Labels

Friday, July 31, 2015

ඇසුරට සුදුසු නැති නම් තනිවම විසීම සැපතකි


“ආශ්‍රයට සුදුසු කෙනෙක් සොයන්නේ නම් තමාට වඩා ගුණයෙන් වැඩි අයෙකු හෝ
ගුණයෙන් සමානයකු සමග ආශ්‍රයට යා යුතුයි. එසේ සොයා ගන්නට නොහැකි නම් තනිවම සිටීම වඩා හොඳයි. කිසිදු ගුණයක් නැති, අසත්පුරුෂ අය සමඟ නම් ආශ්‍රයට නොයා යුතුය.” නොමනා, නුසුදුසු පුද්ගලයන්ගේ ආශ්‍රය නම් තමා විසින් තමාම නසා ගැනීමක් වනු ඇත

සාමාන්‍ය ජනවහරෙහි පවතින මෙවැනි අදහසක් ගැන ඔබත් අසා තිබෙන්නට පුළුවනි. පාසලට යනතෙක්ම කුඩා දරුවන්ගේ ළමා ලෝකයේ සිටින්නේ දෙමාපියනුයි.
අනතුරුව පාසල් යන්නට ආරම්භ කළාට පසුව, ළමා ලෝකයේ ආදර්ශයට ගන්නේ ගුරුවර ගුරුවරියන් ය. ඒ ගුරුවරුන් කෙරේ ඇති කරගන්නා වූ විශ්වාසය සහ ලෙන්ගතුකම නිසාය. මීළඟට “මෝරායන” වයස හෙවත් අවුරුදු දහතුන පමණ වන විට යහළු යෙහෙළියන්ගේ ආශ්‍රයට වැටෙති. තම ජීවිතවල මුල් කාලයේ ආදර්ශයන් වූ දෙමාපියන්ට සහ ගුරුවරුන්ට වඩා හිත මිතුරන් කෙරේ විශ්වාසය තබන්නට පටන් ගනී. කතාබහ, ගමන බිමන, ඇඳුම් පැළඳුම් ආදී වශයෙන් ඒ සියල්ලකම වෙනසක් දකින්නට හැකිය. මේ ස්වභාවය බොහෝ විටෙක අවුරුදු දහඅටක්, විස්සක් පමණ වනතෙක්ම දැකගත හැකි ය. වැඩිහිටියන් ලෙස තරමකින් හෝ සිතන්නට ආරම්භ කරන්නේ ඉන් අනතුරුවය. මේ ස්වභාවය සෑම දරුවෙකුටම එකහා සමානව නොවුනත්, බොහෝ දරුවන්ගේ හැසිරීම පවතින්නේ ඒ ආකාරයෙනි.

දරුවනේ, තවත් සිතා බැලිය යුතු ජීවිත ගමනේ පරිච්ඡේදයක් ගැන කතා කළ යුතු වෙයි. ඒ වයස විස්ස, විසිපහ වන විට ජීවිත ගමනේ ඇතිවන පරිණතභාවයයි. මේ ස්වභාවය සියලු දරුවන්ටම එකහා සමාන වන්නේ නැත. එයට හේතුව නම් අධ්‍යාපනික තත්ත්වය, සමාජ පරිසරය, ආශ්‍රය, දෙමාපියන්ගේ පසුබිම හා ආගම ධර්මයද හේතු සාධකවීමයි. නූගත්, එමෙන්ම යහපත් වූ සමාජ හෝ ආගමික හෝ ආශ්‍රයක් නැති තරුණයෙකුගේ හෝ තරුණියකගේ සිතුම් පැතුම් බොහෝම ආත්මාර්ථකාමී වෙන්නට පුළුවනි.
පරිණත බව සමගින්ම අන් අයට ඇහුම්කන් දෙන්නට නැඹුරුවෙයි. යම්විටෙක කොපමණ උගත් දරුවෙකු වුනද, ඉහළ තනතුරක් දැරුවද මෙසේ කියන්නට පුළුවනි. මම මේ ගැන අම්මාගෙන්, තාත්තගෙනුත්, අහල බලන්නම්. යම් විටෙක තමා තරම් උගත්කමක් හෝ රට ලෝකයේ අත්දැකීම් දෙමාපියන්ට නොතිබුණත්, දෙමාපියන්ගේ මුහුකුරාගිය ජීවිත අත්දැකිම් පිළිබඳ මේ උගත් දරුවන්ට අවබෝධයක් පවතිනවා ඇත. ඒ අතීත මතයද අවදිකරගනිමිනි. පාසල් යන කාලයේ යහළුවන්ගේ වදන්වලට රැවටිලා දෙමාපියන්ගේ, ගුරුවරුන්ගේ අවවාදවලට ඇහුම්කන් නුදුන් ආකාරයන් සිහිපත් කරමින් වෙන්නට පුළුවනි. අම්මා තාත්තා යමක් කියන විට “ඕවා යල් පැනපු අදහස් හෝ හනමිටි කාලේ දේවල්” යනුවෙන් අවඥාවෙන් යුතුව සරදම් කළ අයුරුද මතක් වීමෙන්ද වෙන්නට හැකි ය. තවත් දරුවන්ට අතීත මතකය සොඳුරු ලෙසද සිහිපත් කරමින් දෙමාපියන්ගේ ජීවිත අත්දැකීම් කෙරේ මනා වූ විශ්වාසයක් ඇතිකර ගැනීම නිසාද වෙන්නට පුළුවනි. “ඔව් මට මතකයි, පුංචි කාලේ ඉඳලම අම්මා, තාත්තා කියපු දෙයක් කවදාවත් වැරදුනේ නැහැ.”
මේ ඉහත සඳහන් කරපු තොරතුරුවලින් යහපත් වූ දේ ගැන සිතා බලන්නට යයි, පින්වත් දරුවනේ, ඔබට ආරාධනා කරන්නට කැමතියි. එහෙම වුණත්, ජීවිතය ගැඹුරින් තේරුම් ගන්නට, නැවත නිවැරැදි කරන්නට ඉතාමත් අපහසු බරපතල වැරදීමක් වනතෙක් බලාසිටින්නට එපා යයිද පවසන්නටත් කැමතියි. ඔබ දන්නවාද? සමහරවිට ජීවිතයේ බොහෝ දුක්ඛ දෝමනස්සයන්ට මුහුනපාලා ජීවිතය ගැන යම් හෝ වැටහීමක් ලබනා විට, ඔබේ දෙමාපියන්, කරුණාවන්ත ගුරුවරුන් මෙලොව ජීවත්ව නොසිටින්නට සිදුවේවි. “මම දන්නේ නැහැ, අම්මලා තාත්තලා මේවා කොහොම දැනගෙන හිටියද කියලා. මේවා ගැන කියලා හිත හදාගන්නවත් අම්මලා තාත්තලා දැන් ජීවත්ව නැහැනේ. මට සමාවෙන්න අම්මේ තාත්තේ.”
මෙම ලිපියේ මුලදීම යහළුවන් ගැන, හිතමිතුරන් ගැන සඳහන් කළා මතක ඇති. බොහෝ අයෙකුගේ ජීවිතවල ලොකු වෙනස්කම් යහළුවන් නිසා ඇතිවී තිබෙන බව පෙනේ. සමහර අයට යහළුවන් නිසා හිරේ විලංගුවේ වැටෙන්නට පමණක් නෙවෙයි. ජීවිත නැතිවෙන තරමට බලපෑම් ඇතිවී තිබේ. සමහර අයගේ ජීවිත යහමඟට පත්ව තිබෙන්නේත් සත්පුරුෂ වූද කල්‍යාණවන්ත වූත් යහළුවන් නිසායි. මේ ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යරත්නය වූ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් මඟට යොමුවෙන්නට යයි මම ආරාධනා කරමි. මේ උතුම් වූ දේශනා ගැන ටිකක් වත් සිතා බලන්නට යයි මම ඔබට කාරුණිකව සඳහන් කරමි. භාග්‍යවතුන් වහන්සේ විසින් මංගල සූත්‍රයේ දී පෙන්වා දුන් පළවෙනි සහ දෙවෙනි මංගල කරුණුවලින් ඔබ යමක් නුවණින් සිතා බලන්න. “අසේවනාච බාලානං, පණ්ඩිතානංච සේවනා.” බාලයන් නම් වූ දුර්ගුණ ඇති පුද්ගලයන් ආශ්‍රය නොකිරීමත්, සුගුණ ඇති පණ්ඩිත නම් වූ සත්පුරුෂයන් ආශ්‍රය කිරීමත් මංගල කරුණුය. භාග්‍යවතුන් වහන්සේ කල්‍යාණමිත්ත සූත්‍රයේ දී මෙසේ දේශනා කරති. “කල්‍යාණමිත්තස්ස භික්‍ඛවේ අනුප්පන්නාචේව කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නාච අකුසලා ධම්මා පරිහායන්ති,” මහණෙනි, කල්‍යාණ මිත්‍රයන් ඇති තැනත්තාට නූපන්නාවූද කුසල ධර්මයෝ උපදිත්. උපන්නාවූද අකුසල ධර්මයෝ පිරිහෙත්. හැබෑවටම දරුවනේ සිතා බලන්න. අපගේ යහළුවෙක් නිසා අඩුපාඩුකම්, වැරැදි, හදාගෙන වඩ වඩාත් හොඳ මඟටම පැමිණෙන්නට හැකි නම් එය කොපමණ වටිනවාද? සිඟාලෝවාද සූත්‍රයෙහි දේශනා කොට ඇති පරිදි වැරැදි වූ මිත්‍ර ප්‍රතිරූපකයෙක් හමුවුණොත් ජීවිතයේ සියල්ලම උඩුකුරු යටිකුරු වේවි. එහි විස්තර කරන අයුරින් අඤ්ඤදත්ථුහර නම්, තම වාසිය සඳහා යහළුවන් ඇසුරු කරන පුද්ගලයායි. නිතරම කුමක් හෝ ගැනීමට මාන බලයි. වචීපරම නම් වූ මිත්‍ර ප්‍රතිරූපකයාගේ ලක්‍ෂණ නම් අතීතයෙන්ද අනාගතයෙන්ද වචනයෙන් පමණක්ම සංග්‍රහ කිරීමයි. අනුප්පියභාණී නම් චිත්‍ර ප්‍රතිරූපකයාගේ ලක්‍ෂණ නම් යමක් කිරීමේ දී හොඳ නරක දෙකම අනුමත කිරීමය. එමෙන්ම මුහුණට ගුණ කියා නැති තැන දොස් පැවරීමය. මීළඟට, හතරවෙනුව දක්වන භයානකම මිත්‍ර ප්‍රතිරූපක තැනැත්තා නම් අපායසහාය මිතුරාය. ඔහු හෝ ඇය විසින් මත්වතුර හෝ මත්ද්‍රව්‍ය භාවිතයට උදව් දෙනු ලැබේ. එයට සහාය වෙයි. අවේලාවෙහි නිකරුනේ සංචාරයට කැඳවාගෙන යයි. කළ යුතු දේ පවා මඟහරවා ගෙන නැටුම් ගැයුම් වැනි විනෝදජනක දේටම පොළඹවයි. එමෙන්ම සුදුවටද පොළඹවයි. මේ සඳහන් කළ සියල්ලම යම් ජීවිතයක විනාශය පිණිසම හේතු නොවන්නේ දැයි ඔබම සිතා බලන්න.
ඇතැම් තරුණ දරුවන් මතට හා සූදුවට යොමු වී ඇත්තේ මිතුරු වෙසින් පෙනී සිටින ඉහත සඳහන් කළ ආකාරයේ මිත්‍ර ප්‍රතිරූපකයන් නිසාය. නැතිනම් වැරැදි යහළුවන් නිසාය. මෙසේ නොමඟට ගිය දරුවන් නිසා හඬා වැළපෙන දෙමාපියන් කොපමණ නම් වෙත්ද? යහළුවන් නිසා නොමඟට වැටී මුළු පවුලක්ම අගාධයකට ඇද දමන ස්වාමි පුරුෂයන් නිසා අන්ත අසරණ වන භාර්යාවන් කොපමණ නම් වෙත්ද? ඔබත් මෙවැනි මිත්‍ර ප්‍රතිරූපකයෙක් නොවන්නට පළමුව වගබලා ගන්න. දෙවනුව එවැනි මිත්‍ර ප්‍රතිරූපක අයගෙන් ප්‍රවේශම් වන්න. ඔබට ඒ ගැන හරි අවබෝධයක් නැතිනම්, ජීවිතවල හැබෑ අත්දැකීම් ඇති දෙමාපියන්ගේ අදහස්වලටද ඇහුම්කන් දෙන්න.
මේ පහත සඳහන් කරන යහපත් කළණ මිතුරෙක් හෝ මිතුරියක් බවට පත්වෙන්නට ඔබට හැකිද? ඔබ දැනටමත් මෙවැනි යහපත් අයෙක් නම් කොපමණ අගනේද?
“ආශ්‍රයට සුදුසු කෙනෙක් සොයන්නේ නම් තමාට වඩා ගුණයෙන් වැඩි අයෙකු හෝ ගුණයෙන් සමානයකු සමග ආශ්‍රයට යා යුතුයි. එසේ සොයා ගන්නට නොහැකි නම් තනිවම සිටීම වඩා හොඳයි. කිසිදු ගුණයක් නැති, අසත්පුරුෂ අය සමඟ නම් ආශ්‍රයට නොයා යුතුය.” නොමනා, නුසුදුසු පුද්ගලයන්ගේ ආශ්‍රය නම් තමා විසින් තමාම නසා ගැනීමක් වනු ඇත

 බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ
සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි




 ශ්‍රී බුද්ධ වර්ෂ 2555 ක් වූ නවම් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ පෙබරවාරි 07 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි

No comments:

Post a Comment