Labels

Friday, July 24, 2015

ගිහි පැවිදි සබඳතාවය



ආමිස දානයෙන් උපකාර කරන ගිහියනට ධර්ම දානයෙන් සංග්‍රහ කිරීමට බුදුන් වහන්සේ අනුදැන වදාළහ එසේ නම් සිව්පසයෙන් සළකන ගිහි පින්වතුනට භික්ෂුවගෙන් ඉටුවිය යුතු කරුණු මොනවාද ?

යන්න සිඟාලෝවාද සූත්‍රය තුළින් විස්තරාත්මකව දේශනා කොට ඇත


සමාජ සංස්ථාවේ සුවිශේෂි බැඳීමක් ඇති ගිහි පැවිදි සබඳතාවය පිළිබඳ සාකච්ඡා කිරීම ඉතා වැදගත් වේ. බුදු පියාණන් වහන්සේ කොටස් කළ ආකාරයට සමාජයේ ප්‍රධාන කොටස් දෙක වන්නේ ගිහි පැවිදි දෙපිරිසයි. පැවිද්දන් භික්ෂූ භික්ෂුණී වශයෙන් ද ගිහියන් උපාසක උපාසිකා වශයෙන් ද කොටස් කර ඇත. දි. නි. පාඨික වග්ගයට අයත් සිඟාලෝවාද සූත්‍රයට අනුව ගිහි පැවිදි සම්බන්දතාවය පිළිබඳ කරුණු සාකච්ඡා කළ හැකිය.
බුදු රජාණන් වහන්සේ එම සූත්‍රය තුළින් සමාජ පද්ධතිය පිළිබඳව ම විග්‍රහ කර ඇත. ඒ අනුව මුළු සමාජ සංස්ථාව ම ප්‍රධාන කොටස් හයකට බෙදා දක්වා ඇත. ඒවා ආර්ය විනයෙහි සදිසා යනුවෙන් හඳුන්වයි. එයින්හය වැනියට දක්වා ඇත්තේ ‘උද්ධං සමණ බ්‍රාහ්මණා’ යනුවෙන් උඩ දිශාව මහණ බමුණන් වශයෙනි. ගිහි පැවිදි දෙපිරිස හා ඔවුන්ට පැවැරී ඇති කාර්යයන් පිළිබඳ සාකච්ඡා කිරීමේ දී පළමුව ගිහියන් විසින් කරුණු 5කින් පැවිද්දන්ට සැළකිය යුතු ආකාරය දක්වා ඇත. එනම්,

01. මෙත්තේන කාය කම්මේන (මෛත්‍රී සහගත කාය කර්මයෙන්)
02. මෙත්තේන වචී කම්මේන (මෛත්‍රී සහගත වචී කර්මයෙන්)
03. මෙත්තේන මනෝ කම්මේන (මෛත්‍රී සහගත මනෝ කර්මයෙන්)
04. අනාවටද්වාරතාය (නොවසන ලද දොරටු ඇති පිළිගැනීමෙන්)
05. ආමිසානුප්පදානේන (ආමිස දානයෙන් සංග්‍රහ කිරීම)

ආදී වශයෙන් ගිහි පින්වතුන් භික්ෂූන්ට සංග්‍රහ කළ යුතුයි. චීවර, පිණ්ඩපාත, සේනාසන, හා ගිලන්පස යන සිව් පසයෙන් ගිහියන් පැවිද්දන්ට සංග්‍රහ කරන්නේ පෞද්ගලික වැඩ පලක් බලාපොරොත්තුවෙන් නොවේ. එසේ නම්, ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක් ද? ඒ බව සද්ධර්මාලංකාරයේ මෙම ගාථාවෙන් ප්‍රකට වේ.


ගිහීන මුප කරොන්තානං
නිච්ඡ මාමිස දානතො
කරෝථ ධම්ම දානෙන
තෙසං පච්චුප කාරකං

ආමිස දානයෙන් උපකාර කරන ගිහියනට ධර්ම දානයෙන් සංග්‍රහ කිරීමට බුදුන් වහන්සේ අනුදැන වදාළහ. එසේ නම් සිව්පසයෙන් සළකන ගිහි පින්වතුනට භික්ෂුවගෙන් ඉටුවිය යුතු කරුණු මොනවාද ? යන්න සිඟාලෝවාද සූත්‍රය තුළින් විස්තරාත්මකව දේශනා කොට ඇත.

01. පාපා නිවාරෙන්ති (පවින් වැළැක්වීම)
02. කල්‍යාණේන මනසා (සුචරිතයෙහි යෙදවීම)
03. කල්‍යාණේන මනසා අනුකම්පන්ති (යහපත් සිතින් අනුකම්පා කිරීම)
04. අස්සුතං සාවෙන්ති (නො ඇසූ ධර්මය ඇසීමට සැලැස්වීම)
05. සුතං පරියෝදපෙන්ති (ඇසූ ධර්මය පිරිසුදු කිරීම)
06. සග්ගස්ස මග්ගං ආචික්ඛන්ති (ස්වර්ග මාර්ගය කියා දීම)

මේ ආදී කරුණුවලින් පැවිද්දන් විසින් ගිහියන් උදෙසා සංග්‍රහ කළ යුතුව ඇත. දෙඅංශයටම පැවැරී ඇති කරුණු ගිහි පැවිදි සබඳතාවය ශක්තිමත් වීමටත් එහි ප්‍රගමනයටත් ඉතා වැදගත් වනු ඇත. බොහෝදුරට ගිහි පැවිදි සබඳතාවය බිඳ වැටීමකට පත්ව ඇත. එයට හේතුව ගිහියන්ට පැවරෙන වැඩ පැවිද්දන් කිරීමත් පැවිද්දන්ට පැවරෙන වැඩ ගිහියන් සිදු කිරීමටත් මහන්සි ගැනීමය. එයින් සිදුවන්නේ ගිහි පැවිදි අන්‍යෝන්‍ය සබඳතාවය බිඳ වැටීම බව අමුතුවෙන් කිව යුතු නැත.
පැවිද්දාගේ ගමන හංසයාටත්, ගිහියාගේ ගමන මොනරාටත් උපමා කොට ඇත්තේ ගැඹුරු අර්ථයක් ඇතිව වූව ද අද එය මාරු වී ඇද්දෝයි යන සැකයක් ද මතු වනු ඇත. එයට හේතුව වන්නේ එදා භික්ෂුවක් ගත කළ සැහැල්ලු දිවි පැවැත් ම (සල්ලවුක වුත්ති) අද වගකීම් රාශියකින් බැඳී තිබීමෙන් නැති වී තිබීමය. එය ගිහි පින්වතුන් විසින් ම පවරා දී ඇති බැවින් භික්ෂූන්ට දොස් කීම ද සාධාරණ නොවනු ඇත.
නමුදු බුදු හිමි දේශනා කළ සංඝයාගේ ගුණ ඇතුළත් සුපටිපන්නෝ භගවතෝ ආදී පාඨයන් දෙස බැලීමේ දී සුපටිපන්න, උජුපටිපන්න, ඤාය පටිපන්න, සාමීචි පටිපන්න යන ගුණයන්වලින් භික්ෂුවක් පිරිපුන් විය යුතුව ඇත. අතීතයේ භික්ෂුව යනු සිංහයෙකු හා සමානය. පන්සල සියලු අංශයන්හි මධ්‍යස්ථානය වූවා සේම භික්ෂුව සියලු දෙනාට ම නායකත්වය ලබා දුන්හ.
ගිහියන් විසින් පැවිද්දන් උදෙසා තිදොරින් ම අහිතක් නොකළ යුතුය. ගිහියන් වැරැදි කළොත් භික්ෂූන් විසින් ඔවුනට දෙන ලොකුම දඩුවම වන්නේ පත්තනික්කුජ්ජන කර්මය සිදු කිරීමය. එනම් ඔවුනගේ දානය නොපිළි ගැනීමයි.
කෙසේ වූව ද දෙපක්ෂය තුළම වැරදි අඩුපාඩු තිබීම සාමාන්‍ය ස්වභාවයයි. එය රහත් නොවි සිටීම හේතුවෙන් සාධාරණ කරුණකි. එසේ වූව ද ගිහියන් අතර ජීවත් වීමේ දී පැවිද්දන් විසින් ගිහි පක්ෂයට වඩා තිදොරින් සංවර භාවය වැඩි විය යුතුය. නොපැහැදුන අයගේ පැහැදීම සඳහාත්, පැහැදුන අයගේ වැඩි පැහැදීම සඳහාත් පැවිදි ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුව ඇත.
ඊට අමතරව සැහැල්ලු දිවි පැවැත්ම, ලද දෙයින් සතුටුවීම, අටලෝ දහමින් උදම් නොවීම හා කම්පා නොවීම, පරාර්ථකාරී බව, විනය ගරුක බව, උතුම් මානුෂික ගුණාංග ආදී ගුණ ධර්ම ද ටිකෙන් ටික හෝ දියුණු කර ගත යුතුව ඇත. සතර මඟ හා සතර ඵල හා නිර්වාණය යන නවාංග ශාස්තෘ ශාසනය ප්‍රගුණ කිරීමට ඒවා ඉවහල් වනු ඇත. එසේ නොවුනහොත් තව තවත් සසර බොහෝ කාලයක් ඇවිදීමට සිදුවනු ඇත.
සමස්තයක් වශයෙන් ගත් කළ විශේෂයෙන් ගිහි පැවිදි අන්‍යෝන්‍ය සම්බන්ධතාවය උදෙසා සිඟාලෝවාද සූත්‍රයෙහි සඳහන් කරුණු පිළිබඳ දෙපක්ෂය ම අවධානය යොමු කළ යුතු අතර, ඒවා ගිලිහී යෑමට ඉඩ නොදී තව තවත් ශක්තිමත් කිරීමට ද අධිෂ්ඨාන කර ගත යුතුය.
එකල්හි දෙපක්ෂය තුළම අන්‍යෝන්‍ය බැඳීම විශ්වාසය හා සම්බන්ධතාවය ගොඩ නැගෙනවාට කිසිඳු සැකයක් නැත. එතුළින් දෙපක්ෂයේ ම අවසාන අරමුණ වන නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට උත්සාහවත් වන පිරිසක් වීමේ භාග්‍ය ද හිමි වනු ඇත.

 කොබෙයිගනේ පුබ්බිලිය
ශ්‍රී සාරානන්ද පිරිවෙනෙහි ආචාර්ය
මාස්පොත ශ්‍රී ගංගාරාම විහාරවාසී
ගලගෙදර රතනවංශ හිමි


 ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ ඇසළ පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජූලි 24 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි

No comments:

Post a Comment