Labels

Friday, July 17, 2015

අනුන්ගේ දොස් සෙවීම සැපතට මඟ නොවේ

 

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
න පරෙසං විලොමානි - න පරෙසං කතාකතං
අත්තනොව අවෙ‍ෙක්‍ඛය්‍ය -කතානි අකතානි ච 

 

අද උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය යි. ඉහත සඳහන් කළ මාතෘකා ගාථාවෙන් අර්ථවත් වනුයේ පුද්ගලයකුගේ ජීවිතය සාර්ථකත්වයට පත් කර ගැනීම පිණිස අනුගමනය කළ යුතු පිළිවෙතක් ගැන ය.ලෝකයාගේ සාමාන්‍ය පිළිවෙත වනුයේ අනුන්ගේ දොස් පරොස් ගැන සොයා බැලීම යි. එවැනි දෑ මගින් , එවැනි අය , පරිහානියට පත් වනු මිස , යහපතක් සිදු නොවේ. ඉන් පසක් වන තවත් එක් සත්‍යයක් වනුයේ පුහුදුන් මනුෂ්‍යයා තුළ දුර්වලතා අඩුපාඩු දක්නට ලැබෙන බවයි.ඊට හේතුව නම් බුදුදහමෙන් පෙන්වා දුන් මිනිස් සිතේ ඇති ක්ලේශයන්හි ස්වභාවය යි. එම ක්ලේශ පුහුදුන් සත්වයන් තුළ දක්නට ලැබෙන අතර, ඔවුන්ගේ සසර පැවැත්ම අනුව එහි අඩු වැඩි බවක් දක්නට ලැබෙයි.


එක් පුද්ගලයෙක් අධික ලෙස ලෝභීව කටයුතු කරන අතර, තවත් කෙනෙක් නිර්ලෝභීව කටයුතු කරන අයුරු දක්නට ලැබෙයි. කෙනෙකු තුළ ද්වේශ සහගත ස්වරූපයක් දක්නට ලැබෙන අතර තවත් කෙනෙක් තුළ එහි අඩුවක් දක්නට ලැබිය හැකිය.කෙනෙකු බුද්ධිමත්ව කටයුතු කරන අතර, තවත් කෙනෙක් ඊට වෙනස්ව කටයුතු කරනු දැකිය හැකි ය.
මෙයට හේතු වශයෙන් සම්බුදු දහම පෙන්වා දෙන්නේ ඒ ඒ පුද්ගලයන්ගේ සිත්වල ස්වභාවය යි.


පාරමිතා යනුවෙන් බුදුදහමේ ඉගැන්වෙන පිළිවෙත් ඉහත කී දුර්වලතා ඉවත් කර ගැනීමට කෙනකුට මඟ සලසා දෙයි. පාරමී පිරූ තැනැත්තකු හා පාරමිතා නොපිරූ තැනැත්තකු අතර දක්නට ඇති වෙනස මගින් එය වටහා ගත හැකියි. රහත් බවට පත්වන තෙක් පුද්ගලයන් තුළ කෙලෙස් අඩු වැඩි වශයෙන් පවතින්නේ ඒ නිසාය.
දාන ,ශීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා මගින් සිදු කරනු ලබන්නේ ද එම වැරැදි අනුක්‍රමයෙන් අඩු කර ගැනීම යි.
ඉහත සඳහන් කළ පරිදි තමා තුළ පවත්නා අඩු පාඩු දෙස අවංකව බලා, ඒවා සකස් කර ගැනීමට ක්‍රියා කරන ලෙස බුදුරජාණන් වහන්සේ ලෝකයාට අනුශාසනා කළ වදාළහ.
සසර ගමනේ පැවැත්මට හෝ නැවැත්මට වගකිව යුතු වන්නේ තමා ම බව, බුදුරජාණන් වහන්සේ නිතර පෙන්වා දුන්හ. තම තමන්ගේ අඩුපාඩු දෙස බලා ඒවා නිවැරැදි කර ගැනීමෙන් යහපත් ජීවිතයකට පිවිසීමේ වගකීම ඒ ඒ පුද්ගලයා වෙත ම පැවරෙන බව පෙන්වා දුන්හ.
“තුම්හෙහි කිච්චං ආතප්පං - අක්‍ඛාතාරො තථාගතා “ යනුවෙන් තථාගතයන් වහන්සේ මග කියා දෙන බවත්, ඒ මග ගමන් කිරීමේ වගකීම තමා තුළ පවත්නා බවත් පැහැදිලි කිරීමෙන්, එය වඩාත් සනාථ කර ඇත. එහෙත් භාරතීය සමාජයේ පැවැති යම් යම් ඉගැන්වීම්වලට අනුව පුද්ගලයාගේ විමුක්තිය වෙනත් කෙනකුට පවරා දී තිබූ අදහස එමගින් ඉවත් කර, තමන්ගේ විමුක්තිය තමා තුළම පවත්නා බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.
සම්බුදු දහමට අනුව තමාගේ විමුක්තියට මාවත් තුනක් විවරණය වී ඇත. තුන්තරා බෝධිය නමින් හඳුන්වන බුදු, පසේබුදු, මහරහත් යන මාර්ග තුන එමගින් පෙන්වා දෙයි. එය සාර්ථක කර ගැනීමට, ක්‍රියා කළ යුත්තේ ඒ ඒ පුද්ගලයා ය. තමා පතන බෝධියකින් නිවන් සුවයට පැමිණීමට පාරමී පිරිය යුතුයි.
තමාට අභිමත මාවතක් තෝරා ගෙන ඒ ඔස්සේ ගමන් කර, සම්මා සම්බුද්ධත්වයට පත්ව හෝ පච්චේක බුද්ධත්වයට පත්ව හෝ අරහන්ත බුද්ධත්වයට පත්ව නිවනට පිවිසීමට ඒ ඒ පුද්ගලයාගේ ක්‍රියාකාරිත්වය ම හේතුවෙයි.
ඒ සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත නිසි ආකාරයට අනුගමනය කිරීමෙන් තමාගේ අභිමතාර්ථය සාර්ථක කර ගැනීමට හැම කෙනකුටම අවස්ථාව ඇත.
මට නිවන් සුව ලැබේවා යි පතමින් සිටීමෙන් පමණක් එය ලබා ගැනීමට හැකියාවක් නැත. ඒ සඳහා අවශ්‍ය පිළිවෙත ක්‍රියාත්මක කළ යුතුය.
අධ්‍යාපනය ලබන කුඩා දරුවෙක් අනාගත අපේක්‍ෂා වශයෙන් වෛද්‍යවරයකු , ඉංජිනේරුවරයකු ආචාර්යවරයකු ආදී වශයෙන් යම් තත්ත්වයකට පත්වීම සඳහා ප්‍රාර්ථනා කරමින් සිටීමෙන් පමණක් ඔහුට ඒ තත්ත්වයට පත් විය නොහැකි වනු ඇත. එහෙත් නියමිත පරිදි එම කුඩා දරුවා අධ්‍යාපන කටයුතු තමා බලාපොරොත්තු වන තත්ත්වයට සුදුසු පරිදි ක්‍රියාත්මක කිරීම මගින් අදාළ තත්ත්වයට පත්විය හැකි බව පැහැදිලිය.
පුහුදුන් ගතිය නිසා තමා තුළ ඇති අඩුපාඩු ඉවත් කර ගනිමින් භවයෙන් භවය මනස දියුණු කර ගැනීමට පුරුදු පුහුණු විය යුතුය.
ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා දස පාරමිතා ආදී පිළිවෙත් පුද්ගල විමුක්තියට ඉවහල් වනුයේ ඒ අයුරිනි. පළමුව සඳහන් කළ පරිදි නිවන් පසක් කර ගැනීම දක්වා එවැනි ක්ලේශ පුහුදුන් මනුෂ්‍යයා තුළ දක්නට ලැබේ.
මිනිස් සන්තාන තුළ පවත්නා විවිධ අන්දමේ ක්ලේශ අනුක්‍රමයෙන් ප්‍රහාණය වන ආකාරය සෝවාන් සකෘදාගාමී අනාගාමී ආදී මාර්ග ඵල පිළිබඳ ඉගැන්වීම් වලින් පැහැදිලි වෙයි.
මිනිස් සිත තුළ බල පවත්නා හැඟීම් වල අවස්ථා තුනක් බුදු දහම පෙන්වාදෙයි. අනුසය, පරියුට්ඨාන සහ ද්වීතික්කම යනු , එම තුනයි. සිතෙහි කෙලෙස් තැන්පත්ව ඇති අවස්ථාව, අනුසය අවස්ථාවයි.එසේ තිබීම, වෙනත් කුසල ක්‍රියා සිදු කිරීමට බාධාවක් නොවේ. එසේ පවතින කෙලෙස් ඉස්මතු වීමට යම් අරමුණක් පැමිණිය යුතුය. ක්ලේශ නැගී සිටීමට හේතුවන අරමුණක් පැමිණි විට ඒවා නැගී සිටියි. එසේ නැගී සිටීමේ අවස්ථාව පරියුට්ඨාන වශයෙන් සඳහන් කළ හැකි ය. එසේ නැගී සිටි ක්ලේශ ක්‍රියාවෙන් සහ වචනයෙන් ක්‍රියාත්මක වන අවස්ථාව ‘ද්විතික්කම’ අවස්ථාවයි.
කෙලෙස් සන්තානයෙන් ඉවත් කිරීමේ වගකීම ඒ ඒ පුද්ගලයා සතුව පවත්නා බව, දහමට අනුව සඳහන් කළ හැකිය.
බුදුරජාණන් වහන්සේ ඉහත සඳහන් ගාථාවෙන් පෙන්වා වදාළේ, අනුන්ගේ දොස් සෙවීමට වඩා තමන් තුළ පවත්නා දුර්වලතා තේරුම් ගෙන, ඒවා නිවැරැදි කර ගැනීමට උනන්දුවීම වඩාත් ඵලදායක බවයි. දරුවකු යහපතෙහි පිහිටුවීමට මවුපියන්, ගුරුවරුන්, වැඩිහිටියන් කරන කාරුණික අනුශාසනා සහ මඟ පෙන්වීම්, අඩුපාඩු සොයා බලා නිවැරැදි කිරීම් මෙයට අදාළ නොවේ. එමගින් සිදු කැරෙනුයේ එම දරුවන්ගේ යහපත පිණිස කටයුතු කිරීමයි.


සැමට තෙරුවන් සරණයි

 ප්‍රංශයේ ජේතවනාරාමාධිපති
ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක
මුරුංගාගස්යායේ ඤාණිස්සර නා හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2553 ක් වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2009 ක් වූ දෙසැම්බර් මස 01 වන අඟහරුවාදා  දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි

No comments:

Post a Comment