ලොව සෑම ආගමකම පිළිගත් වැදගත් සදාචාර ප්‍රතිපත්තියක් ලෙස වැඩිහිටියන්ට සැලකීම නම් කළ හැකිය. බුදුසමයෙන් ඉදිරිපත්කරන සදාචාරාත්මක ඉගැන්වීම් අතර වුද්ධාපචායන යනුවෙන් අදහස් කරන්නේ වැඩිහිටියන් උදෙසා කරන ගෞරවය හා උපහාරයයි. ගිහි පැවිදි දෙපක්ෂය විසින්ම අනුගමනය කළ යුතු යහපත් චර්යාවක් ලෙස එය අවධාරණය කර ඇති බව පැහැදිලිය. බුදුසමයට අනුව වයෝවෘද්ධ, ඤාණවෘද්ධ, තපෝවෘද්ධ, සීලවෘද්ධ, ගුණෝවෘද්ධ යනුවෙන් වැඩිහිටියන් කාණ්ඩ පහකට අයත් වේ. මෙම ලිපියෙහි සාකච්ඡා කරන්නේ වයෝවෘද්ධ පුද්ගලයන් සම්බන්ධයෙන්ය. වර්තමාන සමාජයේ දක්නට ලැබෙන අතිශය ඛේදනීය කරුණක් වන්නේ වියපත් පුරවැසියන් හා තරුණ පුරවැසියන් අතර පවතින අන්‍යනෝ්‍ය නොගැළපීම හා අනවබෝධයයි. මෙය ගිිහි පැවිදි දෙපක්ෂයටම පොදු කරුණකි.
මේ නිසා වැඩිහිටි මව්වරු හා පියවරු දහස් ගණනින් දුකට හා වේදනාවට පත් වී සිටිති. එසේම තම පැවිදි සිසුන්ගේ නිසි රැකවරණය නොලැබෙන වැඩිහිටි හිමිවරු රැසක්ද දක්නට ලැබේ. මේ සඳහා විසඳුමක් ලෙස රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන මගින් පවත්වාගෙන යන වැඩිහිටි නිවාස හා භික්ෂු ගිලානාගාර රැසක් දක්නට ලැබේ. කොතෙක් අඩුපාඩු පැවතුණාද මෙම වැඩිහිටි නිවාස මගින් අසරණ වැඩිහිටියන්ට ලැබෙන සේවය අගය කළ හැකිය. වැඩිහිටි නිවසක ජීවත් වන දෙමාපියන් හා වැඩිහිටියන්ගෙන් ඉතා විශාල ප්‍රමාණයක් දූ දරුවන් සිටින අය වේ. මේ අතර අවිවාහක වැඩිහිටියන් මෙන්ම උපතින්ම ආබාධිත හා මන්දමානසික රෝගයන්ගෙන් පෙළෙන පිරිසක්ද දක්නට ලැබේ. කවර මට්ටමකට අයත් වුවද ඒ සියලු වැඩිහිටි පුරවැසියන් නිසි සැලකිල්ල,ආදරය, උණුසුම මෙන්ම රැකවරණය ලැබිය යුතු පිරිසකි. වැඩිහිටි නිවාස සංකල්පය සිංහල බෞද්ධ සමාජයට ඉඳුරාම ආධුනික වූවකි. එය යුරෝපීයයන් විසින් මෙරටට හඳුන්වා දෙන ලද්දක් සේ සැලකේ. සිංහල බෞද්ධ සංස්කෘතිය යටතේ එවැනි ආයතන පිහිටුවීම අවශ්‍ය නොවුයේ වැඩිහිටියන් රැකබලා ගැනීම කාගේත් යුතුකම හා වගකීම වූ හෙයිනි. එහෙත් කාලයත් සමඟ සමාජය වාණිජකරණයට ලක්වීම, විස්තෘත පවුල වෙනුවට න්‍යෂ්ටික පවුල් වර්ධනය වීම හා කාර්ය බහුල වීම ආදී හේතු නිසා පෙර පරිදි වියපත් දෙමාපියන් හා වැඩිහිටියන් පිලිබඳ දක්වන සැලකිල්ල හා ආදරය ක්‍රමයෙන් අඩුවී නොසලකා හරින තත්ත්වයකට පත්ව තිබේ. මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස වැඩිහිටියන් හා තරුණ පිරිස් අතර නොයෙකුත් ගැටුම් නිර්මාණය වී තිබෙන අතර අසරණ වැඩිහිටියන් මහ මග අතරමං කර යන අවස්ථා වාර්තා වේ. මෙවැනි දෑ සිදුවීමට බලපාන විවිධ සමාජ ආර්ථික හා මනෝවිද්‍යා-ත්මක හේතු රැසක් දක්නට ලැබේ.
කවර හේතුවක් තුළ වුවද බෞද්ධ සදාචාරය අනුව නම් මෙවැනි නොසලකා හැරීම් කිසිසේත්ම අනුමත කළ නොහැකිය. දෙමාපියන් හා වැඩිහිටියන් රැකබලා ගැනීම කාගේත් යුතුකමකි. බුදුරජාණන් වහන්සේ දෙමාපියන්ට හා වැඩිහිටියන්ට සැළකීමේ වටිනාකම ආදර්ශයෙන්ම පෙන්වා දුන්සේක. ගිහි බෞද්ධ සදාචාරය යටතේ දෙමාපියන්ට සැළකීම අවධාරණය කර ඇති අයුරු සිඟාලෝවාද සූත්‍රයෙන් පැහැදිලි වේ. එහි දැක්වෙන්නේ දරුවන් විසින් කරුණු පහකින් දෙමාපියන්ට සංග්‍රහ කල යුතු බවයි. එනම් තමා පෝෂණය කළ දෙමාපියන් වියපත් වූ පසුව පෝෂණය කිරීම,දෙමාපියන්ගේ කුදුමහත් කටයුතු කරදීම, පවුලේ යම් සම්ප්‍රදායක් හො පිළිවෙතක් තිබුණේ නම් එය ආරක්ෂා කිරීම , මව්පියන් විසින් යම් දායාදයක් පැවරුවේ නම් එය සැලකිල්ලෙන් ආරක්ෂා කිරීම, මව්පියන් මියගිය පසුව දක්ෂිණා පිරි නැමීමෙන් පුණ්‍යානුමෝදනා කිරීම, දෙමාපියන් හා වැඩිහිටියන් වෙනුවෙන් ඉටුකළ යුතුකම් හා සේවය ඔවුන් ජීවත්ව සිටින තෙක් පමණක් නොව ඔවුන්ගේ මරණින් පසුවද සිදුකළ යුතු බව මෙම බුද්ධ වචනයෙන් පැහැදිලි වේ. එහෙත් මෙම බුද්ධානුශාසනය අනුගමනය කරන්නේ කොතරම් සුළු ප්‍රමාණයක්දැයි දෛනිකව දක්නට ලැබෙන විවිධ සිදුවීම්වලින් පැහැදිලි වේ. මේ පිළිබද විවිධ දේශනා හා සාකච්ඡා මගින් සමාජය දැනුවත් කිරීම සිදුවේ. එහෙත් කලින් කලට දෙමාපියන්ට අකාරුණිකව සලකන පිරිසක් දක්නට ලැබේ. වැඩිහිටියන් හා තරුණ පරපුර අතර පවතින නොගැළපීම මෙයට එක් හේතුවකි. බොහෝ දෙනෙකුට වැඩිහිටියන්ගේ මානසික තත්ත්වයන් මැනවින් වටහා ගැනීමට නොහැකි වී තිබේ. වර්තමාන තරගකාරි ජීවන රටාව යටතේ වර්ධනය වෙමින් පවතින කඩිනමින් පොහොසත් වීම හා විනෝදවීම ජීවිතය කරගත් බොහෝ දෙනෙකු කල්පනා කරන්නේ වියපත් දෙමාපියන් හා වැඩිහිටියන් අතිරේක කරදරයක් ලෙසය.ඇතැම් විට මහළු දෙමාපියන් හා වැඩිහිටියන් දෙස බලන්නේ අතිශය පිළිකුල් සහගත හැගීමෙන්ය. ඔවුන් ගේ අබල දුබලකම හා රෝගී තත්ත්වයන් දෙස සානුකම්පිතව බලන්නට උත්සුක වන්නේ ඉතා කලාතුරකින්ය.
වියපත් වැඩිහිටියන්ගේ ඇතැම් අනුවණ චර්යා මෙන්ම හිතුවක්කාරී හැසිරීම් හා ආකල්ප නිසා ද තරුණ පිරිසට ඔවුන් වදයක් වන අවස්ථාද කොතෙකුත් දක්නට පුළුවන. කොතෙකුත් දෑ ඔවුන්ට ලබාදුන්නත් සෑහීමකට පත්නොවන අවස්ථාද කොතෙකුත් දක්නට පුළුවන.කොතෙකුත් දෑ ඔවුන්ට ලබාදුන්නත් සෑහීමකට පත්නොවන අවස්ථාද තිබේ. හැකියාව තිබුණත් දරුවන්ගේ කටයුතුවලට උදව් නොකරන අය දක්නට ලැබේ. තම තරුණ දරුවන්ගේ සියලුම හැසිරීම් හා ආකල්ප වැරැදි යැයි සිතන හා එසේ කල්පනා කරන දෙමාපියන් හා වැඩිහියටියන් දක්නට ලැබේ’.මෙම පසුබිම යටතේ වියපත් වැඩිහිටියන් පළමුව වටහාගත ගතයුතු වැදගත් කරුණක් වන්නේ කලින් කලට සියල්ල වෙනස්වන බවයි. මෙය බුදුදහමෙන් පෙන්වාදෙන පරම සත්‍යයයි. අනිත්‍යතාව පිළිබද බුදුරදුන්ගේ දේශනය අත්දැකීමෙන් අවබෝධකරගත් කෙනෙකුට සමාජය සමඟ කිසිම ගැටුමක් නැත. සමාජය හා ලෝකය වෙනස්වන බව වැඩිහිටියන් අවබෝධකරගන්නේ නම් ඔවුන් හා තරුණ පරපුර අතර ගැටුමක් ඇති නොවේ’. තමන්ට පෙර පැවති කායික හා මානසික ශක්තිය දැන් නොමැති බවත් තම ශරීරය මෙන්ම බාහිර ලෝකයත් වෙනස් වී ඇති බවත් වටහා ගත යුතුවේ. එබැවින් තම වැඩිහිටි වයසට උචිත ආකාරයට තමන්ගේ සියලු ආකල්ප චර්යාවන් පිළිවෙත් මෙන්ම බාහිර වශයෙන් ඇදුම් පැළඳුම් හා විලාසිතාවන්ද වෙනස් විය යුතුය යන්න වැඩිහිටියන් වටහාගත යුතු වැදගත් කරුණකි. එමෙන්ම තමන්ට පෙර පැවති සමාජ නායකත්ත්වය හා පිළිගැනීම හෝ ගෞරවය ඒ ආකාරයෙන්ම තවදුරටත් නොලැබෙන බවද වටහාගත යුතුවේ. තමන්ගේ ජීවිතයේ අවසන් කාලය පූර්ණ ආගමික ජීවිතයකට කැපකිරීමේ වටිනාකම නිතර සිහියට නගාගත යුතුවේ. සේවයෙන් විශ්‍රාම ගිය වැඩිහිටි පිරිසට තම ජීවිතයේ සෙසු කාලය පූර්ණ වශයෙන් ආගමික ප්‍රතිපදාවකට යොමු කළ හැකිය. පරිණත ජීවන අත්දැකීම් නිසා වැඩි වැඩියෙන් ධර්මය අවබෝධකරගත හැකිය. වගකීම් වලින් නිදහසක් ලැබෙන හෙයින් ධර්මය පිළිබද විවේකයෙන් කියවා බැලීම සාකච්ඡා කිරීම කළ හැකිය. උතුම් සද්ධර්මය ලියවී, තිබෙන ත්‍රිපිටකය මුල සිට අගට කියවා බැලිය හැකිය.මෙ සඳහා ලියවුණු සිංහල හා ඉංගී‍්‍රසි පරිවර්තන සහිත ත්‍රිපිටක ග්‍රන්ථ සුලබව පවති.
වැඩිහිටියන්ගේ ජීවිත ඇසුරෙන් තරුණ පරපුරද තම අනාගත ජීවිතය කුමන ආකාරයේ එකක් වන්නේද යන්න අවබෝධකරගත යුතුයි. ජරා, ව්‍යාධි, මරණ හෙවත් මහලු වීම, ලෙඩවීම හා මරණය සෑම දෙනෙකුටම පොදු අනිවාර්යෙන්ම මුහුණ දීමට සිදුවන ධර්මතාවකි. තරුණ බව නිසා ශරීර ශක්තියෙන් මෙන්ම ධනයෙන් හා බලයෙන් ආඩ්‍යව සිටියත් අනාගතයේදී යම් දිනයක තම මව පියා හා වියපත් වැඩිහිටියන් මුහුණ දෙන දුක්ඛදායක තත්ත්වයට පත්වීමට තමාටත් සිදුවෙන බව වටහාගත යුතුවේ. තරුණ පිරිස වටහාගත යුතු වැදගත් කරුණක් නම් මෙම වැඩිහිටියන් එක් අතකින් ශාරිරික වශයෙන් පමණක් නොව මානසික දුර්වලතාවන්ගෙන්ද පෙළෙන බවයි. ඔවුන් අතරින් ඇතැමෙක් අපේක්ෂා භංගත්වයට පත්ව සිටින අතර හුදකලාව පාළුව තනිකම හා කාන්සියෙන්ද තමන් නොසළකා හැර ඇත යන හැගීමේන් පීඩාවට පත්ව සිටී. මෙම පසුබිම යටතේ ඔවුන් දැනුවත් ව හෝ නොදැනුවත්ව තම දරුවන් කෙරෙහි වෛරයකින් මෙන්ම කෝපයකින් යුක්තව කටයුතු කරන අවස්ථා තිබේ. එයට අමතරව හිතුවක්කාරි ආකල්ප හා හැසිරීම් රටාවන්ගෙන් යුක්ත වෙති. කොතරම් කාරුණිකව සැලකුවද ඒ ගැන සතුටු නොවේ. තම දරුවන්ගේ නොයෙක් වැරැදි අන් අය සමඟ ප්‍රකාශ කරති. මොවුන්ගේ මෙම හැසිරීම් රටාව වෙනස්කිරීම අසීරු බව වටහාගත යුතුවේ.මෙම වැටහීම ඇතිවූ විට දෙමාපියන්ට හා වැඩිහිටියන් කෙරෙහි දක්වන අකාරුණික බව හා නොසැලකිල්ල අවම වේ.අනෙක් අතට ඔවුන් කෙරෙහි ඇතිකරගන්නා වූ කලකිරීම ද්වේෂය හෝ පිළිකුල නිසා පලමුව තරුණ ඔබ මානසික වශයෙන් අපිරිසුදු අයකු බවට පත්වේ. දෙවනුව දෙමාපියන් හා වැඩිහිටියන් කෙරෙහි ඔබ අතින් සිදුවන බැනවැදීම් හා නින්දා අපහාස හා නොසැලකීම් නිසා ඔබ පව්කාරයෙකු බවට පත්වේ. මෙම කරුණුූ දෙකම නිසා ඔබට සිදුවන්නේ අයහපතකි. එබැවින් ඉවසීමෙන් යුක්තව කටයුතු කිරීම තරුණ ඔබගේ වගකීමකි. යම් හේතුවක් නිසා ඔබ අතින් ඔවුන්ට වරදක් වූයේ නම් දෙපා නැමඳ සමාව අයදීම වුව අකුශල කර්ම විපාකයෙන් මිදීමට හේතුවන බව වටහා ගත යුතුවේ.
අප සැම වටහා ගත යුතු එක් වැදගත් කරුණක් වන්නේ අප අත්පත්කරගත් සියලු ජයග්‍රහණ පිටුපස බොහෝ දෙනෙකුගේ කැපවීම් හා මඟපෙන්වීම් මෙන්ම උපකාරය පවතින බවයි. තනියෙන් කිසිවෙකුටත් කිසිවක් අත්පත්කරගත නොහැකිය. එය අවබෝධකරගෙන තම වර්තමාන දියුණුවට උපාකරි වු සැමට කෘතඥ වීම හා කළගුණ සැලකීම සද්පුරුෂ ගුණයකි. මෙම සද් ප්‍රතිපදාවෙහි පිහිටා තමන්ට උපාකරිවූ දෙමාපියන් හා වැඩිහිටියන්ට කරුණාවෙන් සැලකීම සදාචාර සම්පන්න ජීවිතයට එක්කරගත යුතු උදාර පුරුෂාර්ථයකි. ඔවුන් නොසළකා හැරීම හා අකාරුණිකව සැලකීම වසල ධර්මයක් මෙන්ම පිරිහීමට හේතුවක් බව බුදුසමයෙන් අවධාරණය කර ඇත. දෙමාපියන්ට හා වැඩිහිටියන්ට සැලකීමේ වැදගත්කම බුදුරදුන් ආදර්ශයෙන්ම පෙන්වා දුන්නහ. බහුවිධ මාධ්‍ය ඔස්සේ කෙරෙන ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා මගින් මෙය නිතර අවධාරණය කෙරේ.
දරුවන්ගේ සැලකිල්ල නොලබා වැඩිහිටි නිවාසවල ගත කරන දෙමාපියන්ට හා වැඩිහිටියන්ට කොතෙක් පහසුකම් ලැබුණත් ඔවුන්ගේ සිත් තුළ පවතින්නේ දුක හා වේදනාවයි. තම දරුවන් හා සතුටින් ගතකරන්නට අවස්ථාවක් නැවත ලැබේද යන අවිනිශ්චිත සිතින් යුක්තව වාසය කරති. පිටස්තර පුද්ගලයන් විසින් කොතෙකුත් හොඳ ආහාර පාන ඇදුම් ආදිය ලබාදුන්නත් සැම මොහොතකම ඔවුන්ට තම දරුවන් සිහිපත් වනු ඇත. තම දරුවන්ගේ ආදරය හා රැකවරණය නොමැතිකල පිටස්තරයන්ගෙන් ලැබෙන සැලකිලි ගැන ඔවුහු උනන්දු නොවෙති. භෞතික වශයෙන් කොතරම් සුවපහසු දිවියක් ලැබුණත් ඔවුන් තුළ මානසික සංහිදියාවක් නොමැති බව මෙම වැඩිහිටි නිවාසවල වෙසෙන දෙමව්පියන් හා වැඩිහිටියන් සමග සමීපව සාකච්ඡා කළ විට පැහැදිලි වේ. මේ අනුව වැඩිහිටියන්ගේ සතුට රැදී තිබෙන්නේ ඔවුන්ට ලැබෙන භෞතික පහසුකම් මත නොවන බව පැහැදිලිය. මෙම තත්ත්වය තරුණ දරුවන් මැනවින් වටහා ගත යුතුයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන ඒකකයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත දර්ශනපති
උඩුහාවර ආනන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ ඇසළ පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජූලි 24
වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ
ලිපියකින් උපුටා ගැනිමකි
No comments:
Post a Comment