Labels

Wednesday, July 29, 2015

පරස්පරතා නැති බඹසර ප්‍රතිපදාව

 

නමෝ තස්ස භගවතෝ
අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
“දෙසෙථ භික්‍ඛවෙ ධම්මං
ආදි කල්‍යණං
මඣෙ කල්‍යාණං
පරියො සාන කල්‍යාණං
සාත්ථං සබ්‍යඥජනං
කෙවල පරිපුණ්ණං
පරිසුද්ධං බ්‍රහ්මචරියං
පකාසෙථ”

 ශ්‍රද්ධා සම්පන්න පින්වතුනි,

 අද ඉල් පුර පසළොස්වක පොහොය දිනයයි. අද දිනය සම්බුද්ධ ශාසන ඉතිහාසයේ වැදගත් කරුණු කීපයක් හේතුවෙන් සෝභමාන වනව.මා මුලින් සඳහන් කළ මාතෘකා පාඨය එදා බුදුරජාණන් වහන්සේ පළමු වස් එළඹීමෙන් අනතුරුව මහා පවාරණයෙන් පවාරණය වී තම ශ්‍රාවක සංඝරත්නයට අවවාද කළ පාඨයයි. එහි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ස්වභාවය කුමක්ද කියා පැහැදිලි වෙනව.

උන් වහන්සේගේ ධර්මය නිවන කරා යොමු වූ වැඩ පිළිවෙලක්, විමුක්තිය කරා ගමන් කිරීමට අනුගමනය කළ යුතු ක්‍රියා පද්ධතියක්. මෙම ක්‍රියා පද්ධතියේ ස්වභාවය තමයි මුල මැද අග යන තුන් කල්හි එකිනෙක ගැලපීමකින් අනුයුක්ත වීම, එසේ නොගැලපේ නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෙස සැළකිය නොහැකි ය. මෙම වැඩ පිළිවෙළ විවිධ නාමයන්ගෙන් පෙළ දහමෙහි විවිධ ස්ථානවල සඳහන් වේ. එවැනි එක් අවස්ථාවකි සියලු බුදුවරයන් වහන්සේලාගේ අවවාදය ලෙස සඳහන් වන අවස්ථාව. එනම්

“සබ්බ පා පස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධානසාසනං”

මෙහිදී “සබ්බපාපස්ස අකරණං” යනු සියලු පාපයන්ගෙන් වැළකීමයි. පව් නොකිරීමයි. සියලු පාපයන් යනු දස අකුසල කර්ම පාථයෝයි. දස අකුසල කර්ම පථයන්ගෙන් වැළකෙනවා යනු යම් පුද්ගලයෙකු සිත කය වචනය සංවර කර ගැනීමයි. අප අකුසල් හෙවත් පාප ධර්මයන් කෙරෙනුයේ කය, වචනය හෝ මනස උපයෝගී කරගෙනයි. යම්කිසි මාධ්‍යයක් හෙවත් කය වචනය හෝ මනස සංවර කර ගන්නා යනු ඒවා මුල් කරගෙන සිදු කරනු ලබන අකුසල දහමින් වැළකීමයි. මෙය සීලයයි. සීල සංවරය අප වැඩ පිළිවෙළේ පදනමයි. විශුද්ධි මාර්ගයේ ද සඳහන් වනුයේ

“සීලේ පතිට්ඨාය
නරෝ සපඤේඤී
චිත්තං පඤ්ඤංච භාවයං
ආතාපි නිපකො භික්‍ඛු
සෝ ඉමං විජටයේ ජටං”

ප්‍රඥාවන්ත පුද්ගලයා සීලයේ පිහිටා සිතේ ඒකාග්‍රතාව ඇති කොට ප්‍රඥාව දියුණු කරයි. හෙවත් විමුක්තිය ලබයි. මෙහිදී සීලයේ පිහිටීම යනු ආයති සංවරයෙහි පිහිටීමයි. තුන්දොර සංවර කර ගැනීමයි. තුන් දොරින් සිදුවන අකුසලයන්ගෙන් වැළකීමයි. මෙයම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දී සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යනුවෙන් ඇතුළත් කර ඇත. එබැවින් නිවන් මඟෙහි පළමු පියවර සියලු පවෙන් වැලකී සීලය වැඩීමයි.
සීලය වැඩීම මනසේ ඒකාග්‍රතාවට පදනම වේ. පාපයේ ගැලුන, සැලෙන මනසට එකඟතාවක් ඇති නොවේ. එකඟතාව ඇති කර ගැනීමට පහසුවනුයේ පාපයෙන් නොකිළිටි සිතටයි. නොකිලිටි සිත නොසැලේ.කිසිවකට බියවන්නේ නැත. එබඳු සිත එඩිතරය. එබඳු සිත එක අරමුණක නොසැළී තබා ගත හැකි ය. එහි ඇති තතු, යථා තතු අවබෝධ කර ගත හැකි ය. එම තත්ත්වය ‘කුසලස්ස උපසම්පදායි. කුසලය දියුණු කිරීම යනු සිතේ එකඟකමින් හොඳ සිතිවිලි දියුණු කිරීමයි. විසිරුණු සිතකට යහපත් සිතිවිලි පහළවනුයේ සිත සංවර වූ තරමටයි. සංවර වූ සිතට ශ්‍රද්ධාව ද පදනම් කරගෙන පාපී සිතිවිලි වලින් තොර යහපත් සිතිවිලි එකිනෙක පහළවෙමින් ලෝකය සමග ගැටුම්කාරී තරගකාරී සබඳතාව අඩුවෙමින් සහනසීලි මුදුගුණ සබඳතා ගොඩනැගෙයි. සිත සමාධිගත කිරීම මෙහි දෙවන පියවර වේ. අරි අටඟි මගෙහි සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අංග තුනෙන් මෙම පියවර සමන්විත වේ.
විශුද්ධි මාර්ගයේ දී සමාධිය ඇති කර ගැනීමට අවශ්‍ය කරන උපාය මාර්ගයන් ඉතා පැහැදිලිව දක්වා ඇත. එයට ඇති බාධාවන් මොනවාද? සුදුසු ස්ථාන කවරේද? ඒ ඒ පුද්ගල චරිතවලට ගැලපෙන අරමුණු මොනවාද යන්න සවිස්තරව දක්වා ඇත.
සුදුසු පරිසරයක සුදුසු අරමුණක් ඔස්සේ ගුරූපදේශ සහිතව යෝගාවචරයෙකුට තම සිත සමාධිගත කර ගත හැකි ය. සමාධිගත වූ සිතට යථා ස්වභාවය වැටහේ.
යථා ස්වභාවය යනු සංස්කාර ලෝකයේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වරූපය දැන ගැනීමයි. අවබෝධ කර ගැනීමයි.

“ අනිච්චා වත සංඛාරා
උප්පාද වය ධම්මිනො
උප්පජිත්වා නිරුජ්ක්‍ධන්ති
තේසං වූප සමෝ සුඛෝ”

සංස්කාර ධර්මයන් ඒකාන්තයෙන් අනිත්‍ය වෙයි. ස්ථිරව පවත්නා ස්වරූපයක් දක්නට නොලැබේ. ඒවා ඉපිද විනාශයට යාම ස්වභාවයයි.
සියලු සංකත ධර්මයන් අනිත්‍යය, දුක්ඛ්‍යය, අනාන්මය යන ස්වභාවය එකඟ වූ සිතකට අවබෝධ කර ගත හැකි ය. එම ස්වභාවය අවබෝධ කර ගන්නේ නම් පුද්ගලයා මෙම සංස්කාර ලෝකය සමග තිබෙන සබඳතා බිඳ දමයි. විනාශ කරයි. එවිට ඔහුට සැනසුමක් ලැබේ. අපි මමය මාගේ ය යන හැඟීමෙන්, බැඳීමෙන් විවිධ සංස්කාර රාමු ගොඩනගාගනිමින් ඇලීම් බැඳීම් ඇති කර ගනිමු. එම ඇලීම් බැඳීම් නිසා අපි වේදනාවට දුකට පත්වෙමු. දැඩි ලෙස වේදනාවත් දුක්ඛ දෝමනස්සයන් දැනෙනුයේ විවිධ බැඳීම් හේතුවෙන් අනිත්‍යත්වය, අනාත්ම තත්ත්වය අනවබෝධය නිසයි. එබැවින් සමාධිගත වූ සිතෙන් මෙම සංස්කාර ලෝකයේ ඇති වස්තූන් වල අනිත්‍ය, දුක්ඛ අනාත්ම ස්වභාවය අවබෝධ කර ගත යුතු ය. එවිට අපට මානසික සැනසුම ලැබේ. එයයි ප්‍රඥාව වශයෙන් උගනුවනුයේ මෙය අප ගමන් මඟෙහි කූටප්‍රාප්තියයි. එබඳු උතුමන් අපි රහතන් වහන්සේ වශයෙන් හඳුන්වමු.
එබැවින් මුල මැද අග ගැලපීම යනු අප ගමන් මෙගහි සීල සමාධි ප්‍රඥා යනු පිළිවෙළින් ගමන් මගෙහි මනා ගැලපීමයි. එම ගමන් මග අනුපිළිවෙල හෝ නොගැලපුනහොත් බලාපොරොත්තු වූ ඵලය කරා ගමන් කිරීමට පුද්ගලයාට නොහැකිවේ.
යම් වැඩ පිළිවෙළක, යම් දේශනයක, මුල මැද අග ගැලපීම යනු මෙවැනි ගැලපීමකි. එවන් ගලායාමක් නොවූයේ නම් එම වැඩ පිළිවෙළ දේශනය අසාර්ථක වූවක් වේ. බුදුරජාණන් වහන්සේගේ සෑම සූත්‍ර දේශනයක්ම තුන් තන්හි කල්‍යාණ බව ඇත. එය නුගුලුවා ධර්මය දේශනා කිරීම, පිළිපැදීම බුදුරජාණන් වහන්සේගේ අවවාදයයි. එදා උන්වහන්සේ දුන් එම අවවාදය සිහිපත් කරමින් ධර්මය තුන් තැන්හි කල්‍යාණාකාරයෙන් අසා පිළිපැද සැනසුම උදාකර ගැනීමට ශක්තිය ලැබේවා.

 බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍යය
කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති ආචාර්ය
ඉත්තදෙමලියේ ඉන්දසර හිමි

 ශ්‍රී බුද්ධ වර්ෂ 2552 ක් වූ ඉල් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2008 ක් වූ නොවැම්බර් මස 12 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි

No comments:

Post a Comment