අනුජානාමි භික්‍ඛවෙ වස්සානෙ වස්සං උපගත්තුං” මහණෙනි, වස්සාන සෘතුවෙහි වස් එළඹෙන්නට මම අනුදනිමියි බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේට දේශනා කර වදාළහ. මේ ඇසූ භික්‍ෂූන් වහන්සේට වස් විසීම් කෙතෙක්දැයි විමතියක් උපන්හ. එම විමතිය බුදුරජාණන් වහන්සේට දැන් වූ පසු, උන්වහන්සේ මහණෙනි, පෙර වස් එළඹීම, පසු වස් එළඹීම, යනුවෙන් වස් එළඹීම් ක්‍රම දෙකකි. ඇසළ පුර පසළොස්වක පොහෝ දිනට පසු දින පෙර වස් විසීමද, ඇසළ පොහොය දිනයෙන් මසක් ඉකුත් වූ කල්හි නිකිණි පුර පසළොස්වක අව පෑළවිය දිනයෙහි පසු වස් විසීමද, වස් විසීමේ සාමාන්‍ය චාරිත්‍රය වේ. වප් මස පසළොස්වක දක්වා පෙර වස් වැස පවාරණය කිරීමද, ඉල්මස පුර පසළොස්වක දක්වා පසු වස් එළඹ පවාරණය කිරීමද දේශනා පාලියට අනුව කළ යුතු වේ. මේ වස් විසීමේ ක්‍රම දෙකයි.
වස් විසීමේ චාරිත්‍ර ධර්මය ආරම්භ වූයේ මහජන උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් වශයෙනි. බරණැස ඉසිපතනාරාමයේ දී බුදුරජාණන් වහන්සේ සමඟ පස්වග මහණුන් වස් විසීම, ශාසන ඉතිහාසයේ පළමුවන වස් විසීමයි. තිර්ථකයන්, පරිබ්‍රාජකයන් වැනි වෙනත් ආගම් අදහන්නන් වස්සාන කාලයෙහි සැරිසැරීම් ආදියෙන් වෙන්ව එක් ස්ථානයක ජීවත් වූහ. කුරුල්ලන් වැනි තිරිසන් සත්තුද වස්සාන කාලයෙහි ගොදුරු සෙවීමට උත්සාහ නොගෙන කූඩු තුළම එක්තැන්ව වාසය කළහ. නමුත් භික්‍ෂූන් වහන්සේලා හේමන්තයෙහි, ගිම්හානයෙහි, වස්සානයෙහි යන හැම කල්හිම නිල්තණ මඩමින්, පා ගමනින්. ඒකේන්ද්‍රිය, ජීවිත පෙළමින් චාරිකාවෙහි හැසිරුණහ. මේ දුටු මහජනයා කවර කරුණක් නිසා වස්සාන කාලයෙහි හැසිරෙන්නෙහුදැයි භික්‍ෂූන් වහන්සේට අවමන් කළහ. දොස් නැඟූහ, ඝෝෂා කරන්නට වන්හ. මේ ඇසූ භික්‍ෂූහු ඒ කරුණ බුදුරජාණන් වහන්සේට දැන් වූ විට “අනුජානාමි භික්‍ඛවේ වස්සානෙ වස්සං උපගන්තුං” වර්ෂා කාලයෙහි වස් එළඹෙන්නට අවසර දෙන්නෙමියි යනුවෙන් දේශනා කළ සේක.
සමහර වර්ෂ අධිමාසයකින් යුක්ත වේ. මේ අවුරුද්ද එවැනි වර්ෂයකි. අධි මාසයකින් යුක්ත වර්ෂයකදී පෙර වස් විසීම අරඹන්නේ ඇසළ පොහොයට නොව නිකිණි පොහොයට පසු දිනයි. නැතහොත් අධි පුර පසළොස්වක පොහොය පසු කොට ඇසළ පුර පසළොස්වක පොහොයට පසු දිනයි. පසු වස් විසීමද මාසයකින් කල්යයි. සමන්ත පාසාදිකාවේ වස්සික සාටිකා ශික්‍ෂා පද වර්ණනාවේ “වස්සං උක්කඩ්ඩයතීති” යන පාඨයෙන් ගිම්හාන සෘතුවේ අන්තිම මාසය ගෙවා වස්සාන සෘතුවේ පළමු මාසය උඩට ඇඳ ගිම්හානයේ අන්තිම මාසයේ වස් එළඹීම අරඹන ලද බව දක්වා තිබේ. අධි මාසය යනු යම් අවුරුද්දක චන්ද්‍ර මාසයක් හෙවත් පසළොස්වක පොහොයක් වැඩි වේද එනම් පසළොස්වක පොහොයත් 13 ක් එක් වර්ෂයකට පැමිණේද එවිට සෘතුවකට මාසයක් අධි වේ. එබදු අවුරුද්දක් පැමිණි කල්හි වස්සුක්කඩිඩනය කළ යුතු ය. බිම්සර මහරජ විසින් අධික ඇති වර්ෂය දැන අධික හරින්නට කියා සිටි බව මහවග්ග පාලියේ පෙනෙන නිසාද, නක්ෂත්‍ර පදයන් හා ලෞකික පක්‍ෂ ඉගෙන ගන්නට බුදුරජාණන් වහන්සේ වදාළ නිසාද, අධික මාසය හැර වස් එළඹීම කළ යුතු බව පැහැදිලි වෙයි. සෘතු වර්ෂයක් තුළ මාස 13 ක් වුවොත් එම වර්ෂයට අධික බව සාරාර්ථ දීපනී විනය ටිකාවෙහි ‘වස්සං උක්කඩ්ඩන්ති’ යන්නෙන් පැහැදිලි වේ. සෘතු වර්ෂයකට මාස 13 ක් ලැබෙන්නේ එක රවියක් තුළ හෙවත් එක මාසයක් තුළ පසළොස්වක දෙකක් යෙදීමෙනි. මේ අවුරුද්දේ මැයි මාසයට පසළොස්වක පොහොයන් දෙකක් වීම නිසා 2007 වර්ෂය අධි මාසයක් ඇතුළත් වර්ෂයක් ලෙස ගණන් ගැනේ.
මේ අනුව සෑම උපසපන් භික්‍ෂූන් වහන්සේ නමක්ම පෙර වස් හෝ පසු වස් හෝ එළඹිය යුතු ය. 2007 වර්ෂයේ ඇසළ පුර පසළොස්වක පොහොයට පසු දින එනම් ජූලි මස 30 වෙනි දින පෙර වස් එළඹිය යුතු වේ. පසු වස් එළඹෙන භික්‍ෂූන් වහන්සේ බිනර පුර පසළොස්වක පොහොයට පසු දින එනම් අගෝස්තු මස 28 වෙනි දින ගත යුතු වේ. ඔක්තෝබර් මස 25 දා සිට නොවැම්බර් මස 24 වෙනිදා දක්වා චීවර මාසයයි. මෙම කාලය තුළ කඨින චීවර පූජා කිරීම් කර අවසන් කළ යුතු වේ. පසු වස් එළඹෙන භික්‍ෂූන් වහන්සේට කඨින චීවරයක් දැරීම සුදුසු නොවේ. එසේම වස් බිඳ ගන්නා භික්‍ෂූන් වහන්සේට ද කඨින චීවරයක් දැරීම සුදුසු නොවෙන්නේ ය.
යම් භික්‍ෂූන් වහන්සේ නමක් වස් නොඑළඹෙන්නේ නම් එම භික්‍ෂුවට දුකුළා ඇවැත් වේ යැයි බුදුරජාණන් වහන්සේ ‘යෝ න උප ගච්ඡෙය්‍ය ආපත්ති දුක්කටස්ස’ යනුවෙන් දේශනා කර ඇති බව මහා වග්ග පාලියේ සඳහන් වේ. ඒ අනුව සෑම උප සපන් භික්‍ෂුවක්ම වස් එළඹිය යුතු ය. වස් එළඹීම ගස් යට, ගස් සිදුරෙහි, රුක් වෙලෙප්හි, ජත්‍ර යට, එළිමහන් වල, සුසාන භූමිය ආදී ස්ථාන වල වස් එළඹිය යුතු නොවේ. වහලක් හා දොරක් ඇති සෙනසුනක්ම සොයාගෙන නියමිත දිනයෙහි වස් එළඹීම කළ යුතු වේ. දායක කාරකාදීන් විසින් භික්‍ෂුන් වහන්සේට වස් එළඹීමට සෙනසුනක් සපයා දිය යුතු ය. සෙනසුනක් කරවා නුදුනහොත් තමා විසින්ම හෝ සකස් කරගෙන වස් එළඹිය යුතුවේ. වස් එළඹීම සිදු කරන දිනයෙහි දායක වරුන් විසින් සළු හා දැහැත් ගොටු සකස් කරගෙන විහාරස්ථානයට ගොස් “ස්වාමීනී, මේ වස් සාර මාසය (චීවර මාසය සමඟ) තුළ අපි නුඹ වහන්සේලාට හැකි පමණින් චීවර, පිණ්ඩපාත, සේනාසන,ගිලන් පස යන සිවු පසයෙන් උපස්ථාන කරන්නෙමු. අප කෙරෙහි අනුකම්පාවෙන් මෙහි වස් එළඹීම සිදු කරනු මැනවයි යනුවෙන් වස් එළඹෙන ලෙස භික්‍ෂූන් වහන්සේට ආරාධනා කළ යුතු ය. එය මහඟු පින්කමකි. එම වැසි සළුව භික්‍ෂූන් වහන්සේ විසින් වස් සාර මාසයෙහි අධිෂ්ඨාන කොට ප්‍රයෝජනයට ගත යුතු බව ‘අනුජානාමි භික්ඛවේ වස්සික සාටිකං වස්සානං චාතු මාසං අධිටිඨාතුං තතෝ පරං විකප්පෙතුං’ යන දේශනා පාඨයෙන් පැහැදිලි වේ. එය වැසි සළුව භික්‍ෂූන් වහන්නේ පාවිච්චි කරන මොහොතක් පාසාම දායකයාට මහත් කුසල් වැඩේ.
වස් වසන භික්‍ෂූන් වහන්සේ වස් එළඹී විහාරස්ථානයෙන් වස් කාලය තුළ පිටත නොයා යුතු ය. එහෙත් භික්‍ෂු, භික්‍ෂූණිය, ශික්‍ෂ මානාව, සාමණේර, සාමණේරිය, පියාය, මවය යන මොවුන් සත් දෙනා උදෙසා ආරාධනාවක් ඇතිව හෝ නැතිව සත්තාහ කරණයෙන් විහාරස්ථානයෙන් පිටත යාමට අවසර ඇති බව ‘අනුජානාමි භික්‍ඛවේ සත්තන්තං සත්තාහ කරණියේන පහිතෙ ගන්තුං’ යන දේශනා පාඨයෙන් එය පැහැදිලි වේ. පිටත ගිය භික්‍ෂූන් වහන්සේ දින 07 ක් ඉක්මෙන්නට පෙර නැවත විවාහාරස්ථානයට පැමිණිය යුතු ය. නොපැමිණිය හොත් වස් කැඩීම සිදුවන හෙයින් කඨින චීවරය දැරීමට සුදුසු නොවන්නේ ය.
ඥාති රෝගීන් සඳහා, ගිලන් භික්‍ෂුව සඳහා අවවාද දීම සඳහාත් වැරැදි නිවැරැදි කිරීම සඳහා ආදී අවස්ථාවලදී විහාරස්ථානයෙන් සත්තාහ කරණයෙන් පිටව යා හැකි ය. විහාරස්ථානයේ විසීමට අපහසු යම් බලවත් හේතුවක් ඇති වුවහොත් විහාරස්ථානය අත හැර වෙනත් ආරාමයක් කරා යාමට ද අවසර ඇත.
වස් විසීම ලක්දිවට පැමිණියේ අනුබුදු මිහිඳු හිමිපාණන් ඇතුළු පිරිස ලංකාවට පැමිණීමෙන් අනතුරුව ය. දෙවන පෑතිස් රජුගේ ආරාධනයෙන් මිහිඳු හිමියන් ඇතුළු දූත පිරිසත්, අරිට්ඨ සිංහල රහතන් වහන්සේ ප්‍රධාන 56 ක් රහතන් වහන්සේ යන 62 නම පළමුවෙන් වස් විසීම ආරම්භ කළහ. එතැන් පටන් මේ දක්වා අවුරුදු 2550 කට අධික කාලයක් වස් විසීමේ ක්‍රමය නොකඩවා පැවතගෙන ඒමේ ගෞරවය ගරුතර මහා සංඝරත්නය සතුව පවතී. වස් විසීම, භික්‍ෂූන් වහන්සේටත් දායක පින්වතුන්ටත් කුසල් සිදුවන උතුම් පින්කමකි.
ශාස්ත්‍රපති, (බී.ඒ.ගෞරව) අධ්‍යාපන ඩිප්ලෝමා,
සීනිපැල්ලේ තිලකවංස හිමි
ශ‍්‍රී බුද්ධ වර්ෂ 2551 ක් වූ වප් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ
2007 ක් වූ නොවැම්බර් මස 09 වැනි සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපිකින් උපුටා ගැනිමකි
No comments:
Post a Comment