Labels

Thursday, July 30, 2015

සුගතියට මඟ කියන වස් කාලය


 සුප්පබුද්ධං පබුජ්ක්‍ධන්ති
සදාගොතම සාවකා
යෙසා දිවාච රත්තොච
නිචචං බුද්ධං ගතාසති”


 “යමෙක් දිවා රෑ දෙක්හි නිතර බුදුගුණ සිහිකරනවා නම් දහම් ගුණ සිහි කරනවා නම් සඟ ගුණ සිහිකරනවා නම් නින්දට යන විටත් නින්දෙන් පිබිදෙන විට තෙරුවන් ගුණ සිහි කරනවා නම් ඔහුගේ ජීවිතය පිරිසිදුය.”

මෙම ලිපිය ආරම්භයේදීම තුණුරුවන්ට මාගේ නමස්කාරය වේවා! එසේ නමස්කාර කරමින් තුණුරුවන්ගේ ගුණය නිතර නිතර සිහිපත් කරන පුද්ගලයාට තම ජීවිතය සාර්ථක කර ගැනීමට එය මහා ආශිර්වාදයක් වන බව අමතක නොකළ යුතුය. මෙම ලිපිය කියවන සෑම පුද්ගයෙකුගේම මෙලොව සහ පරලොව දෙලොවම සාර්ථකවේවායි පතමි.

බුදුරජාණන් වහන්සේ කර්මය යනුවෙන් දේශනා කළේ කුමක්ද?

“චේතනා හං භික්ඛවේ කම්මං වදාමි”

මහණෙනි, චේතනාව කර්මයයි. පුද්ගලයන් සතු සිතුවිලි කර්මයන් ලෙස පෙන්වා දෙන ලදී. කර්මය යනු ක්‍රියාවන්ය. පුද්ගලයන් ක්‍රියාවන් සිදු කරන්නේ කුමකින්ද?
“චේතයිත්වා කම්මං කරොති කායේන වාචාය මනසා”
සිතින් සිතා කායිකව, වාචසිකව, මානසිකව කර්මයන් සිදු කරන බවද පෙන්වා දුන්නා. කයින් , වචනයෙන් සහ මනසින් සිදු කරනු ලබන කර්මයන් ප්‍රධාන වශයෙන් කොටස් 02කි. ඒවා නම්,

1.කුසල කර්ම
2.අකුසල කර්ම

කුසල කර්මයන් යනු සිත කය වචනය මගින් ධර්මානුකූල යහපත් ක්‍රියාවන් සිදු කිරීමයි. අධර්මානුකූල අයහපත් ක්‍රියාවන් අකුසල කර්මයි. කුසල කර්ම සිදුකරන සෑම පුද්ගලයෙකුම සුගතිගාමී වෙයි. අකුසල කර්ම කරන්නා වූ පුද්ගලයන් දුගතිගාමී වන බවත් ධම්මපදය යමක වග්ගය මුල් ගාථා දෙකින් මනාව පෙන්වා දී ඇත.
බුදුරජාණන් වහන්සේ පුද්ගලයෙකුට සුගති ගාමී වීමට හැකියාව ඇති කුසල කර්ම අටක් පෙන්වා දෙන ලදී. එම කුසල කර්ම අට අටමහ කුසල් යනුවෙන් වර්තමානයේ බොහෝ දෙනා හදුන්වති. එම අටමහ කුසල් නම්,

1.කඨින චීවර පූජාව
2.අටපිරිකර පූජාව
3.ආවාස කරවා පිදීම
4.බුදුපාමොක් මහ සඟනට දන්දීම
5.බණපොත් ලියවීම
6.කෙත්වතු පූජාව
7.බුදු පිළිම, වෙහෙර විහාර කරවීම
8.වැසිකිලි සාදවා පිදීම

මෙම අටමහ කුසල් වලින් හතක්ම තමන්ට කැමති වෙලාවක රුචි පරිදි සිදු කළ හැකි වුණද කඨින චීවර පූජාව පමණක් තමන්ට රුචි පරිදි සිදු කළ නොහැක. බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාගේ දෙලොව යහපත සළසා ගැනීමට අවශ්‍යය කරන ධර්ම කරුණු දේශනා කළහ. පුද්ගලයෙකුගේ ජීවිතය සුගතිගාමී වීමට සහ දුගතිගාමී වීමට එම ධර්ම කරුණු අවබෝධකර ගැනීමට පුද්ගලයා කටයුතු කළ යුතුය.
පුද්ගලයාගේ ජීවිතය සුගතිගාමී වීමට වස් කාලය කෙතරම් පුද්ගලයාට වටින්නේ දැයි වර්තමාන මිනිසා දැන ගත යුතුය. වස් කාළය යන්නන් අදහස් කරන්නේ කුමක්ද? යන්න වර්තමාන බෞද්ධයන්ට මතක් කර දිය යුතු නැත. වස් කාලය නම් වර්ෂා කාලයයි. සමහර රටවල සෘතු කීපයක් ඇති අතර ඉන්දියාව හෙවත් භාරත දේශයට ඇත්තේ සෘතු තුනක් පමණි.

1.හේමන්ත සෘතුව (හිම වැටෙන සීත කාළය)

2ග්‍රීෂ්ම සෲතුව (උෂ්ණ කාලය)

3.වස්සාන සෘතුව (වර්ෂා කාලය)

යනුවෙන් එම සෘතු තුන පෙන්වා දී ඇත. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතා මෙසේ ශික්ෂාවක් පැනවීය.

“අනුජානාමි භික්ඛවේ වස්සං උපගන්තුං”
“මහණෙනි වස් වසන ලෙස අනුදැන වදාළ සේක. අනතුරුව භික්ෂූන් වහන්සේ බුදු රජාණන් වහන්සේගෙන් මෙසේ අසන ලදී. වස් වැසිය යුත්තේ කවදාදැයි විමසන ලදී. එවිට බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතා වස්වැසිය යුතු කාලය මෙසේ ප්‍රකාශ කළහ.
“අනුජානාමි භික්ඛවෙ වස්සානෙ වස්සං උපගන්තුං”
මහණෙනි, වස්සාන සෘතුවෙහි වස් වැසීමට අනුදැන වදාරමි යනුවෙන් මෙම සෘතු තුනෙන් වස්සාන සෘතුවෙහි උපසම්පදා භික්ෂූන්ට වස් වසන ලෙස පෙන්වා දුන් අතර වර්තමානය වන තෙක්ම බොහෝ බෞද්ධ රටවල උපසම්පදා භික්ෂූන් වහන්සේලා වස්වැසීම සිදු කරන බව නොරහසකි.
බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ලද මෙම වස් කාලය නිසාවෙන් ගිහි පැවිදි දෙ පක්ෂයම තම ජීවිත සුගතිගාමී මාර්ගයට යොමු කර ගනිති. වර්තමානයේ බොහෝ වෙහෙර විහාරස්ථානවල දායක දායිකාවන් විසින් භික්ෂූන් වහන්සේලාට වස් වැසීමට මෙසේ ආරාධනා කරනු ලබයි.
”භික්ෂූන් වහන්ස අප විහාරස්ථානයෙහි වස් වසන ලෙස ආරාධනා කරමි. මෙම තුන් මාසය ඔබ වහන්සේලාට සිව් පසයෙන් උපස්ථාන කරමි. ඔබ වහන්සේලා ද අප කෙරෙහි අනුකම්පාවෙන් අපහට අර්ථයෙන් ධර්මයෙන් අපගේ ජීවිත සුගතිගාමී වීමට මාර්ගය පෙන්වා දෙන මෙන් ඉල්ලා සිටිමි.”
මෙසේ කරන ලද ආරාධනාව අනුව වස් වැසීම සිදු කරන ලද අතර ඉන් අනතුරුව බොහෝ විහාරස්ථාන වල භික්ෂූන් වහන්සේලා විසින් විවිධ ආගමික වැඩ සටහන් ක්‍රියාත්මක කරමින් ගිහි පැවිදි දෙපක්ෂයේම ජීවිත සුගතිගාමී කර ගැනීමට උත්සාහ කරති’ මෙම වර්ෂා කාලය තුළ ගිහියා මෙන්ම පැවිද්දාද තම ජීවිතය ආලෝක මත් කර ගැනීමට බොහෝ කැප වී කටයුතු කරන බව වර්තමානයේ භික්ෂූන් වහන්සේලා විසින් අප ආඩම්බරයෙන් සිහිපත් කළ යුතුය.
මෙම වස් කාලයෙන් පසුව බොහෝ විහාරස්ථාන වල කඨින පිංකම ඉතාම අලංකාරයෙන් සිදු කිරීමට ගිහි පැවිදි දෙපක්ෂයම කටයුතු කරනු යේ ශාසනයේ තිබෙන කුසල කර්ම වලින් ඉතා වැදගත්ම කුසල කර්මය මෙය නිසාවෙනි. එසේනම් මෙම කඨින පිංකම තුළින් මෙන්ම මෙම වස් තුන්මාසය තුළදී පුද්ගලයා යොමු වනුයේ කය, වචනය මනසින් යහපත් ක්‍රියාවන් සිදු කිරීමටය. එම නිසා වෙන් පුද්ගලයාගේ ජීවිත ප්‍රගතිගාමී ජීවිත වනු ඇත.
පෙර භවයක නාගිත හිමියෝ කඨින පින්කමක් කර සසර බොහෝ සැප සම්පත් විඳ අප බුදුන්ගේ කාලායෙහි සැවැත්නුවර ජේතවනාරාමයට පැමිණ ඒහි භික්ෂූ භාවයෙන් පැවිදිව වස් කාලයක වස් වසා අනන්තයෙහි පවාරණය කොට නාගිත හිමියන් ලවාම උන් වහන්සේ කළ මහා පිංකම උන් වහන්සේලවාම කියවනු කැමතිව බුදුන් වහන්සේ ආනන්ද හිමියන් අමතා ආනන්දය, හිමාලයේ අමෝතත්ත විලට යාම ට ඒහිභික්ෂූභාවයෙන් පැවිදි 500ක් නමක් කැඳවන සේ ප්‍රකාශ කළහ.ආනන්ද හිමියෝ 500 ක් නමක් කැඳවූ පසු සියල්ලෝම අනවතප්ත විල අසල සිටියෝය. එවිට බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා මහණෙනි සසර යම් කිසි කෙනෙක් විශේෂ පිංකමක් කළ කෙනෙක් වේ නම් ප්‍රකාශ කළ මැනවයි කී සේක.
එවිට නාගිත මහ රහතන් වහන්සේ හුනස්නෙන් නැගිට දොහොත් මුදුන්දී වැඳ ස්වාමීනි, මම මෙයට ඒකානුවත කල්පයෙහි විපස්සී බුදු රදුන් කළ බන්ධුමතී නම් නුවර එක්තරා කුල පුත්‍රයෙක්ව ඉපිද බොහෝ පින්කම් කරමින් දිනක් විපස්සි බුදුරදුන්ගෙන් බණ අසා පහන් සිත් ඇතිව බුදුපාමොක් මහ සඟනට දනක් දුනිමි. අනතුරුව වස් කාළයෙහි සංඝයාට වස් ආරාධනා කොට වස් විසූ භික්ෂූන්ට සර්වපරිස්කාර සහිතව කඨීන චීවරයක් පූජා කළෙමි’ මෙම පුණ්‍ය කර්මය සියලු කෙලෙස් නසා රහත් වීමට පැතුවෙමි.
එදා සිට මෙතෙක් නරකය, තිරිසන් අපාය, ප්‍රේත ලෝකය, අපූර නිකාය යන සතර අපායෙහි නො ඉපිද මිනිස් ලොව වාතුම් මහාරාජිකය තාවතිශකයාමය තුසිතය නිම්මාණ රතීය පරනම්මිත වස වර්තියන් කාම ස්වර්ගයෙහිම උපන්නෙමි.”
බුද්ධිමත් පුද්ගලයා මෙම වස් කාලය තුළදී බොහෝ පිංකම් කොට සුගතිගාමී ජීවිත ලබා ගැනීමට කටයුතු කරයි. මෙම උතුම් වස් කාලය පුද්ගලයන්ගේ මෙලොව පරලොව දෙලොව සුගතිගාමී කර ගැනීමට අවසන නිර්වාණාවබෝධය පිණිසම වේවායි පතමි.

2012.අගෝස්තු  මස 29 වෙනි දින දිනමින පුවත්පතෙහි පළ වු ලිපියකින් උපුටා ගැනිමකි

No comments:

Post a Comment