Labels

Tuesday, July 14, 2015

බුදු සිවුරේ වංශ කථාව


බුද්ධකාලීනව පැවිදි වූ භික්‍ෂූන් වහන්සේගේ මූලික අපේක්‍ෂා සතරක් පැවති බව, විනය පිටක මහාවග්ග පාලි මහා ඛන්ධකයේ දැක්වේ.’සතර නිස’ නාමයෙන් හැඳින්වෙන එම මූලික අපේක්‍ෂා සතර මෙසේ ය.

පිණ්ඩියාලෝප භෝජනං නිස්සාය පබ්බජ්ජා
මාගේ මේ පැවිද්ද සිඟා ලත් (පිණ්ඩපාත) ආහාරය සඳහාමය.

පංසුකූල වීවරං නිස්සාය පබ්බජ්ජා.
මාගේ මේ පැවිද්ද පාංශුකූලික සිවුරු පෙරවීම සඳහාමය.

රුක්ඛමූල සේනාසනං නිස්සාය පබ්බජ්ජා.
මාගේ මේ පැවිද්ද රුක්මුල්, ගස් මුල්වල වාසය කිරීම සඳහාමය.

පූතිමුත්ත භේසජ්ජං තිස්සාය පබ්බජ්ජා
මාගේ මේ පැවිද්ද ගව මුත්‍රාවලින් සෑදු (බෙහෙත්) ඖෂධ පානය සඳහාමය.

මෙම මූලික අපේක්‍ෂා හතරින් අපගේ අවධානය යොමුවනුයේ ‘පංසුකූල වීවරං’ යන්නටයි. පාංශුකූලික සිවුර පෙරවීම මුල්කාලීන භික්‍ෂූන් වහන්සේලා විසින් සිදුකරන ලදී. විශුද්ධිමාර්ගයේ ‘පංසුකූල’ යන්න විග්‍රහ කරමින් අර්ථ දෙකක් දක්වා ඇත.

1. ‘පංසුසු කූලමිව පංසුකූලං’ – පංසු යනු වීථි, සොහොන්, කසල ගොඩවල් ආදී යම් කිසි තැනක ඇති පස් ය. ඒ පස් ගොඩවල් වල කුලයක්, ඉවුරක් මෙන් පවතිනුයේ, උස්ව පවතිනුයේ පංසුකූලයයි. ඒ අනුව පස් මත ඉවුරක් මෙන් පවතින වැටිය ‘පංසුකූල’ නම් වේ.

2. ‘පංසුවිය කුච්ඡිතභාවං උලති ගච්ඡතීති පංසුකූලං’ යමක් පස්මෙන් පිළිකුල් බවට පැමිණෙන්නේ ද එයත් ‘පංසුකූල’ නාමයෙන් හැඳින්වේ. මෙහිදී ‘පංසුකූල’ යන පදය මෙසේ තුන් කොටසකට කඩා අර්ථ ගත යුතු බව අටුවාව පවසයි.

පංසු + කු+උල – පංසුකූල

“පංසු” යනු පස්ය. ‘කු’ යනු කුච්ඡිත, පිළිකුල් භාවයයි. ‘උල’ යනු පැමිණීමයි. පස්මෙන් පිළිකුල් බවට පැමිණි දෙයයි. මේ පාංශුකූල නම් ලද සිවුරින් ම යුක්තව වාසය කරන්නා ‘පංශුකූලිකංග‘ නම් ධූතාංගය සමාදන් වූ ශ්‍රේෂ්ඨ භික්‍ෂුවකි. ඒ භික්‍ෂුවට තම සිවුර සකසා ගැනීමේ දී ස්ථාන විසිතුනකින් ගන්නා වස්ත්‍ර යොදාගත හැකි ය. ක්‍රමයෙන් ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ සම්ප්‍රදාය දඹදිව මධ්‍ය දේශය තුළ විකාශනය වී යත්ම, විපුලත්වයට පත්වීමත් සමඟම සියලු භික්‍ෂූන්ට යෝග්‍ය පරිදි පාංශුකූල සිවුර ලබා ගැනීම දුෂ්කර විය.
බොහෝ අවස්ථාවල පාංශුකූල වස්ත්‍ර සොයාගිය භික්‍ෂූන්ට එම වස්ත්‍ර නොලැබුණි. මුලින් ගිය භික්‍ෂූන් කිහිපදෙනෙකුට පමණක් එම වස්ත්‍ර හිමි විය. බොහෝ පිරිසකට සිවුරු සකසා ගැනීමට තරම් ප්‍රමාණවත් පාංශුකූල වස්ත්‍ර නොලැබුණු හෙයින් ගැටලු පැන නැගුණි. ඒ ගැටළු බුදුරදුන් වෙතට පවා පැමිණියේ ය.
එවිට අකමැත්තෙන් වූවත් තමාට ලැබුණු පාංශුකූල වස්ත්‍රයෙන් භාගයක් නොලැබූ භික්‍ෂූන්ට දීම බුදුහු අනුදැන වදාළහ. (අකාමා භාංග ධාතු අනුජානාමි) එසේ භාගයක් දෙන්නට අනුදැන වදාළ භික්‍ෂූන් කොටස් හතරකි.

1. ආගමෙන්තානං - පාංශුකූල වස්ත්‍ර අපේක්‍ෂාවෙන් සොහොනින් ඉවත සිටින භික්‍ෂූන්ට.
2. පච්ඡා ඔක්කමන්තානං - පාංශුකූල වස්ත්‍ර සොයාගෙන පසුවී පැමිණි භික්‍ෂූන්ට
3. සදිසානං ඔක්කමන්තානං - පාංශුකූල රෙදි සොයාගෙන තමන් සමඟම ;සාහොනට පැමිණි නමුත් වස්ත්‍ර නොලද භික්‍ෂූන්ට
4. කතිකං කත්වා ඔක්කමන්තානං - කතිකා කරගෙන පාංශුකූල වස්ත්‍ර සොයාගෙන පැමිණි නමුත් වස්ත්‍ර නොලද භික්‍ෂූන්ට

යන සිව්වැදෑරුම් භික්‍ෂූන්ට අකමැත්තෙන් වුවත් තමාලද වස්ත්‍රයෙන් භාගයක් දීමට අණකිරීම බුදුරජාණන් වහන්සේ තුළ පැවති ප්‍රජාතාන්ත්‍රික ආකල්පය ප්‍රකට කරන්නකි. සීමිත සම්පත් සැමදෙනාටම සමානව භුක්තිවිඳීමට අවස්ථා සැලසිය යුතු බව උන්වහන්සේ එම විනය නීතියෙන් පෙන්වූහ.

ගහපති චීවරය අනුදැනීම

ජීවක රාජ වෛද්‍යවරයාට ලැබුණු ඉතා අගනා සීවෙය්‍යක වස්ත්‍ර යුගලය බුදුපියාණන් වහන්සේට පූජා කළ අතර ඔහු මෙවැනි ඉල්ලීමක් ද කළේ ය. ‘ ස්වාමීනී!, භාග්‍යවතුන් වහන්සේත්, ශ්‍රාවකයෝත් පාංශුකූලික වෙති. මේ සීවෙය්‍යක වස්ත්‍ර යුගලය චණ්ඩ පජ්ජෝති රජු මාහට එවීය. සියලු වස්ත්‍රයන්ට වඩා මේ වස්ත්‍ර යුගලය උතුම් වේ. ශ්‍රේෂ්ඨ වේ. අගනේ ය. එනිසා ඔබවහන්සේ මේ වස්ත්‍ර යුගලය පිළිගන්නා සේක්වා. භික්‍ෂු සංඝයාට ද ගහපති චීවරය අනුදන්නා සේක්වා’ යි යනුවෙණි. ඒ ඉල්ලීම සලකා බැලූ තථාගතයන් වහන්සේ එම වස්ත්‍ර යුගලය පිළිගෙන භික්‍ෂූන්ට ද ගහපති චීවරය අනුදත්හ.
ඒ අනුව රජගහ නුවර වැසියෝ ද පිටිසර දනවුවැසියෝ ද බොහෝ වස්ත්‍ර පූජා කළහ. භික්‍ෂුන්ගේ පරිභෝජනයටත් වඩා වැඩිතරම් වස්ත්‍ර පූජා ලැබුණු හෙයින් එම වස්ත්‍ර ආරක්‍ෂා කරගැනීම පිළිබඳ ප්‍රශ්න ඇතිවිය. සෑම භික්‍ෂුවකටම වස්ත්‍ර ලැබුණු හෙයින් ඇතැම් දායකයෝ වස්ත්‍ර පූජාවට භික්‍ෂුවක් නොලැබ දුකින් නැවත හැරී ගියහ. මේ සියලු කාරණා බුදුනුවණින් දත් බුදුපියාණන් වහන්සේ දායකයන් පූජා කරන සිවුරු පිරිකර පිළිගන්නා ‘චීවර පටිග්ගාහක’ භික්‍ෂුවත්, ඒ සිවුරු ආරක්‍ෂා කරන ‘චීවර නිදහක’ භික්‍ෂුවත් සංඝ සම්මතයෙන් පත් කරන ලෙස දැනුම් දුන් සේක.
එසේම සිවුරු ආරක්‍ෂා කර ගැනීමට යෝග්‍ය ‘භාණ්ඩාගාරයක්’ ද අනුදත්හ. එහි පවතින සිවුරු රැකගැනීම ‘භාණ්ඩාගාරික භික්‍ෂුවක්’ ද සංඝ සම්මතයෙන් පත් කරන ලෙස අනුදහත්හ. මෙසේ ගහපති චීවර පූජාවක් සමඟ විහාරාරාමවල නව තනතුරු හා විහාරාරාංග ඇති වී සිවුරු පරිහරණය පිළිබඳ ක්‍රමවත්භාවයක් ඇති විය.
චීවර පටිග්ගාක හා චීවර නිදහක භික්‍ෂුහු සතර අගතියෙන් දුරුවී විමංසන හා විවේක බුද්ධියෙන් සිය කටයුතු සිදුකිරීම අත්‍යවශ්‍ය විය. පසුව ගිහියන් දෙන අගය ඇති, නැති වස්ත්‍ර අතරින් සිවුරු සකසා ගැනීමට බුදුරදුන්ගේ අවසරය ලද වස්ත්‍ර සයක් පමණක් භාවිත විය. ඒ සය නම්,

1. කොමු පිළී - ඛෝමං - 2. කපු පිළී – කප්පාසිකං - 3. පට පිළී - කෝසෙය්‍යං - 4.කම්බිලි - කම්බලං - 5.හණවැහැරි පිළී - සාණං - 6. ඉහත දැක් වූ නූල් වර්ග පහම මිශ්‍ර කර වියූ වස්ත්‍ර - භංගං
‘මහණෙනි මම ලද දෙයින් සතුටු වීම වර්ණනා කරමි. ගහපති චීවරය ලැබුවන් කැමතිනම් පාංශුකූලය ද ඉවසත්වා කැමති භික්‍ෂුවක් පාංශුකූලික පමණක් වෙත්වා’ යි තම අභිමතය පරිදි සිවුරු පෙරවීමට හා දායකයන් දෙන දෙයින් සතුටු වීමට බුදුරජාණන් වහන්සේ නියම කළසේක.

පඬු පෙවීම

මෙසේ පාංශුකූලිකව හෝ ගිහි පින්වතුන්ගේ පූජා ලෙස හෝ ලැබෙන වස්ත්‍ර කල්පැවැත්මටත්, එක වර්ණයක් ගැන්වීමටත් පඬුපෙවීම අනුදන් බුදුපියාණන් වහන්සේ ඒ සඳහා අනුමත කළ පඬුවර්ග හයක් පෙන්වූහ. (මහාවග්ග පාලි - චීවරක්ඛන්ධකය)

1. මුල් පඬු - මුල රජනං
2.දඬු පඬු - චන්ධ රජනං
3.පොතු පඬු - තම රජනං
4. කොළ පඬු - පත්ත රජනං
5. මල් පඬු - පුප්ථ රජනං
6. ගෙඩි පඬු - ඵල රජනං

පඬුපෙවීීමේ කාර්යය සඳහා උපකාර කරගත යුතු ද්‍රව්‍ය රැසක් ද චීවරක්ඛන්ධකයේ විස්තර වේ. මේ අනුව සිවුර පඬුපෙවීමේ කාර්යය ද සංකීර්ණ වූ ආකාරය වටහා ගත හැකි ය. පඬුපෙවීම සඳහා අත්‍යවශ්‍යම ද්‍රව්‍ය නවයකි.

1.පඬු පිසින සැළිය (රජන කුම්භි)
2. පඬු පිසින උදුන (චුල්ලිං)
3. වට අළුව - (උත්තරාලුම්පං) පඬු උතුරා යෑම වැලැක්වීම සැළිය මුව යෙදූ රෙදි කඩ.
4. දඬු කිණිස්ස, දණ්ඩෙන් කළ හැන්ද (දණ්ඩකථකං)
5. මහ පඬු සැලිය (රජන කෝලම්බං)
6. පඬු කළය (රජන ඝටං)
7. පඬු ඔරුව (රජන දෝණිකං)
8. පඬු පෙවු පසුව වේලෙන තෙක් සිවුර දැමීමට සෑදූ දණ්ඩ හෝ වැල (චීවරවංසං, චීවර රජ්ජුං)
9. සිවුරු කොන් අල්ලා බඳින නූල (කණ්ණ සුත්තකං)

මේ ද්‍රව්‍ය අනුමත කිරීම පිළිබඳව විමසීමේ පඬුපෙවීමේ කාර්යය සංකීර්ණ වූ අයුරු වටහා ගැනීමට පුළුවන. මගධ ක්‍ෂේත්‍රය ආනන්ද හිමියන්ට පෙන් වූ බුදුපියාණන් වහන්සේ එ අනුව කඩකපා සිවුර මසන ලෙස නියම කර වදාළහ. ඒ ඬයමය අනුව ආනන්ද හිමියෝ කඩ කපා සැකසූ සිවුර අනුමැතිය සඳහා බුදුරදුන්ට ඉදිරිපත් කළහ. බුදුපියාණන් වහන්සේ සාධුකාරදී ඒ සැලැස්ම අනුමත කළ සේක.

සිවුරේ සැලැස්ම

සිවුර පොරවන භික්‍ෂුවගේ වියතින් දිගු 5 1/2 ක් ද පළල 4 1/2 ක් ද වූ ප්‍රමාණයට මැසෙන සේ සිවුර මැසිය යුතුවේ. ඒ අනුව සිවුර සෘජුකෝණාස්‍රාකාර වේ. පළලින් අඩුය. දිගින් වැඩිය. සතරැස් වූ ලියැදි බැඳි, දිගින් හා පළලින් මහ නියර බැඳි අතරතුර කුඩා නියර හා සතර හන්දි බැඳි මගධ ක්‍ෂේත්‍රය මෙන් වූ මේ බුදු සිවුරේ තිබිය යුතු අනිවාර්ය අංග නවයක් චීවරක්ඛන්ධකයේ විස්තර වේ.

1. දිග, පළල ඇති මහනුවාව - කුසිං - 2. හරස් නුවාව - අඩ්ඪකුසිං - 3. මහ මැඩිලි - මණ්ඩලං - 4.කුඩා මැඩිලි - අඩ්ඪමණ්ඩලං - 5. වස් අත්ත – විවට්ටං - 6. ඇළ අත්ත –අනුවිටට්ටං - 7. ගෙළ පටි ඇල්ලීම – ගීවෙය්‍යකං - 8. කෙණ්ඩා පටි ඇල්ලීම – ජංඝෙය්‍යකං - 9. නුවා අත්ත – බාහන්තං
සිවුරක වස් අතු එකකි. ඇළ අතු දෙකකි. නුවා අතු දෙකකි. සිවුර වටේම ඇති මහනුවාව අඟල් හයකි.
මෙසේ මසන්නා වූ කඩකපා නැවත එක්කරන ලද්දා වූ සිවුරේ ඇති ගුණාංග හතරකි.

1. ඡින්නකං - කඩකපා මසා තිබීම
2. සත්‍ථලූඛං - සැතින් කපා රළුව පැවතීම.
3. සමණසාරුප්පං - ශ්‍රමණයන්ට සුදුසුවූවක්වීම.
4. පච්චÀථිකානං අනභිජ්ඣිතං - සතුරන් විසින් පැහැර නොගන්නක් වීම.

සෘතු අතරින් ඉතාමත් ශීතල වූ හේමන්ත සෘතුවේ නවම් මැදින් දෙමාසය අතර හිම වැටෙන අතිශීතලම දින අටක් ඇත. මේ දින අටක කාලයේ විශාලා මහනුවර ගෝතමක චෛත්‍යස්ථානයේ වැඩ සිටි තථාගතයන් වහන්සේ රාතී‍්‍ර පළමු යාමයෙහි එක් සිවුරක්
පොරවාගෙන එළිමහනෙහි වැඩහුන්සේක. මධ්‍යම යාමයේ දී උන්වහන්සේට ශීත ඇතිවිය. එවිට සිවුරු දෙකක් පොරවාගත් උන්වහන්සේ නැවත පෙර ස්ථානයේම වැඩහුන්සේක. රාතී‍්‍ර පශ්චිම යාමයේ දී උන්වහන්සේට නැවත ශීත ඇතිවිය.
එවිට සිවුරු තුනක් පොරවාගත් සේක. නැවත අරුණෝදයේ දී ශීත ඇති වූ හෙයින් සිවුරු සතරක් පොරවාගත් සේක් ශීතලින් පීඩා නොවී එළිමහනෙහි වැඩ හුන්සේක. මේ පරීක්‍ෂණයෙන් පසුව බුදුපියාණෝ භික්‍ෂූන්ට තුන් සිවුර පමණක් පරිහරණය කරන ලෙස නියම කළහ.

තුන් සිවුර

තමන්වහන්සේම ප්‍රායෝගිකව අත්හදා බලා තුන් සිවුරින් අවුවැසී ශීතාදී පීඩා දුරු වන බව වටහාගෙන ‘අනුජානාමි භික්ඛවෙ තිචීවරං’ යනුවෙන් තුන් සිවුර අනුදත්හ.

1. දිගුණං සංඝාටිං - දෙපටක් ඇති සගල සිවුර, මෙහි සිවුරු දෙකක් එකට තබා මැසූ ආකාරයක් ඇති හෙයින් සිවුරු දෙකක් මෙන් සළකනු ලැබේ.
2. ඒකච්චියං උත්තරාසංගං - එක් පටක් ඇති උතුරු සඟ සිවුර සාමාන්‍ය සිවුරයි. ‘තනි සිවුර’ නාමයෙන් මෙය බහුලව හැඳින්වේ.
3. ඒකච්චියං අත්තරවාසකං - එක් පටක් ඇති අඳනය

ශීත කාලවලදී දෙපට සිවුර පෙරවීමෙන් ඉන් පීඩා නොවී සිටීමට පුළුවන. තම ආවාසයෙන් පිටව යෑමේ දී මේ තුන් සිවුරින් යුක්තව බැහැර විය යුතු බව බුද්ධ ප්‍රඥප්තියයි.
නූතනයේ දෙපට සිවුර තරමක් අභාවිත වන බවක් පෙනේ.
බුදුපියාණන් වහන්සේ, තමන් වහන්සේ නොකරන, තමන් වහන්සේට කළ නොහැකි කිසිවක් සිය ශ්‍රාවකයන් ලවා කරවීමට ක්‍රියා නොකළ සේක.
තමන් වහන්සේ ලබන සෑම වරප්‍රසාධයක් ම සිය ශ්‍රාවකයන්ටත් ලබාදුන් සේක. එනිසා ම උන්වහන්සේ මෙතෙක් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ගුරුවරයාණෝ වෙති.
විනය පිටකයේ චීවරක්ඛන්ධකයේ විස්තර වන සිද්ධි සමුදාය තුළින් ද ප්‍රකට වනුයේ තථාගතයන් වහන්සේ තුළ පැවති ඒ සමානාත්මතා ගුණයයි.

එමෙන්ම උන්වහන්සේ පුද්ගල කැමැත්තට අවස්ථාව සැලසූහ. තද නීතිරීති වලින් සිය ශ්‍රාවකයන් හෙම්බත් නොකළ සේක. පාංශුකූල සිවුරු කැමැති කෙනෙකුට පොරවන ලෙසත්, ගහපති සිවුරු ද කැමැති නම් පොරවන ලෙසත් අනුදත්තේ එහෙයිනි.

 බෙලිඅත්ත, නිහිළුව, ධම්මානන්ද පිරිවෙන්පති රාජකීය පණ්ඩිත,
හත්තොටුවේ ඉන්දරතන හිමි

 ශ්‍රී බුද්ධ වර්ෂ 2551 ක් වූ වප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2007 ක් වූ ඔක්තෝබර් මස 25 වැනිද බ්‍රහස්පතින්දා බුදුසරණ පුවත්පතෙන් උපුටා ගැනිමකි

No comments:

Post a Comment