Labels

Saturday, July 18, 2015

නිදහසට මඟ කියන සුචරිත චාරිකාව

 

බුදුවරයන් වහන්සේගේ පිළිවෙත නම්, පිඬුසිඟා වැළඳීම යි. බුද්ධ පුත්‍රයන් වන භික්ෂූන් ගේ පිළිවෙත ද එය විය යුතු ය. එහෙත් ලංකාවේ භික්ෂූන් වහන්සේ පිණ්ඩපාතයෙහි වඩිනු දැකිය හැකි වන්නේ, කලාතුරකිනි. ඇතැම් විට සංවිධානාත්මකව ප්‍රදර්ශනයක් වශයෙන් පිණ්ඩපාත පින්කම් පැවැත්වෙන අයුරු ජනමාධ්‍ය ඔස්සේ දැකීමට හැකි ය. එහෙත් තායිලන්තය, මියන්මාරය වැනි රටවල භික්ෂූන් දිනපතා පිණ්ඩපාතයෙහි වඩින අයුරු දැකිය හැකි ය. පිණ්ඩපාතයෙන් ජීවත්වීමේ ආනිශංස බොහොමයක් ඇත.

ධම්මං චරෙ සුචරිතං
නතං දුච්චරිතං චරෙ
ධම්මචාරී සුඛං සෙති
අසමිං ලොකෙ පරම්භිච


සුචරිත ධර්මය පුරුදු කළ යුතුය. ධර්මයෙහි හැසිරෙන පුද්ගලයා මෙලොව පරලොව දෙකෙහිම සුවසේ කල් ගෙවයි’ අප තිලෝගුරු බුදුහිමියන් වහන්සේ මෙම ධර්ම පාඨය දේශනා කළේ තමන් වහන්සේගේ ජන්ම භූ®මිය වූ කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයේදී තම ආදරණීය පියාණන් වූ සුද්ධෝදන රජතුමා නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු වශයෙනි.

බුද්ධත්වයෙන් වසර දෙකකට පසු අංග, මගධ, රටවල් දෙකෙන් පැවිදි වූ දස දහදසක් සහ කිඹුල්වත් පුරයෙන් පැමිණ පැවිදි වූ දස දහසක් සමග විසි දහසක් වූ රහතන් වහන්සේ පිරිවරාගෙන කිඹුල්වත්පුර බලා පිටත් වූ සේක. අතරමගදී බොහෝ දෙනෙකුට දහම් දෙසමින් පා ගමනින්ම දවසකට යොදුන බැගින් වැඩම කොට වෙසක් පසළොස්වක දින කිඹුල්වතට වැඩම කළහ. මෙහිදී මානාධිත ශාක්‍යයන් දමනය කිරීම පිණිස යමා මහ පෙළහැර පාන ලදී. මෙම මහා ප්‍රාතිහාර්ය දුටු සුද්ධෝදන පිය මහරජතුමා තුන්වැනි වතාවට තම පුතාට වැන්දේ ය. මානාධික ශාක්‍යවංශිකයෝද උන් වහන්සේට වැන්දෝ ය. එම අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ ඔවුන්ට වෙස්සන්තර ජාතකය දේශනා කළහ. එම දේශනාව අසා සතුටට පත් වූ ඔවුන්ට පසුදින දානය සඳහා බුදුහිමියන්ට ඇරැයුම් කිරීමට අමතක විය.
පසුවදා බුදුහිමියෝ විසි දහසක් රහතන් වහන්සේ පිරිවරාගෙන කිඹුල්වත් පුරයේ ගෙපිළිවෙළින් පිඬුසිඟා වැඩි සේක. නගරවාසීන් බුදුහිමියන්ගේ මෙම ක්‍රියාව දැක පුදුමයෙන් බලා සිටි අතර, මෙය දැනගත් යසෝදරාව වහාම සුද්ධෝදන රජතුමා වෙත ගොස් ‘මයිලනුවනි, ඔබගේ් පුතා නගරයේ වීදිවල පිඬුසිඟමින් සිටියි’ යනුවෙන් පැවසුවා ය. මෙම කාරණය ඇසීමෙන් කලබලයට පත්වූ රජතුමා සළුපිළි අඳිමින් බුදු හිමියන් වෙත පැමිණ ස්වාමිනි පිඬුසිඟා යදිමින් අපට ලජ්ජා කරන්නේ කුමට ද? ඔබ වහන්සේ ඇතුළු සියලු භික්ෂූන් වහන්සේට රජ ගෙදරින් ආහාර ලැබීමට පුළුවන්’ යනුවෙන් ප්‍රකාශ කළේ ය. එවිට බුදුහිමියන් ‘මහරජ, මෙ අපගේ වංශයේ සිරිත’ යැයි වදාළ සේක. ‘ස්වාමීනි, අපේ වංශය නම් මහා සම්මත ක්‍ෂ්ත්‍රිය වංශය යි’. අපේ වංශයේ කවුරුන් හෝ පිඬුසිඟා ඇවිද්දේ නැහැ.’ ‘මහරජ, ඒ ඔබගේ වංශය යි. අපගේ වංශය නම් දීපංකර, කොණ්ඩඤ්ඤ ආදී බුදුවරයන්ගේ වංශය යි. ඒ බුදුවරු විතරක් නොවෙයි එයට පෙර සිටි සිය දහස් ගණන් බුදුවරු පිඬුසිඟා වැළඳීමෙන්ම දිවි පවත්වා ගත්හ’ යනුවෙන් දේශනා කර වීථිය මැදදීම රජතුමාට ඉහත සඳහන් ගාථාවෙන් ධර්මය දේශනා කළ සේක. ‘නැඟී සිටින්න, ප්‍රමාද නොවන්න, සුචරිතය ඇතිකර ගන්න. ධර්මයට අනුව හැසිරෙන පුද්ගලයා මෙලොව ද පරලොව ද සුවසේ වාසය කරයි’ යන අදහස ඇතුළත්

‘උත්තිට්ඨෙ නප්පමජෙජ්‍ය
ධම්මං සුචරිතං චරෙ
ධම්මචාරී සුඛං සේති
අස්මිං ලොකේ පරම්හිච


යන ගාථාව දේශනා කළහ. ඉන් පසුව රජතුමා බුදුහිමියන්ගෙන් පාත්‍රය ලබාගෙන බුද්ධ ප්‍රමුඛ විසි දහසක් රහතන් වහන්සේ මාළිගාවට වැඩමවාගෙන ගොස් දානය පිළිගන්වන ලදී. දන් වළඳා අවසානයේ බුදුහිමියන් දේශනා කළ ධර්මය අසා රජතුමා සකෘදාගාමි ඵලයට පත් වූ අතර, ප්‍රජාපතී ගෝතමිය සෝවාන් ඵලයට පත් වූවා ය.
භික්ෂූන් වහන්සේ අනියම් ආකාරයෙන් ප්‍රත්‍ය සපයාගන්නා ක්‍රම විසි එකක් ඇත. ඒවා ‘එක් විසි අන්වේක්‍ෂණ ධර්ම’ වශයෙන් හැඳින්වෙයි. එවැනි වැරැදි වලින් වැළකී ‘භික්ඛාදචරිය වත’ අනුව කටයුතු කිරීම ධර්මයෙහි හැසිරීමක් වන බව, බුදුහිමියෝ දේශනා කළහ. එසේම සපදාන චාරිකාංග වත ප්‍රගුණ කිරීම, පුහුණු කිරීම ධර්මචාරීවීමක් වශයෙන් සැලකෙනවා.
එසේ කටයුතු කරන බුද්ධ ශ්‍රාවකයන් සතර ඉරියව් පවත්වමින් මෙලොවදීම සුවසේ වාසය කරනවා. සුදුසු නොවන ස්ථානවලට ආහාර සොයා යෑම නිසා ශ්‍රමණ ජීවිතය කිළිටි බවට පත් වනවා. එවැනි දුශ්චරිත හැසිරීම්වල නොයෙදී ධර්මානුකූලව කටයුතු කිරීම සුචරිත ජීවිතයක් ගතකරන පුද්ගලයාගේ ලක්ෂණයකි. බුදුවරයන් වහන්සේගේ පිළිවෙත නම්, පිඬුසිඟා වැළඳීම යි. බුද්ධ පුත්‍රයන් වන භික්ෂූන් ගේ පිළිවෙත ද එය විය යුතු ය. එහෙත් ලංකාවේ භික්ෂූන් වහන්සේ පිණ්ඩපාතයෙහි වඩිනු දැකිය හැකි වන්නේ, කලාතුරකිනි. ඇතැම් විට සංවිධානාත්මකව ප්‍රදර්ශනයක් වශයෙන් පිණ්ඩපාත පින්කම් පැවැත්වෙන අයුරු ජනමාධ්‍ය ඔස්සේ දැකීමට හැකි ය. එහෙත් තායිලන්තය, මියන්මාරය වැනි රටවල භික්ෂූන් දිනපතා පිණ්ඩපාතයෙහි වඩින අයුරු දැකිය හැකි ය. පිණ්ඩපාතයෙන් ජීවත්වීමේ ආනිශංස බොහොමයක් ඇත. දායකයන් පන්සලට ගෙනැවිත් පිළිගන්වන දානය වළඳන පැවිද්දාට එම දානය නිසා දායකයන් කෙරෙහි බැඳීම් ඇතිව ඔවුන්ට යටත්ව සිටීමට සිදුවෙයි. දායකයන්ගේ අදහස් ධර්මානුකූ®ල වුවද ධර්මානුකූ®ල නො වුවද ඒවා පිළිගැනීමට සිදුවෙයි. ඔවුන් කියන සමහර නුසුදුසු දේ පවා කරන්නට සිදුවෙයි. දායකයන් කියන විදිහට ඔවුන්ට යටත්වීමට සිදුවෙයි. එසේ නොකළහොත් දානය නොලැබෙයි. ඇතැම් ගිහියන් ‘අපෙන් ජීවත්වන පිරිසක් ය’ කියමින්, භික්ෂූන්ට අපහාස කරන අයුරු අසන්නට ලැබෙයි.
දැහැමි පිණ්ඩපාතයෙන් ජීවිතය ගෙන යන භික්ෂුවට, දානය ලැබීමට නියමිත තැනක් නැත. එක් නිවසකින් නොලැබුණොත් වෙනත් තැනකට යෑමට හැකි යි. ඒ නිසා පිණ්ඩපාතයෙහි හැසිරෙන භික්ෂුවට කිසිවකුටත් යටත් නොවී තම ගෞරවය රැකගෙන සිටිය හැකිය. වෙනත් පිනක් දහමක් කර ගැනීමට හෝ විහාරස්ථානයකට යෑමට හෝ වෙලාවක් ඉස්පාසුවක් නැති බොහෝ දෙනකුට පිඬු සිඟා වඩින භික්ෂූන් වහන්සේ නිසා පින්සිදු කර ගත හැකියි. පිඬු සිඟා වැඩි භික්ෂූන්ට තමන් උයාගත් කටුක ආහාර පූජා කළ දුප්පතුන් දෙව් ලොව උපන් බව සඳහන් කථා ප්‍රවෘත්ති, බණ පොත්වල සඳහන් වෙයි. බුද්ධාදී උතුමන් ගෙපිළිවෙලින් පිඬුසිඟා වැඩියේ ජීවත්වීමට වෙනත් කිසිවක් නැති නිසා නොව, අනුනට අනුග්‍රහයක් වශයෙනි. උන්වහන්සේට දානය පිළිගැන්වීමට රජ මැදුරු, සිටු මැදුරු නිබඳව විවෘතව තිබිණි. පිණ්ඩපාත චාරිකාවෙහි හැසිරෙන පැවිද්දාට තබන පියවරක් පාසා පින් සිදුවෙයි. පිඬුසිඟා ගත් ආහාරයෙන් කොටසක් අනෙක් භික්ෂූන්ටද පිළිගැන්විය හැකි යි. බුද්ධ පූජාද කළ හැකි යි. දුගියකුට, මගියකුට යාචකයකුට හෝ තිරිසන් සතකුට වුව ද දීමෙන් පින්සිදුකර ගත හැකියි.
අප මහ බෝසතාණන් වහන්සේ ‘මහා ජනක’ නම් රජව සිටි සමයෙහි

තදා පත්තං ගහෙත්වාන
මුණ්ඩෝ සංඝාටිපාරුතෝ
පිණ්ඩිකාය චරිස්සාමි
තං කුදාස්සු භාවිස්සති


යනාදී වශයෙන් මුඩු කළ හිස ඇතිව සඟල සිව්රු පෙරවාගෙන, පාත්‍රය ගෙන කවදා පිඬුසිඟා යන්නෙමිද? සත් දවසක් වහින මහා වර්ෂාවෙහි තෙමුණු සිව්රු ඇතිව කවදා පිඬුසිඟා යන්නෙමිද? යනුවෙන් සිතු බව ‘මහාජනක ජාතකයෙහි’ සඳහන් වේ. පිණ්ඩපාත ආහාරයෙන් සතුටුවන අනුනට යටත් නොවූ දිවි පෙවෙතක් ගෙනයන ආහාර තණ්හාව දුරුකළ භික්ෂුව කිසිවකු කෙරෙහි බැඳීමක් නැති බැවින් නිදහසේ සැරිසරයි. පිණ්ඩපාතයෙහි නිරතවන භික්ෂුවගේ අලස බව නැතිවෙයි. උන්වහන්සේගේ ජීවිතය පිරිසුදු බවට පත්වෙයි. එය ධර්මානුකූල දිවි පැවැත්මක් බවට පත්වෙයි. ගිහි වුව ද පැවිදි වුවද සුචරිත ජීවිතයෙහි වැදගත්කම බුදුහිමියන් එදා සුද්ධෝදන රජතුමාට වටහා දෙමින් දේශනා කළ ධර්මය අසා විශාල පිරිසක් ධර්මාවබෝධය ලද බව සඳහන් වෙයි.

 බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම
මහා විහාරාධිපති
ධර්මවේදී
නාලන්දේ විමලවංශ හිමි


 ශ්‍රී බුද්ධ වර්ෂ 2552 ක් වූ බක් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2009 ක් වූ අප්‍රේල් මස 17 වන සිකුරාදා  දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි

No comments:

Post a Comment