Labels

Sunday, July 26, 2015

සමාධිගත සිත


මේ මිහිපිට දෙපයින් නැගී සිටින සෑම මනුෂ්‍යයෙක් ම බාහිර පාට සුදු, කළු නම් හා ඉපදුනේ අතුපැළක, මහ මැදුරක වූවත් සිතෙහි හික්මීමක් සීලයක් ඇති කර ගත්තොත් මනුෂ්‍යයන් අතර යහපත් වූ ම චරිතයක් ඇති මනුෂ්‍යයෙක් ලෙස ජීවිතය පවත්වාගත හැකියි.

මේ හික්මීම මනසෙහි ඇති වුණාම සීලයෙන් පැහැදිලි කරන කායික, වාචසික සංවරයෙන් ද යුක්ත වෙනවා. මේ සිතෙහි හික්මීම ඇතිවන විට ජීවිතය ගැන මැනවින් නිවැරැදි බව තේරුම් ගන්නට තරම් ශක්තියක් සැකසෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ ලෙස ජීවිතයේ දියුණුවට හේතුවන සිතෙහි හික්මීම පිළිබඳව හෝ සිත හික්මවාගෙන කටයුතු කිරීම පිළිබඳව යුතුකම් නමින් සිඟාලෝවාද සූත්‍රයේ, ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ, මංගල, පරාභව, වසල සූත්‍රවල දේශනා කළා සේම ලෝකෝත්තර දියුණුව වෙනුවෙන් මේ සිතේ ඇතිවන හික්මීම සමාධිය, ප්‍රඥාව හැටියට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නා. මේ නිසයි භාග්‍යවතුන් වහන්සේ සීල, සමාධි, ප්‍රඥා යනුවෙන් මෙහි දී පැහැදිලි කළේ. හික්මීම පිළිබඳව සඳහන් කරන විට කායික, වාචසික, සංවරයත්, ඉන් අනතුරුව සිතේ ඇතිවන හික්මීමත් පැහැදිලි කළා. මේ සිතයි, කයයි, වචනයයි තිදොරම මනා කොට හික්මීම නිසා ඇතිවන්නේ සමාධියයි. භාවනාව මේ හික්මීමේ උපරිම අවස්ථාව සලසා දෙන ගමන් මාර්ගයයි.
‘ භාවේති කුසල ධම්මේ වඩ්ඩේති ඒතායති’ කුසල ධර්ම සිතේ වැඩීම තමයි භාවනාව කියල කියන්නෙ. කුසල ධර්ම සිතේ වැඩෙනවා කියල කියන්නෙ මේ සිත සංසුන් වෙනවා කියන එකයි. සිත නොසන්සුන් කරන ලෝභ, දෝෂ, මෝහයන්ගෙන් හටගන්නා පස් පව් දස අකුසල් බැහැරවීම යනුයි කුසල ධර්ම සිතේ වඩා ගැනීම යනුවෙන් අදහස් කරන්නෙ.

 කුච්ජිතේ පාපකෙ අකුසලෙ ධම්මෙ
චලෙන්ති, කම්පෙන්ති, විද්වංසෙන්’

සිතේ හටගන්නා පාපී ලාමක අකුසල ධර්ම සොලවා කම්පාකොට මුළුමනින් ම බැහැර කිරීම කුසල නම් වේ.
එහෙම නම් අන්න එවැනි කුසල් මේ සිතේ සකස්වීම භාවනාව යැයි සඳහන් කළා. එනම් සිත සංවරවීමට පැමිණෙනවා. කායික වාචසික සංවර වීමට පැමිණෙනවා. මේ සංවර බව නිසා කුසලය නිසා සංවර බව ඇතිවීමෙන් ‘ආරොග්‍යට්ඨෙන කුසලං’ ඒ කුසලය නිසා සිත නීරෝගී බවට පත්වෙනවා. එනම් සිත සුපසන් වීමයි. හික්මීමයි. සංවර බවට පත්වීමයි. දැඩි ආශාවන් නිසා ද්වේෂය නිසා තරහව නිසා රාගය නිසා හෝ වේවා සිත ගිලන් වුණොත් කුමක් ද වෙන්නෙ? සිතා ගන්න බැරි දේවල් ඔය සිතෙන් සිතාවි. සාමාන්‍ය මනුෂ්‍යයෙකුට කියන්න බැරි දේවල් පවා ඔය වචනයෙන් පිට කරාවි. සද්පුරුෂ මනුෂ්‍යයෙකුට කරන්නට බැරි හෝ නොකළ යුතු දේවල් ඔය අත්දෙකෙන් කරන්නට පටන් ගනී. ඒ විතරක් නොවේ ගිලන් වූ සිතෙන් බලාගත් අත බලාගෙන සිටියි. සා පිපා සා කුසගින්න දැනෙන්නෙ නැහැ යැයි තමා ම දුක්විඳිනවා පමණක් නොවෙයි තම ජීවිතය නසා ගන්නටත් උත්සාහ කරාවි.
සමාධියෙන් කායික, වාචසික, මානසික සංවරය සකස්වන විට මේ සිත නීරෝගී බවට පත්වෙන විට දුර්ලභව ලැබූ මනුෂ්‍ය ජීවිතය යහපත් ලෙස තමන්ටත් ප්‍රීතිමත් ලෙස දැනෙන්නට පටන් ගනී. බාහිර ලෝකයා දැඩි ආශාවන්ගෙන් වස්තු අල්ලගන්න දුවනකොට, අල්ලාගෙන ඒවා රැක ගන්න දුක්විඳින කොට, වෙහෙසෙනකොට සිතේ හික්මීමක් තිබෙන සිත නීරෝගී මනුෂ්‍යයෝ සතුටින් නිදාගන්න හැටි සතුටින් නැගිටින හැටි තුන්වේලක් නොව එක වේලක් ලැබුණු ආහාර වේල සතුටින් භුක්තිවිද කායික නීරෝගීව සිතේ සතුටින් ජීවත්වන හැටි ඔබටත් දැක ගන්නට පුළුවනි.
මේ නිසයි ධර්මයේ පැහැදිලි කරන්නෙ ස්වභාවයෙන් අපට ලැබුණු මේ කය ගිලන් වෙන්නට පුළුවනි. හැබැයි සිතේ සංවරය, හික්මීම සමාධිය උගන්වන තැන භාවනාවෙන් උගන්වන ආකාරයෙන් ඇති කර ගත්තොත් කය ගිලන් වුණත් සිත ගිලන් කර ගන්නෙ නැතුව සතුටින් ම ජීවිත් වෙන්නට පුළුවනි. ‘අනවජ්ජට්ඨෙන කුසලං’ මේ සිත නිවැරැදි කරනවා යන අදහසයි. මේ සිත නොහික්මුණාම සිත වැරැදි දේට පෙළඹෙනවා. සිත හික්මුණාම සිත නිවැරැදි වෙනවා.
සාමාන්‍ය ලෝකයා කියන මිල මුදල් කෝටියක් දෙනවා කිව්වත් තමන්ට මුදල් නැති වුණත් පැළක හිටියත් ඔය වැරැදි දේ මම කරන්නෙ නැහැ. මේ ලෝකයේ කිසිවක් සාදාකාලික, ස්ථිර නැහැ. ඔය කිසිවක් අරගෙන යන්නෙ නැහැ. තාවකාලික කෙටි කාලයකට පස් පව් කරල මොනවා ලැබුවත්, සංසාර ගමනෙ සතර අපායේ ඉපදිලා කල්ප ගණනාවක් දුක් විඳින බවයි. නෑ නෑ ඔය වැරැද්ද මම කරන්නෙ නැහැ. හොඳ නරක තේරුම් ගන්න තරම් සිතේ නිවැරැදි භාවයක් ඇති කර ගන්නට පුළුවනි. කෙලවර බලවත් වූ කුසලයක් නිසා ලැබූ දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයේ උතුම් බව මනුෂ්‍යත්වයක් ලැබූ මනුෂ්‍යයෙකුට කිසි විටකවත් අමතක වෙන්නෙ නැහැ.
අවසානයේ දක්වනවා භාවනාවෙන් සමාධිය හොඳින් වැඩෙනකොට කයයි, වචනයයි, සිත හික්මිල ‘කෝසල්ල සම්භූතට්ඨේන කුසලං’ එනම් මේ සිත ඉතාම දක්ෂ බවට පත්වෙල පාපයෙන් වැළකී කුසල් මාර්ග අනුගමනය කරන්න තරම් ශක්තියක් ඇතිවෙනවා.
දැන් ඔබට පැහැදිලි ඇති හික්මුණු කයක්, වචන හා සිත් ඇති මනුෂ්‍යයෝමයි දියුණුවට පත්වන්නෙ කියා. ඒ හික්මුණු සිත තමාට අවශ්‍ය මාර්ගය සකසා ගන්නවා. ස්වභාවයෙන් නමුත් සිතට ගලාගෙන ආවත් වැරැදි වූ කෙලෙස්, වැරැදි වූ සිතිවිලි ඒවා බලවත් ලෙස මැඩපවත්වාගෙන මේ හික්මුණු සිත කෙලෙස්වලින් බැහැරව තමාට ඕන ආකාරයෙන් යහපතට අනුව මේ සිත හසුරුවා ගන්නවා.
ලෞකික ජීවිතයේ දියුණුව පිණිසම කටයුතු කරන්න මේ සිත දක්ෂයි. නොහික්මුණු සිතට මගක් නැහැ. අරමුණක් නැහැ. ස්වභාවයෙන් ලැබුණු ආශාවන්ට තරහවට අසුවෙලා විනාශයට යනවා. හික්මුණු සිත හොඳ නරක තේරුම් ගන්නා විට ධෛර්යයෙන් තමාගේ අරමුණට යනවා. මනාසේ ඉගෙනගත්, උගත් චරිතවල ලක්ෂණ හොයල බලන්න. ලෝකයේ දියුණුවට පත් ජීවිත ගැන සොයා බලන්න. ඔවුන්ගෙ කතාව ඔවුන්ට වැටහෙන ආකාරයෙන් පැවසුවහොත් මේ ආකාරයි. ‘මට එක අරමුණක් තිබුණ පුංචි තැනකින් පටන්ගෙන ලොකු තැනකට එන්න ඕනෙ කියල. ඒ නිසා සමහර විට නොකානොබී සිටියා. කිසිම හේතුවක් නිසා මගේ සිත කලබල වුණේ නැහැ. ප්‍රශංසා ඉදිරියේ වගේ ම අනුන්ගේ ඇනුම්, බැනුම් ඉදිරියේ මම කම්පා වුණේ නැහැ. මගේ සිතේ හික්මීම නිසා කලබල නොවී අෂ්ඨ ලෝක ධර්මයෙන් කම්පා නොවී මම අරමුණට ආවා. මට ඕන වුණේ යහපත් වූ මනුෂ්‍යයෙක් වෙලා යම් වූ ද සේවාවක්, යහපතක් කරන්නයි. හික්මුණු සිතක් ලෞකික ජීවිතයේ වගේ ම ලෝකෝත්තර වශයෙනුත් මහත් වූ දියුණුවකට පත්කරන බව ඉතාම පැහැදිලියි. ඒ නිසා ලෝකෝත්තර දියුණුවකට ගමන් කළ සමාධියට නම් මෙන්න මේ ඔස්සේ දර්ම මාර්ගයේ ගමන් කරන්නත් චතුරංග වීර්යයෙන් ඇට මස් නහර වියලී සිදී ගියත් මගේ අරමුණ වෙත මම ගමන් කරනවා කියන තැනට පැමිණීමට හික්මුණු බවක් ශාන්ත බවක්, සංවර බවක් අවශ්‍යමයි.
ඔබට සඳහන් කළොත් මේ හික්මීම කියන්නෙ ජීවිතය අකර්මන්‍ය වීමක් නෙමෙයි. දුර්වල මනුෂ්‍යයෙකුගෙ ස්වභාවයක් ද නොවෙයි. යහපත් වූ දක්ෂ වූ මනුෂ්‍යයකුගේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කරන හොඳ නරක තේරුම් ගන්නා වූ මනුෂ්‍යයෙකුගේ ස්වභාවයයි. හික්මුණු මනුෂ්‍යයෝ ලෝකය සුපසන් කරනවා නිවන් මඟ ඒ කෙළවර අරමුණ දක්වා ම ගමන් කරනවා. භාග්‍යවතුන් වහන්සේ මේ නිසා භාවනාවේ ඉදිරියට යන කොට පරිකර්ම, උපචාර, අර්පණ වශයෙන් කාමාධි අකුසල ධර්ම යටපත් කරගෙන ඒ කුසලයට ම බැස ගෙන කුසලයම විමසා බලමින් කායික හා මානසික ප්‍රීතිය සුඛය මනා කොට විදිමින් ඔවුන් ඔවුන්ගේ ජීවිතය සුපසන් කරගන්නෙ ධ්‍යාන අවස්ථාවක් යැයි සඳහන් කළේ මේ අවස්ථාවයි. ඒ නිසා ලෞකික වශයෙනුත් ලෝකෝත්තර වශයෙනුත් දියුණුවට මේ හික්මීම අවශ්‍යයයි.
ලෞකික වශයෙන් කල්පනා කරමින් වර්තමාන පරිසරයෙහි හික්මීම සංවරය අපි හැම කෙනෙකුට ම අවශ්‍යයයි. මුලින් ම සඳහන් කළා වගේ බුදු දහමින් බලාපොරොත්තු විය යුතු උතුම්ම ප්‍රයෝජනය ලැබිය හැක්කේ එවැනි හික්මීමක් ඇති වූ විටයි.
භික්ෂූන් වහන්සේ නමක් වූවත් සතර ඉරියව්වේදී ම පැවිදිවීමට හිතාගත්, අරගත්, අරමුණ, පැවිදි වූ අරමුණ අමතක නොකොට හැසිරීම, කතාබහ, ඉරියව් ඇවතුම් පැවතුම් සියල්ල ම මනා වූ හික්මීමකින් යුතුව කටයුතු කළ යුතුමයි. ශාසනික ඇවතුම් පැවතුම්වලට ගැලපිය යුතුමයි. වර්තමාන පරිසරය මොන හේතු දැක්වූවත් එහෙත් තමා පැවිද්දෙක් නොවේ දැයි යන අරමුණ දස ධර්ම සූත්‍රයේ දී පැහැදිලි කළ ආකාරයෙන් ‘ අඤ්ඤො මේ ආකප්පෝ කරණීයෝ හෝති’ ගෘහස්ථ අයට වඩා පැවිදි වූ ජීවිතයක ආකල්ප, සිතුම් පැතුම්, ඇවතුම් සංවරබවෙන්, විනයෙන්, හික්මීමෙන් යුතුව සිදුවිය යුතු යැයි ගිහි අයට වඩා වෙනස් වීමක් සිදුවිය යුතුයැයි දැන ඒ පැවිදි ජීවිත ගත කළ යුතුමයි.
ගෘහස්ථ ජීවිතවලත් හැම මොහොතක් පාසාම අපේ ජීවිතවලින් ආයුෂ, ජීවත්වීමේ කාලය අඩුවේගෙන යන බව දැන ලෙඩදුක්වලට උරුම වූ මරණය සොයාගෙන යන මේ ජීවිතයේ හැබෑවට ම සංතෘෂ්ටිය, සැනසිල්ල, හික්මීම, සමාධිය අවශ්‍යයයි.

 බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම්
සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි






 ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ ඇසළ පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජූලි 24 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි

No comments:

Post a Comment