තමන් විසින් උපයනු ලබන සියලු දේ ආරක්ෂා කර ගැනීමට නම් අවේලාවේ වීදි සංචාරය , මත් වතුර පානය , සුරාව සූදුවට යාම මෙන්ම ස්ත්‍රීන් කෙරෙහි ලොල් වීම සහ කාන්තාවක් නම් පුරුෂයන් කෙරෙහි ලොල් වීමෙන් වැළැකීම බෙහෙවින් වැදගත් වන බව අප පසුගිය කලාපයෙන් දැනගත්තා. එමෙන්ම අලසභාවයෙන් තොරවීමත් මේ ආරක්ෂාව පිණිස හේතු වන බවත් අප එහිදී දැන ගත්තා. මේ සියල්ලටමත් වඩා එසේ ආරක්ෂා කර ගැනීම පිණිස කල්‍යාණ මිත්‍ර ඇසුරත් හේතුවනවා.
කල්‍යාණ මිත්‍රයන් ලෙස අප සලකන්නේ කවුරුන්ද? තම සැපේදී මෙන්ම දුකේදීත් ළඟින් සිටින සැබෑ මිත්‍රයන්. බුදුරජාණන් වහන්සේ ඒ සැබෑ මිත්‍රයන් කවුරුන්දැයි පැහැදිලිව පෙන්නුම් කළා.
තමන්ට හැකියාව තිබෙන විට ළංවන තමන් දුර්වල වන විට ඉවත් වෙනවා නම් ඔවුන් කලණ මිතුරන් නොවෙයි. සම්පූර්ණයෙන්ම කඩා වඩා ගැනීම පිණිස ඇසුරට ආ අය බව අප තේරුම් ගත යුතුවනවා. බලය පිරිහෙන්නාගෙන් ඈත් වී බලය සතු වන්නාට ළංවී තම බඩ වඩා ගැනීමයි ඔවුන්ගේ ලක්ෂණය වන්නේ. තමන් රැකීම පමණයි ඔවුන්ගේ එකම ඉලක්කය වන්නේ. ඔවුන් කරන්නේ බලය හිමි තැනැත්තා සමඟ එකතු වීමයි.
එම නිසා කල්‍යාණ මිත්‍රයන් කවුරුන්දැයි නිසි අයුරින් තේරුම් ගත යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා.
බුදුරජාණන් වහන්සේ විසින් වදාළ එක් මිතුරකු වන්නේ උපකාරක නම් වූ මිතුරායි. ප්‍රමාද වූ තම මිතුරාත් ඔහුගේ ධනයත් දේපළත් රැක දීම මේ මිතුරාගේ ස්වභාවයයි. බිය දැනුණු විට මිතුරාට උපකාර කරයි . යම් කටයුත්තක් ඇති කල්හි දෙගුණයක් කොට හැකි සියලු දේ ලබා දෙයි.
“සමාන සුඛ දුක්ඛ” නමින් හැඳින්වෙන මිතුරා හැම විට තම රහස් මිතුරාට කියයි. මිතුරාගේ රහස් හෙළි නොකරයි. මිතුරාට විපත් ආ කල අත් නොහරියි. මිතුරා වෙනුවෙන් ජීවිතය වුවත් ලබා දීමට සැරසී සිටියි.
“අත්ථක්ඛායි” නමින් හැඳින්වෙන මිතුරා පව් කිරීමෙන් මිතුරා වළක්වයි. එමෙන්ම යහපත් කටයුතුවල යොදවයි. මිතුරා අසා නැති දැනගත යුතු දේ දැන ගන්නට සලස්වයි. එමෙන්ම දෙව්ලොවට නැත්නම් විමුක්ති මඟ කියා දෙයි.
“අනුකම්පක” හෙවත් සිවුවැනි මිතුරාගේ ලක්ෂණ වන්නේ තම මිතුරාගේ පිරිහීමෙහි දී සතුටු නොවන බවයි. එමෙන්ම දියුණුවේදී සතුටු වෙයි.මිතුරාගේ නුගුණ කියන්නන් වළක්වයි. එමෙන්ම ගුණ කියන්නන්හට ප්‍රශංසා කරයි.
මෙලෙස කල්‍යාණ මිතුරන් සිටියදී මිතුරන් ලෙස පෙනී සිටින මිතුරු වෙස් ගත් පිරිස් ගැනද බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළා. ඒ ගැනද අප වඩාත් අවධානය යොමු කළ යුතුවනවා. වත්මන් සමාජයේ වැඩි වශයෙන් සිටින්නේ මේ මිත්‍ර ප්‍රතිරූපකයන් බවද අමතක නොකළ යුතුයි.
එයින් එක් වර්ගයක් හඳුන්වා ඇත්තේ “අඤ්ඤුදත්ථුහර” නමින්. ඔහුගේ ලක්ෂණ අතර ප්‍රධාන වන්නේ හිස් අතින් මිතුරා හමුවට පැමිණ මිතුරාගෙන් යමක් ගෙන යාමට උත්සාහ කිරීමයි. එමෙන්ම මිතුරාට සුළු දෙයක් ලබා දෙන්නේ වැඩි දෙයක් බලාපොරොත්තුවෙන්. තමාට විපතක් ඇති විට ඒ උදෙසා පමණක් මිතුරා ඇසුරු කරයි. හැම විටම තමාගේ ප්‍රයෝජනය පිණිස කටයුතු කරයි.
වචනයෙන් පමණක් හිතවත්කම් පෙන්වන “වචීපරම” නමින් හැඳින්වෙන අනෙක් මිතුරා ගැනද මනා අවබෝධයක් ලබා ගත යුත්තේ අද සමාජයේ වැඩි වශයෙන් වචීපරම පුද්ගලයන් සිටින බැවින්. යමක් ඉල්ලූ කළ “අයියෝ ඊයේ ඉල්ලුවනම් දෙන්න තිබුණා. “නැත්නම්”ආ..හෙට අනිද්දට දෙන්නම්” යනුවෙන් අතීතයෙන් හෝ අනාගතයෙන් සංග්‍රහ කිරීම මොහුගේ ලක්ෂණයයි. එමෙන්ම හිස් වචනයෙන් පිළිතුරු සැපයීමද මොහුගේ ලක්ෂණයයි. හැම විටම මිතුරා උපකාරයක් ඉල්ලු විට තමන්ට යම් කටයුත්තක් ඇති බව පෙන්වා මඟ හරියි.
“අනුප්පියභාණි’ නමින් හැඳින්වෙන මිතුරා පව් කිරීමත් අනුමත කරයි. කුසල් කිරීමද ද අනුමත කරයි මිතුරා සිටින තැන නැත්නම් මිතුරා ඉදිරියේදී ගුණ කියයි. මිතුරා නැති තැන නුගුණ කියයි.
“අපාය සහාය” නම් මිතුරු ප්‍රතිරූපකයා සැම විටම අපායගාමී කාර්යයන්ට තම මිතුරා ඇදගෙන යාමට උත්සාහ දරයි. එනම් මත්වතුර පානයට මිතුරා කැටුව යයි. අවේලාවේ වීදි සංචාරය කිරීම හා මිත්‍ර වෙයි. නැටුම්, ගැයුම්, වැයුම් ආදියට යාමට මිත්‍ර වෙයි. දූ කෙළියෙහි මිත්‍ර වෙයි. මේ මිත්‍ර ප්‍රතිරූපකයන්ගෙන් මිදී තම ආරක්ෂාව සලසා ගැනීමත් “ආරක්ඛ සම්පදා” යන්නට අයත් වන බවද අප අමතක කළ යුතු නැහැ.
ඔබගේ දියුණුවට සැම විටම කල්‍යාණ මිතුරන් සිටිය යුතුවනවා. ඇතැම් විට ඔබගේ කල්‍යාණ මිතුරා ඔබගේ බිරිය නැත්නම් ස්වාමි පුරුෂයා වන්නට පුළුවන්. සහෝදරයා හෝ සහෝදරිය වන්නට පුළුවන්. ඔබට දියුණුව කරා යාමට හැකි වන්නේ හොඳ කල්‍යාණ මිත්‍ර ඇසුරක් තියෙනවා නම් විතරයි.
කල්‍යාණ මිතුරන් නොසිටීමෙන්ම මෙන්ම තම ධන හානි වන තවත් මාර්ගද රැසක් තිබෙනවා. අවේලාවේ වීදි සංචාරය මත්වතුරට සුරාවට සූදුවට යොමුවීම මෙන්ම ස්ත්‍රීන් කෙරෙහි ලොල්වීම මෙන්ම අලස පුද්ගලයකු වීමත් ආරක්ඛ සම්පදා යන්නට බාධාවන බව සිහි තබා ගත යුතුවනවා.
මඳක් සිතා බලන්න. අවේලාවේ වීදි සංචාරය කරනු ලබන පුද්ගලයන් සෑම විටම අනාරක්ෂාකාරියි. ඒ අනාරක්ෂිතභාවයට ගොදුර වන්නේ තමන් පමණක් නොවේ. තම අඹු දරුවන් තමන්ගේ වස්තුව යනාදී සියල්ලම අනාරක්ෂිත තත්ත්වයට පත් වෙනවා. එමෙන්ම අවේලාවේ වීදි සංචාරය කරනු ලබන පුද්ගලයා සැක කටයුතු පුද්ගලයෙකු බවට පත් වෙනවා. ඔහුට නීතිමය ගැටලු පවා මතුවනවා. සුරාව පානයට යොමු වූ කලද තම මනස විකෘති වී සමාජයේ පිළිකුල් පුද්ගලයකු ලෙස ඔහු පත්වනවා. සුදුවට යොමු වන පුද්ගලයාගේ ධන හානිය වැළැක්විය නොහැකි වනවා. සූදුවෙන් පැරැදුණු කළ ඔහු දැඩි සේ ශෝක වන අතර යම් හෙයකින් ජයග්‍රහණය කළහොත් ඔහුට සතුරන් වැඩිවනවා.
ස්ත්‍රීන් කෙරෙහි ලොල්වීමෙන් ධන හානිය පමණක් නොව ඔහු සමාජයේ පිළිකුළට භාජනය වන්නකු බවට පත්වනවා. විවාහක අයකු නම් පවුල තුළ විශාල ගැටලු නිර්මාණය වනවා. අඹු දරුවන්ගේ දැඩි දෝෂාරෝපණයට ලක්වනවා. අවිවාහක අයකුට නම් ආවාහ විවාහ කර ගැනීමේදී විශාල ගැටලු මතු වෙනවා.
එම නිසා කල්‍යාණ මිත්තතා ගුණාංගය වඩමින් “සමජීවිකතා” ලෙසින් ජීවිතය ගත කිරීමටයි බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ. සමජීවිකතා ගුණාංගය වැඩීමේදී අනෙක් අය කෙරෙහිත් තම අවධානය යොමු කළ යුතු බව අවබෝධ කර ගත යුතු වනවා.
ආරක්ෂාවට මුල් තැනක් දෙමින් තම ආර්ථිකය මෙහෙයවන්න හැකියාවක් තිබිය යුතු වනවා. ආරක්ෂාව නැත්නම් රැක ගැනීම කියන්නේ සියල්ල ගොඩ ගහ ගැනීම නෙමෙයි. දියුණුවන පුද්ගලයා හැම විට පංචබලි දිය යුතු බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා.
එනම් “ඥාති බලි”, “අතිථී බලි”,පුබ්බපේත බලි,” “රාජබලි”, “දේවතා බලි” සඳහා ධනය යෙදවිය යුතුයි. අප විසින් ධාර්මිකව හරිහම්බ කර ගන්නා ධනය එසේ පරාර්ථය සඳහා ද වැය කළ යුතුවෙනවා. ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම රැක දෙන්නේත් එවිටයි.
ශාස්ත්‍රපති
දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ අධි ඇසළ අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජූලි 15
වනදා බදාදා බුදු සරණ පුවත්පතෙන් උපුටා ගැනිමකි
No comments:
Post a Comment