම, සිල්වතුන් ගුණවතුන් නැණවතුන් ඇසුරු නොකිරීම, සුචරිතයෙහි නොයෙදීම යනු ඒ දහයයි. මෙවන් පසුතැවීමක් නැත්නම් අපේ ජීවිතය කෙතරම් පිරුණු රසවත් එකක්ද? පිරුණු ජීවිතයකින් මිනිසුන් බහුමානයට පත්කොට ඔවුන්ට සැනසීම ලබාදීම මේ පිළිවෙත් මාර්ගයෙහි අපේක්ෂිත අර්ථයයි.
කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති
බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරි
මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ ඇසළ පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජූලි
31 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ
ලිපියකින් උපුටා ගැනිමකි
No comments:
Post a Comment